ත්‍රස්තවාදින් ගහද්දී සිංහල නිලධාරින් 20කගේ දිවි බේරාගත් දෙමළ සාජන්ට් මහත්තයා


චාවකච්චේරි පොලිසියට ටෙලෝ සංවිධානයේ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් කඩා පැන හතර අතේ වෙඩි තියමින් සෙව්වේ පොලිසියේ රාජකාරී කරන සිංහල පොලිස් නිලධාරීන් සියලු දෙනා ඝාතනය කර අවි ආයුධද පැහැරගෙන යාමටය.  


සිංහල පොලිස් නිලධාරීන් තිදෙනෙක් ඒ වෙලාවේ පොලිසියේ රාත්‍රී රාජකාරියේ යෙදී සිටි අතර ඔවුන් තිදෙනා ඒ වන විටත් ටෙලෝ කල්ලියේ ගොදුරු බවට පත් වී හමාරය.  


පොලිස් නිලධාරීන් තිදෙනා ඝාතනය කර ​ෙටලෝ ත්‍රස්තයන් ඊළඟට සොයන්නට පටන්ගත්තේ පොලිසියේ රාජකාරී කරන සෙසු නිලධාරීන් ඉන්නේ කොහේද කියාය.   


පොලිසිය හා පොලිස් බැරැක්ක පීරා සෙව්වත් වෙන එකම පොලිස් නිලධාරියෙක්වත් සොයා ගැනීමට නොහැකිවීම නිසා පොලිසියේ තිබුණ අතට අසුවුණු අවිද පැහැරගෙන ටෙලෝ කල්ලිය පලාගියේ ආ කාරණය නියමාකාරයෙන් ඉටුකර ගැනීමට නොහැකිවය.  


පොලිසියේ එවුන් කොහොම පැන ගත්තාද? අපිව හිතා ගන්නවත් බැහැ. අපි එන බව පොලිසියේ සිංහල එවුන්ට කල්තියාම ඔත්තුවක් ගියාද? කියන ප්‍රශ්නවලට ටෙලෝ කල්ලියට පිළිතුරු සොයා ගැනීමට නොහැකිව තිබිණි.  


පොලිසියට ප්‍රහාරයක් එල්ල කර සිංහල පොලිස් නිලධාරීන් සියලු දෙනා ඝාතනය කර අවි ආයුධ පැහැරගෙන ඒමට අණ කර තිබුණේ ටෙලෝ කල්ලියේ නායකයාව සිටි සභාරත්නම්ය.   


මෙච්චර ප්ලෑන් කරලා ගිහින් උඹලාට වැඩේ හරියට කරන්න බැරිව ගියානේ? සිංහල පොලිසියේ එවුන් ටිකට කල්තියා ඔත්තුවක් ලැබෙන්න ඇති. අපි පොලිසියට ගියේ නිලධාරීන් ඩියුටි ඕෆ් වෙලා බැරැක්කවල නිද‌ාගෙන ඉන්න වෙලාවත් බලලානේ හිතාගන්න බැහැ ඒ පොලිස් නිලධාරීන් අපේ කට්ටියෙන් බේරිලා පැන ගත්තේ කොහොම ද කියා.  


සභාරත්නම් ඔහු යටතේ ඉන්නා අනෙක් ටෙලෝ නායකයන් සමග එද‌ා පවසා ඇත්තේ නුරුස්සන ගතියකිනි.  


සැබැවින්ම සිදුවී තිබුණේ චාවකච්චේරිය පොලිසියේ රාජකාරී කළ සිංහල පොලිස් නිලධාරින් 20 දෙනාම ඒ පොලිසියේම රාජකාරි කළ දමිළ පොලිස් නිලධාරියකු විසින් උපක්‍රම ශීලී ලෙස බේරා ගැනීමය.  

