රුහුණේ මී කිරි හා බැඳුණු රස කතා හා තිත්ත කතා


 රුහුණේ මී කිරි සහ කිතුල් පැණි.

 

 

  • රටේ ලොක්කා ළඟට කිරිහට්ටි ගෙන ගිය මන්ත්‍රීට ලැබුණු දේ

 

 

දශක ගණනාවකට පෙර දිවයිනේ ප්‍රකට කවීන් පිරිසක් රුහුණේ සංචාරයක යෙදෙමින් හිතවත් නිවෙස් වලදී කවි සංවාදවල යෙදීමට තීරණය කළහ. මේ වැඩසටහනට මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා ගන්නටද කටයුතු කෙරිණි. එකල රූපවාහිනී මාධ්‍ය නොතිබූ හෙයින් පුවත්පත ප්‍රබල අවියක් විය. එකළ සිටි (ලංකාදීප) කතුවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව මේ වැඩසටහනට ඉහළම ප්‍රචාරයක් දී තිබිණි.


කවීන්, ලේඛකයන්, උගතුන් සමඟ කුලුපහ හිතවත් කමක්ද රසික හදවතක්ද තිබූ කතුවරයා නියමිත දින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට එම සිදුවීම යොදා තිබුණේ මේ අයුරිනි.


‘‘කවි පැණි වැටෙයි අද කිරි හැළියට රුහුණේ’’


දිගු කලක සිට දිවයිනේ රුහුණු දනව්ව, ඈත රුහුණ ප්‍රකට වී ඇත්තේ මීකිරි වලටය. මී ගව පාලනය ඉතාම ඈත කාලයක සිට මෙහි ප්‍රධාන ග්‍රාමීය කර්මාන්තයක් විය. එය වී ගොවිතැන හා බැඳී පවතින කාර්යයකි. රෝද දෙකේ ට්‍රැක්ටර්, රෝද හතරේ ට්‍රැක්ටර් කුඹුරු වැඩට යොදා ගැනීමට පෙරකාලයේ මී ගවයින් යොදා සී සෑම සිදු කෙරිණි. අස්වැන්න කපා පාගාගත් කුඹුරු යායන්ට මී ගව රංචුවක් දක්කා දිනක් දෙකක් ගත වෙන්නට හැරීමට ගොවීන්ගෙන් ඉඩ ලැබිණි. එයින් පස යම් තරමකට පෙරළීමක් පොහොර වීමක්ද විය.
ගවයින් සිටීම ‘‘සම්පතක්’’ හැටියට එකල සැලකිණ, මී ගවයින්ද හැඳින්වුනේ ‘‘මී ගව සම්පත’’ වශයෙනි. මී ගවයින් විශාල පිරිසකගෙන් සැදුම්ලත් ‘‘මී ගව පට්ටි’’ සිටියේ ධනවතුන්ටය. දුප්පතුන් හෙවත් අද කාලයේ හැඳින්වෙන හැටියට අඩුආදායම්ලාභීහු එම මී ගව පට්ටිවල සේවකයින් වූහ.


අදින් දශක කිහිපයකට පෙර රුහුණේ ප්‍රධාන මාර්ගයක යන එන විට මී ගවයින් රැසක් පාරේ එක් පසෙක දක්කාගෙන යන ‘‘ගොපල්ලන්’’ සුලබ දැකුමක් විය. නවීන පන්නයේ මෝටර් රථයකින් මහමග ගමන් ගන්නා. ධනවතුන්ට බලවතුනට නම් මහමග අහුරාගෙන හෙමින් සීරුවේ ඉදිරියට ඇදෙන මෙවැනි මී ගව රංචු මහ වදයක් වූ හෙයින් ඒවා ‘‘මීහරක් වැඩ’’ විය


දිනකට දෙතුන්වරක් දියනාන දිය කෙළින අයෙක් දුටුවිට ‘‘මොකද මීහරක් ගිනියම හැදිලද?’’ යනුවෙන් ඇතමුන් විමසන බව ප්‍රකටය. නිතර අනුවණ වැඩ කරන්නකු ඇතමුන් හඳුන්වන්නේ ‘‘ඌ නම් මීහරකෙක්’’ යනුවෙනි.


