දියේ ගිලුණ වැඩිහිටියෙකු බේරාගත් හාමුදුරුවෝ


 

තිලොවග තිලෝගුරු අමා මෑණී සමුබුදු පියාණන්ගේ තෙමඟුල සමරණ 2561 වැනි වෙසක් උළෙලට මුළු රට පමණක් නොව බොදු බැතියන් වෙසෙන ලෝකයේ සියලු රටවල්  සූදානම් වෙමින් සිටියේය.


සුදෝසුදු වතින් සැරසුණු හුරුබුහුටි දඟකාර වියේ පසුවන දරුවන් තුන්සීයක් දෙනා අනුරපුර රුවන්වැලි මහ සෑය වෙත ගමන් කළේ සන්සුන් ගමනකිනි. එය එකම පෙරහරකි.

ඔවුන්ගේ දෙමාපියන් ද  පවුල්වල සාමාජිකයන් ද ඔවුන් සමග ගමන් කළේ හැඟුම්බරවය.


වැලිමඩ හෙවණකුඹුර පදිංචි මාරසිංහ මුදියන්සේලාගේ කරුණාපාල (41) ගොවි මහතා, ඔහුගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයෝද මෙම පෙරහරට එක්ව සිටියහ. සසුන්ගත වීමට පැමිණි කුල දරුවන් තුන්සිය දෙනා අතර කරුණාපාල මහතාගේ 9 හැවිරිදි පුතා වන ඉමේෂ් ද  විය.


රුවන්වැලි මහ සෑ බිම එකම සාධුකාරයකින්  දෝංකාර දුන්නේය.


මේ කුඩා දරුපැටව් කහපාට චීවරය  පොරවන්නට කලින්  ජීවිතයේ අවසන් වරට දෙමාපියන්ට වැඳ නමස්කාර කරද්දී  දෙමාපියන්ගේ නෙතින් හැළුණ කඳුළු පුතුන්ගේ මුඩුහිස මතට වැටී ගලාගොස් චූටි දෑස් දෙසට යන විටත් ඒ පුංචි දරුවෝ කදුළු සලමින් සිටියහ.


කරුණාපාල මහතා සිය පුතු දෙස බැලුවේ නැත. ඔහු දෑස පියාගෙනම පුතුගේ දඟකාර අතීතය මෙනෙහි කළේය.


ටික මොහොතකට පසු කසාවත පොරවන ලද කුඩා සාමණේර හිමිවරු වූ පුතුන් අභියස දණින් වැටී දෙමාපිය වැඩිහිටියෝ වන්දනා මාන කළහ. 


කෙසේ නමුත් ගිහියෙකුට බුදු සසුන වෙනුවෙන් කළහැකි ලොකුම  පරිත්‍යාගය  කළ  කරුණාපාල මහතා බිරිඳ සහ පවුලේ අය පමණක් නොව සියළු දෙනා රුවැන්වැලි සෑ පුදබිමෙන්  සමුගත්තේ සිත සන්සුන් කරගනිමින් හා  කරගත් මහා පුණ්‍යකර්මය ගැන සිතමිනි.


කරුණාපාල මහතාගේ පුතා පමණක් නොව, බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, බෝගහකුඹුර, බොරලන්ද යන ප්‍රදේශවලින් කුල දරුවන් 6 දෙනෙක් සසුන්ගත කිරීම සඳහා කැටුව යමින් මෙම ගමන සංවිධානය කළේ බදුල්ල, සොරණාතොට ධර්මාලංකාර පිරිවෙනේ දෙහිවින්නේ ගුණානන්ද හිමියන්ය. 


විමලසාර හිමියන්ටද මෙම ගමන සඳහා ආරාධනා කරන ලද්දේ ගුණානන්ද හිමියන්ය.


හාලිඇල, උඩකොහුවිල ශ්‍රී බෝධිරාජාරාමයේ විහාරාධිකාරී වෙහෙරයායේ විමලසාර හිමියෝ එම ඇරයුම පිළිගෙන මෙම ගමනට එක්ව සිටියේ හද පිරි සතුටිනි.


සසුන්ගත කළ කුල දරුවන් කැටුව ගිය දෙමාපියන්,  දායක සභාවේ අය ඇතුළු 36 දෙනෙක් ද  භික්ෂුන් වහන්සේ 12 නමක් ද  ගිය වාහනයෙන්ම අනුරපුර රුවන්වැලි සෑ පුදබිමෙන් සමුගෙන නිවෙස් බලා එද්දී තලාව ප්‍රදේශයේ නතර වූහ.


ඒ තලාව ප්‍රදේශයේ පදිංචි හිතවත් දායක මහතෙකුගෙන් තේ පැන් සංග්‍රහයක් සඳහා ලැබුණ ආරාධනය පිළිගනිමිනි.


