ගෙදරට කොටු කරගෙන හැදූ සමන්ට හැදුණු රෝගය


අපේ කතාන්දරයේ කතානායකයා සමන් කුමාරයි. හෙතෙම උසස් අධ්‍යාපනය හමාරවී රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින වයස අවුරුදු 18ක් පමණ වූ තරුණ​යෙකි. සමන් මෑතක සිට තනියම කතා කරයි.

සෙමෙන් කතා කරන අතර තවත් විටක තනියම මහ හයියෙන් කතා කරයි. විටෙක සිනාසෙන සමන් තවත් විටක අඬයි. සිදුවන්නේ කුමක්ද? යන්න කවුරුන් දැන සිටියේ නැත. ගාල්ල, දික්කුඹුර ගමේ අම්මා තාත්තා සමඟ ජීවත්වන සමන්ට හිටි හැටියේ ඇතිවූ අසනීපය කුමක්ද? මාපියෝ කල්පනා කළහ. 


සමන්ගේ අම්මා ගුරුවරියෙකි. තාත්තා අසල විදුහලක විදුහල්පතිවරයෙකි. තම පුතාට ඇතිව ඇති අසනීපය කුමක්ද ? මේකා ගංජා ගහනවා ද? පියාට ඇති වූයේ සැකයෙකි. නමුත් සමන් ගංජා තියා කිසිදු මත්ද්‍රව්‍යකට ඇබ්බැහි නොවූ තරුණයෙක් බව දෙමහල්ලෝ සක් සුදක්සේ දැන සිටියහ. නමුත් ගෙදරට හොර රහසේ සමන් තණමල්විල මල්වලට ආදරය කළේය. උරා බීවේය. කොළ දලු මල් ෆන් එක ගත්තේය. ‘‘කොහොම නමුත් පුතා එක්ක ඇසුරු කරන අය පිළිබඳව අවධානයෙන් ඉන්න හාමිනේ පුතාව ගැන ඇහැ ගහගෙන ඉන්න. යන එන තැන් ගැන විමසිල්ලෙන් ඉන්න’’ යැයි සමන්ගේ අම්මාට සමන්ගේ තාත්තා පැවසීය. 


දින සති මාස ගණනාවක් ගියද සමන්ගේ තනියම කතා කිරීම නම් අඩුවන සෙයක් නොවීය. කොල්ලට යකෙක් වැහිලා ද දන්නේ නෑ සමන්ගේ අම්මා සමන්ගේ තාත්තාට කීවාය. දැන් කොහෙද පුතාලැයි අම්මේ යක්කු. අනික තරුණ කොල්ලන්ට ගහන යක්කු ඉස්සර හිටියට අද ඒවා නෑ. බොරු කතා. මනස්ගාත වැඩ ගුරු විදුහල්පති පියා කීවේය. 
‘‘නෑ. අපි මහත්තයා ‍සමන් පුතා ඉමදුවේ සාදු ගුරුන්නාන්සේ ගාවට අරගෙන යමු. ඒ දේවාලයේ කරන හැම දෙයක්ම හරියනවා කියාලා තමයි අල්ලපු ගෙදර ලීලා අම්මා මට කිව්වේ කොල්ලගේ අසනීපය ගැන කතා කරනකොට සමන්ගේ අම්මා කීවාය. 


‘‘හ්ම්... හොඳයි ගිහින් බලමු’’ සමන් දෙමාපියෝ ඉමදුව දෙවොලට ගියේ පුතු තනියම දොඩන යක්ෂයාගෙන් සිය එකම පුතු බේරා ගන්නටය. 
ගුරුදේව කපු මහතා අංජනම් දේවතාවා කැඳවා සමන් තනියම කතා කරන රෝගය පිළිබඳව අංජනම් දේවියගෙන් විමසුවේය. 


