සොහොනෙහි ලියැවුණු නොමැරෙන හරබර වැකි


ලෝකෙන් ටිකක්

 

ශ්‍රී ලංකාවේ සේම ලොව බොහෝ රටවල මළගිය ඇත්තන් වෙනුවෙන් ස්ථිරසාර මීනී වළවල් තනා ඒ ආශ්‍රිතව අපූරු සිහිවටන ලිවීම කලාවක් වශයෙන් කරනු ලබන බවක් පෙනේ. එදා අපේ රටේ මෙන්ම වෙනත් රටවලත් මළගිය අය වෙනුවෙන් මෙවැනි දේ නොකළත් බටහිරින් ආ මෙම අංගය අපේ සංස්කෘතියටත් එකතු වූ බව නම් සැබෑය.   


විශේෂයෙන්ම මළගිය ඇත්තන් මිහිදන් කළ ස්ථානයේ ඔහු හෝ ඇය වෙනුවෙන් අපූරු අරුත් බර වැකි ලිවීම බටහිරින් අපට ආවකි. එම රසවත් හරබර වැකි මළගිය ඇත්තාගේ ජීවත්ව සිටින කාලයේ ජීවන පැවැත්ම හා සසඳා ගල් පුවරුවල ලිවීම ඔහුට හෝ ඇයට උපහාර සහ අනාගත මතක සටහන් තැබීමක් යැයි කීම නිඛාරුය. එසේම එය සනාථ කළ හැක්කේ යුරෝපයේ බොහෝ ප්‍රකට පුද්ගලයන්ගේ සො​හොන් කොත්වල ලියා ඇති අමරණීය සිහිවටන ඒකරාශී කළ ඉංග්‍රීසි ජාතික කාර්ල්ස් එල් වොලිස් (Carles L Wallis) විසින් ලියන ලද ස්ටොර්රිස් ඔන් ස්ටෝන් (Stories On Stone) නම් කෘතිය තුළිනි. ඔහු විසින් ලියන ලද එම ග්‍රන්ථයේ බටහිර රටවල ප්‍රකට සහ අප්‍රකට පුද්ගලයන්ගේ සොහොනෙහි ලියැවුණු හරබර වැකි ඉතා රසවත්ව ඉදිරිපත් කොට තිබේ.   


බටහිර ලොව ශ්‍රේ‍ෂ්ඨ කෘතීන් ගණනාවක් ලොවට දායාද කොට ඇති රොබට් ලුවී ස්ටීවන්සන් ලේඛකයාගේ සොහොනෙහි ලියා ඇති සිහිවටනය මෙසේය. 

 
‘සදා කල්හිම ඔහු පැතූ ස්ථානයෙහි ඔහු සැතපෙයි. නැවියා මහසයුරෙන් නිවසට සැපත් වී සිටියි’   


වර්ෂ 1875 දී ඇමරිකා එක්සත් ජනපදයේ වෙස්ට් රිස්ලි ප්‍රදේශයෙහි දී මියගිය ජෝන් ඇලී ජොන්ස් නම් පුද්ගලයාගේ සොහොනෙහි ලියා ඇත්තේ අපූරු වැකියකි. කිසියම් බුද්ධිමත් පුද්ගලයෙකු විසින් නිමවා ඇති එය මියගිය අය ජීවත්ව සිටි යුගය කියාපායි.   


