සිරිලකට පෙම් බැඳි සුදු ආණ්ඩුකාරයා


 

‘විකුම් සිහල පරපුර මිහි තිබෙන තුරු
උතුම් රාජ ලේ ටික මගෙ සිඳෙන තුරු
නෙතින් කඳුළු නොහෙලමි දිවි තිබෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක්මවුනි ගරු.


සුදු අධිරාජ්‍යවාදීන් තුන් සිංහලයේ අවසන් පාලකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතුළු පිරිස වෙල්ලෝරයට පිටුහල් කිරීම සඳහා නෞකාවකින් රැගෙන යද්දී එතුමාට දැනුණු හැඟීම් පැරණි කවියකු ඉස්මතු කළේ එසේය.
වර්ෂ 1815 මාර්තු මස 02 වනදා මහනුවර මඟුල් මඩුවේදී උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාවේ ප්‍රධාන රාජ්‍ය සංකේතය වන සිංහාසනය සහ ඔටුන්න ඇතුළු කකුධ භාණ්ඩ රැසක්ද ඉංග්‍රිසිහු රැගෙන ගියහ.


මෙකල තුන්වැනි ජෝර්ජ් රජු එංගලන්තයේ රාජ්‍යත්වය දැරූ අතර සිංහලයේ අවසන් රජුගේ ඔටුන්න සහ සිංහාසනය වින්ඩ්සර් මාළිගයේ විශේෂ කුටියක තැන්පත් කෙරිණි. එ​ රටෙහිදිද එම වස්තූන්ට නිසි ගෞරවය ලබාදුන් අතර රාජ්‍ය ගෞරව සම්මාන උත්සව වලදි මෙම සිංහාසනය භාවිත කළ බව සඳහන් වේ.
1934 වකවානුවෙහි බ්‍රිතාන්‍ය කිරීටය දැරූ පස් වැනි ජෝර්ජ් රජු විසින් එය ගෞරවාදරයෙන් ‘සිලෝන් හෙවත් සිංහල දේශයට’ යළි පිරිනැමීමට තීරණය කෙරිණ. ඒ අනුව 1934 සැප්තැම්බර් 20 වනදා එංගලන්තයෙන් පැමිණි සසැක්ස් නෞකාවෙන් ගෙන එන ලද මෙම උතුම් භාණ්ඩ විශේෂ ආරක්‍ෂාව යටතේ රාත්‍රී දුම්රියකින් මහනුවරට යැවිණ.


මෙම ඓතිහාසික සත්කාර්යය ඉටුකිරීමෙහිලා පුරෝගාමී වූයේ එවකට (ලංකාණ්ඩුකාර ධූරය දැරූ ශ්‍රීමත් රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස් විසිනි. එංගලන්තයේ ඔස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු වූ ඔහු 1913 දී සිලෝන් යැයි හැඳින් වූ අප රටේ ආණ්ඩුකාර ධූරයේ වැඩ බැලීමට පත්කර එවිණ.
ලංකාණ්ඩුකාර ශ්‍රීමත් රොබට් චාර්මස් පෙරළා දිවයිනට පැමිණි පසුද දෙවැනි ආණ්ඩුකාර තත්ත්වය ස්ටැබ්ස් මහතාට පිරිනැමිණ. 1915 දී චාර්මස් ආණ්ඩුකාරවරයාගේ ක්‍රියා පටිපාටිය නිසා යළි එංගලන්තයට කැඳ වූ අතර එම ධූරයේ වැඩ බැලුවේද ස්ටබ්ස් මහතාය.
අනතුරුව ආණ්ඩුකාර ධූරය ඉසිලූ ශ්‍රීමත් ජෝන් ඇන්ඩර්සන්ගේ සහයකයා වූයේද ස්ටබ්ස්ය. මෙම වකවානුවේ සිදුවූ සිංහල- මුස්ලිම් ගැටුමෙන් පීඩාවට පත් සිංහල බෞද්ධ ජනතාවට පිහිටවීම නිසා ජනතාව අතර ස්ටබ්ස් මහතා කෙරෙහි හැඟීමක් ඇති වූ බව පෙනී යයි.’’
1919දී නයිට් පදවියකින් පිදුම් ලැබූ ඔහුම බ්‍රිතාන්‍ය රජය විසින් හොංකොංහි ආණ්ඩුකාර ධූරය පිරිනැමු අතර 1925- 1932 අතර එම පදවිය උසුලා 1932- 1933 කාලයේදී සයිබ්‍රස් රාජ්‍යයේ ආණ්ඩුකාර ධූරය දැරීය.
‘‘ඔබට අවශ්‍ය කුමක්ද? එතුමා ගැන පැහැදුණු බ්‍රිතාන්‍ය පාලකයෝ ඇසූහ.
‘‘මං කැමතියි සිලෝන් රටේ ආණ්ඩුකාර පදවිය ලැබෙනවනම්. මට ඔවුන් හා බැඳීමක් තිබෙනවා.’’ ස්ටැබ්ස් මහතාගේ පිළිතුර විය.