දේව භාෂාවෙන් කතා කළ ගුරුදේව කපු මහතා ‘‘සමන්ට වැලඳී ඇත්තේ යක්ෂ දෝෂයක්. ඒ නිසා මේ ආකාරයට කතා කරන්නේ තනිකම් දෝෂයක් නිසායැයි ගුරු මාපියන්ට කීවේය. මේ සඳහා සත් දවසක් ගිය තැන දහඅට පාළිය සමගින් මහ තොවිලයක් නටා සෙත් ශාන්ති කර්මයක් කිරීමෙන් පසුව සමන්ට ආරුඪ වී ඇති කතා කරන යක්ෂ භූතයා එළවන්ට හැකියාව ඇති බව ද ගුරුදේව කපු මහතා කීය. 


 එකී පරිදි මහා තොවිලයක් පැවැත්විණි. ඒ සඳහා වැය වූ මුදල රුපියල් ලක්ෂ එකහමාරකට අධික විය. තොවිලය හමාර විය. රෝගය සුව විය. මුදල් වියදම් වුවද තම එකම පුතාට සුවවීම පිළිබඳව මාපියෝ සතුටු වූහ. 


නමුත් ගත වූයේ සති කිහිපයකි. තනියම කතා කරන සමන් දැන් වෙනදාටත් වඩා තනියම කතා කරන්නට විය. 


මේ අනුව, ගුරු මාපියෝ සිදුකළ යුත්තේ කුමක්ද ? යන්න හිතාගත නොහැකිව බලා සිටියෝය. ගුරු යුවළගේ ගෝලයෙකු වන තිසල් රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකි. සමන්ගේද මිතුරෙකු වූ තිසල් හරහා මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත සමන්ව යොමු කෙරිණි. වෛද්‍යවරයා සමන්ට ප්‍රතිකාර කිරීමට භාරගත්තේය. නිසි ප්‍රතිකාර කිරීමෙන් පසුව සමන් සුවය ලැබීය. 


එසේ නම් සමන් තනියම කතා කරන රෝගය සමන්ට වැලඳුණේ කෙසේද? ඒ සම්බන්ධයෙන් මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති විස්තර කළේය. 
කයිය ගසමින් තනියම කතා කිරීම කරනවා ඔබත් දැක ඇත. තනියම හිනා වෙනවාද? පුරසාරම් දොඩවනවාද? මෙයද මානසික රෝගයක් වෙනවා.. හින්නෝන්මාදය යනු මානසික ආබාධයක් වන අතර මනසේ ක්‍රියාවලිය බිඳ වැටීමෙන් සහ දුර්වල වූ චිත්තවේග ප්‍රතිචාරයන්ගෙන් එය පෙන්නුම් කරනවා. සැබෑවට නැති හඬවල් ඇසෙනවා යැයි සිතීම, පිළිවෙළට සකස් නොවූ චින්තනය, හීන වූ භාවයන් සහ හීන අභිප්‍රේරණය වැනි මායාවන් වැනි මුළාවට පත් කරන දෑ මෙහි සුලභ ලක්ෂණ වේ. හින්නොන්මාදය මඟින් සාමාජීය සහ ක්‍රියාවෙහි ගැටලු‍ද ඇති කරයි. 


සාමාන්‍යයෙන්, ලක්ෂණ පෙන්නුම් කිරීම ආරම්භ වන්නේ තරුණ වියෙහිදී වන අතර 0.3-0.7% ක් පමණ වූ පිරිසක් තම ජීවිත කාලය තුළදී මෙවන් තත්ත්වයකට මුහුණ දෙති. අදාළ පුද්ගලයාගේ හැසිරීම සහ අත්විඳ ඇති අත්දැකීම් මත පදනම්ව රෝග විනිශ්චය සිදු කරන්නට හැකියාව ඇත. 


ජාන විද්‍යාවත්, පවතින වටාපිටාවත්, මානසික සහ සමාජයීය ක්‍රියාවලිත් මෙයට බලපාන්නා වූ සැලකියයුතු සාධක වේ. විනෝදය සඳහා හෝ බෙහෙත් වට්ටෝරුවලදී හෝ භාවිතා කරනු ලබන සමහර මත්ද්‍රව්‍යය මෙම අාබාධය ඇති කිරීමටත් එහි රෝග ලක්ෂණ තවදුරටත් වැඩි කිරීමටත් හේතු කාරක වේ. 


