නව තාක්ෂණය මුසුව ගොඩනැගෙන දීඝවාපී දාගැබ


 

  • බුදුන් වහන්සේගේ නිය ධාතුව තැන්පත් කර ඇති බව බොදු විශ්වාසයයි 

 

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දීඝවාපියට අම්පාර නගරයෙන් අක්කරෙයිපත්තු දක්වා දිවෙන මාර්ගයේ කි.මී. 6ක් පමණ ගමන් කළවිට හමුවන වරිපතන්චේන හන්දියෙන් හැරී කි.මී. 12ක් ගමන් කිරීමෙන් පිවිසිය හැකිය. නැගෙනහිර පළාතේ විශාලතම ස්තූපය හා විශාලත්වයෙන් ලංකාවේ හතර වැනි තැන ගන්නා ස්තූපය ලෙස සැලකෙන්නේ දීඝවාපී දාගැබයි.   
ඉපැරැණි රෝහණ රාජධානියට අයත්ව පැවැති දීඝවාපිය දිග් වූ වැව, දීඝවාපිය, දිගා වැව ලෙස ජනප්‍රවාදයේ එයි. වංශකතා සාධක ප්‍රමුඛ ලේඛනගත මූලාශ්‍ර සොයා යාමේදී දිගා වැව, දීඝවාපී මණ්ඩල, දීඝවාපිරට්ට, දිගාමඬුලු, දිගාවෑ, දිගාවෑ මඩල, දිගාමඩුල්ල යන නාමයන් හඳුනාගත හැකි වේ. දීපවංශයට අනුව බුදුන් වහන්සේ තෙවැනි වර ලක්දිව කැලණි පුරවරයට වැඩම කරන ලද අවස්ථාවේ කැලණිය, සමන්තකූටය හා දිවා ගුහාව යන ස්ථානයන් හි සමවැදී පසුව දිගාවැවට වැඩම කළ බව සඳහන් වේ.   


මහාවංශයේ ඒ පිළිබඳව සඳහන් වන්නේ “සර්වඥ තෙම එතන්හි ධර්ම දේශනා කොට අහසට නැඟී වැඩ සමන්කුළු මතුයෙහි පා සටහන් දැක්වූ සේක. සංඝයා සහිත වූ සේක් ඒ පර්වත පාදයෙහි සැපසේ දිවා විවරණය කොට දිගාවැවට වැඩිසේක. ලෝකස්වාමි තෙම සංඝයා සමඟ වූ සේක. එහි චෛත්‍ය ස්ථානයෙහි වැඩ හිඳ ස්ථානය ගෞරවයට පැමිණීම පිණිස සමාධියට සමවත්සේක.” යනුවෙනි.   


සද්ධර්මාලංකාරයේ දැක්වෙන්නේ “සර්වඥයන් වහන්සේ භගවා ලෙන සිට..... රුහුණු ජනපදයට වැඩ දීඝනඛ චෛත්‍ය පිහිටවන්නා වූ ස්ථානයේ සපිරිවරින් සමාප්තියට සමවැද මොහොතක් වැඩහුන් සේක” යනුවෙනි.   
විජය කුමාරයා සමග මෙරටට පැමිණි කුමාරවරුන් ගණනාවක් විය. ඔවුන් මෙරට නන්  දෙස සිය නාමයන්ගෙන් ජනාවාස පිහිටුවාගෙන ඇත. අනුරාධ විසින් අනුරාධ ග්‍රාමයද, උපතිස්ස විසින් උපතිස්ස ග්‍රාමයද, උරුවේල විසින් උරුවේල ග්‍රාමයද, විජිත විසින් විජිත ග්‍රාමයද, රෝහණ විසින් රෝහණ ග්‍රාමයද පිහිටුවාගෙන ඇත. විජය රජුගෙන් පසුව රාජ්‍යත්වය පත් පණ්ඩුවාසදේව රජුගේ බිසව වූ භද්දකච්චායනා කුමරිය සමග ඇයගේ සොහොයුරන් අටදෙනෙකුද මෙරටට පැමිණෙන ලද අතර ඉන් දීඝායූ කුමාරයා විසින් දීඝායුගාම පිහිටුවා තිබේ.   


මෙම දීඝායුගාමය දීඝවාපිය බවට හඳුනාගෙන ඇත. මහාවංශයට අනුව කාවන්තිස්ස රජතුමා තම පුත්‍රයා වූ සද්ධාතිස්ස කුමාරයා කෘෂි කාර්මික සංවර්ධනය උදෙසා යවනු ලැබූයේ හා පිය රජුගේ මරණින් පසු සද්ධාතිස්ස කුමාරයා තම මව වූ විහාරමහාදේවිය රැගෙන යන්නේත් මෙම දීඝවාපී ප්‍රදේශයටම බව පෙනේ. එසේම දුටුගැමුණු රජුගේ රාජ්‍යත්වයේදී සොයුරු සද්ධාතිස්ස කුමාරයා කෘෂිකාර්මික කටයුතු උදෙසා යවනු ලැබුවේද මෙම ප්‍රදේශයටම වේ.   


දීඝවාපී ස්තූපය කුමන රාජ සමයක ඉදිකර තිබෙන්නේද යන්න සොයා බැලීමේදී මහාවංශයේ එන පුවතක් සැලකීම වටී. එහි සඳහන් වන්නේ සද්ධාතිස්ස රජු “දිගා වෑ වෙහෙරද සෑයක් සහිත කොට කරවීය. ඒ සෑය වසා එලන සත් රුවන් ඇමුණූ සැට්ටයක් කරවන ලදි” ලෙසය. එසේම දඹදෙණිය යුගයේ විරචිත පූජාවලියේද මෙම සිදුවීම පිළිබඳ සඳහනක් එන අතර එහි සඳහන් වන්නේ සද්ධාතිස්ස රජු විසින් දිගනකාදි වෙහෙර කරවූ බවයි.   

 

දීඝවාපි ස්තූපයේ බටහිර වාහල්කඩින් හමුවූ රනින් කරන ලද ධාතු කරඩුවක තිබී හමුවූ රන්පතක ලියා තිබූයේ “නක මහරජුගේ පුත්‍ර මළිතිස රජුගේ රන් දාගැබයි” යන්නයි. මළිතිස යනු කණිට්ටතිස්ස (ක්‍රි.ව.164-192) රජුය. කණිට්ටතිස්ස රජු මහා පරිමාණයෙන් ස්තූප ප්‍රතිසංස්කරණය උදෙසා කැපවී ඇති අතර පුරාණ රෝහණ දේශයටම අයත්ව පිහිටා ඇති වර්තමාන නැගෙනහිර පළාතේ පිහිටි විශාලත්වයෙන් දීඝවාපි ස්තූපයට පමණක් දෙවැනි දාගැබවන නීලගිරි ස්තූපය ද මෙම රජු විසින් ප්‍රතිසංස්කරණය කර ඇති බවට සාධක වේ.   
පොළොන්නරු රාජ්‍ය සමයේ මහා පරාක්‍රමබාහු රජුගේ කාලයේදී (ක්‍රි.ව.1153-1180) දීඝවාපී ප්‍රදේශය මානාභරණ රජු හා සුගලා බිසවගේ බල ප්‍රදේශයක් ලෙස පැවැති බව මහාවංශයේ සඳහන් වේ. දීඝවාපියෙහි ඇති වූ කැරලි මර්දනයට “එකල්හි මහ බලැති සියලු ඇමැතියෝද ප්‍රධානීහුද දිගා වෑ මඩුලු රට ගන්නට නික්මුණේ......”ලෙස එහි සඳහන්ව ඇත.   


