පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාඩු කසළ ව්‍යාපෘතිය ඒ පළාතේ ජනතාවගේ ප්‍රබල විරෝධයට හේතුවී තිබේ. මේ නිසා පසුගිය කාලය තුළදී මහජන උද්ඝෝෂණ ගණනාවක් ද සංවිධානය කර තිබිණි. මේ උද්ඝෝෂණවල පසුපස කිසියම් දේශපාලන බලවේගවල ලකුණු පෙනෙන්නට තිබුණ ද පොදුවේ ඔවුන් විරෝධය පළකරන්නේ තමන්ගේ මතයට කන්නොදී ආණ්ඩුව විසින් අත්තනෝමතිකව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරමිනි. කසළ ව්‍යාපෘතිය හේතුවෙන් තමන් ජීවත්වන පරිසරය විනාශ වන බවටත් තමන්ට ජීවනෝපාය සලසාදෙන කර්මාන්ත අහිමි වී යනු ඇති බවටත් ඔවුහු බිය පළකරති.

අරුවක්කාඩු කසළ අංගනයට දක්වන එකී විරෝධතාවල ඉහළයාමක් පසුගියදා දකින්නට තිබිණි. දින කිහිපයක් තිස්සේ නගරය පුරා කළු කොඩි දමා තිබීමෙන් පසුව හර්තාලයක් සහ උද්ඝෝෂණයක් ද ක්‍රියාත්මක වීමෙන් පසුගිය 15 වැනිදා පුත්තලම නගරයම අකර්මණ්‍ය විය. විවිධ දේශපාලන පක්ෂවල නියෝජිතයන් පමණක් නොව ආගමික සංවිධානවල පිරිස් ද ඊට සම්බන්ධ වී සිටි බවට ද වාර්තා පළවිය. මේ සියලු‍දෙනා හඬනඟා කියන්නේ කොළඹ කුණු බැහැර කිරීමට යොදාගන්නා අරුවක්කාඩු කසළ අංගනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය යුතු බවය. එහෙත් එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන්නේ කුමන හේතුවක් නිසාද එය අතරමග නතර කළහොත් එහි ප්‍රතිඵල කෙබඳු විය හැකිද වැනි ප්‍රශ්නවලට මේ උද්ඝෝෂණ සඳහා මහජනතාව මෙහෙයවන නායකයන්ගෙන් පිළිතුරු ලැබෙන්නේ නැත. එය අඩුපාඩුවකි.

නගරයක කුණුකසළ බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කිරීම එම නගරයට පමණක් සීමාවන කරුණක් වශයෙන් පෙන්වා දිය නොහැක. එය රටේම අවශ්‍යතාවකි. කුණුකසළ එකතුවන්නේ කොළඹ නගරයේ පමණක් නොවේ. වැඩි ජනගහනයක් සිටීමත් එක් දිනක් තුළදී වැඩිම ජනකායක් ඇතුළුවන සහ පිටවන නගරය වීමත් නිසා කොළඹ එකතුවන කුණු කසළ ප්‍රමාණය සෙසු නගරවලට වඩා වැඩි වෙයි. මේ නිසාම කොළඹ කුණුකසළ බැහැර කිරීමට වඩාත් කාර්යක්ෂම ක්‍රමවේදයක් අවශ්‍යය. එය ක්‍රියාත්මක වීම ඇනහිටියොත් නගරයේ වෙසෙන ජනතාව පමණක් නොව නගරයට ඇතුළුවන ජනතාව ද බරපතළ පාරිසරික ගැටලු‍වලට මුහුණදීම වළක්වා ගත නොහැක. අරුවක්කාඩු කසළ අංගනය පිළිබඳ සාකච්ඡා කරන විට එම යථාර්ථය මේ පිළිබඳව අවබෝධ කරගැනීම අවශ්‍යය.