ඊට හේතුව ඔක්ස්ෆර්ඩ් සරසවියේදී වරක් දිසාපති ජෝර්ජ් ටර්නර් විසින් පරිවර්තනය කරන ලද සිංහල මහාවංශ කියවීමට ලැබීමෙන් සිලෝන් දේශය ගැන ඇති වූ කුතුහලයයි.
සිලෝන් හී ආණ්ඩුකාර ධූරයෙන් පිදුම් ලැබී ශ්‍රීමත් රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස් ආණ්ඩුකාරතුමාගේ කතා විලාසය, ගති පැවතුම් හා කාරුණික භාවය කෙතරම් ජනතාවගේ සිත් ගත්තාද යත් සාමාන්‍ය ජනතාවත් ඔහු හැඳින්වූයේ ‘‘අපේ රජතුමා යන ගෞරව නාමයෙනි.
සිංහලයන් පිළිබඳවත්, සිංහල භාෂාව පිළිබඳවත් බෞද්ධාගම හා බෞද්ධ දර්ශනය පිළිබඳවත් එතුමාගේ දැඩි සැලකිල්ල යොමු වූ බව කියැවේ.
මහගත්කතුවරයකු වූ කුමාරතුංග මුනිදාසයන් පවා මෙම සුදු පාලකයාට ආදරය දක්වමින් නිතර ‘අපේ රජතුමා’ යනුවෙන් සඳහන් කර ඇත.


වරක් හෙනරත්ගොඩ (අද ගම්පහ) මිරිස්වත්තේ දී පැවැති බටහිර සියනෑ කෝරළයේ අත්කම් ගොවිකම් හා සෞඛ්‍ය ප්‍රදර්ශනය විවෘත කරමින් ස්ටබ්ස් ආණ්ඩුකාරවරයා අපූරු කතාවක් කළේය. කුමාරතුංග මුනිදාසයන් සංස්කරණය කළ ලක්මිණි පහන පුවත්පත 1934.06.26 දින මුල පිටුවේම එය මෙසේ වාර්තා කළේය.
‘‘පළමුවෙන්ම ලංකාවේම සාදන ලද භාණ්ඩත් ඊළඟට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ සාදන ලද භාණ්ඩත් මිලදී ගැනීම රටේ ස්ථිරසාර ප්‍රතිපත්තිය කරගත යුතුය. විදේශිකයන් හට ඔවුන්ගේ වැඩ ඔවුන්ටම බලා කියාගන්නට හැරීම සුදුසු යැයි තරයේ සිතට ගත යුතුයි.’’
ස්ටබ්ස් ආණ්ඩුකාරයා තුළ පැවති ජාතික ආලය කොතරම් දැයි මෙවැනි කතාවලින් පෙනීයයි.
සියනෑ කෝරළයේ ජනතාවගේ කෘෂි කර්මාන්ත අත්කම් භාණ්ඩ නිෂ්පාදන, දේශීය වෛද්‍ය ක්‍රමයේ දියුණු කිරීම පිණිස රජය ඔවුන් දිරිගැන්වූයේ මෙතුමාගේ පාලන කාලය තුළදීය. දේශීය සංස්කෘතික ප්‍රදර්ශනය සතියක් පුරා පැවැති අතර ස්වදේශ කටයුතු අමාත්‍ය ශ්‍රීමත් දොන්බාරොන් ජයතිලක සහ කෘෂිකර්ම අමාත්‍ය ඩී.ඇස්. සේනානායක යන රාජ්‍ය නායකයෝද එක් වූහ.