 

 

මේ දමිළ පොලිස් නිලධාරියා නොසිටින්නට සිංහල පොලිස් නිලධාරීන් 20 දෙනාටම අත්වන්නේ මරණය මිස අන් කිසිවක් නොවේ.  
තම ජීවිතය ගැන පමණක් නොව තමා මේ කරන්න යන වැඩේට ටෙලෝ කල්ලියේ අයට මාට්ටු වුණොත් මැරුම් කන්නට වෙන්නේ නිකම්ම නිකම් නොවේ, අනේකවිධ වධබන්ධනවලට ලක්වීමෙන් බව මේ දමිළ පොලිස් නිලධාරියා හොද හැටි දැන සිටියේය.  


ඔහු සිංහල පොලිස් නිලධාරීන් 20 දෙනාගේ ජීවිත බේරා ගැනීමට දෙවරක් නොසිතාම නොපැකිළ ඉදිරිපත් වු​ෙණ් තම ජීවිතය ගැන නොසිතාය.  


ජීවිතය පරදුවට තබා සිංහල පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට ඉදිරිපත් වූයේ බාලසිංහම් ක්‍රිෂ්ණපිල්ලේ සාජන් මහත්තයාය.  


බාලසිංහම් ක්‍රිෂ්ණපිල්ලේ සාජන් මහත්තයා පදිංචිව සිටින්නේ යාපනය අර්ධද්වීපයේ පේදුරුතුඩුව පුලෝලි මධ්‍යම ප්‍රදේශයේය.  


මේ වන විට සිය ජීවිතයේ 74 වැනි සැතපුම් කණුව පසුකරමින් සිටින බාලසිංහම් ක්‍රිෂ්ණපිල්ලේ සාජන් මහත්තයා මීට වසර 33 කට එහා සිදු වූ ඒ සිද්ධිය ගැන අදටද හොඳට මතකයේ රැඳී ඇත.  


වෙන මොනවා අමතක වුණත් මට මේ සිද්ධිය නම් ජීවිතය තියෙන තුරාවට අමතක වෙන්නේ නැහැ යැයි කියමින් සාජන් මහත්තයා අප හා කතා බහට මුල පිරුවේ අව්‍යාජ සිනාවක් දෙතොලට නගා ගනිමින්ය.  


මම උපන්නේ 1943 වසරේ. පොලිසියට බැඳුණේ 1962 වසරේ. එතකොට මගේ වයස අවුරුදු 20ක් විතර වෙනවා. පොලිස් කොස්තාපල් කෙනෙක් විදිහට පොලිසියට බැඳුණු මම පස්සේ පොලිස් සාජන් නිලයට උසස්වීමක් ලැබුවා. මගේ පොලිස් නිල අංකය 6891. මම කොළඹ කොටුව, වරාය පොලිසිය, වැල්ලවත්ත, මඩකළපුව හා ත්‍රීකුණාමලය වගේ තවත් ගොඩක් පොලිසිවල රාජකාරී කරලා චාවකච්චේරිය පොලිසියේ රාජකාරියට ආවා. ඒ 1984 වසරේ. එතකොට මම සැරයන් කෙනෙක්.  


