හිතේ ලෙඩේ බරපතළයි


දොස්තරලාගෙන් අනතුරු ඇඟවීම්

 

මහලු විය එළැඹීම, නැතහොත් වියපත් වීම යනු දුර්වල වීම හෝ හැකියාවන්ගෙන් තොර වීම නොවේ. බොහෝ දෙනෙකු සිතා සිටින්නේ වියපත් වීම යනු සිරුරින් මනසින් දුර්වල රෝගියෙකු බිහිවීමට මග විවෘත වීමක් ලෙසය. එහෙයින් ඔවුන් කයින් මනසින් ඇතිවන යම් දුර්වල බවක් වයස මත පටවා ප්‍රතිකාර වෙත යොමුවීම මගහැර සිටී. එයින් සිදුවන්නේ එය තීව්‍රම රෝගී තත්ත්වයක් ලෙස වැඩිදියුණු වී විශාල සමාජ ප්‍රශ්නයක් ගොඩනැංවෙන අතර වැඩිහිටියාට ජීවිතයේ සැඳෑ සමය අසතුටින් රෝගී අයෙකු ලෙස සීමා වී ගෙවන්නට සිදුවීමය. 


ඩිමෙන්ෂියා නැතිනම් චිත්ත වික්ෂේපය ගැන ඔබ දැන සිටිය යුතුවන්නේ මෙවැනි පසුබිමකය. වයස අවුරුදු 60 ට වැඩි මෙන්ම ඇතැම් විට ඊට අඩුවයස්වලදීද ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ මතුකරවන්නට ඉඩ ඇති අතර කාන්තාවන් අතර තුන් ගුණයකින් බහුලය. ඩිමෙන්ෂියාවට ප්‍රතිකාර ලබානොගතහොත් මරණීය රෝගයක් දක්වා වැඩිදියුණු විය හැකිවාක් මෙන්ම විෂාදය වැනි වෙනත් මානසික රෝගවලටද ගොදුරුවීමේ ඉඩකඩක් සලසනු ඇත. ඇතැම් විට වැඩිහිටියන් විසින් සිදුකරන සමහර කාර්යයන් අප ඩිමෙන්ෂියාව යැයි හඳුනා නොගන්නා තරමට සුලභ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. 


වැඩිහිටි නැතිනම් මහලු විය සම්බන්ධයෙන් බොහෝදෙනෙකු සිතන්නේ එතරම් කැමැත්තකින් නොවේ. එයට හේතුව වියපත්වීමත් සමඟම ඇතිවේ යැයි සිතන රෝගාබාධ මෙන්ම කායික ශක්තියේ මතුවන නොයෙකුත් දුර්වලතා හේතුවෙනි. මේ වන විට අප රටේ වැඩිහිටි ජනගහණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර ඒ සමඟම වැඩිහිටියන් වෙනුවෙන් සපයන සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබේ. නමුත් වියපත් වීම යනු රෝගී වීම නොවේ. බොහෝ විට විශ්‍රාම ජීවිතය සම්බන්ධයෙන් අප අසන්නට දකින්නට හුරු පුරුදුව ඇත්තේ වැඩක් නොකර නිකම් සිටීමට උදාවන කාලය යන්න වුවත් වැඩිහිටි විය යනු වඩාත් ඵලදායී ලෙස ක්‍රියාකාරීව වැඩ කළ හැකි අවධියක්ය යන්න ලෝකයේ පිළිගැනීමයි. 