මෙකල දිගාමඩුල්ල ප්‍රබල රාජ්‍යයක්ව පැවැතීමෙන් පැහැදිලි වන්නේ දීඝවාපි විහාරයද දියුණු මට්ටමක පවතින්නට ඇති බවය. මහා පරාක්‍රමබාහු රජුගේ සේනාවන් මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ කළ බව වංශකතාවේ දැක්වේ. මහනුවර රාජ සමයේදී රචිත නම් පොත හෙවත් විහාර අස්නේදී නඛා වෙහෙර සඳහන්ව ඇත්තේ මෙම විහාරයයි.   
කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙම නඛ චේතිය නම් ස්ථානයට පැමිණි බව මහාවංශයේ සඳහන් වේ. එසේම උඩරට සෙනරත් රජුද මෙම විහාරය වන්දනා කිරීමට පැමිණ ඇත. කන්ද උඩරට රාජධානියෙන් මෙරට රාජ්‍යත්වය අවසන්වීමෙන් අනතුරුව දීඝවාපි විහාරයද අභාවයට යන අතර වනගතව පැවැති මෙම විහාරය නැවත සොයාගනු ලබන්නේ 1810 වර්ෂයේදී මඩකලපු දිස්ත්‍රික්කය භාර දිසාපති සෝවිස් නම් ඉංග්‍රීසි පරිපාලන නිලධාරියා විසිනි. ඔහුගේ නියෝගය අනුව මෙම ස්තූපය කැණීම් කර තිබේ. එය හුදෙක් පුරාවිද්‍යා කැණීමක් නොවන අතර එම නිසා චෛත්‍යයට වූ හානිය සුළුපටු නොවේ. එයින් පිටතට ගන්නා ලද ගඩොල් සහ කළු ගල් කණු වීරඅඩි අමුණ වැනි වාරිමාර්ග කටයුතු සඳහා රැගෙන බවට වාර්තා වේ.   


1916 වර්ෂයේදී ගොඩකුඹුරේ රේවත හිමියන් මෙම ස්ථානයට වැඩමකර කුඩා ආවාස ගෘහයක් තනාගනිමින් විහාරයේ උන්නතිය උදෙසි මැදිහත් වී තිබේ. නමුදු අවාසනාවට මෙන් උන්වහන්සේව වෙඩිතබා ඝාතනය කර ඇත. මෙම විහාරස්ථානය අතීතයේදී වර්ග කිලෝමීටර 64ක් ප්‍රදේශයක් පුරා පැතිර තිබී ඇති අතර ප්‍රධානම අංගය වූයේ ස්තූපයයි. වර්තමානයේ මෙම ස්තූපයේ ඉහළ කොටස් දක්නට නොලැබෙන අතර වර්තමාන උස මීටර 22.41කි.   


බෞද්ධ විශ්වාසයට අනුව මෙම දාගැබේ නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ නිය ධාතුවයි. ලක්දිව වැඩසිටින ගෞතම බුදුන්ගේ ධාතූන් වහන්සේලා පිළිබඳව සොයායෑමේදී වර්තමානයේ මහනුවර දළදා මාළිගාවෙහි වැඩ හිඳින බුදුන් වහන්සේගේ වම් යටි ඇන්දේ ශ්‍රී දළදාව වැඩමකරවන ලද ක්‍රි.ව. 4වන සියවසටත් පෙර සිටම මෙරට ජනයා ධාතු වන්දනයට යොමුව තිබූ බවට වංශකතා සාධක ලැබේ.   
වංශකතා සාධක අනුව බුද්ධත්වයෙන් නොබෝ දිනකින් තපස්සු භල්ලුක වෙළෙද දෙබෑයන් තමන්ට ලැබුණු කේශ ධාතු මෙරටට වැඩමවා ගිරිහඬු සෑය කර ඇත. පසුව ප්‍රථම වරට මෙ ලක්දිවට වැඩම කළ බුදුන් මහා සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම පරිදි හිස පිරිමැද කේශ ධාතු මිටක් දීමෙන් අනතුරුව එම ධාතු නිධන් කර මහියංගණ සෑය ඉදිකර ඇත.   