එළ ගවයින්ට වඩා විශාල තියුණු අං දෙකක් ඇති මී ගවයා බැලූ බැල්මට නපුරු සත්වයකු හැටියට පෙනුණත් බොහෝ විට අහිංසක සතෙකි. එළ හරකුන් මෙන් ප්‍රියමනාප පෙනුමක් නැති මී හරකා අප්‍රිය සහඟත ගොරෝසු පෙනුමකින් යුත් සත්වයෙකි. වගුරු බිම් ප්‍රිය කරන මී හරකා මඩෙහි ලැඟසිටීමටද කැමතිය. ගොඩමඩ දෙකට ඔරොත්තු දෙයි නොගැළපෙන දෙදෙනෙක් හෝ නොගැළපෙන දෙකක් එකට එක් වීම රුහුණේ ගැමියන් හඳුන්වන්නේ ‘‘එළ හරකයි මී හරකයි වගේ’’ යනුවෙනි. අපිළිවෙළට සහ අප්‍රිය සහගත ලෙස පවත්වාගෙන යන තැනක් කාටත් තේරෙන භාෂාවෙන් කියන්නේ ‘‘මීහරක් ලඟින තැන වගේ’’ යනුවෙනි.
දශක එක හමාරකට පමණ පෙර මී කිරි කර්මාන්තයේ ගැටලු ගැන සෙවීමට මම හම්බන්තොටට නුදුරු අම්බලන්තොට පෙදෙසේ ගමකට ගියෙමි. දන්නා හඳුනන අයෙක් මා යොමු කළේ ප්‍රදේශයේ ධනවත් ‘‘ගම්බාරේ’’ වරයකුගේ නිවහනටය.


බොහෝ කාලයක සිට හම්බන්තොට දිසාවේ මී ගව පට්ටිවල හිමිකරුවන් වූයේ ගම්නායකයින් කුඹුරු හිමි ධනවතුන් වූ මෙම ‘‘ගම්බාරේ’’ වරුන්ය. තරමක් වියපත් කාන්තාවක සමඟ කතා කරන්නට මට ඉඩ ලැබිණි. සැබවින්ම ඇය විශාල මී ගව පට්ටියක හිමිකාරියක වූවාය.
‘‘මම විවාහවෙලා ගෙදරින් පිට යන කොට මගේ දෙමව්පියෝ මට දෑවැද්දට දුන්නෙ මී හරක් පට්ටියක්.’’
ඇය පැවසුවාය. එය මට තරමක විමතියට කරුණක් වූවත් ඒ පෙදෙසේ හැටියට එය සත්‍යයකි. ඇය ප්‍රධානතම ගැටලුවක් හැටියට දැක් වූ කරුණක්ද මට සිහියට නගාගත හැකිය.


‘‘කුඹුරුවලට ගහන කෘමි නාශක මිශ්‍ර වතුර බීපු අපේ මී ගවයින් කීප දෙනෙක් මැරුණා.’’
ඇය කෙටියෙන් පැවසූ ඒ වදන් වල දිගුකතාවක් ගැබ්ව තිබිණි. මී ගවයින් මැරෙන විට ඇළ දොළ ආශ්‍රිත ජල ජීවීන් ඉතිරි වේද?
‘‘හරක් බලාගන්නා විශ්වාසවන්ත වැඩට දක්‍ෂ මිනිස්සු හොයා ගන්න එකත් ලේසි නෑ.’’
ඇය තවත් ගැටලුවක් අප හමුවේ තැබුවාය.


