පෘතුගීසි ලන්දේසි කාලේ ගමන් ගිය කළුගඟ දිගේ


කලුගඟේ පාරු ගමන් -2

කළු ගඟේ පැරණි පාරු (අන්තර්ජාලයෙනි) 

 

 

 

සියවස් තුන හතරකට පෙරදී රත්නපුරේට එන්නට විවිධ පැතිවලින් ගොඩබිම් මාර්ග තිබුණද බඩු බාහිරාදිය ප්‍රවාහනයට ඉන් හැකියාවක් නොතිබුණි. මේ වකවානුවේ රටේ වෙනත් ප්‍රදේශවල මෙන් රත්නපුරේ ද කුල වශයෙන් ජනතාව බෙද‌ා වෙන්කර තිබූ යුගයක් විය. 


රජුට සේවය කළෝ රදල පරම්පරාවේ අය වූහ. එද‌ා ගෙවල් දොරවල් හද‌ාගන්නට කටයුතු කළ මේ රදල පරපුරේ අය සෙසු ජනතාවගේ ශ්‍රම සූරාකමින් ඒවා ගොඩ නැගූහ. ‘වලව්’ නමින් හැඳින්වූ ඒ සමහර මහා මන්දිර ගොඩනැගීමේදී දැව දඬු ප්‍රවාහනයට ඔරු පාරු යොද‌ාගත් බවට මුඛ පරම්පරාවේ පැවත එන තොරතුරු අද වන විට යන්තමින් දැනගන්නට තිබේ. 


ලන්දේසීන් රට අභ්‍යන්තරයට පවා ප්‍රවාහන කටයුතු සඳහා ඔරු පාරු සේවය යොද‌ාගත් බවට සාධක තිබේ. පෘතුග්‍රීසීන් ලංකාවට එනවිට මරක්කල වෙ​ෙළඳුන් ලංකාව වෙ​ෙළඳ‌ාමෙන් ආක්‍රමණය කර තිබුණි. එකල සාදික්කා, වසාවාසි, කුරුඳු, කරාබු නැටි ආදී කුළුබඩු වර්ග මරක්කලයන්ගේ වෙ​ෙළඳ භාණ්ඩ විය. ඔවුන් මේවා රටේ වෙරළාසන්නයෙන් සොයාගෙන ගියා මිස රට අභ්‍යන්තරයට පැමිණියේ නැත. 


පෘතුග්‍රීසින් රට ආක්‍රමණය කිරීමත් සමග ඔවුන් විශේෂයෙන් කුරුඳු වගා කිරීමට ප්‍රමුඛත්වයක් දුන් බව පෙනේ. එහෙත් ඒ මුහුදුබඩ ප්‍රදේශ ආසන්නයෙනි. හේතුව නිෂ්පාදන වරාය වෙත ගෙනයාමේ පහසුවයි. පෘතුග්‍රීසීන්ගෙන් පසු ආ ලන්දේසීන් පෘතුග්‍රීසීන්ට වඩා වැඩියෙන් රට අභ්‍යන්තරයට ගිය කණ්ඩායම් බව පැහැදිලිය. 


පෘතුග්‍රීසීන් සන්තකයේ තිබූ කුරුඳු වෙළඳ‌ාම අත්පත්කරගත් ලන්දේසීහු මුහුදුබඩ ප්‍රදේශවලින් රට ඇතුළට වන්නට කුරුඳු වගා කරන්නට වූහ. ඒ අනුව කළුතර අවට රට ඇතුළට වෙන්නට ලන්දේසීහු කුරුඳු වගාව ව්‍යාප්ත කළහ. ලන්දේසීන් සිය ප්‍රවාහන මාර්ගයක් ලෙස ගංගා, ඇළදොළවල ඔරුපාරු භාවිතය වැඩි කළ නිසා කළුතර සිට රත්නපුර දක්වා කුරුඳු වගාව කළුගඟ දෙපස වූ ගම්වල වැවීමට පියවර ගත් බවද පෙනේ. 


කළුගඟ ඔස්සේ තොටියන් විසින් පදින ලද ඔරු පාරු මගින් රත්නපුරේ සිට භාණ්ඩ ගෙනයද්දී කිරිඇල්ල, නම්බපාන සහ අඟුරුවාතොට යන ප්‍රදේශවල පිහිටා තිබූ ලන්දේසි බළකොටුවලින්ද ඒ ඒ ප්‍රදේශවල නිෂ්පාදිත කුරුඳු කළුතරට ගෙන ගොස් තිබුණේ කළුගඟේ පාරුවලිනි. 


