දුම්රිය ගමනේදී ඔබ රකින කවුරුත් නොදන්න ගැලවුම්කාරයෝ


ඔබ දුම්රියෙන් ගමන් කරන විටෙකදී හෝ රේල් පාර අසල සිටින අවස්ථාවක, කුළුගෙඩි බාගයක් හා ‘‘මහාදිග’’ අඬුවක් කරපින්නාගෙන පිට මැද එල්ලී සිටින කබල් හම් බෑගයක් හෝ ලෝහමය බම්බුවක් වැන්නක් සහිතව බිම බලාගෙන තමන්ගේ පාඩුවේ රේල් පාර දිගේ ගමන් කරන පුද්ගලයෙකු ඇස ගැටී ඇතුවාට සැක නැත.   


ඔහු ඇඟ ලා සිටින කමිසය නම් බොහෝ විට උරහිස හරියෙන් හමගොස්ය. කලිසම යන්තමට කළු පැහැගැන් වී ඇති අතර තැන තැන තෙල් පැල්ලම්ද දක්නට ඇත. කරගසාගෙන යන ආයුධ කට්ටලය නොමැතිනම් මොහු පිස්සෙකු නොඑසේ නම් කෝච්චියට බෙල්ල තැබීමට සුදුසු තැනක් සොයමින් යන්නෙකු යැයි හැඟෙනු ඇත.   
නැත, ඔහු සිහිමද ගතියකින් හෝ ඉබාගාතේ යන අයෙකු නොව ඔබේ ගමනාන්තය දක්වා ඔබට පරෙස්සමෙන් හා ආරක්‍ෂිතව යාමට මහඟු කර්ත්‍යවයක් කරන දුම්රිය ගමනට විශේෂ කාර්යභාරයක් ඉටුකරන සුවිශේෂී තැනැත්තෙකි. දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරන සේවක මහතෙකි.   
රේල් පාරේ මෙවැන්නෝ වාර දෙකොටසක් සේවය කරති. මොවුන්ගේ රාජකාරි නාමයන් වන්නේ ‘‘සංචාරක මුරකරු’’ හා ‘‘යතුරුකරුය’’ ඉංගිරිසියෙන් නම් Patrolman (සැට්‍රෝල්මන්) හා Spanarman (ස්පැනැර්මන්) වශයෙනි.   


මේ දෙදෙනාට අමතරව රේල් පාරේ සේවය කරන තවත් අයකු සිටී. ඔහු පොයින්ට්ස්මන් (Pointsman) නම් වේ. යතුරුකරුවන් හා සංචාරක මුරකරුවන් යම් සීමාවන් තුළ දිවා රැයේ රේල් පාරේ සැරිසරන නමුත් පොයින්ට්ස්මන් රාජකාරිය කරනුයේ දුම්රිය ස්ථානයක විශේෂයෙන් පැරැණි ක්‍රමයට ලීවරයක් ආධාරයෙන් අතින් රේල් පාරේ පොයින්ට්ස් මාරුකරන දුම්රිය ස්ථානවල එම පොයින්ට්ස් මාරුකරන තැනැත්තාය.   
පොයින්ට් යන ඉංග්‍රිස වචනයේ සිංහල අරුත ‘‘පයින්ටු’’ යන්නයි. මෙම පයින්ටු පිහිටා ඇත්තේ දුම්රිය මාර්ගවලට පමණ පයින්ටු යනු රේල් පාරේ පැමිණෙන දුම්රියක් එක් ධාවන මාර්ගයකින් තවත් ධාවන මාර්ගයක් වෙත යොමුකිරීම සඳහා පීලි එකිනෙක හා සම්බන්ධ කෙරෙන ස්ථානයයි. මරදාන, කොළඹ කොටුව, ගාල්ල, මාතර, ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර මේ ආදී ප්‍රධාන දුම්රිය පොළවල පොයින්ට් මාරු කෙරෙන ක්‍රමවේදයට අවශ්‍ය ලීවර වෙනම ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇත.   
දුම්රිය මාර්ග එකී බෙදීයන රාගම, පොල්ගහවෙල, මහව, පේරාදෙනිය ආදී දුම්රිය හන්දි ලෙස හැඳින්වෙන දුම්රිය පොළවලද තත්ත්වයද මෙසේ වන නමුදු සාමාන්‍ය උප දුම්රිය ස්ථානවල පයින්ටුව ඇති ස්ථානයේ රේල් පාර පසෙක මෙම ලීවර දක්නට ඇත. මෙම පොයින්ට් මාරුකිරීමේ රාජකාරියෙහි නියුතු පුද්ගලයයා පොයින්ට්ස් මන් වන අතර ඔහු රැඳී සිටින්නේ දුම්රිය ස්ථානයක පමණි.   