වාසනාවන්ත අනාගතයක් වේවායි රුහුණේ වැසියන් ප්‍රාර්ථනා කරන්නේ ‘‘කිරියෙන් පැණියෙන් ඉතිරේවා’’ යනුවෙනි රුහුණු ගිරුවාපත්තුවේ මී කිරිවලට මොරවක් කෝරලයේ කිතුල් පැණි එකතු වූ විට දැනෙන රසය අපමණ බව කව්රුත් දනිති. කිරිපැණි අනුභව කරන්නේ සතුටුදායක අවස්ථාවලදීය. සතුට ධනය වැඩි කාලයක් උදා වූ විට ‘‘කිරි පැණි ඉතිරෙන කාලයක්’’ යයි කියති. නිවසට දිවා ආහාරයට නෑදෑ හිත මිතුරන් පැමිණෙන විට කෑම මේසයට කිරි පැණිද (අතුරු පසක් ලෙස) එක් කිරීමට රුහුණේ වැසියෝ අදත් අමතක නොකරති.
මාතර හම්බන්තොට මොනරාගල දිසාවන්හි වැසියන්ගේ මංගල උත්සව සහ දානමය පිංකම් වලදී අනිවාර්ය අංගයක් වන්නේ කිරි පැණිය. කෑමට අතුරුපසක් හැටියට මුදවන ලද කිරි නැත්නම් එය ලොකු අඩුවක් හැටියට සලකනු ලබයි. දානමය පිංකම්වලට යන විටත්, නෑදෑ හිතමිතුරන් බැහැ දකින්නටත් යන විට හිස් අතින් නොගොස් තුටු පඬුරු වශයෙන් කිරිහට්ටි කිහිපයක් බැඳගෙන යාමට ඔවුහු අමතක නොකරති.
කලකට පෙර මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ ප්‍රබලතම ඇමතිවරයකු සති අන්ත ‘‘මහජන දිනයට’’ ගමේ නිවසට පැමිණ නැවත යාමට සූදානම් විය. ඒ වන විටත් සෑහෙන පිරිසක් නිවසේ රැදී සිටියහ. ඇමති බිරියද ඒ අතර විය. ගැමි කාන්තාවක් අලුත්ම ලොකු මුට්ටියක් දෝතින් ගෙන පැමිණියාය.


‘‘මැඩම්, මේ අපේ ගෙදරම හදපු මී කිරි මම මැඩම්ට දෙන්න කියලමයි හැදුවේ.’’ ඇය කීවාය.
‘‘බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් මහන්සි වුණාට’’ යැයි කී ඇමති බිරිය එය කාරයේ තැන්පත් කරන්නැයි රියදුරාට කීවාය. ඒ තුටු පඩුර නැවුම් පිරිසුදු වටිනා දෙයක් බව ඇය දැන සිටියාය. දුවට බැංකු පත්වීමක් හෝ පුතාට රේගුවේ රැකියාවක් ලබා ගැනීම ඒ ගැමි කාන්තාවගේ සිතේ පැවති අදහස විය හැකිය.
මී කිරි අනුභව කිරීමේදී රුහුණේ වැසියෝ තවත් නොයෙක් ආහාර ඒ සඳහා එක්කර ගන්නේ එහි රසය ගුණය වැඩිකර ගැනීමටය. බොහෝ විට ඒ සඳහා වැඩියෙන් යොදා ගන්නේ රුහුණේ වැසියන්ගේ ආවේණික. ආහාරයක් වූ කුරක්කන් පිට්ටුය.’’


‘‘කුරක්කන් පිට්ටු’’ සහ මී කිරි මිශ්‍රකර සීනි හෝ පැණි සමඟ වැළඳීමට ඇතැම් ස්වාමින් වහන්සේලාද ප්‍රියකරති. මී කිරි බත් මිශ්‍රකොට කෑමට ඇතැම් ගැමියෝ කැමත්තක් දක්වති. මීකිරි වැඩියෙන් ආහාරයට ගත්විට තරමක් ‘‘මත් ගතියක්’’ අත් විඳින්නට සිදුවේ. පෝෂ්‍යදායක ආහාරයක් වූවත් මේදය සහිත තරමක් දිරවීමට අපහසු ආහාරයකි.
ඉතාම ඉහළ ප්‍රමිතියකින් සැකසූ මී කිරි වලට උසස් තත්ත්වයේ කිතුල් පැණි ටිකක් යොදා ආහාරයට ගැනීමට බොහෝ දෙනා ප්‍රියකළත් එවැනි හොඳ ඉස්තරම් කිරි පැණි සොයා ගැනීම අද කාලයේ පහසු නැත. ලාබය වැඩිකර ගැනීමටත්, තරමක් හෝ කල් තබා ගැනීමටත් නොයෙක් දේ මිශ්‍ර කරන බැවිනි. ඉස්තරම් මී කිරි කලින් ඇණවුම් කොට විශේෂයෙන් සාදවා ගත යුතුවේ. මෙම කිරි මිදවීමේ කර්මාන්තය ලෙහෙසි පහසු කර්යයක්ද නොවේ.