පෘතුග්‍රීසීන් කන්ද උඩරට රාජධානිය සමග කුරුඳු වගාවට ගිවිසුම් අත්සන් කළද රත්නපුර ආශ්‍රිතව එවැනි ගිවිසුමකට එළැඹුණ බවට සාධක නැත. එහෙත් ලන්දේසීන් කුරුඳු සඳහා පෘතුග්‍රීසීන්ට වඩා අනුග්‍රහයක් ලබා දී කැපී පෙනෙයි. කළු ගඟ දෙපස පමණක් නොව කළු ගඟේ ප්‍රධාන උප ගංගාවක් වූ කුරු ගඟ ද මේ වකවානුව වන විට ඔරු පාරු ප්‍රවාහන සේවයට එක්ව සිටි බව පැහැදිලිය. 

 

කළු ගඟේ පැරණි පාරු තොටු​ෙපාළ 

 

කුරවිට දෙල්ගම රජමහා විහාරය

 


ඔරුවක් මෙන් දෙතුන් ගුණයක් විශාල තෙප්පම් කළු ගඟ සහ කුරු ගඟ දිගේ ප්‍රවාහනයට යොද‌ා ගන්නට ඇති බව පෙනේ. ඒ නිසා පාරුවකින් ගෙනියන භාණ්ඩ මෙන් හත්අට ගුණයක බඩු තෙප්පමකින් ගෙන යා හැකිය. තෙප්පමක් අඩි පනහකට වඩා වැඩි දිගකින් යුක්තය. 


කුරු ගඟේ එසේ ආ තෙප්පන් නැවතුන තැන ‘තෙප්පනාව’ය. තෙප්පනාව ගම අද සශ්‍රීක ගමකි. තෙප්පනාවට නුදුරින් කුරුවිට දෙසට වන්නට කඳන්ගොඩ ගම පිහිටා තිබේ. ඊට යාබදව මිල්ලවිටිය ගම පිහිටියේය. මිල්ල නම් ගස් වර්ගය බහුලව තිබූ මේ ගමේ මිල්ලගස් කපා, කඳන්ගොඩට ගෙනවිත් දී ගොඩ ගසා ගඟ දිගේ තෙප්පනාවට ගෙනා පසු තෙප්පනාවේ දී ඒ දැව කඳන් තෙප්පන්වලට පටවා කළුතරට ගෙන ගිය බවට පැරණි මුඛ පරම්පරාගත තොරතුරු අදටත් තිබේ. 


කුරු ගඟ ඔස්සේ පාරුවකට ආ හැක්කේ දළද‌ා වහන්සේ හතළිස් තුන් වසරක් යෝධ කුරහන් ගලක් තුළ සඟවා තැබූ දෙල්ගමු රජමහා විහාරය ආසන්නය තෙක් පමණි. දෙල්ගමු විහාරයත්, කුරුවිට නගරයත් අතර ඇති ‘ඇල්ල’ නමැති ස්ථානයෙන් අඩි දහයක-දොළහක බෑවුමක් ඇති නිසා ඉන් ඉදිරියට කුරු ගඟ දිගේ යන්නට නම් ඒ බාධකයෙන් ගොඩවිය යුත්තේ ගොඩබිමිනි. 


මීට අමතරව ලන්දේසීන් විසින් මේ ඔරු පාරු යා හැකි අතු ගංගා ආශ්‍රිත ප්‍රදේශවල කුරුඳු වගා කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය. රත්නපුරේ සිට කළුතරට යද්දී හමුවන කිරිඇල්ල, නම්බපාන සහ අඟරුවාතොට යන බළකොටුවල ගබඩාවලට එකතු වූ කුරුඳු ඇතුළු කුළුබඩු පාරුවල පටවා රත්නපුරේ සිට ආ පාරු පන්තියට එකතු වී එක් පාරු පන්තියක් ලෙස කළු ගඟ දිගේ පහළට යන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. එවැනි පාරු ප්‍රවාහනයක් ගැන ඇතැම් ඕලන්ද වාර්තාවල සඳහන් වන බව පොත් පත් ගණනාවකම පෙනේ. 


