ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මඟපෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

අම්බලන්තොට ඩී.ජී. ජයසුන්දර මහතා ලියා එවූ කතාවක් මෙසේය.


ඔහුගේ ජීවන වෘත්තිය වූයේ වසු පැටව් හා ලොකු ගවයන් හණ ගැසීම, තරුණ ගව නාම්බන් කරඇඹීම (වෘෂණ කෝෂ නැතිකර දැමීම), කරත්ත බඳින ගොනුන්ගේ පාදවල ලාඩං ගැසීම හා ගවයන්ට වෙදකම් කිරීම ආදී කාර්යයන්ය.


මේ කාර්යය ඔහු කළේ කිසිදු මුදලක් අය​ නොකරය. ඔහු මෙවැනි කාර්යයන් කිරීම සැලකුවේ සමාජ සත්කාර්යයක් ලෙසය. මේ නිසා කිසිදු මුදලක් අය නොකරම තමන් දන්නා හා තමාට කළ හැකි සේවය ගමට හා අවට ගම්වල අයට ඉටුකර දෙන්නේ නිර්ලෝභීවය.


ගව හිමියන්ගේ කුඩා වසු පැටව් හා මිලදී ගත් ගවයන් හණ ගසන්නේ තමන්ගේ අනන්‍යතාව පෙන්වීමටය. අයිතිය කියාපෑමටය.


මේ සඳහා ගවයන් බිම හෙළා පාද හතර බැඳ ගිනියම් කරන ලද යකඩ කොකු මගින් ගවහිමියාගේ ගම, වාසගම, නම ආදිය ඉතා කෙටියෙන් හම පුලුස්සා හණ ගසයි. මෙහිදී වසුපැටව් හා ලොකු ගවයෝ ද මරළතෝනි දේ. ​ෙගාම පිට කරති. සතාගේ හිස පාද හා පිටුපස පෙදෙස දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු අල්ලාගෙන ද සිටිය යුතුය. මෙලෙස එක දිගට දහ පහළොස් දෙනා හණ ගහන අවස්ථා ද ඇත. එකා දෙන්නා හණ ගහන අවස්ථා ද තිබේ.


මේ සත්ව හිංසාවට අමතරව එළ මී ගොන්වස්සන් කර ඇඹීම කාර්යය කරන්නේ ද මොහුය. එහිදී ගව නාම්බා මහත්වීමටත් පට්ටි ලකුණු පහළ වී ලණු කඩාගෙන යාම හා දෙනුන් පස්සේ යාම වළක්වා ගැනීමටත් ගොන් වස්සන් කර අඹයි. එහිදී ගවයා බිම හෙළා පාද හතර බැඳ වෘෂණ කෝෂ පොලු දෙකකින් අඹරා තළා පොඩිකර දමයි. ඉන්පසු උණ ගැනෙන සතාට පානයට නිවා ගත් උණු වතුර මෙන්ම බෙහෙත්ද නියම කරයි. සතියක් පමණ යන තෙක් ගවයා රෝගීය.


කරත්ත හා තිරික්කල බඳින ගොනුන් තාර පාරේ යන විට ලිස්සායෑම වැළැක්වීමට ඔවුන්ගේ පාද වල ලාඩං (යකඩ පතුරු) කුරය විද ඇණ අල්ලා සවිකරයි.


ගව හිංසනය කරමින් ජීවත් වූ ඔහු ගවයින් රෝගී වූ පසු බෙහෙත් කිරීම ද සිදුකරයි. බෙහෙත් අත්දුටුය. ප්‍රත්‍යක්ෂය. අද මෙන් පශු වෛද්‍යවරුන් බහුලව නොමැති එද‌ා ප්‍රතිකාර ලබා ගැනීමට ඔහු ළඟට එන ගව හිමියෝ බොහෝය.


මේ කිසිදු කාර්යකදී මුදල් නොගැනීම විශේෂත්වයකි. ඒ සඳහා ගව හිමියෝ හාල් පොල්, කිරි, එළවළු ආදිය රැගෙන යාමට ලබා දේ. ඔහුට මුදල් දෙන්නෙත් නැත. ඔහු ගන්නෙත් නැත. සමහරුන් බඩුමුට්ටු ගෙදරට ගෙන ගොස් දමයි.


දෙන බඩු භාණ්ඩ දරු පවුල පෝෂණය කිරීමට ප්‍රමාණවත්ය. ඒ ඔහුගේ සරල ජීවිතය නිසාත් කිසිදු අපචාරයක​ නොයෙ​ෙදන නිසාත්ය.


මෙලෙස සත්ව හිංසනයෙන් ජීවත් වූ ඔහුට හදිසියේ බඩේ දැවිල්ලක් ඇති විය. දවසේ නිද‌ාගන්නා කෙටි කාලය තුළ හැරෙන්නට අනෙක් සෑම අවස්ථාවකම බඩේ දැවිල්ලෙන් කෑ ගසයි.