ඔන්න ඒ වසරේ දවසක අලුයම එල්.ටී.ටී.ඊ. එක චාවකච්චේරිය පොලිසියට ප්‍රහාරයක් එල්ල කළා. ගේට්ටුවේ මුරට හිටිය පොලිස් කොස්තාපල් ඒ ප්‍රහාරයෙන් මිය ගියා. අවි අයුධ වගයකුත් අරගෙන ගිහින් තිබුණා. එල්.ටී.ටී.ඊ. එක රාත්තල් 75-100ක් විතර බර ලොකු බෝම්බයක්​ පොලිසිය ළඟ අටවා ඒ බෝම්බයේ ඉඳලා ඈතට සේවානුලක් ඇදලා ඒ සේවානුලේ කෙළවරට ගිනි තියා තිබෙනවා සේවානුලට ගිනි ඇවිළී බෝම්බය ළඟට ගින්දර ආපුවාම පුපුරා යන විදිහට තමා කොටි සෙට් කරලා තිබිලා තියෙන්නේ. නමුත් ඒ වේලාවේ වැස්සක් වැහැපු නිසා සේවානුලේ ගින්දර නිමිලා ගිය නිසා බෝම්බය පුපුරා ගිහින් තිබුණේ නැහැ. මේ බෝම්බය පුපුරා ගියා නම් මුළු පොලිසියම බිමට සමතලා වෙලා යනවා. එහෙම වුණාම පොලිසියේ හිටිය සේරම කට්ටිය මැරෙනවා. ඔය සිද්ධිය වෙච්ච දවසේ මම ඩියුටි ඕෆ් වෙලා ක්වාර්ටස් එකට ගිහින් හිටියේ.  


මේ සිද්ධිය ආරංචිවෙලා මමත් පොලිසියට ගියා. හමුද‌ාවෙන් සෝදිසි මෙහෙයුමක් ආරම්බ කරලා තිබුණා. යුද හමුද‌ා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරී මහත්වරු පැමිණියා ඒ බෝම්බය නිෂ්ක්‍රිය කරන්න හතර පස් දෙනෙක් එකතුවෙලා උස්සාගෙන ගියා මට තාම මතකයි.  
ඔය සිද්ධිය වෙලා මාස හතරකට විතර පස​්සේ තමා ටෙලෝ එකෙන් චාවකච්චේරිය පොලිසියට ඇටෑක් කරන්න ආවේ. එද‌ා රෑ මම ඩියුටි ඕෆ් වෙලා බැරැක්කයට ගියා නිද‌ාගන්න. පොලිස් බැරැක්කය තිබුණේ පොලිස් භූමියේම පිටුපසට වෙන්න. පාන්දර ජාමයේ පොලිසියේ ඉදිරිපසින් එක දිගට වෙඩි හඬ ඇහෙන්නට පටන් ගත්තා. මම හිතුවා පොලිසියට ටෙරාලා ඇටෑක් කරනවා කියා. මම හිටිය පොලිස් බැරැක්කයේ සිංහල සාජන්ට් මහත්වරු හා සිංහල පොලිස් රාලහාමිලා 20ක් විතර ඒ වෙලාවේ හිටියා. පොලිසියේ ඉදිරිපිට ගේට්ටුවේ එක රාලහාමි කෙනෙක්ද තවත් රාලහාමිලා දෙන්නෙක් පොලිසිය ඇතුළේද රාජකාරියේ නිරතව සිටියා. ඊළඟට ටෙරාලා අපි ඉන්න බැරැක්කයට ඇවිත් ඇටෑක් කරයි කියා මට තේරුම් ගියා මම දෙමළ හින්ද‌ා මාව නිදහස් කරන බව දන්නවා. මට ඕනෑ වුණේ මේ සිංහල නිලධාරීන් 20 දෙනාගේ ජීවිත බේරාගන්නයි.  


මට මේ ප්‍රදේශය ගැන හොද අවබෝධයක් තිබුණා. මම කට්ටියට කිව්වා ඉක්මනට මගේ පස්සෙන් එන්න කියා මම ඉස්සර වුණා. පොලිසියේ පිටුපස්සෙ තියන කම්බි වැටෙන් හිමින් සීරුවේ කට්ටියම පන්නා ගත්තා. පොලිසියට අල්ලපු වත්තේ අයිතිකාරයා නවරත්නම් කියා නීතීඥ මහත්තයකුට අයිති එකක්. ඒ වත්තේ ලඳු කැලෑවක මම පොලිසියේ කට්ටියට හැංගෙන්න කිව්වා. මමත් එතනටම වෙලා හිටියා. මට ඕනෑ නම් කට්ටිය එතැනට වෙලා ඉන්න කියා ගෙදර යන්න තිබුණා. නමුත් මම එහෙම කළේ නැහැ. අපි බැරැක්කයෙන් එළියට බැහැලා නීතීඥ මහත්තයාගේ වත්තට රිංගා ගත්තා විතරයි. ටෙරාලා අවි අමෝරාගෙන බැරැක්කය ළඟට ආවා. මම හැංගිලා බලාගෙන හිටියා. තව පොඩ්ඩක් වෙලා ගත වුණා නම් සිංහල පොලිස් නිලධාරීන් සේරම දෙනාට ​ෙවඩි තියා මරනවා ඒකෙ දෙකක් නැහැ. බැරැක්කය ඇතුළේ පොලිස් භූමියේ හැම තැනකම වාගේ සොයා බලා ටෙරාලා යන්න ගියා.  


