ජනපතිවරණය හැර මේ වසරේ වෙනත් ඡන්ද නෑ ?


(ප්‍රේමකීර්ති රණතුංග)   

ජනාධිපතිවරණය හැර මෙම වසර අවසන් භාගය වනතුරු වෙනත් කිසිම මැතිවරණයක් නොපැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 


ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයක් කැඳවීමේ අවසරය උදාවන්නේ මෙම වසරේ ඔක්තෝබර් මුල සතියේය. එහෙත් තමා යළිත් තරග වදින්නේ නම් පමණක් මෙම ජනවාරි 8 වැනිදායින් පසු ඕනෑම මොහොතක ජනපතිවරණය කැඳවීමේ බලය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබී තිබේ. 

ඒ මහතා තරග වදින්නේද නැද්ද යන්න තවමත් නිල වශයෙන් ප්‍රකාශ වී නැති අතර එසේ නොවන්නේ නම් මෙම ඔක්තෝබර් මුල් සතිය දක්වා ජනාධිපතිවරණයක් කැඳවීමේ නීතිමය හැකියාවක් නැති බව නීති විශාරදයෝ කියති.පළාත් සභා මැතිවරණය පැවැත්වීම තවමත් ගැටලුකාරී තත්ත්වයක පවතින අතර එයට හේතුව පැරැණි ඡන්ද ක්‍රමය මේ වනවිට අහෝසිකර තිබීමය. පළාත් පාලන මැතිවරණය පැවැත්වූ නව ඡන්ද ක්‍රමය පළාත් සභා වෙනුවෙනුත් ආදේශ කර ඇතත් එහි ඡන්ද කොට්ඨාස සීමා නිර්ණය තවම අවසන් නැත. මහා මැතිවරණය පැවැත්වීම සඳහා ව්‍යවස්ථානුකූලව අවසර ලැබෙන්නේ 2020 වසරේ මුල් භාගයේය. මේ නිසා ජනාධිපතිවරණයට හැර මෙම වසරේ වෙනත් මැතිවරණයක් නොපැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.