ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරදීමට දින නියම වී ඇත්තේ ලබන සතියේ සඳුදාටය. ඒ සඳහා අපේක්ෂකයන් ගණනාවක්ම මේ වනවිටත් ඇප මුදල් තැන්පත් කර ඇති බව හැමෝම දන්නා කාරණයක්ය. මේ අය අතරින් රටේ අවධානය වැඩියෙන්ම යොමු විය යුත්තේ සහ රටේ අවධානය යොමු වී ඇත්තේ ආණ්ඩුවේ අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා වෙතටත් සහ ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතටත්ය.

මේ දෙදනාගෙන් කෙනකු මේ රටේ මීළඟ ජනාධිපතිවරයා වන්නේ යැයි හැමෝම දන්නා නිසා මේ දෙදෙනා ගැන අවධානය යොමු කිරීමේ වැරැද්දක් නැත. මේ සතියේ මෙම සටහනින් මා සාකච්ඡා කරන්නේ ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා මුහුණ දෙන දේශපාලන අභියෝග කිහිපයක් පිළිබඳවය.

මේ ආණ්ඩුව පත්වුණේ 2015 ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයත් සමගින්ය. ඒ ජනාධිපතිවරණයට එවකට තිබූ ආණ්ඩුවේ අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වූ අතර එයට විරුද්ධව විපක්ෂයේ අපේක්ෂකයාට තරග කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. මේ වනවිට අප හැමෝම දන්නා කාරණයක් වන්නේ 2015 ජනාධිපතිවරණයෙන් ආණ්ඩුවේ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වී ආණ්ඩුවට විරුද්ධව (විශාල වශයෙන් අලංකාරික තර්ක හරහා) අභියෝග කළ විපක්ෂයේ කණ්ඩායමේ අපේක්ෂකයා ජයග්‍රහණය කළ බවයි. ඒ ජනාධිපතිවරණයෙන් පෙන්නුම් කරන එක දෙයක් වන්නේ ආණ්ඩුවක් පවතින ගමන් ඒ ආණ්ඩුවේ අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වනවිට තමන් සම්බන්ධ වී සිටි ආණ්ඩුවේ ශේෂ පත්‍රය (Balance Sheet) තමන් සමඟ එකට ගමන් කරන බවයි. වර්තමාන ආණ්ඩුවේ ශේෂ පත්‍රය සහ එම ආණ්ඩුවේ අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතා මුහුණ දෙන්නේ කුමන ආකාරයක අභියෝගකට දැයි විමසීම වැදගත් වන්නේ ඉදිරි මාස එකහමාරක කාලයක් පුරාවට පවතින ජනාධිපතිවරණ වේදිකාවේ මේ කාරණා සාකච්ඡා වීමට නියමිත නිසාය. ආණ්ඩුවේ තිබෙන්නේ එක කැබිනට් මණ්ඩලයක් නිසා තමන්ගේ මල්ලට තමන් කළ දේත් නොකළ දේත් යන දෙකම වැටෙන්නට නියමිත බව ආණ්ඩුවේ පැත්තෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඕනෑම කෙනකු තේරුම් ගත යුතු කාරණයක්ය.
 
මෙහිදී පැහැදිලි වන තවත් එක කාරණයක් වන්නේ ප්‍රේමදාස මහතා එ.ජා.ප.යේ අපේක්ෂකයා වශයෙන් තෝරාගන්නා විටම එම පක්ෂය සමඟ ඍජුව සන්ධානගත වී සිටින සුළු පක්ෂ රාශියක අපේක්ෂකයා ලෙසින් ඔහු අනිවාර්යයෙන්ම පත්වන බවයි.
 
ඡායාරූපයක් පිළිබඳව සමාජ මාධ්‍යවල මතුවී තිබූ විවේචනය වූයේ පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරයත් සමගින් බරපතළ ලෙසින් චෝදනාවට ලක්වූ ඇමැතිවරුන් කිහිපදෙනකු පවා සජිත් ප්‍රේමදාස මහතාගේ සහායකයන් ලෙස පෙනී සිටීම ඒ මහතාගේ දේශපාලන ජීවිතයට යම් ආකාරයක කළු පැල්ලමක් එක් කරන බවයි.
 