ඊට පස්සේ මොකද වුණේ කියන එක ගැනද පොලිස් සාජන්ට් බාලසිංහම් ක්‍රිෂ්ණපිල්ලේ මහතා අප සමග ​තොරතුරු හෙළිකළේ මෙසේය.  


ටෙරාලා ගිය බව තේරුම් ගියාට පස්සේ මම පාරට ඇවිත් වෑන් එකක් නතර කර ගත්තා. ඒ වෑන් එක මගේ හොඳම යහළුවෙකුගේ. මම පොලිස් නිලධාරීන් 20 දෙනාට ඒ වෑන් එකේ පටවාගත්තා. බොහොම අමාරුවෙන් තමා කට්ටියට වෑන් එකට නංවාගත්තේ. විසි දෙනෙකුට යන්න තරම් වෑන් එකේ ඉඩකඩ මදියි. එ්ත් ඉතිං කරන්න දෙයක් නැහැ. මම කට්ටියවත් ද‌ාගෙන අලිමංකඩ හමුද‌ා කඳවුරට ගියා. වෙච්චදේ කියලා හමුද‌ාවේ මහත්වරුන්ට පොලිසියේ 20 දෙනා බාර දුන්නා. මම කරපු ක්‍රියාව ගැන අසා හමුද‌ාවේ මහත්වරු මට හරියට ස්තුති කළා. පස්සේ පොලිසියට ගියා. එතකොට හොඳටම එළිවෙලා තිබුණේ. එස්.පී. මහත්තයයි හමුද‌ාවේ නිලධාරීන්ද එතැනට ඇවිත් සිටියා. පොලිසියේ ගේට්ටුවේ රාජකාරී කරපු රාලහාමිට හා පොලිසිය ඇතුළේ ඩියුටි කරකර හිටිය රාලහාමි දෙන්නාටත් වෙඩි තියා මරා දමා තිබුණා. අවි ආයුධ උන් පැහැරගෙන තිබුණා.   


මම බේරාගත් පොලිසියේ සිංහල නිලධාරීන් 20 මගේ කකුල් දෙක අල්ලලා වැන්ද‌ා ඔවුන්ගේ ජීවිත බේරාගන්න උදව් කළාට තමා එහෙම කළේ. පොලිස් නිලධාරීන් 20 දෙනකුගේ ජීවිත බේරා ගැනීමට ලැබීම ගැන මම අදටත් සතුටු වෙනවා. එද‌ා පොලිසියට ගහන්න ඇවිත් තිබුණේ එල්.ටී.ටී.ඊය නොවන බවත් සභාරත්නම්ගේ නායකත්වයෙන් තියෙන ටෙලෝ එකේ අය බවත් පසුව දැන ගැනීමට ලැබුණා.   