හට්ටිවල කිරි මිදවීමට තැන්පත් කිරීමේ ක්‍රියාවලිය දක්වා වූ කාර්යයන් ඉතා දුෂ්කර වේ. ඒ සඳහා පිරිමි, ගැහැනු දෙපිරිසම සහභාගි වෙමින් ඈත ගම්වල හිමිදිරි උදෑසන කෙරෙන කටයුතු බොහෝ අයට දැකබලා ගැනීමට හැකි වන්නේ නැත.
මී දෙනුන්, මී ගවයන් සමඟ කටයුතු කිරීමද පහසු නොවේ මී කිරි කර්මාන්තය නිසා දිවි රැක ගන්නා පිරිස් කිහිපයක් වේ. ගව පට්ටි අයිතිකරුවන් ගවයින් බලාකියාගෙන තණ බිම් කෙත් යායන්ට දක්කාගෙන යන්නන් (ගොපල්ලන්) කිරි ලබාගෙන උණුකරන අය මුදවා සකස් කරන්නත්, ප්‍රවාහණය කර වෙළෙඳපොළට යොමු කරන්නත්, අලෙවි කරුවන් සහ මැටි හට්ටි නිපදවන පිරිස්ද ඒ අතර වේ. එ් කිසිඳු පිරිසකට විශාල ලාභයක් නැත්තේ ලාභය බෙදීයන බැවිනි.


කෙසේ වූවත් මේ පරම්පරාගත නිපයුමට රට තුළ ඇති ඉල්ලුම නම් කිසිසේත් අඩු නොවේ. මී කිරිවල ගුණාත්මක බව සහ පිරිසුදු නැවුම් බව රැකෙන අයුරින් එම නිපයුම් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ කාලීන අවශ්‍යතාව නම් සපුරාලිය යුතුය. හම්බන්තොට මොනරාගල දෙදිසාවේ මෙම නිපයුම රැකගත යුතු සම්පතකි.
ඉවතලන හිස් මී කිරි හට්ටි එක් රැස්කොට තම නිවසේ ඉදිරිපස තාප්පය අමුතුම ආකාරයෙන් නිමැවූ කලාකාමි විදුහල්පතිවරයකු වසර ගණනාවකට පෙර මට දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගමකදී හමුවිය. මැටි කර්මාන්තකරුවන් අද දිවි ගැට ගසා ගන්නේද කිරිහට්ටි නිපදවීමෙනි.


රුහුණේ ඇතැම් භෝජනශාලාවල මස් වර්ග අතර ‘‘මීහරක් මස්’’ කටට රසට උයා පාරිභෝගිකයන්ගේ ඇස් වසා අලෙවි කරන බව රහසක් නොවේ. ‘‘මී දෙනගේ’’ සිරුර වැහැරි යනතුරු කිරි ලබාගෙන එම සත්වයා අඩපණ වූ පසු මස් කඩයට දි එයින්ද යමක් උපයා ගැනීම රුදුරු නොමිනිස් ගති විදහා පාන්නකි. මී හරකුන් පැහැරගෙන මසට විකිණීමේ දුක්ඛාන්තයන්ද අඩු නැත. මුලදී සම්පතක් ‘‘කරගෙන සිට පසුව විපතකට’’ තල්ලු කර සුදනන් සේ දිවිගෙවන අය මේ වාණිජ සමාජයේ කොතෙකුත් වෙති.