විශේෂයෙන් උඩරට මාර්ගයේ උප දුම්රිය ස්ථානවල හා උතුරු මාර්ගයේ මඩකලපුව, ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානවලද පොයින්ට්ස්මන්ලා රාජකාරි කරති. මින් අදහස් කෙරෙන්නේ අනෙකුත් දුම්රිය ස්ථානවල මොවුන් නැතුවා යන්න නොවේ.   
පොයින්ට්මන් හා යතුරුකරු නොඑසේනම් ‘ස්පැනර්මන්’ නිරතුරුවම රේල් පාර සංචාරය කරන්නෝ වෙති. මෙහි පෙර සඳහන් කළ දැවැන්ත යකඩ අඬුව හා කුළුගෙඩි බාගය කරතබාගෙන යන්නෝ මොවුහුය. මේ දුම්රිය මාර්ගය යනු නිරන්තරව යකඩයෙහි යකඩ ඇතිල්ලීමකි. මෙහි පීලි හා සිල්පර සවිව ඇත්තේ විශේෂිත යකඩ ඇණ වර්ගයකිනි. එසේම රේල්පීලිද එකිනෙක හා සම්බන්ධකර ඇත්තේද යකඩ ඇණ උපයෝගී කරගෙනය.   
මේ මතින් දිනකට කිහිප වතාවක් දුම්රියන් ගමන් කිරීමේදී දෙදරීම්වලට ලක්වේ. මෙම දෙදරීම් හේතුවෙන් පීලි හා සිල්පර සවිව තිබෙන ඇණ බුරුල්වීම සිදුවේ. යතුරුකරුගේ රාජකාරිය වන්නේ මේ බුරුල්ව අවදානම් තත්ත්වයේ පවතින ඇණ පරීක්‍ෂාකර ඒවා තද කිරීමයි.   
යකඩ අඬුව හා කුළුගෙඩියට අමතරව ඉස්කුරුප්පු නියනක් රතු හා කොළ පැහැති කොඩි දෙකක් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මොවුන්ට ලබාදී ඇත. මේවාට අමතරව බිරිඳ විසින් එසේ නොමැතිනම් මව විසින් ඔතාදෙන දිවා ආහාර මුලද බෑගයේ දමාගෙන අව්වට වැස්සට පීඩා දෙන රේල් පාරේ ගමනට මොවුහු කළුකපා එළිය වැටෙන හෝරාවේම නික්මෙති.   


දිනක් තුළ කිලෝමීටර් ප්‍රමාණයක්, මොවුන් රේල් පාර දිගේ ගමන් කළ යුතු වන අතර සටහන් පොතක්, පෑනක් හා විදුලි පන්දමක්ද ආයුධ කට්ටලය අතර වේ. ඒ ඒ ප්‍රදේශවල ස්ථිර මාර්ග පරීක්‍ෂකවරයා යටතේ රාජකාරියෙහි නිරතවීම සාමාන්‍ය සිරිතවන අතර මොවුන් රේල් පාරේ රාජකාරි කරන ප්‍රදේශ ඉන්තේරුවෙන්ම දැනසිටින්නේ එම අදාළ ප්‍රදේශය භාර ස්ථිර මාර්ග පරීක්‍ෂකවරයා හා ආසන්නම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයායයි. තමන් රාජකාරි කරන ප්‍රදේශයේ ළඟම දුම්රිය ස්ථානාධිපතිවරයාටද රාජකාරිය ආරම්භ කිරීමට ප්‍රථම රපෝර්තු කිරීම යතුරුකරුගේ ප්‍රධාන වගකීමකි.   