‘මා මේ ලොවෙහි ජනිත වූයේ මගේ කිසිදු මනාපයකට නොවෙයි. සෙසු මිනිසුන්ගේ අප්‍රමාණ දුක් පීඩා මැද ටික කලක් ජීවත් වූයේ දැඩි සිත් තැවුලකිනි. දන්නා තරමින් බුද්ධිමත්ව මිනිසෙකු සේ දිවි ගෙවන්නට උත්සාහ කළ ද ලැබුණේ නම් තුති පැසසුම් නොවේ. ගැරහුම් රැවුම්ය. පුහු විශ්වාස ඇදහිලි පසුබා ගිය මම ටික කලකින්ම සදා සමු ගතිමි’   
එදා මෙදා තුර වොලීස්ගේ කෘතිය කියවූ බොහෝ ජනයාගේ සිත් පැහැර ගත් හද සසල කළ කියුම් කීපයකුත් දක්නට තිබේ. බටහිර නොවෙටිස්කෝයාවෙහි ප්ලෝරිනා ෂොර්බ්ස් නම් කාන්තාවගේ සොහොනෙහි ලියැවී ඇති වැකිය අතිසෝබර ය. හදකම්පා කරවන සුළු ය.   


‘දහ අට වසරක් කන්‍යාවකි. එක වසරක් බිරිඳකි. එක දවසක් මවකි. ඉන් පසු සදාතනිකව මම සමුගතිමි’  


 ඒ එක දවසක් පමණක් මවක වූ එක් කතකගේ ​සෝකාලාප වැකිය සේම විවිධ රටවල මියගිය දරුවන්ගේ සොහොන් කොත් කීපයක ඇති හරබර වැකි ද වොලිස්ගේ නෙත ගැටී තිබේ.   


‘මරණය මා බලාපොරොත්තු වූ නමුත් මෙතරම් ඉක්මනින් නම් නොවේ’   


‘ඔබ අප සමග එකම එක දවසයි’  


 ‘ඔහු ඉපදුණේය. ඔහු ජීවත් වුණේය. ඔහු හැඬුවේය. ඔහු සිනාසුණේය. ඔහු කෙඳිරිගාමින් මියගියේය’  


‘තොටිල්ල පැදවුණේ සොහොන වෙතටය. උපත මරණයේ ආරම්භයයි’ 

 
ඉහත කී රසවත් වැකියටම සමානව අපේ ගායිකා නන්දා මාලනිය ඇගේ හඬ අවදි කළේ මෙසේය.   


‘තිඹිරිගෙදර සිට සොහොන් බිම වෙතයි අපේ ගමන් මඟ විහිදෙන්නේ’   


​ලොව උපන් හැම මිනිසෙකුම නිබඳ නිවහල්ය. එහෙත් ඇමරිකාවේ පැවැති වහල් මෙහෙය නිර්දය ලෙස විවේචනයට ලක් කරමින් ලියැවුණු ස්මාරක ද එහි ගම් නියම් ගම් වල තිබෙන සුසානභූමිවලින් දැක ගත හැකිය. ඇමරිකාවේ මැසචුසේට්ස් ප්‍රාන්තයෙහි කොන්කෝර්ඩ් ජනපදයෙහි පිහිටි හිල්ස් සුසාන භූමියේ මිහිදන් කොට ඇති ජොන්ජැක් නම් කළු ජාතික විප්ලවවාදියාගේ සොහොන එවැන්නකි. වහල් මෙහෙය දැඩි සේ විවේචනයට ලක්වුණ එය අදටත් ඇමරිකාවේ සුදු ජාතිකයින්ට එල්ල කරන ලද මරු පහරක් වැන්න. 

 
‘දෙවියන් වහන්සේ කැමැත්ත අප සියල්ලෝම නිවහල් මිනිසුන් සේ දැකීමටය. එහෙත් බලවතුන්ට අවශ්‍ය අප වහලුන් මෙන් තබා ගැනීමටය. මෙම සොහොනෙහි සදා නිදා සිටින්නේ ජෝන් ජැක් නමැති මිනිසාය. අවුරුදු හැටක් ආයු වළඳා ඔහු මියගියේ වර්ෂ 1773 මාර්තු මාසයේය. වහල්කම හිස් මුදුනින් ඇදහූ මේ රටේ ඔහු ඉපදුණේ එදා නිවහල් අයෙකු ලෙසටය. එහෙත් ඔහු සදා වහලෙකු ලෙස ජීවත් වුණේය. ස්වකීය උත්සාහය සහ වීර්ය මත ඒ වහල්භාවයට ප්‍රතිප්‍රහාර දක්වා රජුන් ඇමතීන් හා එකට හිඳ ගත්ත ද මරණය නමැති රකුසා ඔහුව වහලෙකු කර ගනිමින් මරා ගත්තේය.   