මම සිංහල පොලිස් නිලධාරීන් බේරා ගත්තා කියා ටෙලෝ එකේ එවුන් දැනගත්තා නම් මට දසවධ දීලා මරණවා. ඒක එ්කාන්තයි. ටෙලෝ නායකයා ඇටෑක් එක අසාර්ථක වුණා. සිංහල නිලධාරීන් මරාගන්න බැරිව ගියා කියා ඇටෑක් එකට ගිය ඔහුගේ ගෝලයින්ට හොදටම බැණලා තිබුණා කියා පස්සේ කාලයකදී ආරංචි වුණා. මම කරපු ක්‍රියාව උසස් පොලිස් නිලධාරීන්ගේ පවා ඇගයීමට ලක්වුණා.   
ආරක්ෂාව පතා මාව කොළඹට මාරු කළා. 1988 වසරේ එල්.ටී.ටී.ඊ එක සියලුම පොලිස් නිලධාරීන්ට පොලිසියෙන් අස්වෙන්න කියා තර්ජනාත්මක ලියුම් එවා තිබුණා. පොලිසියෙන් අස්වුණේ නැත්නම් වෙඩි තියා මරණවා කියා තමා තර්ජනය කරලා තිබුණේ. අපේ ළමයි බය වෙලා මටත් පොලිසියෙන් අස්වෙන්න කියා බලකර සිටියා. මම නම් කොහෙත්ම පොලිසියෙන් අයින් වෙන්න කැමති වුණේම නැහැ. එත් දරුවන්ගේ බලකිරීම නිසා 1988 වසරේ මම පොලිස් සේවයෙන් ඉල්ලා අස්වුණා. පොලිසියෙන් ඉල්ලා අස්නොවුන දෙමළ නිලධාරීන් කිහිප දෙනෙක්ම ඒ කාලයේ කොටි වෙඩි තියා මරා දැම්මා. එත් වැඩි දෙනෙක් පොලිසියෙන් අස්වුණේ නැහැ යැයි හිටපු පොලිස් සැරයන්වරයා පවසයි.  


මම එද‌ා බේරාගත්ත පොලිස් නිලධාරීන් 20 දෙනා අතරේ බොහොම තරුණ නිලධාරීන් ද සිටියා. සමහරු විවාහවෙලත් නැහැ. සමහර විට මම එද‌ා බේරාගත්ත තරුණ නිලධාරීන් මේ වෙනකොට ලොකු නිලතලවල ඉන්න පුළුවනි. ඒ ගැනත් මම සතුටු වෙනවා. මම පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගේ ජීවිත බේරාගත්ත කෙනෙක් කියා බොහෝ දෙනෙක් දැනගත්තේ කාලයක් ගියාට පස්සේ. ඊට පස්සේ හුඟදෙනෙක් මාත් එක්ක කතා කරලා එ් ගැන ස්තුතිය පුද කරනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලුපුල් පීරිස් මහත්තයා නිතර කතා කරලා මගේ දුක සැප විමසන පොලිස් නිලධාරියෙක්. මම ජීවිතය ගලවා ගත්ත නිලධාරීන් ඉන්නවා නම් ඔවුන් එක්ක පොඩ්ඩක් හරි කතා කරන්න මට හරිම ආශාවක් තිබෙනවා.   


පොලිස් සැරයන් බාලසිංහම් ක්‍රිෂ්ණපිල්ලේ මහත්තයා ඔහුගේ ජීවිතය ගැන නොතකා සිංහල පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගේ ජීවිත බේරාගනිමින් එද‌ා කළ අභීත වීරක්‍රියාව සද‌ා සැමරිය යුතු නොවේද? 


එහෙම ලිව්වේ පොලිස් බාලධාරීන්ගේ අවධානයට මේ පොලිස් සැරයන්වරයා වෙත යොමු කිරීමේ අරමුණ ඇතිවය.  
හිටපු පොලිස් සැරයන් ක්‍රිෂ්ණපිල්ලේ මහතා නිදුක් නිරෝගී වේවා යැයි ඉරිද‌ා ලංකාදීපයේ අපි ඉතසිතින් ප්‍රාර්ථනය කරන්නෙමු.  

 

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය