දුම්බර වන පෙත

 

 

ලෝකයේ බිහි වීම සම්බන්ධයෙන් බොහෝ මතවාද ඉදිරිපත් කරන විද්වතුන් විසින් යොදා ගන්නා ලද උපමා උපමේයන් පිළිබඳව සොයා බලද්දී අපට හමු වන සාක්ෂි බොහෝය.   


මිනිසා විසින් ආහාර සොයා යෑමේ කාල පරිච්ඡේදය පිළිබඳව විවසීමේදී ඔවුන් මුහුණදුන් ගැටලු හා ජනාවාස බිහි වීම ආදී කරුණු අපට ඉතිහාසය තුළින් සොයා ගත හැකිය.        


ශිෂ්ටාචාරයක බිහි වීම, විකාශය වීම ආදී කරුණු විමසද්දී ලංකාවේ මුල් ජනාවාස හා ඒ ආශ්‍රිත මානව ක්‍රියාකාකම් පිළිබඳ විමසීම ලාංකිකයන් ලෙස අපට වැදගත් වන්නේය.   


අනාදිමත් කාලයකට නෑකම් කියන අපේ හෙළ ඉතිහාසයේ අක්මුල් සොයා යෑම එතරම් පහසු කාර්යයක් ​නොවේ. එනමුත් වසර පන් දහසකට වැඩි ඉතිහාසයකට නෑකම් කියන පිරිසක් යැයි හඳුන්වා ගත් ලංකාවේ අපූරු මානව කොට්ඨාසයක් සිය ජීවිතයේ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් තුනී කර ගන්නට යොදා ගත් මෙවලම් පිළිබඳව අපට හමු වූ සාක්ෂි අපමණය.   


ඒවායෙන් බිඳක් ඉරිදා ලංකාදීප පාඨක ඔබ වෙනුවෙන් මෙසේ දිග හැරෙන්නේ හෙළයින්ගේ අප්‍රකට විස්කම් පිළිබඳ තොරතුරු ඔබ හා බෙදා ගන්නටය.   
අපේ රටට යාබදව පිහිටි ඉන්දියාවෙන් මොහෙන්දජාරෝ හා හරප්පා ශිෂ්ඨාචාර වලදී ජනාවාස මෙන්ම විවිධ ඇදහිලි ගැන තොරතුරු අපට හමු වෙයි.   
ඒ තුළ තාරා දෙවඟන ඇදහීම, මෙන්ම ගහ කොළ වන්දනාව මෙන්ම ඉර හඳ වන්දනාව දක්වා අචේතනික හා සචේතනික වස්තූන් කෙරෙහි මිනිසාගේ කැමැත්ත විග්‍රහ වෙයි. එනමුත් මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ගම්මාන ගණනාවක පවතින විවිධ ඇදහිලි ක්‍රම හා විශ්වාසයන් ලොමු ඩැහැගැන්වන සුලුය.   
ජීවිතයේ විවිධ බාධාවන් පිළිබඳ කවියෙන් පිළිතුරු දෙන හා කවිය අවියක් කර ගත් මේ මිනිසුන් පිළිබඳ අපට බොහෝ කාරණා ඉදිරිපත් කළ හැකිය.   
බණ්ඩාර දෙවියන් හෙවත් රාවණා රජු මූලික කර ගත් ජීවන රටාවකට හුරුවූ නාරංගමුව, රණමුරේ, පල්ලේසිය, උඩසිය, ඇටැංවල, පොත්තෙටවල ආදී ගම්මාන වල ජීවත් වන පිරිස් අදටත් හමු වෙයි.   
සැතපුම් ගණන් පයින් යන ඕනෑම බර වැඩක් පහසුවෙන් සිදු කරන මේ පිරිස් ඉතා සරළව ජීවත් වෙති.   


වත්මන් පරපුරේ සාමාජිකයින් වන ඔවුන්ගේ දුවා දරුවන් මේ සුන්දර ගම් පියසෙන් ක්‍රමිකව ඉවත් වෙද්දී මහලු පිරිස් මෙන්ම ඇතැම් තරුණ කොටස් ද මේ සොඳුරු මිනිසුන්ට ආදරය කරති.   