නිවැසියන් ඔහුව බටහිර වෛද්‍යවරුන් වෙත ගෙන ගියත් ඔවුන් කියන්නේ ලෙඩක් නොමැති බවය. බටහිර පර්‌යේෂණවලින් ද ලෙඩක් නැති බව හෙළි විය. පසුව දේශීය වෙදකම ද වසර කීපයක් කළේය. ඉන්ද සුව නොවීය. කෑම ද අරුචිය. බත් ව්‍යංජන හා වෙනත් දෑ ශරීරය ප්‍රතික්ෂේප කරයි. කෑ විගස වමනය කරයි. බඩ යයි.


දිනක් ඔහු මී කිරි කෑවේය. නමුත් එය ක්ෂණිකව පිට නොකළේය. ඉන්පසු දිගටම කෑවේ මී කිරිය. දැවිල්ලට තැඹිලි වතුර ද ඉඳ හිට බීවේය. මෙලෙස මීකිරි පමණක් ආහාරයට ගෙන වසර කීපයක් ජීවත් විය.


පසුව ගත ගිලන්ව ඇඳටම වැටිණ. ඔහු කළ සත්ව හිංසාව මතක් වී කෑගසන්නට විය. ඒ ගැන කියවන්නට විය. නින්ද ද නොයයි. බඩ දැවිල්ලේ අඩුවක් ද නැත. කළ පව් විපාක දී මෙලොව අපා දුක් විඳිමින් කල් ගෙවීය. දිනක් නිවැසියන් කාමරය වෙත යන විට ඔහු මිය ගොස්ය.

 



සාලියපුර, පානියන්කඩවල,

​ෙරාබට් මුතුනායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.

දඩයමින් දිවි ගෙවූ දෙසොහොයුරෝ


සතුන් දඩයම් කරමින් සිය ජීවනෝපාය සරිකර ගනිමින් ජීවත් වූ අයිය මලෝ දෙදෙනෙක් රජරට ප්‍රදේශයේ පිටිසරබද පළාතක ජීවත් වූහ.


හරි හැටි අධ්‍යාපනයක් නොළත් මොවුන්ගේ ජීවිත වනපෙත්වලටම සීමා වී තිබිණ.


දිවා කාලය වන වදුලු තුළ සැරිසරමින් වන සතුන් ගැවසෙන ස්ථාන හා සතුන් යන එන මාවත් සොයා සන්ධ්‍යා සමය එළැඹීමෙන් පසු උගුල් ඇටවීම, මදු ගැසීම වැනි ක්‍රියා කරමින් සතුන් මරා පසුදින මස් පිණිස අලෙවි කරනු ලබයි.


කල් යත්ම දඩමස් සඳහා හොඳ ඉල්ලුමක් වීම නිසා තුවක්කු බට දෙකක් මිලයට ගත් මොවුන් තම දින චරියාව පෙරටත් වඩා පහසුවෙන් කරගෙන යෑමට පෙළඹිණහ.


ඕනෑම අවස්ථාවක මොවුන් ළඟ දඩමස් මෙන්ම වියළි දඩ මස් ද තිබූ අතර ගමේ කවුරුත් නැති තැන මස්වැද්ද‌ා යැයි කීමට තරම් මොවුන්ගේ නම් ප්‍රසිද්ධ විය.


දිනක් මෙම සොයුරන් දෙදෙනා සතුන් එන මං අහුරා තුවක්කු බැඳ මරු වැල් ඇදීම සඳහා සවස් යාමයේ වනගත වූහ.


සුළු මොහොතකින් වනය දෙදරා යන හඬින් වෙඩිල්ලක් පුපුරා යන හඬ ඇසින.


ඒ සමගම ආධාර ඉල්ලා යමෙකු කෑගසන හඬ වන වදුලු පීරා ගම්මානය දෙසට ඇසිණ.


මෙම දෙසොහොයුරන් වනයේ අඩිපාරක් දිගේ රිංගා ගෙන ගිය අතර වෙන යම් දඩයක්කරුවෙකු විසින් අටවා තබන ලද තුවක්කුවක මරුවැල මොවුන්ට පෑගී ඇත.


වැඩිමහල් සොයුරාගේ කලවා පෙදෙසටත් බාලයාගේ හිසටත් ඊයම් බරු ඇතුළු වී තිබිණ.


සිද්ධිය ගම පුරා සැලවීමත් සමග රැස්වූ ගම්වාසීහු තුවාලකරුවන් අනුරාධපුර රෝහල කරා ගෙන යාමට ක්‍රියා කළහ.


​ෙරා්හලේ වෛද්‍යවරුන් කොපමණ උත්සාහ කළත් වැඩිමහල් සොයුරා මාස දෙකක් පමණ කාලයක් නේක වධ විඳිමින් රෝහලේ ඇඳමත මරුවා සමග සටන් කරමින් සිට මරණය වැලඳ ගත්තේය.


බාල සොහොයුරා ද එම රෝහලේම හිසට වෙඩි වැදීමෙන් ලත් තුවාල හේතුවෙන් නේක වධ විඳිමින් දිගු කාලයක් ප්‍රතිකාර ලැබීය.