ඒ වගේම මේ සමාජයේ පසුගිය කාලය පුරාවට ආගමික අන්තවාදය ලෙසින් මතුවන මූලධර්මවාදයක් ඇති බව පිළිගන්නා හැමෝම පාහේ මේ ජනාධිපතිවරණයේ ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන්ගෙන් බලාපොරොත්තු වන කාරණයක් වන්නේ මේ අන්තවාදය හඳුනා ගන්නා ලෙසත් සහ ඒවාට උල්පන්දම් දෙන දේශපාලනඥයන් පරාජයට පත්කරන ලෙසත් බව මගේ තේරුම් ගැනීමය. ඒ අර්ථයෙන් ගත් විට මා ඉහතික් දැක්වූ ජායාරූපය ආකාරයේ දේවල් මගින් පෙන්නුම් කරන්නේ සමාජයේ එක් පාර්ශ්වයක ඇති විවේචන හා මතිමතාන්තර ගාණකට නොගත් බවයි. මේ තත්ත්වය මගින් පෙන්නුම් කරන්නේ සමාජයේ බහුතර පාර්ශ්වවල තිබෙන මතිමතාන්තර පිළිබඳවත් මේ රටේ බහුතර සමාජයේ තිබෙන ජනමතයක් එ.ජා.ප.යේ ජනාධිපති මැතිවරණ ක්‍රියාදාමය මගින් නොසලකා හැර තිබීම දැයි මා දන්නේ නැත. එහෙත් රටේ ප්‍රධාන පක්ෂවලින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් රටේ බහුතර ජනමතය පිළිබඳව යම් ආකාරයක සංවේදීභාවයක් ඇති කරගැනීමේ වැදගත්කම මෙහිදී මතුකර ගත යුතු ප්‍රධානම කාරණය බව පෙන්වා දීම ඉතාමත් අවශ්‍යය.
සජිත් ප්‍රේමදස මහතා වෙත ඍජුව මතුවී නොතිබුණත් එ.ජා.ප.යේ නායකත්වය වෙත 1994 සිටම සමාජයේ තිබෙන විවේචනයක් වන්නේ ඒ පක්ෂය මේ රටේ බහුතර සිංහල සමාජයේ මතය නොසලකා හරින බවයි. මගේ තේරුම් ගැනීම වන්නේ සජිත් මහතාට ජනාධිපති අපේක්ෂකකම දිය යුතු යැයි පක්ෂයේ ග්‍රාමීය සමාජයේ සමහරුන් පෙනී සිටියා යැයි කියන්නේම එ.ජා.ප. නායකත්වයේ තිබූ මේ ‘බහුතර සමාජයට විරුද්ධ වීම’ හේතුවෙන් බවයි.
 
ආණ්ඩුවේ පැත්තෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේදී සලකා බැලිය යුතු මීළඟ කාරණය වන්නේ රට තුළ තිබෙන ‘පවතින ක්‍රමයට විරුද්ධවීමේ (anti-incumbency) තත්ත්වයට ආණ්ඩුවේ අපේක්ෂකයා ඍජුවම හසුවීමය. විශේෂයෙන්ම මේ තත්ත්වය හමුවේ මා දකින එක් ඍණාත්මක තත්ත්වයක් වන්නේ 2015 සිට මේ දක්වා මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකිනෙකාට චෝදනා කර ගනිමින් ගෙන ගිය පාලනයට මේ රටේ මෝදුවී තිබෙන බරපතළ විරෝධයේ පළමු ගොදුර බවට ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා පත්වීමය.