සීතාවක රාජධානි සමයේ බුදු දහම අභිබවා හින්දූ ආගමිකයන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබීම හේතුවෙන් කන්ද උඩරට රාජ්‍යයේ ආරම්භයත් සමග සබරගමුවේ විසූ භික්‍ෂූන් වහන්සේලා වෙහෙර විහාරස්ථාන අතහැර වනගත වූ බව කිහිප තැනක කියවෙයි. තවත් කියමනක් ඇත්තේ උන්වහන්සේලා විවිධ ප්‍රදේශවලට ගොස් සැඟවී හුදකලා ජීවිත ගෙවූ බවයි. නිසි ආහාර පාන නොලැබීම හේතුවෙන් ඉතිරිව සිටි මහන දම් පිරූ උගත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ අපවත්වීමත් සමග උපසම්පද‌ා භික්‍ෂූ පරපුර රටෙන්ද නැත්තටම නැති වී ගියේය. 


එය රත්නපුරේට ද පොදු සාධකයක් වන්නට ඇත. ඉන්පසු දශක අට දහයකට පසු කහ නූල් කරේ බැඳගත් ගිහි ජීවිත ගෙවන ගණින්නාන්සේලා සහ ගණේබණ්ඩාරලා කොටසක් ඉතිරි වූහ. මොවුහු වෙහෙර විහාරස්ථාන සිය අඹුදරුවන් සමග වාසස්ථාන බවට පත්කරගත්හ. බොහෝවිට මොවුන් ලන්දේසී ලස්කිරිඤ්ඤ හමුද‌ාව සමග සම්බන්ධකම් පවත්වමින් ලන්දේසීන්ට වුවමනා පරිදි කුරුඳු වගාවට ගම්වැසියන් උනන්දු කරවන්න ඇති බවට ශේෂ වූ සාධක ඇති බවට ද සමහර ජනශ්‍රැති ගවේශකයෝ අනුමාන කරති. 
ඒ නිසා මේ ගණින්නාන්සේලා වෙරළබඩ නැවතී සිටි ඕලන්ද ප්‍රධානීන් හමුවීමට කළු ගඟේ පාරුවල නැගී යන්න එන්නට ඇතැයි ද ඇතැම් ලේඛකයෝ විශ්වාස කරති. 


වැලිවිට අසරණසරණ සරණංකර සංඝරාජ හිමිගේ උපදෙස් මත කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන් විසින් උපසම්පද‌ාව ගෙනෙන්නට විල්බාගෙදර මුදියන්සේගේ ප්‍රධානත්වයෙන් සියමට යැවූ දූත පිරිස අතර ‘ඇල්ලෙපොළ වෙඩික්කාර මහන්දිරම්’ ඇතුළු පිට්ටපොළ මොහොට්ටාල, ඊරියගම නානායක්කාර ලේකම්, අයිත්තා ලියැද්දේ වෙඩික්කාර ලේකම් සහ මිද්දෙනිය රාල යන අය ත්‍රිකුණාමලයට කැඳවාගෙන යාමේ වගකීම පවරා තිබුණේ ‘අංගම්මන මොහොට්ටාල‘ ඇතුළු පස්දෙනකුටය. 


මේ අය අතර ‘ඇල්ලෙපොළ වෙඩික්කාර මහන්දිරම්’ ‘අංගම්මන මොහොට්ටාල’ සබරගමුවේ ගම් ප්‍රධානීන් බවට සමහරු හඳුන්වති. එකල මුහුදේ ගමන් ගියේ රුවල් නැව්වලිනි. මේ දෙදෙනා බොහෝවිට කළු ගඟ ඔස්සේ ඔරු පාරුවලින් දුර ගමන් ගොස් පළපුරුදු ඇත්තන් බවට ද විශ්වාසයක් පවතී. 


කළු ගඟ දිගේ මේ පාරු රස්සාව කළ වෙනම ම පවුල් කණ්ඩායම් අතීතයේ සිටි බව විශ්වාසයයි. බෙහෝවිට ඔවුන් ගොඩබිම ජීවත්වනවාට වඩා පාරුවේ ගෙවූ ජීවිත කාලය වැඩි බවට සාධක තිබේ. කළු ගඟ දිගේ පහළට යද්දී පාරු පංතියට එක්වන අතුරු පාරුකරුවන් සමග පවුල් සම්බන්ධතා ආදිය ගොඩනැගී ආවාහ විවාහ සිදුවී ඔවුනොවුන් අතර වෙනම උප සංස්කෘතියක් තිබෙන්නට ඇතැයි කළු ගඟේ පාරු ගමන් ගැන සොයා බලද්දී දැනගත හැකි විය. 