ගිනිගත්තා මෙන් දැවෙන උණුසුමක් තිබූ  පරිසරයේ  දක්නට ලැබුණ ජයගඟ කාගෙත් විශේෂ අවධානයට යොමු විය.


“අපි නාමු” පිරිසක් යෝජනා කළහ. ඔවුහූ දිය නෑමට දියට බැස්සෝය. කරුණාපාල මහතා දියට බැස්සේ ඊට ටිකක් එපිටිනි.
ඉන්පසු සිදුවූයේ කුමක්ද? 


සැඩ දියපහරට හසුව දිය යට යමින්  උඩ එමින්  ජීවියත් මරණයත් අතර සටනක යෙදෙන තරුණාපාල මහතා දුටු නඬේ අය කෑ ගැසූහ.


විමලසාර හිමියෝ එසැණින් ඒ දෙස බලද්දි මේ බිහිසුණු දසුන දුටුවේය. උන් වහන්සේ දෙවරක් නොසිතා දිවගොස්  චීවරය පිටින්ම ගඟට පැන්නහ.


චිවරයද සැඩ දියපහරට හසුව පාවී ගියේය. අඳනය පිටින් සැඩ දිය පහර හා පීනාගෙන ගිය උන් වහන්සේ කරුණාපාල මහතා අල්ලා ගත්හ.

කරුණාපාල මහතාගේ පවුලේ අය පැවිදි වූ පොඩි හාමුදුරුවෝ සමග

 


ඔහුගේ අතින් අල්ලාගෙන තම පිට මත තබාගෙන මෙගොඩට පීනද්දි නඬේ අය මේ ත්‍රාසජනක දසුනින් බියට පත්ව බලා සිටියහ.
කරුණාපාල මහතා ගොඩට ගෙන එනවිටත් දිය පෙවී තිබිණ. හාමුරුවෝ ඔහුට ප්‍රථමාධාර දුන්හ. ටික වේලාවකින්, පෙවුන දිය එළියට පැමිණ කරුණාපාල මහතා සුවපත්විය ඔහු විමලසාර හිමියන්ගේ දෙපා ළඟ වැඳවැටෙද්දි විමලසාර හිමියන්ටත් අතීතය මතක්විය.


වැල්ලවාය, වෙහෙරයාය ගම්මානයේ ගොවි පියෙකුට දාව උපත ලැබූ  විමලසාර හිමියෝ අද පසුවන්නේ 20 වැනි වියේය. අවුරුදු 10 වන විට තමන් ඉගෙනුම ලැබූ වෙහෙරයාය විදුහලේ යාළුවන් සමග කිරිඳි ඔයට බැස පීනා යමින් විනෝද වූ හැටි. නිශ්ශංක මුදියන්සේලාගේ විරාජ් නම් වූ තමා පාසල් දිවියටද සමුදී ළමා වියේදීම කසාවත පොරවා වෙහෙරයායේ විමලසාර නම ලැබූ හැටි උන් වහන්සේට සිහිවිය.


ඒ සියලු මතකයන් අබිබවා මාතුපෝෂක ජාතක කතාව සිහිපත්විය.


“අප මහා බෝසතාණෝ එක්තරා ආත්මයක  ඉපදී  මෑණියන් සහ තවත් පිරිසක් සමගම රුවල් නැවක නැගී සයුරකින් යද්දි  නැව සුළි කුණාටුවකට හසුව විනාශවිය.


එහි සිටි අය නැවේ සුන්බුන් අල්ලාගෙන පීනා ජීවිතය බේරාගැනීමට යත්න දරද්දී  අප මහ බෝසතාණෝ තම මෑණියන් තම  පිටමත තබාගෙන ලී කැබැල්ලක් අල්ලාගෙන වෙරළ දක්වා පීනාගොස් මෑණියන්ගේ ජීවිතය බේරාගත්හ. තම බෝසත් පුතාගේ මේ කරුණාබර සත් වීර ක්‍රියාව නිසා පුතු බුදුවේවායි මව පාරමිතා පුරා විවරණ දුන්නාය.


විමලසාර හිමියෝ එම ජාතක කතාව සිහිපත් කරමින්  තමාද ජීවිතයක් බේරාගත් නිසා මාහැඟි  පිනක් අත්වූ බව සිතා  නිරාමිස සුවයෙන් විනාඩි ගණනාවක් ජය ගඟ දෙස බලාගෙන දෑස පියාගෙන බවුන් වැඩුවහ.


සාධු නාද නගමින් නඬේ ඇත්තෝ විමලසාර හිමියන්ටද විවරණ පැතූහ.

සටහන / ඡායාරූප
බදුල්ලේ පාලිත ආරියවංශ