ඒ අන් කිසිවක් නිසා නොව තමන්ට දායාද වූ තමන් සතු වූ බොහෝ දෑ සම්බන්ධයෙන් ඔවුන් තුළ පවතින කැමැත්ත නිසාවෙනි.

   
හාත්පසින් වට වූ ගිරි ශිඛර, විසල් වන පියස, ගම මැද වෙල් යාය, ගලන දොළ දිය පාර, ගෙයින් ගෙය අපූර්ව රටාවකට පිහිටුවා ඇති ගල් වැට ආදිය ඇසුරෙහි වැඩුණු රසික ගැමි ජනයාගේ මුවඟින් නිකුත් වන මෙම ජන කවි ප්‍රධාන වශයෙන් කොටස් පහකට පමණ බෙදා වෙන් කළ හැකිය.   


ලකේගල පිළිබඳ වර්ණනා ඇතුළත් කවි.   
පුරා වෘත්ති පිළිබඳ කවි   
ස්වභාව ධර්මය පිළිබඳ කියැවෙන කවි   
එදිනෙදා ජීවිතයේ දුෂ්කරතා පිළිබඳ කියැවෙන කවි   
ජීවිතයේ මුහුණ දුන් විවිධ සිද්ධීන් අලලා සැකසුණු කවි ඒ අතර වෙයි.   
එපිට කොනට කළු පානා කැලේයා   
මෙපිට කොනට ලග්ගල මී මුරේයා   
දෙසිය දෙකක් උස ඇති ගෝමරේයා   
සොඳයි පරකාස ලක මීමුරේයා   
උඩ මොරටුව තුන් හිස් ගල ළඟ සැදුණා   
කටු කිතුල ද කිණිහිරි ගල වට සැදුණා   
බම්බූ ගලද රයිතලාව ළඟ සැදුණා   
මෙගල් තුනට නායක ගල ලක සැදුණා   
උතුරින් ලකේගල දකුණින් යහන් ගල   
අවරින් කොරටුවේ කඳු වැටිය සුකො මල   
නැගෙන හිරින් මොර ගහ වැටුණ තැන ඇළ   
මෙලෙසින් අසන් මායිම් මෙගමට විපුල 

 
ලග්ගල ජන ජීවිතයේ අනේක විධ දුක්ඛ දෝමස්සයන්ට කදිම විසඳුමක් ලෙස ජන කවිය ප්‍රචලිත වී ඇති අතර එ්වායේ නිර්මාපකයෙකු ස්ථිර වශයෙන් දක්නට නොලැබෙයි.   


දුකේ බැරිය ඇස ඇරලා බලන්නට   
සැකේ බැරිය පද කරලා කියන්නට   
බයේ බැරිය කළු ගල මත නගින්නට   
ලකේ ගල සොඳයි දාගැබ බඳින්නට   


රාවණ පුවතට පණ පෙවෙන විවිධ ජන කවි ලග්ගල පරිසරයේ අදටත් අසන්නට ලැබෙයි. ඒ අතර රාවණා රජුගේ වික්‍රමයන් මෙන්ම ගාම්භීරත්වය මොනවට කියා පාන මේ කවිය ඊට කදිම උදාහරණයකි.   


උයන්ගමුව පෙර සිට වැව් බන්දානා   
රාම සැරෙන් එන වෙඩි සැර අසමානා   
රාවණා යුදට වෙඩිසැර බිම්බානා   
ඉල් මස අඳුර මීමුරෙ ලක දුම්බානා   
සූරිය උදාවන විට ලක ගල මුදුනේ   
බැලුවම මැණික් නිවසේ රුව වට දිළුණේ   
බින්තැනි පස් පළාතට මේ ගල පෙනුණේ   
සෑම සියලු දෙවි නිවහන ලෙස යෙදුණේ   


අධික ලෙස වෙහෙසී ස්වභාවිකව ගලනා දිය දෝතකින් සිය ගත සන්තර්පනය කරන්නා ලග්ගල ගැමියා සිය මුව විවර කරන්නේ ලයාන්විතවය.   

