අක්කර 400ක රබර් ඉඩමක් කර්මාන්ත පුරයකට බිලි


මිල්ලනිය අධිවේගී මගේ තවත් ඉඩම් හුටපටයක්

 

මිල්ලනිය නගරය

අධිවේගී නව පිවිසුම ඉදිකිරීමට සැලසුම් කර තිබෙන ස්ථානය

කර්මාන්තපුරය සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබෙන රබර් ඉඩම

 

 

 

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉඩකඩම්වලින් විශාල ප්‍රමාණයක් අහිමි කරගත් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොහෝ පිරිසකට ඉතිරි වූ ඉඩම් කොටස ද අධිවේගී පිවිසුමක් වෙනුවෙන් ලබාදෙන්නට සිදුව තිබේ.   


මේ අර්බුදයට මුහුණ පා සිටින්නේ මිල්ලනිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පැල්පොල පදිංචිකරුවන් පිරිසකි. අධිවේගී මාර්ගය ආසන්නයේම පදිංචිව සිටින ඇතැමුන්ට අධිවේගී මාර්ගය වෙනුවෙන් ඉඩමෙන් කොටසක් ලබාදී ඉතිරි වූයේ පර්චස් දහයක පහළොවක නැත්නම් විස්සක පමණ ඉඩම් කොටසකි. දැන් ඇතැමුන්ට ඒ ඉතිරි ඉඩම් කොටස සම්පූර්ණයෙන්ම හෝ ඇතැමුන්ට පර්චස් පහක පමණ කොටසක් ඉතිරිවන පරිදි ඉතිරි සියල්ලද අධිවේගී පිවිසුම වෙනුවෙන් ලබාදෙන්නට සිදුව තිබේ.   


තේ ටිකක්, මඤ්ඤොක්කා ටිකක්, එහෙමත් නැත්නම් පොල් හෝ රබර් වගාවක් කරගෙන ජීවත් වූ මේ ජනතාවට ඒවා අත්අරින්නට සිදුව තිබේ. ඇතැමුන් තමන්ගේ අර්ථසාධක අරමුදලේ මුදල් යොදවා රබර් වගා කර තිබෙන්නේ විශ්‍රාමික දිවිය ආර්ථික අපහසුතාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිවය.   


රටේ පොදු සංවර්ධන ක්‍රියාවලියකදී ආත්මාර්ථකාමී නොවී සහයෝගය දැක්වීම ජනතාවගේ යුතුකමකි. ඒ යුතුකම් ඉටු කිරීමට පැල්පොළ ජනතාවද සූදානම්ය. එහෙත් බලහත්කාරයෙන් ඉඩම් ලබා ගන්නට නිලධාරීන් කටයුතු කරන්නේ නම් තමන් ඊට ඉඩ දෙන්නේ නැතැයි ප්‍රශ්නයට මුහුණ දී සිටින පැල්පොළ ජනතාව පවසති. මෙහිදී අගතියට පත්ව සිටින්නේ පිවිසුම් මාර්ගය ඉදිකිරීම නිසා ඉඩම් අහිමිවන ජනතාව පමණක් නොවේ. අධිවේගී පිවිසුමේ සිට මිල්ලනිය දක්වා මංතීරු හතරක (අඩි සීයක) මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කිරීම නිසා ඉඩම් හා දේපළ අහිමිවන තුන්සීයකට ආසන්න පිරිසක් ද මේ අතර සිටිති.   


ඒ මිල්ලනියේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන ආයෝජන කලාපයට ගමන් කිරීමේ පහසුව සලසමින් මෙම මාර්ගය ඉදිකරනු ලබන බව ද හොරණ අවට අායෝජන කලාප රැසක් පවතින නමුත් ඒ කිසිවක් වෙනුවෙන් මංතීරු හතරක මාර්ග ඉදිකර නැති බව ද පවසන පැල්පොළ මිල්ලනිය ජනතාව මිල්ලනියටත් මංතීරු දෙකක මාර්ගයක් තිබීම ප්‍රමාණවත් බව තමන්ගේ අදහස බව ද පවසති.   


දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධවන මිල්ලනිය - පැල්පොළ පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීමේදී තමන් ඇතුළු දෙසීයකට අධික පිරිසක් අපහසුතාවට ලක් කරමින් මාර්ග සංවර්ධන අධිකාරියත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කීප දෙනෙක් මෙසේ අදහස් දැක්වූහ.   