මෙම අාබාධයේ විවිධ ලක්ෂණ පවතී. මෙම ආබාධයට මුඛ්‍ය ප්‍රතිෂ්ඨා ප්‍රතිකාරය වන්නේ මූලික වශයෙන් හෝර්මෝන ප්‍රතිග්‍රාහක ක්‍රියාවලිය වළක්වන ප්‍රති මනෝව්‍යාධික ඖෂධ මිශ්‍රණයකි. චිකිත්සාව, රැකියාවේ පුහුණුව, සමාජීය පුනරුත්ථාපනය යන දෑද ප්‍රතිකාරයේදී වැදගත් වේ. වඩා බරපතළ තත්ත්වයකදී තමාටත්, අන් අයටත් අවදානමක් විය හැකි තත්ත්වයකදී හදිසි මනෝ චිකිත්සාවද අවශ්‍යවනු ඇත. 


මෙම ආබාධය ප්‍රධාන වශයෙන්ම සිතීමේ හැකියාවට බලපාන බව පැවසුණද, තවදුරටත් එය හැසිරීමේ සහ භාවයන් සම්බන්ධ නිදන්ගත රෝග ඇති කිරීමට ද බලපායි. හින්නෝන්මාදය සහිත පුද්ගලයන් අධික අවපීඩනය, උද්වේගකාරී බව ද දැකිය හැකිය. මෙම රෝගයට සමාජීය ගැටලුද පැන නැගිය හැක. මෙකී ගැටලු හේතුවෙන් ආබාධය සහිත පුද්ගලයින්ගේ සාමාන්‍ය ජීවිත අපේක්ෂාව ආබාධය නොමැති පුද්ගලයකුට වඩා අවරුදු 12-15 කින් පමණ අඩුවේ. කායික සම්බන්ධ ගැටලු‍ වැඩි වීමටත්, සිය දිවි නසා ගැනීම් අනුපාතය ඉහළ යාමටත් (5% ක් පමණ) මෙය හේතුවී ඇත. 


සමන්ට වැලඳී තිබු​ණේ යක්ෂ හෝ භූත රෝගයක් නොවේ. මානසික රෝගයකි. මනස රෝගී වූ කල පියෙවි ලෝකයෙන් ඈත්වී කටයුතු කිරීමට සිදුවේ. බොහෝ මානසික රෝග අතරින් භින්නෝන්මාදය යනු තවත් සුලභව දැකිය හැකි මානසික රෝගයකි. බිඳුණු සිත යන්න ඉන් අර්ථවත් වේ. 


භින්නෝන්මාදය නම් වූ මානසික රෝගය පවත්නා උග්‍ර මානසික රෝග කාණ්ඩය යටතේ වර්ග කෙරේ. මෙය දීර්ඝකාලීනව ප්‍රතිකාර ගත යුතු රෝගයකි. කල්තියා හඳුනා ගැනීම, නිසි අයුරින් ප්‍රතිකාර ගැනීම නිසා බොහෝ රෝගීහු සුවපත්ව සාමාන්‍ය ජීවිත ගත කරති. ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයම මේ රෝගයට ගොදුරු වේ. වයස අවුරුදු 15 - 45 අතර වයස්වලදී වඩාත් සුලභව මේ තත්ත්වය දැකිය හැකිය. භින්නෝන්මාදය වැලඳීමට බලපාන නිශ්චිත හේතුවක් ස්ථිර වශයෙන්ම තීරණයවී නැතත්, පරම්පරාවෙන් පරම්පරාවට රෝගය පැතිරයාමේ ප්‍රවණතාවක් ඇත. 