මහවැලි, කැලණි වැනි ගංගාවල අතීත පාරු ගමන් ගැන කියැවෙන කතා සමග පාරු කවි සංස්කෘතියද කියවෙයි. බොහෝවිට පාරු ගමන් සිදුවන්නේ දිවා කාලයේ ය. අඳුර වැටෙද්දී නැවතුම්පොළක නැවතී පාරු ආරක්‍ෂා සහිතව ගැට ගසා තැබීම සිදුකරයි. පාරු පන්තියකදී ද (පාරු සමූහයකදී) පාරු එකිනෙක ගැට ගසා තැබීම සිදුකරයි. 


කළු ගඟේ පාරු පැදවූවන් මෙන්ම ගමන් ගිය අයද ඉතා වින්දනීය පිරිසක් බව තොරතුරු සොයා යාමේ දී දැනගත හැකි විය. ගඟේ පාරු පන්ති එනවිට ගඟ දෙපස ගම්වල කොල්ලෝ කුරුට්ටෝ පමණක් නොවේ තරුණ අඟනුන් ද ගං ඉවුරට ආ බව හෙළිවෙයි. පාරුකරුවෝ රාත්‍රිය ගතකිරීමට හැම තැනකම නවතින්නේ නැත. තෝරාගත් තැන් ඒ සඳහා තිබී ඇත. ඒ තැන්වල දී පාරුවලින් ගොඩට බැස ගිමන් නිවා ගැනීම සිරිත වී තිබුණි. 


එසේ පාරු පන්ති නවතින තැන්වලට ගිමන් නිවන පිරිස් සඳහා අවශ්‍ය බොහෝ දෑ සැපයීම ගං ඉවුරු අසල පුද්ගලයන්ගේ සිරිත වී තිබුණි. මුල් කාලයේ ආගන්තුක සත්කාරයක් වී පසුව ඒවා පනමට දෙකට වූ වෙ​ෙළඳ‌ාමක් බවට ද පත්ව තිබේ. බොහෝවිට භාණ්ඩ හුවමාරු ක්‍රමයක් වසර තුන් හාරසියයකට පෙර දී තිබෙන්නට ඇතැයි තොරතුරු අනුව සිතිය හැකිය. 


ඇතැම් විට පාරු දහය පහළොව මේ පාරු පංතියකට අයත් විය. සමහර අවස්ථාවල එය ඊටත් වැඩි විය. පාරු පැද වෙහෙස වූ පුරුෂයන්ට මහන්සිය නිවාගන්නට රහමෙර වුවමනාවන් ද මේ පාරු නවාතැන් පොළවල්වල තිබුණි. බොහෝවිට කිතුල් රා මෙන්ම පොල් රා ඒ වුවමනාව සැපයීය. 


රහමෙර පානය කළ පාරුකරුවන් අතර ඉතා දක්‍ෂ හිටිවන කවීහු ද වූහ. ඔවුන් කුමක් හෝ දුටු දෙයක් අලලා අපූරු කවි නිර්මාණ කළහ. ඒවා ග්‍රන්ථාරූඪ නොවූ නමුත් ජනකවි ලෙස කටින්කට පැතිර ගොස් ජනසමාජයේ පැලපදියම් විය. මේ කවිවල කර්තෘ අඥ‌ාතය. 


රත්නපුරේ වර්තමාන නගර සභා ක්‍රීඩා පිටියට යාබද කළු ගඟ ඉවුර අතීතයේ පාරු තොටුපළක් විය. ලන්දේසීන්ගේ සැෆ්රිගම් හෙවත් සැෂේරියන් බළකොටුවට පෙනෙන තැනක් වූ නිසාත් එතැන පාරු තොටුපළ විශේෂයක් වන්නට ඇත. ගඟේ ඉවුර දළ බෑවුම් නොවීම ඊට තවත් හේතුවක් වන්නට ද ඇත. අනෙක් අතින් ලන්දේසි බළකොටුවේ සිට පාරුවලට භාණ්ඩ ගෙනඒමට වූ පහසුව තවත් කරුණක් වන්නට ඇත. 