 

රුහුණේ මී ගව සම්පත

 

ගැටවර වියට පාතබන්නටත් පෙර සිටම මී හරකුන්ගේ වැඩවලට සම්බන්ධ වී නිසි වේලාවට කුසට අහරක් නැතිව, විටක් හපමින්, කහට උගුරෙන් තොල කට තෙමා ගෙන ලැබෙන සොච්චම් මුදලෙන් දිවි ගෙවන මිනිසුන් සහ ගැහැනු මේ කලාපයේ සිටිති. මී කිරි නිපැයෙන්නේ ඔවුන්ගේ දුක කඳුළු දහඩිය සමගිනි. අතීත වේදනාබර මතකයන් සිතට නංවා ගන්නටත්, අනාගතය ගැන සිතන්නටත් බිය වෙමින් ගවයින් සමඟ දවස ගෙවා දමන, තමන්ගේම ලෝකයක තනි වී දිවිගෙවන මිනිස් රූපකායන් මී කිරි නිපයුම සමඟ බැඳී පවතී.
ජීවිතය දිරාපත්ව තිබුණත් තමන්ට තරුණ වියත්, මැදිවියත් කියා එක්ක තිබුණේදැයි සිතන්නටවත් ඔවුනට අවශ්‍ය නැත. ගව සම්පත රැක දෙන්නට වරම් ගත් බවට ජන විශ්වාසයක් ගොඩ නැගී ඇති ‘‘මංගර දෙවියන්ට’’ වත් ඔවුනගේ දුක නොපෙනේද?


මේ කියන මංගර දෙවියන්ගේ පුවතට සම්බන්ධ ප්‍රදේශය ‘‘කදිරාගොඩ’’ නමින් හැදින්වේ. ගවයන්ට හැදෙන වසංගතයන්ගෙන් ආරක්ෂා වීමටත් ගව සම්පතේ රැක්මටත් මංගරට භාර වීම පඬුරු බැඳීම පැරණි සිරිතකි.
නැගෙනහිර ඉන්දීය වෙරළබඩ ගමක උපන් මංගර කුමරු පසු කාලයේ ප්‍රකට වූයේ හිතුවක්කාර සැහැසිකම්වල යෙදෙන අයෙකු වශයෙනි. ඔහු ඇතුළු පිරිසගේ දාමරික ක්‍රියා ඉහළ ගිය විට ඒ සියලු දෙනා රටින් පිටුවහල් කෙරිණි. අනතුරුව රුහුණේ කිරින්ද පෙදෙසින් මෙරටට ගොඩබට මංගර ඇතුළු පිරිස බින්තැන්න වලවේ නිම්නය, කතරගම උයන්ගොඩ ඇතුළු පෙදෙස්වල අණසක පතුරුවා ගත්තේය. අසහාය කාය ශක්තියෙන්ද එඩිතරකමින්ද සැඟවුණ ගුප්ත බලවේගයන්ගෙන්ද යුත් මංගරට කතරගම දෙවියන්ගේ වරප්‍රසාදයක්ද හිමිව තිබූ බව කියනු ලැබේ. දඩ කෙළියේ සමතකු වූ ඔහු භයානක ‘‘කුළු මීමුන්’’ මෙල්ල කිරීමෙහි අති දක්‍ෂයෙකි. ඇතැම් දඩයක්කරුවන්ගේ වන්දනාවට පාත්‍ර වන්නේද මංගරය.
වනගහණයත් වනසතුනුත් අතර ජයකෙහෙළි නගාගෙන සිටි මංගරට වැරදුණේ යක්‍ෂාවේශ වූ කුළු මීමකු මෙල්ල කරන්නට ගිය අවස්ථාවකදී යැයි කියනු ලැබේ. ඒ බිහිසුණු මීමාගේ පහරින් මංගර අවසන් ගමන් ගියේ ගව සංහතියම සමඟ ද්වේශයෙනි. ඔහුගේ අභාවය දරාගත නොහැකි වූ ඔහුගේ පිරිස මහත් වෙහෙසක් දරා මීමා මරා දමා එයින් මංගර කුමරුගේ නමට පූජාවක් පවත්වා කිරි උතුරුවා තිබේ.

