දේහය පහත් වූ ගම දෙනගමුවයි


ගමක නම හැදුණු හැටි  

 

 

අනුරාධපුරයෙ රජකම් කළ කීර්තිමත් පාලකයකු වූ දෙවැනිපෑතිස් රජතුමාගේ සොයුරු උපරාජ මහනාගගේ පුත් ගෝඨාභය සහ ඔහුගේ මුනුපුරු කාවන්තිස්ස යන රජවරු රුහුණේ පාලනයට ලලාට ධාතුව එම රාජ වංශයට හිමිකර දීමට කටයුතු කළහ. එම ගෞරවය සමග මලියදේව තෙර නාමය බැඳී පවතින බව පොත පතෙහි සඳහන් වේ.

  
කාවන්තිස්ස රජතුමා මාගම රජ පවුලේ කුමාරයකුව ඉපැදීමට පෙර භවයකදි මලයරට අරුප්පල නමින් චණ්ඩාල කුමාරයකු ලෙස ඉපැදී සිටියේය. එකල ඔවුන්ගේ ගම අසල අමරුප්පල නමින් ගල්ලෙනක් පිහිටා තිබිණි. එම ලෙනෙහි වැඩවාසය කළේ මලියදේව නම් මහරහතන් වහන්සේ බව පොතපතෙහි සඳහන් වේ. සේරුවිල මංගල මහා චෛත්‍යය කාවන්තිස්ස රජතුමා විසින් නිමකරවා එය මහ සඟනට පූජා කිරීමේ උත්සවයෙදී විහාර මහදේවියගෙ බෑනණුවන් වූ චුල්ල පිණ්ඩිකපාතික තිස්ස තෙරුන්ට එය පිළිගන්නා ලෙස උපදෙස් දී ඇත්තේ මලියදේව මහරහතන් වහන්සේ බව ඇතැම් පොතපතෙහි සඳහන් වේ.  
බුදුහිමියන් පිරිනිවීමෙන් එම ධාතු මල්ලව රජුගේ කාලයේ බෙදාදුන් පසු මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සද්ධි විහාරික මහානන්ද පරපුරෙන් ලක්දිවට ලලාට ධාතුව මහානන්ද චන්ද්‍ර ගුප්ත භද්‍රසේන ජයසේන සංඝරක්ඛිත මහාදේව තෙරුන්, මාගම රජ කළ මහනාග රජුගේ කාලයේ ලංකාවට වැඩමවූහ. ලංකාවේ උත්තර මලය ප්‍රදේශයේ පිහිටි හත්තොටඅමුණ ඇළහැර ‘කුකුළා වල්පොත’ සල්ගසක් මුල ධාතුන් වහන්සේ රැගෙන වැඩ සිටියහ.  


මහාකාල නම් අයකු තෙරුන් වහන්සේට උපස්ථාන කරමින් ධාතුන් වහන්සේ පුදමින් සිටියේය. මහානාග රජ පරපුරට ලලාට ධාතුව උරුමවූයේ එය භාරව සිටි මහාදේව සහ මහාකාල දෙදෙනාගේ උපකාරයෙන් බව පොතපතෙහි සඳහන්වේ. ලලාට ධාතුව මුල සිටම තම ආරක්ෂාවේ තබාගෙන පුද පූජා කළේ මත්තිකා ලෙන නම් හත්තොට ජනපදයේ පිහිටි මෙම ගල්ලෙන තුළයි.  
කාවන්තිස්ස රජ පවුලෙ මුල් කාලයේ සිටි රජවරුන්ට අනුශාසනා කළ හිමිවරුන් අතර සිටි ත්‍රිපිටමභාරිෂ්ට තෙරුන්ගෙන් සද්ධි විහාරික ගෝඨාභය තෙරුන් මහානාග රජුට මුත්තා වූයේය. දුටුගැමුණු කුමරා කොත්මලේ සිටි මුල් කාලයෙ කුණ්ඩලාභරණ විකුණා එයින් ලද මුදලින් රහතන් වහන්සේලා උදෙසා දන් දුන්විට මලියදේව හිමි තමන් ලද පිණ්ඩපාතය සුමණ කූඨයට ගෙනගොස් එහි වැඩ සිටි දොළොස් දහසක් පමණ භික්ෂූන්ට පිළිගැන්වූහ.  


මලියදේව මහරහතන් වහන්සේ පිරිනිවන් පෑ පසු දේහය තබා තිබූ රන්දෙණ අහසින් කිහිප පළකටම වැඩම කිරීමත් අසිරිමත් සිදුවීමකි. රහතන් වහන්සේලාගෙ රන්දෙණ අහසින් වැඩිය කතා මංගණ ඛුද්දක ථෙර කථාවෙහිද විස්තරවේ. මලියදේව හිමිගෙ රන්දෙණ පළමුවෙන්ම බෝධිපාල ගමට අහසින් පහත්විය එහි සිටි උන්වහන්සේගේ සහෝදරියක් රන්දෙණ වැඳපුදා ගත්තාය.  


එදා සිට බෝධිපාල ගමේ නම දෙණපාත්වූ හෙයින් දෙණගමුව වූ බව ඇතැම් දෑවල විස්තරවෙ. නැවත අහසට නැගුණු රන්දෙණ මාතලෙ උතුරු ප්‍රදේශයේ පිහිටි බුද්ධ ගාමනම් ග්‍රාමයට පාත්විය. එහි ජීවත්වූ සහෝදරියක් රන්දෙණ වැඳපුදා අවසන් ගෞරව දැක්වූවාය. එම ගමෙහි නම වෙනස් වී බුද්ධනාමය මැණික් දෙණ නම් විය.  
නැවතත් අහසට නැගුණු රන්දෙණ කුරුණෑගල, දඹුල්ල මාර්ගයෙ ඕමාරගොල්ල ප්‍රදේශයෙ නිවසකට පහත්විය. එහි ජීවත්වූ සහෝදරියක් දේහය වැඳපුදා අවසන් ගෞරව දැක්වූවාය. එය ගලේවෙලට නුදුරුව කනාදෙණ යැයි පිළිගැනේ. ‘කනක දෝණි’ යනු රන්දෙණ ලෙස අර්ථ දැක්වේ.  


කුරුණෑගල දඹුල්ල මාර්ගයෙ යග්ගපිටියට නුදුරුව පිහිටි දෙණගමුව ග්‍රාමයෙහිද එකල මලියදේව රහතන් වහන්සේගෙ ඥාති පාර්ශ්වයෙහි උදවිය ජීවත්වූ හෙයින් එම වාස භූමියට පාත්වූ හෙයින් දෙණගමුව වූ බවත් මලියදේව මහරහතන් වහන්සේ දෙව්ලොව සිළුමිණ සෑය වඳින්නට වැඩිය අවස්ථාවේ මෛත්‍රී බෝසතුන් සිළුමිණ සෑය අසලදී ‘මුහුණට මුහුණ’ හමුවූ අවස්ථාව කවියකු මෙසේ සඳහන් කළේය.  


හොඳ කහ රෙද්ද පොරවාගෙන සාය  
ඔබ කවරෙක්ද? ළඟ මගෙ සිළුමිණ සෑය  
මම ලක්දිව මලියදේව නම් සඟනක් මී  
අටවක් දිනෙහි දාගැබ වඳිනට ආමී  

 


එන්.කේ. අබේවර්ධන  
කුරුණෑගල.   



Recommended Articles