 

ලග්ගල ඇටැන්වල වගාබිම්

 


හිතේ අැඳුන බොහෝ දේ කවියට හරහා ගනිමින් එයට එළිසමය, එළිවැට එක් කිරීමට ද උපන් හපන්කම් ඇත්තවුන් වන ඔවුහු අධ්‍යාපනය නමැති කැඩපතෙන් බොහෝ විට මුහුණ නොබැලුවෝ වෙති.   


එල්ල පාඩූ නැති මීමුරේ ගමට වෙලා   
බෙල්ල කැඩෙයි ගල් කඩ හෙළෙ වී ඇදලා   
ගොල්ල සමඟ නෑදෑයන් එකතු වෙලා   
යන්ට යමවූ මීමුරේ ගම හැර දමලා   
රොටියක් උයාපන් බඩ ගින්නට කන්ට   
රූපිටි නොකර ඉව්වොත් පුළුවනි කන්ට   
මානක් කියාපන් මේකෙන් ගැල වෙන්ට   
පාර කියාපන් ගල මුදුනට යන්ට   


තමන්ට පැමිණෙන ඕනෑම දුක්ඛ දෝමනස්සයක් එකෙණෙහි විසඳා දෙන මෙන්ම තුන්කල් හි ජනී ජනයා අාරක්ෂා කරනා රාවණා නිරිඳුන් සම්බන්ධයෙන් ලග්ගල ගැමියා තුළ ඇත්තේ නිර්ව්‍යාජ භක්තියකි.   


එනිසාම කට වරද්දා ගැනීම පසෙක තබා ලද ඕනෑම ඉසිබුවකදී රාවන දෙවියන් සිහිකිරීම අදටත් සිදුවන්නකි.   


කිකිළිගේ රූපයක් ඇත කිකිළිය මානේ   
රාවණ සිරුර ඇත මහකුඩු ගල මුදුණේ   
ඇටි කුකුළෙකුගේ රුව ඇටිපොල කඳු මුදුනේ   
ඊතල ලකුණ ඇත ලග්ගල මුදුනේ   


සොබාවික පරිසරයේ පහස ලබමින් අදටත් කල් ගෙවන මේ ලග්ගල අපූරු මිනිසුන් ජීවත් වන පරිසරය පිළිබඳ හුදු වචනයකුදු නොකියා මේ අවසන් කිරීම එක්තරා ගුණමකු කමක් සේ හැඟී යයි.   


එනිසාම නකල්ස් ලෙස හැඳින්වෙන මේ සුන්දර පරිසර පද්ධතියටම ආවේණික සත්ව හා ශාක පිළිබඳව ඔබ විසින් දැනගත යුතු කරුණු රැසක් පවතියි.   
 මේ ආවේනික ශාක හා සත්ව කොට්ඨාස ලෝකයේ කිසිදු ප්‍රදේශයකින් හමුනොවන බොහෝ දෑ තුළින් පිරී පවතියි.   
ඒ අතර නකල්ස් පරිසර පද්ධතියෙන් පමණක් හමුවණ පතන් අල ශාකයට (Brachystelma lankana) හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි.   
මේ අතර හමුවන දුම්බර පෙති අං කටුස්සා (Ceratophora tenn) දැක ගත හැකි වන්නේ දුම්බර වනාන්තර පෙදෙස් වලින් පමණි.  