මේ අතර කළු ගඟෙන් එගොඩ ප්‍රදේශවලින් එකතු කරගත් දෑ ඔරු අඟල් ඔස්සේ සැෆ්රිගම් හෙවත් සැෂේරියන් බළකොටුවට ගෙනවිත් පාරු පන්තිවලට පැටවූ බවද බොහෝ තැනක සඳහන් වෙයි. තවත් ජනප්‍රවාදවල ඇත්තේ ‘අංගම්මන මොහොට්ටාල‘ ජීවත් වූ අංගම්මන ප්‍රදේශයේ එසේ ගබඩාකර ඒවා පාරු පන්ති රත්නපුරේට ආ විට කිහිපයක් ගොස් ගඟේ දකුණු ඉවුරේ තිබූ බඩු පටවාගෙන පහළට ආ බවයි. අංගම්මන තොටුපළක් තිබූ බවද සඳහන් වන අතර ඒ තොටුපළ මේ කියන තොටුපළ විය හැකිය. මේ ස්ථාන දෙක අතරින් වේ ගඟ කළු ගඟට එක්වෙයි. 


රත්නපුරේට පැමිණෙන පාරු පන්තිය යළි කළුතර බලා ගමන් අරඹන්නේ දින ගණනාවකින්ය. ඒ නිසා පාරු පදින්නෝ ගං ඉවුරේ වෙසෙන ගෑනු පිරිමි දෙගොල්ලන් සමග හිතවත්කම් ඇතිකර ගනිති. නමගම් ගම්වලින්ම කියන්නට පවා දැනඇඳුනුම්කම් වර්ධනය කරගනිති. 


අසල්වැසි ඉන්දියවෙන් ලංකාවට ආ මරක්කල වෙ​ෙළඳුන්ට ආවතේවකම් කරමින් ආ කේරළ වැසියන් කොටසක් ලංකාවේ හඳුන්වන්නට වූයේ ‘රොඩී’ කුලයේ අය ලෙසය. ‘අහිගුණ්ටකයන්’ ලෙසද ඔවුන් හැඳින්විණි. පවුල් කිහිපයක් එක්ව සත්තු සමග තැනින් තැන ජීවිත ගෙවීම මේ කුලයේ අයගේ සිරිත විය. 


කාලවකවානුව සඳහන් නොවුණත් එක්තරා පාරු පදින හිටිවන කිවියකු මේ අහිගුණ්ඨක කණ්ඩායමක සිටි මුතූ හෙවත් මුත්තු නම් ස්ත්‍රියක් දැක කියූ කවියක් ගැන ජනප්‍රවාදයේ එයි. මේ මුතූ ඉතා සුරූපී ළඳක් වූහ. ඒ කවිය මෙසේය. 


රත් පියුම් දෙතොල දත් කොඳ කැකුල සම 
මත් ගජන් කුඹු සෙ තනනිඹ පතේ වූ බැම 
මුත් තුනම් මේ රොඩී කත මන වඩන පෙම 
ගත් තුනම් කෙනෙක් සුරසැප පතයි කිම  


මේ පාරු රස්සාව සමහරු සතුටින් කළත් තව සමහරු එය දුකක් සේ දැකීය. බොහෝවිට තරුණ වයසේ පාරුකරුවෝ පාරු රස්සාව නිසා බලාපොරොත්තු බිඳ වැටී ඒ ගැන කලකිරුණහ. ඒ අවස්ථා ද ඔවුහු කවියට නැගූහ. මේ එවැනි පාරු කවියකි. 


සීරුවේ ගමන් ඇවිදින් පාරුවට 
මාරු වේ හබල් අදිමින් විටින් විට 
පූරුවේ කරපු අකුසල් ගෙවන්නට 
පාරුවේ ඇවිත් දුක් විඳිනව දැනට 


අතීතයේ පාරුව නිවසකට සමානය. එහි මහ පොළොවට සිටවූ කණු නැතත් ඔරු කඳන් එක් කර ලෑලිවලින් සැදූ වේදිකාව මත මුදුන් වහලක් සහිත ඵළදෙකේ වහලකින් සමන්විත ගෙයක් මෙනි. පාරු පදින්නන් ඔරු කඳේ වාඩිවී පාරුව පදීයි. බඩු භාණ්ඩ නොතෙමී තබාගන්නේ මෙ ගෙතුළය. එක් පාරුවකට පදින්නන් කිහිප දෙනෙකි. පාරුව පැද විඩා නිවා ගැනීමට මේ වහල යට කදිම තැනකි. 