මෙරට ධාතු වන්දනයේ මුල් යුගය පිළිබඳව තවදුරටත් සොයා බලන විට අනුරාධපුර ථූපාරාමයේ බුදුන්ගේ දකුණු අකු ධාතුව ද, උර්ණරෝම ධාතුව මිහින්තලේ සේල චේතියේ ද, ලලාට ධාතූන් හා කේශ ධාතූන් සේරුවිල මංගල චේතියේ ද, රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ද, සුමන සාමණේරයන් වැඩම කරවන ලද බුදුන් පරිභෝග පාත්‍රය හා එය පිරවූ ධාතූන් මෙරට නොයෙක් දිශාවල ස්තූපයන්ගේ ද, බුදුන්ගේ පටී ධාතුවෙන් කොටසක් අනුරපුර ජේතවන දාගැබේ ද, බුද්ධ පරිභෝග මාණික්‍ය ආසනයක් නාගදීප ස්තූපයේ ද, බුද්ධ පරිභෝග මිණි පළඟක් හා බුද්ධ පරිභෝග ජල සාටිකාවක් කැලණි ස්තූපයේ ද වැඩසිටින බව මෙරට බෞද්ධ සාහිත්‍යයෙන් මෙන්ම වංශකතා කරුණු ඇසුරින් ගෙනහැර දැක්විය හැකිය.   
වර්තමානයේ දීඝවාපී ස්තූපය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිසංස්කරණය කරමින් පවතී. මෙහි කොටස් කිහිපයක් ඉදිරියේදීත් කැනීම් කිරීමට යෝජිත අතර ඊට සමගාමීව ප්‍රතිසංස්කරණ කටයුතුද සිදුවේ. නැගෙනහිර පළාතේ විශාලතම ස්තූපය වන මෙම ස්තූපය අනුරාධපුර ජේතවන, අභයගිරි ස්තූප සංරක්ෂණයන්ට වඩා වෙනස් මගක් ගනිමින් බැතිමතුන්ට වන්දනාමාන කළ හැකි පරිදි සම්පූර්ණයෙන්ම ඉදිකර සුදුහුනු පිරියම් කිරීමට යෝජිතය. එනම් රුවන්වැලි මහා සෑයේ මෙන් වැඩ නිම කිරීමට සැලසුම් කර ඇත.   


මෙම ස්තූපය ප්‍රංතිසංස්කරණයේදී ඒ සඳහා පැරැණි බදාමයට සමාන ලෙස යමින් විශේෂිත බදාමයක් භාවිත කරනු ලබයි. අළු හුණු 1, උළු කුඩු 2, හුඹස් මැටි 2ක් හා දහයියා අළු 1ක් ලෙස අනුපාතයට ගෙන මෙම බදාමය සකස් කරගනු ලබයි. චෛත්‍යයේ කටයුතු සඳහා අවශ්‍ය ගඩොල් උළු සංස්ථාව මගින් වර්තමානය වනවිට සපයා ගනී. මේ වනවිට පේසා වළලු ත්‍රිත්වයේ අඩක පමණ වැඩ අවසන් කර ඇති අතර ගර්භයේ අඩි 2.5ක් උසට වැඩ නිමකර තවත් අඩි 2.5ක් උස ප්‍රමාණයක් වැඩ අවසන් කිරීමට නියමිතය.   
වර්තමාන ප්‍රතිසංස්කරණවලදී ස්තූපයේ ගර්භය සකස් කිරීමට සුවිශේෂී තාක්ෂණයක් උපයෝගී කරගෙන ඇති අතර එහිදී ගර්භයේ අඩි 2.5ක් උසට එක් ගඩොල් වටයක් බැඳ එම ගඩොල් වරිය මත සුවිශේෂී දැලක් බදාම සමග යොදා නැවත අඩි 2.5ක් උසට ගඩොල් වරියක් බදිනු ලබයි. මෙම ක්‍රමය ගර්භයේ වැඩ අවසන් වන තෙක් භාවිත කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා යොදාගන්නා සුවිශේෂී දැල පොලිප්‍රොපින් (Polypropylene) ලෙස හඳුන්වනු ලබයි. සරල අණු නැතහොත් ඒකාවයවක (Monomers) රාශියක් නිශ්චිත රටාවකට සම්බන්ධවීමෙන් සෑදෙන විශාල රසායනික ඒකක බහු අවයවක (Polymers) ලෙස හැඳින්වේ.   
පොලිඑතීන් (පොලිතීන්), පොලිප්‍රොපීන්, පොලිස්ටයරීන්, පොලිවයිනයිල් ක්ලෝරයිඩ්, පොලිටෙට්රා ෆ්ලෝරෝ එතීන්, නයිලෝන් කෙඳි, කෘතිම රබර් (නියොෆ්‍රීන්), බේක්ලයිට්, සිලිකන් රබර්, ටෙරරීන්, පොලියුරතේන්, නොමැක්ස් කෘතිම බහු අවයවක සඳහා උදාහරණ වේ. පොලිප්‍රොපීන් සෑදී ඇති ඒකඅවයවකය පොපිලීන්ය. මෙහි ඇති විශේෂ ගුණ ලෙස විද්‍යුත් හා තාප පරිවාරක ගුණ, ආතතිවලට ඔරොත්තුදීම, කල්පැවැත්ම හා දිරාපත් නොවීම දැක්විය හැකිය.   