ස්ථිර මාර්ග පරීක්‍ෂකවරයාගේ නියමයට අනුව එකම මාර්ගයක ක් නිශ්චිත ස්ථානයක සිට මාර්ගයේ දෙපසටම යතුරුකරුවන් දෙදෙනෙකු පිටත්වයාම බොහෝ විට සිදුකෙරේ. මෙම පිරිස් වටපිට නොබලමින් සක්මනෙහි යෙදෙන තවුසන් මෙන් රේල් පාර දෙසටම සිය තියුණු දෙනෙත් හෙළාගෙන ගමන් කරනුයේ වටපිට බලන ඇසිල්ලකිනි. ජීවිත දහස් ගණනක විනාශයකට හේතුවන හෙයිනි.   
පෙට්‍රෝල්මන්ගේ වගකීම හා රාජකාරිය වන්නේ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනට අවහිර වන අයුරින් මතුව තිබෙන ක්‍ෂණික බාධකයන් පිළිබඳව සොයාබැලීම හා ඒවා ගැන ඉදිරියට පැමිණෙමින් තිබෙන දුම්රියේ රියැදුරන් හා ආසන්නම දුම්රියපොළ් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කිරීමයි. මේ සඳහා අවශ්‍ය වන රතු, කොළ කොඩි පීලි වෙඩි සටහන් පොතක් හා පෑන, විදුලි පන්දමක්ද ඔහු සතුය. රතු හා කොළ කොඩි බහා අැත්තේ පිටේ රැඳි ලෝහ බම්බුව තුළ වන අතර අනෙක් උපකරණ කබල් බෑගය තුළය.   
පීලි වෙඩි යනු අඟල් 1/2ක් උස අඟල් 3ක් පළල ජෑම් බෝතලයක උඩු පියන් පතක් වැනි එහෙත් ඊට වඩා ඝනකම රවුම් හැඩැති වුවකි. පොටෑසියම් ක්ලෝරේට් හා සල්ෆර් මේ තුළ ප්‍රධාන වශයෙන් අන්තර්ගතව ඇත.   


මෙම රවුම් උපකරණය රේල් පීල්ලට සම්බන්ධ කිරීමට හැකි ඇලුමිනියම් පටි දෙකක්ද, පීලි වෙඩි උපකරණයට සම්බන්ධ කර තිබේ. පෙට්‍රෝල්මන්ස්ලා වැඩිපුරම රාජකාරියෙහි යෙදෙන්නේ උඩරට මාර්ගයේය. ඒ අනෙකක් නිසා නොව පස් කඳු කඩාවැටීම්, එම දුම්රිය මාර්ගය අවහිර වන සේ විශාල ගස් ඇදවැටීම්, ගිලා බැසීම් ​බොහොමයක් සිදුවන්නේ එම මාර්ගයේ වන හෙයිනි.   


යම් බාධකයක් ඇතිවිටෙකදී ඒ සම්බන්ධයෙන් ආසන්නම දුම්රිය ස්ථානාධිපතිවරයාට දැනුම්දීම කළයුතු වන අතර ඔහු විසින් අදාළ ප්‍රදේශය බාර මාර්ග ඉන්ජිනේරුවන් දැනුම්වත් කළ යුතුය. ඔවුන් එම ස්ථානයට පැමිණ පරීක්‍ෂාකර බාධකය ඉවත්කර රේල් පාර යථා තත්ත්වයට පත් කරනතුරු පෙට්‍රෝල්මන් විසින් රතු කොඩි හා පීලිවෙඩි උපයෝගී කරගනිමින් ඉදිරියට පැමිණෙන දුම්රිය නිශ්චිත දුරකදී නවතා ගත යුතුය.   
බාධකය ඇති ස්ථානයේ සිට සැතපුම් 1/2ක් ඉදිරියෙන් මාර්ගයේ අන්ත දෙකෙහිම රතු කොඩි ප්‍රදර්ශනය කර දුම්රිය පැමිණෙන දිශාවේ වම්පස පීල්ලේ අඩි 45ක පරතරයක් සිටින අයුරින් පීලි වෙඩි 2 බැගින් ස්ථානගත කිරීමද කළයුතුය. මද ප්‍රමාදයකින් හෝ රතු කොඩිය ඇස නොගැටී රියැදුරා විසින් දුම්රිය ඉදිරියට ධාවනය කළ හොත් රෝද පීලි වෙඩි මතින් ගමන් කරනවිට ඒ මහ හඬින් පුපුරායති. ඒ ශබ්දය නිසා රියැදුරු ආරක්‍ෂාකාරීව දුම්රිය නවතාගනී. විශේෂයෙන් අඳුර හා මීදුමෙන් වැසුණු උඩරට රාත්‍රියකදී මෙම පීලි වෙඩි ඉතාම වැදගත් වේ.   