මිනිසුන් මෙන්ම තම හිතවත් සුරතලුන් මියගිය අවස්ථාවලදී උන් වෙනුවෙන් සිහිවටන ලියන්නටත් සංවේදී මිනිසුන් කටයුතු කොට ඇති බව වොලිස් සිය කෘතියෙහි දක්වා තිබේ. ඇමරිකාවේ මේරිලන්ඩ් ජනපදයෙහි විසූ එක් පුද්ගලයෙකුගේ සුරතල් මේජර් නම් සුනඛයා වළ දැමූ වළ අබියස ගල් වැටක මෙසේ ලියා ඇති බව වොලිස්ගේ කෘතියෙහි දැක්වෙයි.   
‘බල්ලෙකු ලෙස ඉපදී මහත්මයෙකු ලෙස මියගියේය’   


තවත් ස්මාරකයක මෙසේ ලිය වී ඇත.   


‘ඌ අප සියල්ලෝම හොඳ බල්ලන් බවට පත් කර මිය ගියේය’  


 සොහොනක් වෙතට පැමිණෙන දහසක් දෙනාගේ හදවත තුළ රුවාගැනුමට යෙදුණු අපූරු හරබර වැකි පිළිබඳවද සඳහන් ය. ඒ හැම අයෙකුටම පොදු ධර්මතාව තම ආත්මයට එක්කාසු කර ගැනීමට උදෙසාය.   


 ‘මීළඟ දිනයේදී මා පසු පස ආ යුතු පුද්ගලයා කව්රුන්දැයි දන්නේ දෙවියන්ගේ වහන්සේ පමණය. ඇතැම් විට ඒ ඔබ විය හැකිය. ඒ නිසා ඒ ගමනට සූදානම් වන්න’   


‘මගේ අසලින් ගමන් කරන හිතවත් මිත්‍රය, මොහොතක් නෙත් හැර මා දෙස බලන්න. ඔබ සේම මමත් කලක් මෙහි ජීවත් වුණෙමි. නමුත් අද මා වෙසෙන ලොව කවදා හෝ ඔබත් ජීවත් විය යුතුය. ඒ නිසා මේ ඉරණම් ගමනට සූදානම් වෙන්න’   


අැමරිකාවෙහි විසූ එක්තරා ලේඛකයෙකු වළ දැමූ සොහොනෙහි ලියැවී තිබුණේ අපූරු වැකියකි.   


‘ඔහු කොතරම් පව්කම්වලින් දරුණු වුවද ඔහුගේ කෘතීන් ආදරයෙන් කියවිය හැකිය.’   


ජීවත්ව සිටිනා කාලයෙහි තමා දැරූ දේශපාලන මතයෙහි ම එල්බ ගත් ඇතැම් පුද්ගල චරිත මියගිය පසුත් එම මතයෙහි එල්බගත් ඇතැම් චරිත මියගිය පසුත් එම මතයෙහි ආරූඪ කොට ලියැවුණු සිහිවටන ද නැතුවා නොවේ. ඇමෙරිකාවේ කැන්සාස්හි විසූ ග්‍රීක්ස් බි නම් වූ රිපබ්ලිකන්වාදියා ජීවත්ව සිටින කල දැඩි සේ ප්‍රජාතන්ත්‍රවාදයට වෛර කළේය. හෙළා දුටුවේය. එම මතය කෙතරම් අන්තයටම වැලඳ සිටියේ ද යත් ඔහු සිය අන්තිම කැමති පත්‍රයේ ද මළ සිරුර තැන්පත් කරන සොහොනෙහි ලියා තැබිය යුතු දේ ලියා තැබීමට අමතක නොකළේය.   