අවසානයේ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව සෑම මසකට වරක් වෛද්‍ය සායනයන්ට පෙනී සිටීමේ හා පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් සමග ඥාතීන්ට රෝගියා බාර දෙන ලදී.


අද ද ඔහු කුරුණෑගල ප්‍රදේශයේ ඥා‌ාති නිවසක සිහිවිකල්ලෙන් යුතුව වෙඩි වැදුණු හිස පැත්තකට ඇළකර ගනිමින් ජීවත්වන අයුරු දැකගත හැකිය.



කුරුඳුවත්ත, අතුරුගිරිය,ඩී.එල්.ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. සමරසිංහ මහතා ලියා එවූ කතාවකි.


බොරු බේගල් කීම සහ නොයෙක් පාපයන් කිරීමේ පල විපාක


දකණු පළාතේ ඈත සුන්දර ගමක විසූ ධනපාලගේ ජීවනෝපාය ගොවිතැන වුව ද කල්යත්ම ඔහු නොයෙක් පාපකර්ම ක්‍රියාවලට ද බෙහෙවින් සම්බන්ධ විය. ඔහු ගමේ ඇති ඇළට වෙලට ගොස් මාළු ඇල්ලූ අතර සතියකට වතාවක්වත් අහිංසක වන සතෙක් දෙන්නෙක් විවිධ උගුල් අටවමින් දඩයම් කිරීම ද කළේය. එම කාර්යයන් සඳහා ඔහුට උදව්වට යහළුවන් දෙපලක් ද වූ හෙයින් ඔවුන් ද සමග එක්ව තලගොයි, ඉත්තෑවන්, මීමින්නන්, ඉබ්බන් වැනි සතුන් ද සතුටු සිතින් මරා ගත්හ. මෙමගින් මුදල් ද ඉපයූහ. ඔවුන්ට පානය සඳහා මෙන්ම විකුණා මුදල් ඉපයීමටත් හොර මත්පැන් පෙරීම ද සිදුකළහ. එද‌ා අද මෙන් එවැනි කටයුතු සඳහා තදින් නීතිය ද ක්‍රියාත්මක නොවුණි.


ධනපාල හැම කාර්යයකටම වඩා ඉතා දක්ෂයෙක් වූයේ කේලාම් කීම සහ බොරු බේගල් ඇදබෑම කර පවුල් අභ්‍යන්තරයේ සහ ගම්මුන් අතර විවිධ ඝට්ඨන ඇති කිරීමටය. ඒ තුළින් ඔහු ලැබූ ආස්වාදය ද ඉතා ඉහළය. ඔහුගේ එම පව්කාර ප්‍රයෝග වැඩ කවුරුත් දැන සිටිය ද කාටත් සිතිය නොහැකි අයුරින් අවස්ථානෝචිතව විවිධ අලුත් ප්‍රයෝගයන් පාවිච්චි කිරීම නිසා කොයි කවුරුත් ඔහුට මුළා වී ඔහු කියන කරන දේ පිළිගත්හ. එහි ප්‍රතිඵලය වූයේ දිනෙන් දිනම ඒ ගමේ පවුල් තුළ සහ ගම්මුන් අතර අසමගිය රජවීමයි. දුම්පානය කිරීම සහ හුණු දුම්කොළ සහිතව නිතර බුලත්විට කෑමට ද පුරුදුව සිටි ධනපාලගේ මුඛයේ පසු කාලයේදී යම් ගැටිත්තක් වැනි තුවාලයක් සෑදී එය තව තවත් පැතිරී ඔහුට වේදනා දෙන්නට ද විය.


ඒ නිසා ඔහු විවිධ පරීක්ෂණයන්ට භාජනය වෙමින් නොයෙක් ප්‍රතිකාර ලැබුව ද ඉන් සුවයක් නොවීය. පසුව වෛද්‍යවරුන් එය පිළිකාවක් බව පවසා මහරගම පිළිකා රෝහලට ඔහු යොමුකරන ලදී. එහිදී ද සිදුකළ විවිධ ප්‍රතිකාර සහ ශල්‍යකර්මවලින් පලක් නොවීය. එය තව තවත් ව්‍යාප්ත වී ආහාර පාන ගැනීම, කතා කිරීම ආදියට ද නොහැකිව අධික වේදනාවෙන් ඔහු කෑගසන්නට ද විය. ඔහුගේ ජීවිතයේ අවසන් භාගයේදී ඔහුට හමුවන සෑම දෙනා වෙතම ඉතා අපහසුවෙන් කතා කරමින් හා හඬා වැළපෙමින් ඔහුම කියා සිටියේ එද‌ා ඔහු කියපු බොරු බේගල් කතා මෙන්ම කළ​ නොයෙක් පව්කාර වැඩ නිසා මෙලොව දීම එය ඔහුට පළ දුන් බවයි. ඒ නිසා එවැනි කිසිදු පාපයක් කිසි දිනක නොකරන ලෙසට ද ඔහු සැමගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමින් අවසානයේ ජීවිතයෙන් ද සමුගත්හ.

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමු කරන්න.

 

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්