 

වෙළඳපොලට යැවීමට සකස් කළ මී කිරි හට්ටි.

 

 

එතැන් පටන් ගවයින්ගේ ආරක්‍ෂාව පතා සහ ගවරෝග දුරු කිරීමටත් එම කාර්යයන්හි දියුණුවටත් මංගර දෙවියනට පුද තබන්නට රුහුණේ ගව පාලකයෝ පුරුදු වූහ. මංගර රජ පෙළපතකට හෝ ප්‍රභූ පෙළපතකට අයත් වූවකු යැයිද පත්තිනි මෑණියන්ගේ කතා පුවත්වලට පවා සම්බන්ධකමක් තිබූවකු යැයිද පිළිගැනීමක් පවතී. මංගරගේ මියගිය ආත්මයේ බලපෑමෙන් ගවයින්ට විපත් පැමිණෙන බවත් ගව ලෙඩ හැදෙන බවත් විශ්වාස කෙරේ.


ගවයින්ට හැදෙන අසනීප ගැන කතා කරන විට රුහුණේ ගම්වල අතීත යුගයන්හි පැවති ‘‘ගව වෙදකම’’ ගැනද යමක් කිව යුතුය. හැම ගමකම ගවයින් බහුලව සිටි අතර ගව වෙදකම දන්නා අයද සිටියහ. දේශීයත්වය මුල්කරගත් එම ශාස්ත්‍රය අද අභාවයට පත්ව ඇත. වියදම් අඩු පහසුවෙන් කළ හැකි එම වෙදකමෙන් එදා සිටි ගව සම්පත සුවය ලැබූ හෙයින් එය රැකගත යුතු ශාස්ත්‍රයකි.


නෑදෑ හිතවතුන් හමුවන්නට යන විට කෑමෙන් බීමෙන් සංග්‍රහ කරන විට (එදා මෙන් නැතත්) අදත් දකුණේ වැසියෝ නැවුම් බවේ සංකේතයක් බඳු වූ මී කිරි බඳුන් ක්‍රමානුකූලව අසුරා රැගෙන යති. එය ගුණදායි පෝෂ්‍යජනක ආහාරයකි. එම අනගි දේශීය පාරම්පරික ආහාරයේ ගුණාත්මක හා නැවුම් බව රැකගැනීමට රජයේ අදාළ අංශවල අවධානය යොමු විය යුතුය.


ලිපිය අවසන් කරන්නට පෙර තවත් එක් සිද්ධියක් මතකයට නගන්නට කැමැත්තෙමි.
මෙරට විධායක ජනාධිපතිවරයෙක් එම තනතුර දැරූ කාලයේ විවේකී මොහොතක සිය මිතුරකු සමඟ කතාබහක යෙදී සිටියේය. ඒ පෞද්ගලික ජීවිතයේ කරුණු ගැනය.


‘‘ඔබතුමා වැඩියෙන්ම කන්න කැමති ආහාරය මොකක්ද? මිතුරා විමසීය.


‘‘මී කිරි’’ ජනපතිවරයාගේ ක්ෂණික පිළිතුර විය.


මේ රහස දැන සිටි දකුණෙන් මැතිසබයට ගිය ගැමිකම උරුමකරගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මසකට වරක්වත් ඉතා පිරිසුදු මීකිරි හට්ටි කිහිපයක් එතුමන්ට ගෙන යන්නට පුරුදුව සිටියේය. ආර්යාවද සේවකයන්ද ඒ බව දැන සිටියේය.


ජනපතිවරයා කෑම ගන්නා අවස්ථාවේ මේ අහවල් මන්ත්‍රීතුමා ගෙන ආ කිරි යයි මතකයට නගන්නට සේවකයෝ මැළි නොවූහ. එහෙත් මන්ත්‍රීවරයාගේ හිතේ තිබූ තනතුර නම් කිසි දිනක ලැබුණේ නැත. ජනපති සමග හිතවත්කම නම් දිගටම තිබිණි.

 


(ඡායාරූප අන්තර්ජාලයෙනි)

 

 

දෙවිනුවර දම්සිරි කරුණානායක

 



Recommended Articles