‘මගේ සොහොනෙහි ලියා තබන මෙම ස්ථීර සටහනෙනුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යයි කියාගන්නා මිනිසුන්ට මම තදබල සේ විරෝධය පළ කරමි. ජැක්සන්ගේ කාලයේ සිටම මෙම පක්ෂය දෙස විමර්ශනශීලීව බලන විට මට කිව හැක්කේ අපේ ජාතියට සිදු වී ඇති බරපතළ ව්‍යසනය කොතෙක් ද යන්නයි. ඒ නිසා රාජද්‍රෝහී, දේශද්‍රෝහී මේ පක්ෂයෙන් ඔබ ප්‍රවේසම් වන්න යන්නයි මගේ එකම ඉල්ලීම....’   


සොහොන් පුවරුවල මෙවන් යෙදුම් ලියන්නට මිනිසාගේ අවධානය යොමු වන්නට ඇත්තේ හුදෙක්ම ආත්මාර්ථකාමීත්වය නිසාම බව වොලිස් සිය ස්මාරක පොතෙහි දක්වා ඇත. ඒ මන්ද යත් තමා වළ දැමූ ස්ථානයෙහි තවත් අයෙකු වළ දැමීම වැළැක්වීම සඳහා යන්න ඔහුගේ මතයයි. බොහෝ විට එය නිවැරදි යයි කිව හැකිය. මේ බව සනාථ වන ප්‍රධානම සාධකය සේ ඔහු දක්වා ඇත්තේ ලෝක ප්‍රකට මහා කවි ඉංග්‍රීසි ජාතික විලියම් ෂේක්ස්පියර්ගේ ස්මාරකයයි. එංගලන්තයේ ස්ට්රැඩ් පර්ඩ් මන් ඇවොන් නම් සුසාන භූමියෙහි ත්‍රිත්ව දෙව් විමනට අයත් සොහොනෙහි තැන්පත් කොට ඇති ෂේක්ස්පියර්ගේ ස්මාරකය යම් මතු දිනෙක කව්රුන් විසින් හෝ කඩා දමතැයි බියකින් ඔහුගේ මිතුරෙකු විසින් මේ සඳහා ශාප ගත හරබර ලියැවිල්ලක් කොට ඇති බව වොලිස් විසින් ප්‍රකාශ කර ඇත්තේ එහි ලියා ඇති පැදියෙහි තේරුම මෙසේය.   


‘හිතවත් සහෘදය ජේසුස් වහන්සේගේ නාමයට මෙහි ඇති දෑ ගොඩ ගැනීමෙන් වළකින්න මේ සොහොන ආරක්ෂා කළ හොත් යහපතක්ම සිදුවෙනු ඇත. ඇට කටු ආදිය කඩා බිඳ දමන්නේ නම් ඒ අයට ශාපයක්ම වේවා!’   


නිර්මල බුදු දහමට අනුවත් අපගේ සංස්කෘතියට එකඟවත් යම් අයෙකු මළගිය පසුවත් මිනිසුන්ගේ හදවත් තුළ ජිවත්වීම යනු ඔහු අංගසම්පූර්ණ මිනිසෙකු සේ දැක්වෙන කැඩපතයි. මෙයට සමගාමීව වොලිස් විසින් රචිත ගලෙහි ලියැවුණු සිහිවටන පොතෙහි ඇති දහසකට ආසන්න සිහිවටන අතර ඔහුගේ සිත් ගත් එකම සිහිවටනය ද ඔහු විසින් වෙන් කොට දක්වා තිබේ.   


‘‘අප මියගිය පසුවත් සෙසු ජනතාවගේ චිත්ත සන්තානයෙහි ජීවත් වන්නේ නම් අපි කිසිදා නොමැරුණෝ වෙමු’’   


(Stories On Stone ඇසුරෙනි.)   


නාලගමුවේ   
උබේසේකර කුමාරසිංහ  



Recommended Articles