 ‘තමන් ආණ්ඩුවේ හිටියාට මේ කිසිවක් දන්නේ නැති බවට’ සමහරුන් කියන කතා සමාජයේ එතරම් සැලකිල්ලකට ලක්වන්නේ යැයි මා සිතන්නේ නැත. 1989 රණසිංහ ප්‍රේමදාස මහතාත් 2005 මහින්ද රාජපක්ෂ මහතාත් තමන් කැබිනට් ඇමැතිකම් දරමින්ම ඒ ඒ ආණ්ඩු විවේචනය කළා යැයි මතුවන තර්කය එතරම් වැදගත්කමක් නැති බව පෙනී යන්නේ ඒ දෙදෙනාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණ පසුපස තිබුණේ ඒ ඒ ආණ්ඩු විවේචනය කිරීම නොව මේ රටේ ඒ ඒ කාලවල පැවැති සිවිල් යුද තත්ත්ව දෙකක් ප්‍රධාන බලපෑම් සාධකයන් ලෙසින් පැවැතීම නිසාය. ඒ ඒ නායකයන් දෙදෙනාටම අඩු වැඩි වශයෙන් තමන් ද සාමාජිකයකු ලෙසින් සිටි කැබිනට් මණ්ඩලවල ගත් තීරණවලට වගකියන්නට සිදුවූ බව මෙහිදී මා මතු කරන තර්කයය. ඒ අර්ථයෙන් මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලවල ගත් හැම තීරණයකම සාමූහික වගකීමක් සජිත් ප්‍රේමදාස මහතාට ද හිමිවන බැවින් එය ආණ්ඩුවේ අපේක්ෂකයා වීම නිසාම ඔහු වෙත ඇතිකරන බරපතළ ආතතියක් බව මගේ අදහසය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පැත්තෙන් අනෙක් හැම කාලයකටම වඩා බරපතළ අර්බුදයක් වත්මන් ආණ්ඩුවේ අපේක්ෂකයා සමඟ බැඳෙන බවට මා තර්ක කරන්නේ තවත් එක් වැදගත් හේතුවක් නිසාය. එනම් 2015 මේ රටේ ඇති කරන්නට පොරොන්දු වූ අලංකාරික රාජ්‍ය වූ ‘සාධාරණ සමාජය’, ‘යහපාලනය’, ‘ලිච්ඡවී රාජ්‍යය’ වැනි පරමාදර්ශී සංකල්ප මේ ආණ්ඩුවේ සිටි ප්‍රධානීන් හැමෝගේම මැදිහත්වීමෙන් යළිත් ප්‍රකෘති තත්ත්වයකට ගත නොහැකි ආකාරයෙන් අර්බුදයට ගොස් ඇති නිසා සහ තවදුරටත් අලුතින් කිව හැකි සිහිනයක් නැති ගාණට සංකල්ප ලෝකයේ මේ ආණ්ඩුව වට්ටවා ඇති නිසාය. 2015 ජනවාරිවරුන්ගේ නිර්මාණයක් වූ අලංකාරික රාජ්‍ය පාලන කතා විශ්වය තවදුරටත් නඩත්තු කරගෙන යා නොහැකි තත්ත්වයට අර්බුදයට පත්වී ඇති තත්ත්වයක් තුළ ආණ්ඩුවේ දේශපාලන යාන්ත්‍රණයම සැක කරන තත්ත්වයකට රට ගමන් කර ඇති බව මගේ නිරීක්ෂණයය. වෙනත් ලෙසකින් කීවොතින් ‘එකම ආකාරයකට දෙපාරක් ප්ලේන් එකක් හයිජැක් කරන්නට බැරුවාක්’ මෙන් එකම බොරුවකින් දෙපාරක් ආණ්ඩුවක් අල්ලාගත නොහැකි ගාණට මේ යහපාලන අලංකාරිකය මේ සමාජය තුළ විහිළුවට ලක් වී ඇත. ඒ නිසා ඒ 2015 ව්‍යාපෘතියට සම්බන්ධ නැතිම කෙනකුට වුවත් සමනය කළ නොහැකි තරමේ සමාජ ආතතියකට මේ ආණ්ඩුව පත්වී ඇති තත්ත්වයක් තුළ මේ ආණ්ඩුවේම 2015 සිටම සිටි ප්‍රේමදාස මහතාට ආණ්ඩුවේ පැත්තෙන් ජනාධිපති තරගයට දැමීමෙන් පෙන්නුම් කරන්නේ හැමෝගේම පව් කන්දකට කර තියන්නට සිදුවීමක් දැයි විනිශ්චයක් දීමට තවමත් කල් වැඩි බව මගේ මතයය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්