කුජ රජ මැදුරට ඔබට කොහොමද?


 

 

ග්‍රහලොව සෙන්පති මෙන්ම සටන්කාමී ග්‍රහයෙකු වන කුජ ග්‍රහයා 2019 අගෝස්තු මස 09 වන දින මෙතෙක් ගමන් කළ කටක රාශියෙන් රවිට හිමි සිංහ රාශියට පැමිණෙයි. 2019 සැප්තැම්බර් මස 25 දින දක්වා කුජ ග්‍රහයා සිංහ රාශියේ ගමන් කරමින් සිටී. කුජ ග්‍රහලොව සෙන්පතිතුමා වශයෙන් හඳුන්වනු ලැබේ. එසේ නම් මෙම ග්‍රහමාරුව ‘සෙන්පතිතුමා රජ මැදුරට’ යෑමට සමානයි. මෙම ග්‍රහමාරුව ඔබේ ලග්න වලට බලපාන්නේ කෙසේද කියා බලමු.  


කුජ මාරුව ලග්නවලට බලපාන අයුරු  


මේෂ - ඔබේ ලග්නාධිපති කුජ පස්වැන්නට පැමිණේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබයි. දරුවන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වේ. ආයෝජන කටයුතුවලට සුබදායක වේ.  


වෘෂභ - ඔබේ කේන්ද්‍රයේ හතරවැන්නට කුජ පැමිණේ. මිශ්‍ර ඵලදායක වේ. ගෘහජීවිත ගත කිරීමේදී ක්ෂණික කෝපය පාලනය කරගන්න. විවාහ සහකරුට සුබයි. අවිවාහක අයට මංගල යෝග උදාවේ.  


මිථුන - තුන්වැන්නට කුජ පැමිණේ. ඔබේ උත්සාහය ඉහළ යයි. සතුරු කරදර වලින් ජය ලැබේ. අසල්වාසීන් සමග සුහදව කටයුතු කිරීමට හැකි වේ. බාල සහෝදරයින්ට සුබයි. කෙටි ගමන් යෙදේ.  


කටක - කුජ දෙවැන්නට පැමිණේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට මිශ්‍රඵලදායක වේ. දරුවන්ගේ ඉදිරි දියුණුවට කරන කටයුතුවලට සුබයි. පවුලේ වියදම් පාලනය කරගන්න.  


සිංහ - ඔ​බේ කේන්ද්‍රයේ ලග්නයට කුජ පැමිණීම මිශ්‍රඵලදායක වේ. ගෘහජීවිතය සුබදායක වේ. උත්සාහවන්ත බව ඉහළ යයි. මේ අතර හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න.  


කන්‍යා - දොළොස්වැන්නට කුජ පැමිණේ. එතරම් යහපත් නොවේ. බාල සහෝදරයකුට අපලයි. විදේශ ගමන්වලට එතරම් සුබ නොවේ. ඉවසීමෙන් කටයුතු කරන්න.  


තුලා - එකොළොස්වැන්නට කුජ පැමිණීම සුබදායක වේ. ඔබගේ රැකියා හා ව්‍යාපාර කටයුතුවලට යහපත් වේ. විවාහ සහකරුට සුබයි. සහෝදරයින්ට සුබ වන අතර බලවත් යහළුවන් හඳුනා ගැනීමට හැකි වේ.  


වෘශ්චික - ඔබේ ලග්නාධිපති කුජ දිග්බලව දසවැන්නට පැමිණීම සුබදායක වේ. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. රැකියාවේ උසස්වීම් ලැබෙන අතර උසස් අයගේ උදව් උපකාර ලැබේ.  


ධනු - භාග්‍යස්ථානයට කුජ පැමිණේ. වාසනාව උදා වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. බලාපොරොත්තු වූ විදේශ ගමන් බොහෝ දුරට ඉටුවීමට ඉඩ ඇත.  


මකර - කුජ අටවැන්නට පැමිණීම එතරම් යහපත් නොවේ. ගෘහජීවිත ඉවසීමෙන් යුතුව ගත කරන්න. වියදම් පාලනය කරගන්න. හදිසි අනතුරුවලින් ප්‍රවේශම්වන්න.  


කුම්භ - ඔබේ කේන්ද්‍රයේ හත්වැන්නට කුජ පැමිණේ. බොහෝදුරට සුබඵලදායකයි. විවාහ සහකරුගේ රැකියා කටයුතුවලට සුබදායක වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. 

 
මීන - හයවැන්නට කුජ පැමිණේ. තැන්පත් ධනය පරිහරණයේදී සැලකිලිමත් වන්න. පවුලේ කෙනෙකුගේ අසනීපයකට වෙහෙසීමට සිදුවිය හැකියි. අසනීපවලින් සුවය ලැබේ.  


කුජ අපලය ඇති අය අඟහරුවාදා දිනවල බුද්ධ පූජා, බෝධි පූජා තැබීම සුබය. කරණීයමෙත්ත සූත්‍රය භාවිතය සුදුසු වේ. ලේ දන්දීම සහ තුවාල වූ අයට පිහිට වීම, අභය දානය දීම හා මෛත්‍රී භාවනාව වැනි ශාන්තිකර්ම මගින් අපල සමනය කරගත හැක.  

 

 

 


ජ්‍යෝතිර්වේදිනී,  
අජන්තා ඒකනායක,
මාංගොඩ, මැදමහනුවර.