ස්ටබ්ස් ආණ්ඩුකාරයාගේ චර්යා රටාව මහ සඟරුවනගේද සිත් ගත්තේය. 1935 දෙසැම්බර් මස 07 දා වනදා පෑලිය​ගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ වජ්‍ර ජයන්ති උළෙලට දායක සභාවේ සභාපති ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මැතිඳුන්ගේ ඇරයුම පරිදි ස්ටැබ්ස් ආණ්ඩුකාරයා පැමිණියේය. අභිනව පිරිවෙන් ශාලාව හා පුස්තකාලයට මුල්ගල තබන ලද්දේ ‘ලක් රජතුමා’ ලෙස විරුදාවලි ලැබූ එතුමන් අතිනි.
විද්‍යාලංකාර පරිවේණාධිපති ලුණුපොකුණේ ධම්මානන්ද නාහිමියන්ගේ අනුදැනුමින් පැවැති මෙම උළෙලට දම්සභා මණ්ඩපය අත්‍යලංකාර ලෙස සරසා තිබූ අතර ආනන්ද විද්‍යාලයේ සිසු පිරිසක් පන්තේරු නැටුමක් ඉදිරිපත් කළහ. පුස්කොළයෙහි ලියැවුණු ස්තුති පත්‍රයක් එතුමාට පිළිගැන්විණ.
‘‘මා රටෙන් බැහැරව සිටි කාලය තුළ විද්‍යාලංකාර පිරිවෙනේ වෙනස්කම් බොහොමයක් සිදුව ඇති බව පේනවා නව ප්‍රබෝධය තුළින් රාජ්‍ය භාෂා කෙරෙහි විශාල සැලකිල්ලක් ඇති වේවි යැයි සිතමි.
‘‘විසිපස් වසරකට පෙර රාජ්‍ය සේවය සඳහා සුදුස්සන් තෝරා ගැනීමේදී සිංහල සහ දෙමළ අයට තම තමන්ගේම භාෂා කතා කරන්නවත් ලියන්නටත් හොඳ දැනුමක් තිබුණේ නැහැ. ඒ අය මේ රටේ උසස් අධ්‍යාපනයක් ලැබූ අයයි. උගත් තරුණයා තම බස දැන සිටිය යුතුයි. ඔබේ මැ මව්බස ඉගෙන ඔබේ මැ රට ගැන දැන ගැනීම හොඳ අධ්‍යාපනයක ලක්‍ෂණයයි.
‘‘ඔබේ මවුබස වැඩියෙන් දැන සිටීම අනිකුත් බස් ඉගෙනීමට ඔබ සුදුස්සකු කරාවි. විද්‍යාලංකාර පිරිවෙන තුළින් දෙන්නේ එබඳු අධ්‍යාපනයක් නිසා මම ඔබ සැමට ජයපතමි.’’ (1935 දෙසැ 17 ලක්මිණි පහන)
1913 දී මෙරට ආණ්ඩුකාරධුරයේ වැඩ බලද්දී ශ්‍රීමත් එඩ්වඩ් ස්ටබ්ස් මෙරට පත්‍ර ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි විය. එංගලන්තයේ තැන්පත්ව පැවති හෙළ සිංහාසනය සහ ඔටුන්න පිළිබඳ චිත්‍රමය තොරතුරු රැසක් එහිදී ජනතාවට දැක ගන්නට ලැබිණ.


මෙම ඓතිහාසික කකුධ භාණ්ඩ යළි අපවෙත ලබාගැනීම සඳහා මුල් වූ පිරිස අතර ග්රෑන්ඩ් ෂැවලියර් ඇන්.ඩී.ඒ. සිල්වා විජේසිංහ පඩිකාර මුදලිද විය. 14 වියේදී හෙළ සිංහාසනය සහ ඔටුන්න පිළිබඳ පොතකින් කියවා මහත් කුතුහලයට පත් එතුමා පසුකළෙක වින්ඩ්සර් මාලිගය නැරඹීමට පවුලේ අය සමඟ ගිය අවස්ථාවේ එම වස්තුන් තමන්ට දැක බලාගැනීමට සලස්වන ලෙස මාලිගාවේ නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය. ඔවුන් පෙන් වූ දිගු ලැයිස්තුවේ ‘‘රාජකීය ගාටර් සිංහසානය’ නමින් පළ වී තිබූ අපේ සිංහාසනය හා කිරීටය පිළිබඳ තොරතුරු දැක ඉමහත් සතුටට පත් වූ බව පඩිකාර මුදලිවරයා පවසා ඇත.
ඉංග්‍රීසි මහ රජතුමා විසින් රාජ්‍ය ප්‍රධානීන්ට පිරිනමනු ලැබූ නයිට් ඔෆ්ද ගාටර් නමැති ගරු නාමය පිරිනමනු ලැබුවේ මෙම සිංහාසනය මත වැඩ හිඳුවාගෙන බව දැනගැනීමට ලැබිණි. එසේ නම් අපේ සිංහාසනය එංගලන්තයේ සුරැකිව තබා තිබුනේ පූජාසනයක් ලෙසිනි.
අවසන් දෙවසරේ මෙම සිංහාසනය මත හිඳුවා මෙම ගරු නාමයෙන් පිදුම් ලැබුවේ නෝර්වේ රටේ දොන් ඉමැනුවෙල් රජු හා පෘතුගාලයේ ළමා රජුය. අපේ සිංහාසනය අසළ යුරෝපයේ හිටපු නායකයන් බොහෝ දෙනෙක් දණගසා ඇති බව ඉන් පැහැදිලි වෙයි.