මිල්ලනිය - පැල්පොළ දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධවන මාර්ග සංවර්ධනය කිරීමේදී දේපළ හා නිවාස අහිමිවන්නන්ගේ සංගමයේ සභාපති කේ.කේ.එස්. රණවීර මහතා:   


අපි කිසිසේත්ම මේ පිවිසුම් මාර්ගය ඉදිකිරීමට විරුද්ධ නැහැ. ඒත් එවැන්නක් සිදුකරන පිළිවෙළක් තියෙනවා. අධිවේගී මාර්ගය හදන වෙලාවෙත් අපේ ඉඩම් අහිමි වුණා. ඒ වෙලාවේ ඉඩම් අත්පත් කර ගන්නා නියම ක්‍රමවේදයටයි ඒක සිදුවුණේ. අප එකතු කරලා දැනුම්වත් කරලා, භුක්තිය භාර අරන්. ඉඩම් මැනලා, අපෙන් අත්පත් කර ගන්න ප්‍රමාණය කොයි තරම්දැයි කියලා, ඊට පස්සේ අපිට ගෙවන වන්දිය ගැන දැනුම්වත් කළා. එහෙම කරලා අපේ එකඟතාව ලැබුණාට පසුව තමයි ඉඩම් අත්පත් කර ගත්තේ. එ්කට වෙනම ගැසට්ටුවක් නිකුත් කරනවා. දැන් මේ මොනවත් නැහැ. අපෙන් ඉඩම් ගන්න වෙන බව කිව්වා විතරයි, දැන් මාර්ග සංවර්ධන අධිකාරියේ බැකෝ ගෙනත් පාර කපන්න හදනවා. කීප වතාවක් මේ වැඩේ කරන්න හැදුවා. අපි ඒ වෙලාවෙම දැනගෙන විරුද්ධවුණ නිසා තමයි ඒක වැළකුණේ.   


මම අර්ධසාධක අරමුදල අරන් ඉඩමක් ගත්තා. මගේ විශ්‍රාම ජීවිතයේදී ගැටලුවක් ඇති නොවන විදිහට එහි රබර් වගා කළා. දැනට තිබෙන තත්ත්වය අනුව පර්චස් 185ක් මේ පාරට යනවා. කලින් අධිවේගී මාර්ගයට පර්චස් දෙසිය පනහක් ගියා. අන්තිමට ඒකේ ඉතුරුවෙන දෙයක් නැති තරම්. බැකෝ ගෙනත් කපන්න පටන් ගත්තේ මගේ ඉඩම ළඟින්. අපි කියන්නේ කරන දෙයක් ඒ නිසි පිළිවෙළට කරන්න කියලයි. මේ තරම් ඉඩම් ප්‍රමාණයක් ගන්න වෙන්නේ මේ පාර හදන ක්‍රමය අනුවයි. කහතුඩුව පිවිසුම වගේ හැදුවා නම් මේ තරම් ඉඩම් වැය වන්නේ නැහැ.   


ප්‍රදේශවාසියෙක් වන යසපාල අල්විස් මහතා:   


මගේ ඉඩමෙන් ලොකු කොටසක් අධිවේගී මාර්ගයට යටවුණා. ඒකට නම් සාධාරණ වන්දියක් ලැබුණා. එහි ඉතිරි කොටසේ මම කඩයක් දාගෙන ඉන්නේ. දැන් ඒකෙනුත් කොටසක් ගියාම මට ඉතිරි වෙන්නේ පර්චස් පහක විතර කෑල්ලක්. ඒකත් කමක් නෑ කියමුකෝ. ඒත් අපි දන්නේ නැහැ තවමත් හරියටම මේ ඉඩම්වලට ගෙවන වන්දිය මොකක්ද කියලා. හිටි ගමන් කිසිම වගකීමක් නැති කොළ කෑල්ලක් ගෙනත් දෙනවා ග්‍රාම සේවක මහත්තයා ඉඩමෙන් අයින් වෙනවා කියලා අත්සන් කරලා දෙන්න කියලා. අපි කොහොමද එහෙම කරන්නේ? කාගේ උවමනාවට කොහොම ඒවා එනවාද කියලා අපි දන්නේ නැහැ. අපි පාරවල් හදනවාට විරුද්ධ නැහැ. ඒත් මේවා සිදුවෙන ආකාරයයි ප්‍රශ්නය.   