පෙට්‍රෝල්මන් පැය 24 පුරාම රාජකාරී කළ යුතු අයෙකි. මෙම කාලය තුළදී තමන් රාජකාරි කරන ප්‍රදේශය අඛණ්ඩ විමර්ශනයට ලක් කළයුතුය. මුහුදු බඩ මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ අනුරාධපුර දෙසට හා කැලණි වැලි මාර්ගයේ මොවුන් දක්නට නොමැති නමුත් උඩරට මාර්ගයේ රඹුක්කනින් උඩක දී නම් නිබඳවම දැකගත හැකිය.   
විශේෂයෙන් රඹුක්කන - කඩුගන්නාව අතර දුෂ්කරම ප්‍රදේශය හා නාවලපිටියෙන් එපිටට පැය විසි හතරේම අව්වේ වැස්සේ ඝන අඳුරේ එම හිම මිදෙන හීතලේ මොවුන් රාජකාරියේය. ඝන වනාන්තර, මනුෂ්‍ය වාසයෙන් තොර පාළු අඩවි බිම් හා බිම් ගෙවල් බහුල මෙම ප්‍රදේශවල රාත්‍රී සංචාරය සඳහා පෙට්‍රෝල්මන්ලා දෙදෙනෙකු යෙදවීම සාමාන්‍ය සිරිතයි. ඉදිරියේදී යම් බාධකයක් ඇති විටෙකදී විදුලි පන්දම එක්තරා ලතාවකට ඒ මේ අත වනමින් පීලි වෙඩි තබමින් එය දුම්රිය රියැදුරුට දැනුම්දීම මොවුන්ගේ ක්‍රමවේදයයි.   
කඳුකර පෙදෙස්වලදී තම තමන් ස්ථානගතව සිටින තැන් ළඟම දුම්රියපොළේ ස්ථානාධිපතිවරයාට දන්වා සිටීමට අමතරව තමන් පසුකර ගෙන යන එම දුම්රියන්වල ප්‍රධාන නියාමකවරයා දැනුම්වත් කිරීමද මොවුන්ට අනිවාර්ය කර ඇත. දහවල් කාලයේ දී නම් දුම්රියේ අවසන් මැදිරියේ නියාමක කුටිය තමන් අසළින් ඇදී යන විට නළාව ශබ්ද කිරීම හා රාත්‍රියකදී නම් විදුලි පන්දම දල්වා සංඥාව ලබාදී නියාමකවරුන් දැනුම්වත් කිරීම සිදුකෙරේ. සංඥාව ලැබීමෙන් පසු නියාමකවරයා ඒ බව තම රාජකාරි පොතේ සටහන් කළයුතුය.   
නිරීක්‍ෂණ ගමන ආරම්භ කිරීමෙන් පසුව දවසේ නියමිත වේලාවන් තුළ නියමිත ස්ථානවලට පැමිණීම පෙට්‍රෝල්මන්වරුන්ගේ රාජකාරිය වන අතර එය එසේ සිදුනොවූයේ නම් එය අනතුරුදායක තත්ත්වයක් බවට ආසන්නම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා හා දුම්රිය නියාමකවරයා විසින් තීරණය කරනු ලැබේ.   
වර්තමානයේ මෙන් නොව තොරතුරු දැන්වීමේ ක්‍රම හා අඩුම වශයෙන් ජංගම දුරකතන පවා නොමැති වූ කාලයේදී මෙම තත්ත්වය තදින්ම සැලකිල්ලට ගෙන ක්‍රියාකර ඇත. පෙර සඳහන් කළාක් මෙන් වනාන්තර හා ජනශුන්‍ය ප්‍රදේශ බහුල උඩරට කඳුකරයේ රාත්‍රීයට පෙට්‍රෝල්මන්ට සහායකයෙකුද ලබාදෙන අතර මෙය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබනුයේ ‘‘කොට් පෙට්‍රල්යාම’’ වශයෙනි.   