 

 

මෙවන් පොලිප්‍රොපීන් දැලක් අඩි 2.5කට වරක් යෙදීමෙන් ගඩොල්වරි ඉදිරියට තල්ලු වී නොයාම සිදුවේ. සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව මෙම ස්තූපය උසින් අඩි 256ක් වන ලෙසට සැලසුම් කර තිබේ. මෙරට පූජනීයම ස්තූපය ලෙස සැලකෙන රුවන්වැලි මහා සෑයේ උස අඩි 338ක් වන අතර එම ස්තූපයට වඩා නැවත ප්‍රතිසංස්කරණයෙන් පසු දීඝවාපි ස්තූපය අඩි 82ක උසින් අඩුවේ. රුවන්වැලි මහා සෑයේ විෂ්කම්භය අඩි 370ක් වන අතර දීඝවාපි ස්තූපයේ පහළම පේසාවේ විෂ්කම්භය අඩි 239ක් ද, දෙවන පේසාවේ විෂ්කම්භය අඩි 229ක් ද හා ඉහළින්ම වන තෙවන පේසාවේ විෂ්කම්භය අඩි 220ක් පමණද වේ.   
එම තෙවන හා ඉහළම පේසාව මත ගොඩනැගෙන ස්තූප ගර්භයේ පාදමේ විෂ්කම්භය අඩි 212 ක් පමණ වේ. හතැරැස් කොටුව හා දේවතා කොටුව අඩි 24 බැගින් වන සමාන උසකින් ගොඩනැගීමට නියමිතය. පේසා වළලු ත්‍රිත්වය අඩි 12ක් පමණ උසකින් ද, ගර්භය කොටස අඩි 91ක් පමණ ද, කොත්කැරැල්ල අඩි 60ක් පමණ ද උසකින් සමන්විත වනු ඇත. මෙම ස්තූපය ප්‍රතිසංස්කරණයේදී අභියෝගයක් වී ඇත්තේ අවශ්‍ය ගඩොල් ප්‍රමාණය සපයා ගැනීමයි.   


සුවිශේෂී තාක්ෂණයත් සමග නැවත ගොඩනැගෙමින් පවතින දීඝවාපි ස්තූපය තවත් වර්ෂ කිහිපයකින් බෞද්ධයන්ගේ නොමද වන්දනාවට ලක්වන ස්වේත වර්ණයෙන් දිලෙන දාගැබක් ලෙස කලඑළි බසිනු නියතය. අපගේ ප්‍රාර්ථනයද එයයි.     


කේ. උදේනි අරුණසිරි   
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව   
රත්නපුර  



Recommended Articles