ඇන්.ඩී.ඒ සිල්වා විජේසිංහ පඩිකාර මුදලිවරයා වින්ඩ්සර් මාලිගාව නරඹා සිය රට ආ විගසම එම සිංහාසනයේ ඡායාරූපයක් තමන් වෙත එවන ලෙස එම කෞතුකාගාරය භාර නිලධාරියාගෙන් ඉල්ලා යැවීය.
ඒ පිළිබඳ මාලිගාව භාර සාමිවරයා සමග දීර්ඝ සාකච්ඡා පැවැත්විණි. එහෙත් එම ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප වූ අතර දීර්ඝ ලිපි හුවමාරුවකින් පසු වින්ඩ්සර් මාලිගාවේ සිංහාසනය තිබූ පරිසරයේ චිත්‍ර සටහනක් පින්තාරු කරගැනීම සඳහා පමණක් මුදලිවරයාට අවසර ලැබිණ. මහත් සතුටට පත් මුදලිවරයා ඒ සඳහා උපක්‍රම සෙවීය.
ඒ සඳහා එරට විසූ සිඤේඤෝර් ගෝට් නමැති ප්‍රවීන චිත්‍ර ශිල්පියා සමඟ යළි වින්ඩ්සර් මාලිගයට පිවිසි මුදලිවරයා බලධාරින්ගේ අනුශාසන මත තෙදිනක් තුළ අපේ සිංහාසනයේ අපූරු සිතුවමක් ජීවමානව ඇඳ ගත්තේය.


රාජකීය යුද්ධායුධ භාණ්ඩාගාරයේ හෙළයේ කකුධ භාණ්ඩ ​රැසක් නැත්පත්ව තිබුණු බව ලේඛනගත වී තිබිණ. රජුගේ ඔටුන්න, ජය කොන්තය, අසිපත සහ කස්තානය එහි වූයේ මයිසූර් ප්‍රාන්තයේ තිප්පුසුල්තාන් රජුගේ කිරීටයේ මැණික් ගල් තොගයත් සමඟය.
මේ අභරණ ඉතා උසස්ව රමණීයව නිර්මාණය කර තිබූ අතර දුර්ලභ රත්න, මරකත, මුතු සහ දියමන්ති වැනි මැණික් ගිල්වා තනා තිබිණි. ඒවා සිංහාසනයේ ගිල් වූ මැණික්වලට වඩා අගනේය.
අපේ සිහසුන වසර 400කට වඩා පැරණි වූ අතර දිග අඩි 5ක් සහ පළල අඩි 2 අඟල් 2කි. සිංහාසනයේ කැටයම්වලට මැණික් ගල් 243ක් ඔබ්බවා තිබෙන බව සඳහන්ය පා පුටුව අඩි 2 අඟල් 1 1/2ක් දිග වූ අතර පළල අඟල් 10 1/2ක් විය එහි මැණික් ගල් 49ක් ගිල්වා තිබිණ. මෙම ගල් අඹතෙස්ත සහ සුදුනිල් ගල් ලෙස හැඳින්වේ.
මුදලිවරයාගේ සටහන් වල සඳහන් පරිදි විදෙස් සංචාර කිහිපයකදී ඔහුට රජවරුන්ගේ සිහසුන් සහ කිරීට ඇතළු කකුධ භාණ්ඩ දෑසින් දැක ගැනීමට හැකි වූ අතර අපේ උඩරට සිංහාසනය අදටත් ලොව අග්‍රස්ථානයෙන් ලා තැබිය හැකි බව දැක්වෙයි. එහි ඇති කැටයම් අගනා ප්‍රතිචීන කර්මාන්තයක් මෙරට පැවැති බව අපූරු සාධකයකි.


රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය මත ශ්‍රීමත් රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස් ආණ්ඩුකාරවරයාගේ උනන්දුව හා සහයෝගය මත බ්‍රිතාන්‍ය කිරීටය දැරූ පස් වැනි ජෝර්ජ් රජතුමාගේ අනුකූලතාව මැද සසැක්ස් නෞකාවෙන් සිලෝන් දේශයට පරිත්‍යාග කරනු ලැබූ මෙම කිරීටය සහ සිංහාසනය ඇතුළු කකුධ භාණ්ඩ විශේෂ පොලිස් ආරක්‍ෂාව ඇතුව රාත්‍රී දුම්රියෙන් මහනුවර වෙත යළිගෙන එන ලදී.
1934 සැප්තැම්බර් 22 දින රාත්‍රියේ මහනුවර මාළිගාවේ මඟුල් මඩුවේදී පැවැති රාජකීය උළෙලේදී පස් වැනි ජෝර්ජ් රතුමාගේ පුත් ග්ලොස්ටර් ආදිපාදිවරයා විසින් මෙරට ආණ්ඩුකාර එඩ්වඩ් ස්ටබ්ස් වෙත පිරිනමන ලදී.
පෙරදා ඉන්දියාවෙන් බුදු දහම රැගෙන ධර්මාශෝක රජතුමාගේ පුත් මහින්ද රහතුන් වහන්සේ මෙරටට වැඩමකළ අයුරු සිහිගන්වමින් පස් වැනි ජෝර්ජ් රජතුමාගේ පුත් කුමරු අපේ සිහසුන සහ කිරීටය යළි රැගෙන පැමිණි අයුරු සිහිපත් වූ බව පැරැන්නෝ කියා ඇත.
ප්‍රවීණ ලේඛක සෝමසිරි කස්තුරි ආරච්චි විසින් මේ ඓතිහාසික වෘත්තාන්තය මෑත දී පෙළගස්වා තිබුණේ නව පරපුරටද දැකබලා ගැනීම සඳහාය. මෙම සුවිශේෂි උත්සව සභාව ඒ සඳහා සැදී පැහැදී තිබුණේ මේ අයුරිනි.


‘‘එදා කන්ද උඩරට මඟුල් ගෙයක සිරියෙන් බැබළෙමින් තිබිණ. පෙරහර එන මංසන්දි රැසකම තැඹිලි හා කුරුම්බා තොරණය. පේරාදෙණියේ සිට මහනුවරට ගමන් ගන්නා මහ පෙරහර උඩරැටි නැට්ටුවන් 400කගෙන් යුක්ත විය. මඟුල් මඩු, දෙවි විමනක් සේ සරසා තිබිණ.


විදේශීකයන් අපේ රටින් පැහැරගත් සිංහාසනය හා කිරීටය යළි සිය රටට ලැබීම යළි නිදහස ලංකාදීපයට ලැබීම හා සමානයයිද යළි රටට අපේම රජෙක් පහළවූවා වැනි හැඟීමකින් මෙම උළෙල සංවිධානය කර තිබිණ.
ශ්‍රීමත් රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස් ආණ්ඩුකාරවරයා සමඟ ශ්‍රීමත් ඩී.බි. ජයතිලක, ඩී.ඇස්. සේනානායක, දොස්තර ඩබ්ලිව් ආතර් ද සිල්වා ආදී මැති ඇමැතිවරු රැසක්ද එහි වූහ. නාඹුළුව ඩී.එල්. එඩ්මන්ඩ් දිසානායක කවියා 1934 සැප්. 20 දා දිනමිණට ග්ලොස්ටර් ආදි පාදවරයාට උපහාර දක්වමින් මෙසේ කවියෙන් පුද කළේය.


බැතියෙන් මුළු ලොවම සෙත සලසන අතර
සුපසන් රජ කුමරුටත් ගුණයුතු ගැඹර
සතොසින් දිගා සව්සිරි පතමින් මෙවර
පිළිගන්වමි ඔබට මේ කවි මල් පොකුර.


ඉ​ර නොබසිනා අධිරාජ්‍යයේ උපත ලබා තම යටත් විජිතය වූ සිංහල ද්වීපයේ ජන සමාජය තුළ ගහට පොත්ත මෙන් බැඳුණු බුදුදහමේත් සිංහල ජාතියේත් අභිමානය හා අනන්‍යතාව සිය හදවතින්ම දැක හඳුනාගත් ස්ටබ්ස් ආණ්ඩුකාරවරයා පිළිබඳ ගෞරවය හා සුහදත්වය ජනතා හදවත් තුළ තවමත් වැඩෙමින් පවතී.

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි



Recommended Articles