ඒ නිසා පාරු ජීවිතය අමුතු අත්දැකීම් සහිත රස්සාවකි. ගතේ වාරු ඇතිතෙක් පාරු පැද්දත් ගතේ වාරු නැතිද‌ාට පාරු පදින්නාට රැකවරණයක් නැත. 


කළු ගඟේ පාරු ගමන් ගැන කියවෙන විට දුම්බර මානානේ පැවති මිනිරන් පතල්වල නිෂ්පාදිත මිනිරන් ගෙනයාමට යොද‌ාගෙන ඇත්තේ ද පාරුය. දුම්බර මානානේ මිනිරන් පතල්වලින් කැඩූ මිනිරන් ඊටම තැනූ පෙට්ටිවල බහා කළු ගඟේ ඇල්ලගාව තෙද පත්තිනි දේවාලයට පහළ තොටුපළට ගෙනවිත් එතැනින් පාරුවලට පටවා කළුතරට ගෙනගිය බව සඳහන් වෙයි. 


දශක කිහිපයකට පෙර දුම්බර මිනිරන් පතල් පිහිටි ප්‍රදේශයට සහ අයගම ගවරගිරිය ප්‍රදේශයට ගොස් ඇත්තේ ඇල්ල දේවාලයට පහළ තොටුපලේ පිහිටි පාලම් පාරුවේ ආධරයෙන් කළු ගඟෙන් එගොඩ වෙමිනි. 

 

ගංවතුරින් පිරීගිය රත්නපුර නගරයේ පැරණි පාරු තොටු​ෙපාළ 

 

කළු ගඟ පිටාර ගලමින් 

 

පැරණි පාරු කොටු​ෙපාළ බැලුම්ගලට පෙනෙන අයුරු

 


මෑතක් වනතුරු කළු ගඟේ ඔරු පාරු සේවයක් ගඟෙන් එගොඩවන ජනතාව වෙනුවෙන් ස්ථාන කිහිපයක තිබුණි. රත්නපුර-පානදුර පාරේ සබරගමු මහ සමන් දේවාලය පසුකර කිලෝ මීටර් භාගයක් පමණ පානදුරට යද්දී හමුවන තොටුපළින් කරංගොඩ, ගිනිහිරිය ආදී ප්‍රදේශවලට යා හැකි කෙටිම පාර ඔරු පාරුවෙන් එගොඩ වෙමිනි. 


ලන්දේසීන්ගෙන් පසු ඉංග්‍රීසීන් රත්නපුරට පැමිණි අතර ලන්දේසි බලකොටුව ඉංග්‍රීසි පන්නයට අලුත්වැඩියා කළේය. ගොඩබිමින් අශ්ව කරත්ත පැමිණිය හැකි ලෙස මාර්ග ඉදිවන තෙක් කළුතර ඔස්සේ වූ ඔරු පාරු සේවය මීට වසර අසූවකට සියයකට පෙර දක්වා ම පැවති බව පෙනේ. 


වර්තමානයේ කළු ගඟේ ඇඳුම් පතල් සඳහා ගඟ හරහා වැටි බැඳ ඇති බැවින් ඔරු පාරුවලට යා නොහැක. වැලි ගොඩදැමීම, ඉවුරු ඛාදනය වන ආකාරයට අනවසර මැණික් පතල් කැපීම ආදී පාරිසරික හානි නිසා කළු ගඟ දිගේ ඔරු පාරුවලට අද යා නොහැක. 


නගරය මැද සැෆ්රිගම් හෙවත් සැෂේරියන් බලකොටුවේ මුදුනේ බැලුම්ගලේ සිට කළු ගඟ දෙස බැලූවිට අද කළු ගඟ හෝ ඉවුර පෙනෙන්නේ නැත. ඒ ගොඩනැගිලි ඉදිව ඇති නිසාය. සුමන සමන් දේවාලයේ දියකැපීමේ මංගල්‍ය දිනයට වතුර අඩු වුණොත් දේවාභරණ රැගත් පාරු වැල්ලේ තල්ලු කරන්නට සිදුවෙයි. 


රත්නපුරේට අභිමානයක් ගෙනදුන් ඒ ඔරු පාරු ගමනේ නටබුන් ඉදිරි දශක දෙක තුන තුළ නැත්තටම නැති වී යනු ඇත.

 

 


සටහන - ඡායාරූප 
අජිත්ලාල් ශාන්තඋදය