කොන්ක්‍රීට් සිල්පර හා ලී සිල්පර නොතිබූ දුම්රිය ගමන් ඇරඹි අතීතයේදී රේල්පීලි අතුරා ඇත්තේ යකඩ සිල්පර මතය. බ්‍රිතාන්‍ය පාලන යුගයේදී මෙම ක්‍රමය භාවිත කර ඇති අතර මෙම ක්‍රියාවලිය සිදුකරන නොඑසේ නම් යකඩ සිල්පර අතුරන කාලයේදී එම කණ්ඩායම් වල නායකයා හඳුන්වා ඇත්තේ ‘‘ප්ලේට් ලේයර් (Plates Layar) නොඑසේනම් ‘‘තහඩු අතුරන්නා’’ යනුවෙනි.   


දුම්රිය ගමනා ගමනය මෙන්ම තාක්‍ෂණයද කෙමෙන් කෙමෙන් දියුණුවීමත් සමගම සුද්දා විසින් තබන ලද ඒ නම මේ වන විට වෙනස්ව පළමුව ස්ථිර මාර්ග පරීක්‍ෂක වී වර්තමානයේදී අධීක්‍ෂණ කළමනාකරු (මාර්ග) බවට පත්ව ඇත. යකඩ සිල්පර වෙනුවට ලී සිල්පර පැමිණ ඒවා කොන්ක්‍රීට් සිල්පර බවට පත්වූවා සේම කාලයෙන් කාලයට එයට අදාළ තනතුරු නාමයන්ද වෙනස් වී තිබේ. ඉරිදා ලංකාදීප පාඨක ඔබ හෙට දිනයේදී කෙළිදෙළෙන් යෙදෙන දුම්රිය චාරිකාව අතරතුර ඇඟ හිරිගඩු පිපෙන සීතල හා මුසුව එන සුළං රැළි සමඟ එක්ව මැදිරියෙන් පිටතට එබිකම් කරන විට මීදුම් කැටි අතරින් කිළිටි කබායකින් ඇඟ වසාගෙන සීතල මඳක් හෝ පලවාහැරීමට පැනල් තොප්පියකින් හිස වසාගෙන රේල්පාර අයිනේ ගමනේ යෙදෙන කටු මිටි කරගසාගත් තැනැත්තෙකු නෙත ගැටෙනු ඇත.   


ඇතැම්විට ඔබ ඉවතට දමා ගසන හිස් ප්ලාස්ටික් වතුර බෝතලය බත් පත ඔතා තිබූ සිලි සිලි කොළය ඔහුගේ ඇඟේ වදින්නටද ඇත. මේ පුද්ගලයා අන් කවරෙකුවත් නොව ඔබ යන ගමනේදී ඔබටම සිදුවන අනතුරු අන්තරා වළක්වා ගමනාන්තය තෙක් ඔබව ආරක්‍ෂා කරන පෙට්‍රෝල්මන්වරයෙකු හෝ යතුරුකරුවෙකි. ඔබගේ සුවපහසුව හා ගමනේ ආරක්ෂාව වෙනුවෙන් දිවා රැයේ කැපවෙන නියමුවෙකි.   


තිලක් පුෂ්පකුමාර   
ස්තුතිය තොරතුරු ලබාගැනීමේදී සහාය දක්වූ ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ හා නලින් අබේසිංහ මහත්වරුන්ට.



Recommended Articles