පුත්තලම ජනතාවගේ විරෝධයට පිළිතුරු දෙමින් මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කර තිබුණේ අරුවක්කාඩු කසළ රඳවනය විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව සකස් කළ පළාතේ ජනතාවට හානියක් නොවන ව්‍යාපෘතියක් බවය. මේ පිළිබඳව මීට පෙර පැවැති සාකච්ඡාවලදී ද ඇමැතිවරයා පෙන්වා දී තිබුණේ ලෝකයේ පවතින දියුණු ක්‍රමවේද අනුව කසළ බිඳක් හෝ පරිසරයට එකතු නොවන පරිදි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවය. මේ සඳහා උදාහරණයක් වශයෙන් කෙරවළපිටියේ ක්‍රියාත්මක කසළ කළමනාකරණ ව්‍යාපෘතිය ගෙනහැර දක්වන ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එහි දිරායන කසළ කොම්පෝස්ට් කරන බවත් වෙන්කර ගන්නා කසළවලින් ලැබෙන, ප්ලාස්ටික්, පොලිතීන් සහ කඩදාසි අලෙවියෙන් වසරකට මිලියන 600ක් උපයන බවත්ය. අරුවක්කාඩු සනීපාරක්ෂක කසළ රඳවනය ආරම්භ කළේ ද ඒ අනුව බවත් ඇමැතිවරයා කියයි.

මේ රටේ මහජනතාව විසින් බැහැර කරන කුණු කසළ වෙනත් රටකට ගෙන යා නොහැක. එය කළමනාකරණය කරගත යුත්තේ අපමය. එවැන්නක් අවශ්‍ය නැතැයි පැවැසිය හැක්කේ මොළේ අමාරුකාරයකුට පමණි. නිසි ක්‍රමවේදයකට අනුව කසළ බැහැර නොකිරීමේ වන්දිය ගෙව්වේ මීතොටමුල්ල පවුල් කිහිපයක් බව කිසිවකුටත් අමතක විය නොහැක. එහිදී ජීවිත 33ක් අහිමි වූ බව කසළ කළමනාකරණයට ගන්නා හැම පියවරකටම විරුද්ධව ජනතාව උසිගන්වන නායකයන් දැනසිටීමද අවශ්‍යය. මේ රටේ කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා ඇතිවූ එවැනි භයානක ප්‍රතිඵල යළිත් ඇතිවනු දැකීමට අප කිසිවකු කැමැති නැත. කසළ කඳු ගොඩගසනවාට පුත්තලම ජනතාව පමණක් නොව කොළඹ ජනතාවද විරුද්ධය. එහෙත් මහජනතාවට එදිනෙදා බලපාන එවැනි ගැටලු‍වලට ද විසඳුම් සොයන හැමවිටම පදනමකින් තොරව කවුරුන් හෝ උසිගැන් වූ පමණින් විරෝධය දැක්වීම සුදුසු නැති බව පෙන්වා දිය යුතුය.

ලෝකයේ දියුණු රටවල පවා ඇතැම් ප්‍රධාන නගර මධ්‍යයේ ද විද්‍යානුකූල ලෙස සකස් වූ කසළ බැහැර කරන විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. ඒ අතින් අපේ රට සිටින්නේ ගව්ගණනක් පසුපසිනි. එසේ සිටිමින් අපි තවමත් කසළ කළමනාකරණයේ අපට භාවිතා කළහැකි ක්‍රමවේදවලට පවා එරෙහි වන්නෙමු. මේ අදහස් ආකල්පවල වෙනසක් අවශ්‍යය. මූලික වශයෙන්ම රටේ කුණුකසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය ප්‍රමුඛත්වය දියයුතු කාරණයක් බව අවබෝධ කරගැනීම අවශ්‍යයි. කුණුකසළ ගැටලු‍ව ඇත්තේ කොළඹට පමණක් නොවේ. පුත්තලමටද මෙය වැඩි කාලයක් යාමට පෙර මුහුණ දියයුතු වනු ඇත. කොළඹ කුණු පුත්තලමට ගෙනයාමට පෙර පුත්තලම කුණු අරුවක්කාඩු කසළ රඳවනයට ගෙනයන බව රජය කියයි. මේ නිසා පවතින යථාර්ථය දැනගෙන අවබෝධයකින් යුතුව කටයුතු කිරීම මහජනතාවගේ යුතුකමකි. ඒ සමඟ කිවයුතුවන්නේ ආණ්ඩුව ද ජනතාවගේ අවශ්‍යතා සහ සිතුම් පැතුම් කෙරෙහි සංවේදීව කටයුතු කළ යුතු බවය. එසේ වූවා නම් මෙතරම් විරෝධයක් ඇතිවීමට ඉඩක් නොතිබූ බව අපගේ වැටහීමයි.