ප්‍රදේශවාසියෙක් වන ගුණරත්න රණසිංහ මහතා:   


ඇත්තටම වෙන තැන්වල පිවිසුම් මාර්ග තියෙන්නේ මංතීරු දෙකේ ඒවා. ඇයි මෙතනට විතරක් මංතිරු හතරක්. කර්මාන්ත පුරයක් ඇති කළත් මේ තරම් විශාල මාර්ගයක් අවශ්‍ය වන්නේ නැහැ. මේ තරම් පළල් පාරක් හදන්න යාමෙන් පදිංචිකරුවන් විශාල පිරිසකට ඉඩම් අහිමි වෙනවා. සමහරුන්ගේ ගෙවල් පවා අහිමි වෙනවා. සමහරුන්ගේ ගෙවල්වලින් කොටසක් අහිමි වෙනවා. මගේ අක්කගේ ඉඩමත් අහුවෙනවා. ඒකෙන් කොටසක් අධිවේගී මාර්ගය හදනකොට ගත්තා. දැන් ඉතිරිවෙලා තියෙන්නේ පර්චස් අනූවක කෑල්ලක්. මේකෙන් කීයක් ඉතිරිවෙයිද කියලා අපි තාම දන්නේ නැහැ.   


 මේ අතර කර්මාන්තපුරය සඳහා ලබාගැනීමට සුදානම් වන්නේ අක්කර හාරසීයක පමණ රබර් ඉඩමක් බවත් ඒ ඉඩමත් රබර් ගලවා විනාශ කළහොත් හරිත ගම්මානයක් ලෙස සම්මානයට පාත්‍රවී ඇති පැල්පොළ - මිල්ලනිය ග්‍රාමය මුඩුබිමක් බවට පත්වීම වැළැක්විය නොහැකි යැයි පරිසරවේදීහු පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ හොරණ බණ්ඩාරගම ආශ්‍රිතව කර්මාන්තපුර ගණනාවක් පැවතුණත් ඒ කිසිවක් කර්මාන්තවලින් පොහොසත් කිරිමට අසමත්ව තිබියදී මිල්ලනියේද තවත් කර්මාන්ත පුරයක් ඇති කිරීමෙන් සිදුවන්නේ සම්පත් අපතේ හැරීමක් බවය.   


පෙර ආරම්භ කරන ලද කර්මාන්ත පුරයක් දියුණු කරනවා වෙනුවට ප්‍රදේශයේ ඇමැතිවරුන්ගේ මනදොළ පිනවීම සඳහා ඒ අයට ඕන ඕන තැන්වලින් කර්මාන්ත පුර ඉදිකිරීම නිසා ජනතාවගේ බදු මුදල් වගේම ආරක්ෂා කළ යුතු පරිසර පද්ධතියක්ද විනාශවන බව ඔවුහු පවසති.   


එසේම මංතීරු හතරකින් යුත් අඩීසීයේ මාර්ගය කෙළවර වන්නේ මිල්ලනිය නගරයෙනි. එය නගරයක් යැයි කීවද කඩමණ්ඩියක් බඳුය. මේ මංසන්ධියට සිව් දෙසින් පැමිණෙන මාර්ග හතරකි. මේ ස්ථානය දැනට තිබෙනවාට වඩා සංවර්ධනය කරනු ලැබුවද අනෙක් මාර්ග එතරම් පළල් නොවන නිසා අඩි සීයක පළලින් යුක්ත මාර්ගයෙන් පැමිණෙන රථවාහන අනෙකුත් මාර්ගවලට පිවිසීමේදී දැඩි වාහන තදබදයක් ද ඇති විය හැකිය. 

 
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් සමන්තිකා පී. ලියනගේ මහත්මියගෙන් අප කළ විමසීමකදී ඇය කියා සිටියේ තවම ඉඩම් තක්සේරු කටයුතු කර අවසන් නැති බවය. ඒ නිසා වන්දි ගෙවීම් සම්බන්ධයෙන් අවසන් අදහසකට පැමිණ නැති බවද තක්සේරුවට පෙර ඉඩම් ලබාදීමට එකඟ වූ අයගේ ඉඩම් ලබාගෙන සංවර්ධන කටයුතු ආරම්භ කළ නමුත් අනෙකුත් ඉඩම් සම්බන්ධයෙන් හිමිකරුවන්ගේ එකඟතාවකින් තොරව කිසිදු සංවර්ධනයක් නොකරන බව ද ලියනගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය. 

 

 

 


මුදිතා දයානන්ද සමඟ 
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