වෙනත් බොහෝ රෝග මෙන්ම, භින්නෝන්මාදයේ රෝග ලක්ෂණ ද ක්‍රමයෙන් පෙන්නුම් කරයි. ඇතැම්විට එක්වරම වුවද පෙන්නුම් කරනු ඇත. බොහෝවිට මෙහිදී පෙන්වනුයේ, අධික කේන්තිය හා කෑම අරුචිය නිතර තනිව කතා කිරීම තනිව සිනාසීම, නින්ද නොයාම, හිසරදය අන් අයට නෑසෙන ශබ්ද ඇසීම අන් අයට නොපෙනෙන රූප පෙනීම අන් අයට නෑසෙන තමන්ට පමණක් ඇසෙන විධානයන්ට අනුව කටයුතු කිරීම ආදී රෝග ලක්ෂණයි. 


සත්තකින්ම රෝගියාට අසන්නට දකින්නට ලැබෙන්නේ රෝගියා ඇසීමට අකමැති බැණීම් මෙන්ම විවේචනය කිරීම් වැනි කටහඬවල්ය. අස්වාභාවික සැකය මේ රෝගීන්ට වැඩිපුර ඇතිවන්නේ මිථ්‍යා විශ්වාසයන්ය. තමන් අතින් වරදක් සිදුවී නැතත්, තමන් පිටුපස පොලිසියෙන් හෝ හමුදාවෙන් ඔත්තු බලන බව, තමන් කන කෑමට වස දැමීමට තැත් කරන බව, තමන්ට විශේෂ බලතල, වරප්‍රසාද ඇති බවද, ඉහළ පෙළේ ප්‍රභූන් හා නිලධාරීන් හඳුනන බව ද, ඔවුන් තමාගේ ළඟම ඥාතීන් බව ද සමහරු පවසති. 


තමා ලොක්කෙකු බවත් තමාට ඕනෑම පුද්ගලයකු ගරුකරන සලකන දන්නා හඳුනන තත්ත්වයක් මේ රෝගීන්ගෙන විදහා දැක්වේ. සමහර රෝගීන් සිතන්නේ සමාජයේ සෑමදෙනාම වාගේ තමා දෙස බලන බවත්, තමන් ගැන කතා කරන බව, මෙන්ම, තමාගේ හිතේ ඇති දේ අන් අයට දැන ගැනීමට හැකියාව ඇති බවයි. සැකය අවිස්වාසය ද ඇතිව ඔවුහු කටයුතු කරති. 


අරගොල්ලෝ කතා කරන්නේ මම ගැන තමයි. සිතමින් කාලය ගත කරයි. ඒ අනුව හෙතෙමද කතා කරයි. සමන්ද වැඩිපිරිසක් ඇසුරු කළේ නැත. හෙතෙම අනික් තරුණයන්ට මෙන් කඩවසම් සිරුරක් සමන්ට නොවීය. අඩුම තරමින් තමා දෙස ගැහැනු ළමයෙක්වත් බලන්නේ නැතිබව සමන් නිතරම සිහිපත් කළේය. 


‘‘.......හ්ම් අන්න අන්න. අර සුදේස් එක්ක ගැනු ළමයි දෙන්නෙක්ම යාළුයි. විහඟ කළුයි. ඒ අැනාට ඌත් එක්ක ගැහැනු ළමයි කතා කරනවා. මාත් එක්ක කවුරුත්වත් කතා කරන්නේ නෑ. කතා කළත් අඩුවෙත් තමයි කතා කරන්නේ’’ යැයි සමන් නිතරම සිතමින් නතියම කතා කරන්ට වූයේ ඒ අනුවයි. 


තමා ‘‘තරුණ ගෑනු ළමයින් එක්ක කතා කරන්නේ මෙන්න මෙහෙමයි’’ කියමින් තරුණ සමන් තනියම කතා කරන්නට වූයේ මේ නිසාය.මේ නිසාම සමන් මත්ද්‍රව්‍ය ගන්නට ද හොර රහසේ ඇබ්බැහි වූ බව ගුරුමාපියන් දැනගෙන සිටියේ නැත. 


වෛද්‍ය පී.එන්. කුලපති මහතා කීවේ සමාජ ඇසුරක් නැතිව තනි පංගලමේ සිටින තරුණ දරුවන් සම්බන්ධයෙන් මාපියන් වැඩි විමසීමක් දැක්විය යුතු බවයි. සමන්ට ද සිදු වූයේ එයයි. 