දුර්ලභ වූ ඖෂධීය ශාක අතර වන රාජ (Anoectochilus setaceus) බිං කොහොඹ (Munronia pinnata) බෝඹු (Symplocos cochinchinensis) මිල්ල (Vitex altissima) මී (Madhuca longifolia) කුඩා හැඩයා (Huperzia squarrosa) මහා හැඩයා (Lycopodiumphlegmaria) හාතවාරිය (Asparagus racemosus) නාපිරිත්ත (Hibiscus ​furcatus) නෙල්ලි (Phyllanthus emblica)
දිවිය පුරා රැස්කරන්නට යමක් නොමැති බව වටහාගත් ලග්ගල ගැමියා තුළ රඳවාගත හැකි බඩු භාහිරාදිය පිළිබඳ ද ඇත්තේ ඉතා සියුම් ක්‍රියාකාරකම්ය.   
සිය ප්‍රධාන ජීවනෝපාය වශයෙන් අදහන ලද ගොවිතැනට අවශ්‍ය උපකරණ මෙන්ම මුළුතැන්ගෙයට අවශ්‍ය කලමනා (උපකරණ) පමණක් උපයා සපයා ගැනීමට අතීත ලග්ගල වැසියෝ පුරුදු වී සිටියහ.   

 


කෙසේ නමුත් නිවසට පැමිණෙන ඕනෑම කෙනෙකුට තේ කහට එකක් හෝ නොදී යවන්නට ලග්ගල ගැමියා කැමති නැත.   
ඉඩ ලැබෙන ඕනෑම අවස්ථාවක කවියට මුල් තැන දෙමින් ඒ තුළ නිදහසේ ජීවත් වන්නට පෙරුම් පිරූ බොහෝ ගැමියන් මේ ලග්ගලින් නික්ම ගොස් හමාරය.   


උඩ පතනේ සිටලා මම බලන කොට   
බැලුම වැටුණේ අර සිරිලක ගල මැදට   
රන් කෙඳි ලෙසට එන්නයි බොරදිය හොඳට   
මද සුළඟින් වැදුණයි කළුනික ගසට   
අනේ අපේ රුව පිටවල පතන   
සුද්දෝ ඇවිත් ඒපතනට සැපත්වුණ   
අතු ගානට පැල් තනලා මුර කෙරුණ   
කඩ මුදුනට යන්නට පාරක් සැදුණ   


දිවිය පුරා බොහෝ පිං රැස් කර ඇතෙමෙක් නිරාමිස සොයති. සොබාදහම මාතාවගේ සැබෑ දාරක ප්‍රේමය වටහාගත් ලග්ගල ගැමියෝ ඇයට ආශිර්වාද කරති.   
ඇය වටා ජීවත් වෙති. ගසක පොත්තක් ගලවා ගන්නට පෙර ඔවුහු සොබාදම් මාතාවට ඒ පිළිබඳ කියති.   


කන්නලව් කරති. කෘතගුණ දක්වති. නිර්ව්‍යාජ ගැමිත්වය පිළිබඳ හා සැබෑ මානව හිතවාදී වන ගැමියා පිළිබඳ සිය පන්හිද අවදිකළ විමලරත්න කුමාරගමයන්ගේ එක් කවියකින් මේ ලිපිය අවසන් කරමි.   


සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම   
කෙම්මුර දවස් වල පහනින් සැරසී ම   
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම   
මා නොකෙරුවත් නොකළෙමි එය ගැරහී ම   
සාගත වසංගත හා එන නියඟ වලින්   
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්   
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්   
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්   

 

 

විශේෂ ස්තූතිය.   


(දුම්බර වනපෙ​තේ අස්සක් මුල්ලක් නෑර මා කැටුව යමින් සොබාදම් මාතාවගේ අපූර්වත්වය මට කියා දෙන්නට වෙහෙසෙන දුම්බර මිතුරෝ පරිසර සංවිධාන​යේ සභාපති නිමල් ආනන්ද කනහැර ආරච්චි මහතාට)

 

 

පිටවල පතනේ පිහිටි දුම්බර තොරතුරු මධ්‍යස්ථානයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇති ලග්ගල ගැමියා භාවිතයට ගත් මෙවලම්.

 

 

පිටවල පතනේ පිහිටි දුම්බර තොරතුරු මධ්‍යස්ථානයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇති ලග්ගල ගැමියා භාවිතයට ගත් මෙවලම්.