කෙසේ නමුත් මහලු විය එළැඹීමේදී වඩාත් නිරෝගී විය යුත්තේ මානසිකත්වයයි. ඒ හරහා නීරෝගීමත් ශරීර ශක්තියක් ඇතිකර ගැනීමට යමෙකුට බාධාවක් නොවේ. එහෙයින් අද අප සෞඛ්‍ය පිටුව තුලින් සාකච්ඡාවට බඳුන් කරනුයේ වියපත් වීම සමඟ නොදැනීම ඇතිවීමට ඉඩ පවතින මානසික තත්ත්වයේ එක් වෙනස්වීමක් පිළිබඳවය. 
ඩිමෙන්ෂියාව කියන්නේ රෝග ලක්ෂණ එකතුවක්. ඒ සඳහා විවිධ හේතු බලපාන්නට හැකියි. ඒ හේතු හැමෙකක්ම බලපාන්නේ මොළයේ සෛලවලටයි. මොළයේ කිසියම් කොටසක සෛල විනාශ වී යාම නිසා ඒ කොටස්වලින් පාලනය වන ක්‍රියාකාරකම් නිසි පරිදි ඉටුකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් හට ගැනෙන අවුල් සහගත තත්ත්වයන් පොදුවේ හැඳින්වෙන්නේ ඩිමෙන්ෂියාව ලෙසටයි. මෙයින් බහුලව දක්නට ලැබෙන්නේ අමතක වීමේ රෝගී තත්ත්වය නිසාම මෙයට කවුරුත් කියන්නේ අමතක වීමේ රෝගය කියලයි. 


මේ ඩිමෙන්ෂියා රෝගයට ගොදුර වූවන් වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අලුත්ම දත්ත කිහිපයක් හා රෝගය වළක්වාලීම වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබ ඇත. 


ඒ යටතේ අනිවාර්යයෙන්ම ශාරීරික අභ්‍යාස කළ යුතු බවටත්, දුම්පානය හා මද්‍යසාර භාවිතයෙන් වැළකීම, සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභවය, ශරීරයේ ස්කන්ධ දර්ශකය පාලනය කිරීම, රුධිර පීඩනය පාලනය කර ගැනීම, රුධිර නාළවල මේද තැන්පත් කර ගැනීමෙන් පාලනය වීම (කොලෙස්ටරෝල්) දියවැඩියාව පාලනය කර ගැනීම සිදු කර ගැනීමෙන් මෙම රෝග තත්ත්වය අඩු කර ගත හැකි බව ඔවුහු පෙන්වා දෙති. මේ සඳහා විටමින් වර්ග හෝ ඊට උදව් කිරීම වළක්වාලන දෑ භාවිතයට නොගෙන බාහිර ක්‍රියාකාරකම්වල යෙදීම තුළින් ඒවා වළක්වා ගත හැති බවය. එසේම ශ්‍රවන උපාංග පැලඳීම තුළින් මෙම ඩිමෙන්ෂියා රෝගය ඇතිවීම පාලනය කරන බවට විද්‍යාත්මකව තහවුරු කර ගෙන නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටී. 


ලොව පුරා සිටින මිලියන පනහකට වැඩි පිරිසක් පීඩා විඳින්නේ ඩිමෙන්ෂියා නැතිනම් චිත්ත වික්ෂේපය නමැති රෝගය නිසාවෙනි. ඒ වගේම සෑම වසරකදීම මෙම රෝගය අලුතින්ම වැලඳුණු මිලියන 10කට ආසන්න පිරිසක් ඊට එක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ගෙන ඇත. ඒ වගේම ඉදිරි වසර 30 මෙම සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් වසර 2030 දී ලොව පුරා සිටින ඩිමෙන්ෂියා රෝගීන්ගේ වෙනුවෙන් වියදම් කරන මුදල ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන 2 ඉක්මවනු ඇතැයිද ඔවුහු කියා සිටිති. 
මේ සා විශාල මුදල් කන්දරාවක් වියදම් කරනා ඩිමෙන්ෂියා රෝගීන් වෙනුවෙන් පමණක් නොව ඊට ගොදුරු වීමෙන් වළක්වාලීම වෙනුවෙන් මෙම නව මාර්ගෝපදේශන මාලාව හඳුන්වා දුන් බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දේ. 

 


ඉන්දියාවේ “ද වීක් ” සඟරාව ඇසුරෙනි.... 
සටහන  තිළිණි ද සිල්වා 



Recommended Articles