සමන්ට ගෙදරින් පිටට යන්නට අවසර ලැබුණේ කලාතුරකිනි. ගුරු මාපියන් හිතුවේ එහෙම සමාජ ඇසුර පවත්වාගෙන ගියහොත් සමන් පුතු විනාශවන බවත් මාපියන් මෙන් ආණ්ඩුවේ රස්සාවක් කරමින් කල් ගෙවන්නට සමන්ට නොහැකි වේය යන්නය.


ඒ අනුව, සමන්ට වාරණ රැසක්ම වැටිණි. එහි ප්‍රතිඵලය වූයේ සමන් මානසික රෝගියෙකු වීමයි. මෙය මේ සටහන කියවන මාපියන්ට ද, වැඩිහිටියන්ට ද කදිම පාඩමක් වන බැව් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ගුරු දෙපොළට පෙන්වා දුන්නේය. 


තමන් කව්රු හරි පාලනය කරනවා. මෙහිදී සමන් හිතුවේ තමා නිරතුරුවම මාපියන් තමා පාලනය කරන නිසා තමාට නිදහසක් නැති බවයි. ඒ නිසා සමන්ට මේ රෝගය හට ගත්තේ ය. යමෙකු හෝ රේඩාර් මගින් හෝ වෙනත් බලවේගයකින් තමාව පාලනය කරනවා යන අදෘශ්‍යමාන දේ පිළිබඳ ඇති විශ්වාසයත් සමන් සතුව පැවැතියේ ය. 
මේ අනුව, සියලු‍ භින්නෝන්මාද රෝගීන් එකම ආකාරයක හැසිරීම් රටාවක් පෙන්නුම් කරන්නේ නෑ. එය විවිධ ආකාරයක් සෙයෙක් ගතහැකි වෙනවා. සමහර භින්නෝන්මාද රෝගීන් කලබලකාරී හැසිරීම් රටාවක් පෙන්නුම් කළ ද, තවත් සමහරු එසේ නොවෙති. බොහෝවිට මොවුහු අන්‍යන්ගෙන් ඈත්වී හුදෙකලාව කටයුතු කිරීමට තැත් කරති. එනිසාම මේ රෝගීන් තම දෛනික ජීවිතය බිඳ වැටීමට හේතු වේ. බොහෝ මානසික රෝගීන් මෙන්ම, හින්නෝන්මාද’ රෝගීහු ද තමා පිළිබඳ සැලකිල්ලක් නොදක්වති. 


මේ අනුව, රෝගියාට අදාළ ප්‍රතිකාර ක්‍රමය නිර්ණය කරනු ලබන්නේ රෝගියාගේ රෝග ලක්ෂණ, රෝග ඉතිහාසය සලකා බැලීමෙන් අනුතුරුවයි. සත්තකින්ම රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ක්‍රම රැසකි. පෙති/කරල් හෝ නික්ෂේපණ උපයෝගී කර ගනිමින් කරන සුලභ ඖෂධ ප්‍රතිකාරය. විද්‍යුත් කම්පන ප්‍රතිකාරය ද වැදගත්වේ. මේ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමේ දී රෝගීන්ට අතුරු ආබාධ ඇතිවිය හැකිය. මේ නිසා වෛද්‍යවරයා මේ සමබන්ධයෙන් පරිස්සම් විය යුතුව ඇත. 


අධික පිපාසය, තොල කට වියළීයාම, නිදිබර ගතිය ද බොහෝවිට මෙවැනි අතුරු ආබාධ ලක්ෂණ වේ. නිසි ප්‍රතිකාර සහ සත්කාරය මගින් රෝගයේ උග්‍ර බව අවම කළ හැකිය. එසේම රෝගය යළි යළිත් උග්‍රවීම නිසා, රෝගියා නැවත නැවත රෝහල්ගත කිරීම වැළැක්විය හැකිය. එසේම රෝගයේ නිදන්ගත ස්වභාවය බොහෝ දුරට පාලනයවන බැවින්, ප්‍රතිකාරවල සාර්ථකභාවය උපරිම වශයෙන් ලබා ගැනීමට රෝගියාට හැකි වේ. 


එලෙසම රෝගියා රැකබලා ගන්නා අය, රෝගියාගේ මානසික සෞඛ්‍යය මෙන්ම, කායික සෞඛ්‍යය ගැන ද උනන්දු විය යුතුය. රෝගියාගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. පෝෂණය සහ පුද්ගලික පිරිසුදුකම රෝගියාගේ පෝෂණය, සහ පිරිසිදු බව පෞද්ගලික ශාරීරික පිරිසිදු බව, පිළිබඳ නිසි අවධානයක් යොමු කළ යුතුව ඇත. නිසි ප්‍රතිකාර කිරීමෙන් පසුව, තම දෛනික වැඩ කටයුතු තමාටම කරගැනීමේ හැකියාව ඇත. රෝගීන්ට තමන්ගේ පෝෂණය වැදගත් වේ. 


මෙහිදී දුම්පානය, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය රෝගියාගේ සෞඛ්‍යයට ඉතා අහිතකර වන බැවින්, එවැනි පුරුදු අත්හළ යුතුය. භින්නෝන්මාදය ඇතිවීමට බලපාන සමහර අවස්ථාවන්ට හේතු විශේෂ හේතුවක් නැත. හේතු කිහිපයක් එක්වීමෙන් රෝගය මතු කරන බව ද පෙන්වා දිය හැකිය. ස්නායු පද්ධතියේ රසායනික වෙනස්කම් ඇතිවීම නිසා ද, කායික රෝග දරු ප්‍රසූතියකින් පසුව මෙන්ම හදිසි අනතුරක්වීම ද මෙයට මුල්වනු ඇත. මත්පැන් හා මත්ද්‍රව්‍ය, මානසික අසහනය, විභාග අසමත්වීම, රැකියා නොලැබීම, ප්‍රේම සබඳතා ගිලිහීම, වැනි සිතට වේදනාකාරී අවස්ථා එළැඹීම වැනි දේ නිසා භින්නෝන්මාද රෝගීහු 1/3 පමණ සම්පූර්ණ සුවය ලබති. ප්‍රතිකාර පමාවීම හා තදින් රෝගය ඇතිවිට 100% සුව නොවේ. සත්තකින්ම රෝගීන් රෝග ලක්ෂණ නැති වූ පසුව වුණද, දිගටම බෙහෙත් ගැනීම අවශ්‍ය වේ. 


සත්තකින්ම මෙම රෝගීන් බොහෝදුරට ආගමික වැඩසටහන් මෙන්ම, සංගීතය, විනෝද ක්‍රීඩා, චාරිකා මෙන්ම ඔවුන් ප්‍රිය කරන විනෝදාංශ කෙරෙහි යොමු කරවීම වඩාත් සුදුසුය. මෙවැනි රෝගීන් කෙරෙහි ආදරය, අනුකම්පාව මෙන්ම ඉවසා සිටීම ද, නිරෝගී සමාජයෙන් ඔවුනට ලැබිය යුතු ප්‍රතිකාර වේ. සමාජයෙන්, පවුලෙන් කොන් නොකර, ඔවුන්ට ද කිසියම් වටිනාකමක් දීම වැඩිහිටියන්ගේ යුතුකමයි. 


ඉතිං ඉතිං ඊට පස්සේ සමන්ට මොකද උනේ....’’ ගත වූයේ කෙටි කාලයකි. සමන් දැන් තනියම කතා කරන්නේ නැත. පුද්ගලික ආයතනයක රැකියාවක් ලද සමන් දැන් හැඩි දැඩි ඉලන්දාරියෙකි. රස්සාවට යන සමන් සති අන්තයේ කාය වර්ධන මධ්‍යස්ථානයකට යයි. සමන්ට දැන් සමනලියක් මෙන් ලස්සන ආදරවන්තියක්ද සිටින අතර අපේ කාලයේ තරුණයෙකි. (නම් ගම් මනඃකල්පිතය.) 


සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත



Recommended Articles