ගැමුණු කුමරුගේ කොත්මලේ සිටි පෙම්වතියෝ


දන්න දේ  සහ නොදන්නා දේ   

 

 

කාවන්තිස්ස රජු හා ගැටී විහාර දේවිය පිසදුන් බත් මුලක් රැගෙන ගැමුණු කුමරු මාගම සිට පැමිණ ත්‍රී සිංහලේ එක් මන්කඩක් වූ හාල්වැහිකඳුරෙන් දිය නා කෑම කා කොත්මලේට පලා ආවේය. ඔහු ගුත්තා නමින් වෙස්වළා ගෙන කොත්මලේ කොටඟේපිටියේ වීසුරුගෙදර ගමරාළ ළඟ අවුරුදු දොළහක් ජීවත්විය.   
පාලි සහස්සවත්ථුප්‍රකරණය අනුව කොත්මලේට පලා ගිය කුමරු කිසිවෙකු හඳුනා ගත්තේ නැත. ඔහු සේවකයෙකු සමඟ කොත්මලේට පලාගිය බව සහස්සවත්ථුප්‍රකරණය කියයි. ස්ත්‍රියක් ගෙන ගිය දී කිරි කළයක් කුමරු මිලදී ගනියි. ජනප්‍රවාද අනුව මුළු කොත්මලේටම තිබුණේ තැනින් තැනට විසිරුණු පැල්පත් විස්සකි. කුමරු ගුත්තා නමින් වෙස්වළාගෙන ජීවත් වූයේ ඌරුපැළැස්සේ ගමරාල ළඟයි.   
ඌරන් හෑරූ විශාල වළක් අද්දර මේ පැල්පත තිබූ බැවින් ඌරුපැළැස්සේ ගෙදර නම් විය. ඒ ගමරාළ පියා හා අමනාපව පලා ආ කොලුවාට දුන් නම ‘එද්දළයා’ යනුයි. එහි අර්ථය ‘දැඩි හිතක් ඇත්තා’ යන අර්ථය දෙයි. ගමරාළගේ කුඹුරු වැඩ කිරීම. හරක් වැඩ කිරීම කළේ ගුත්තාය.   


ගමරාලගේ වැඩිමල් දූ කළුමැණිකාය. බාලදූ රූමත් රන්මැණිකාය. කලක් යනවිට ගුත්තා හා රන්මැණිකා අතර හිතවත්කමක් ඇතිවිය. ජනප්‍රවාද අනුව අවුරුදු දොළහක් වෙස්වළා ගෙන කොටහේපිටියේ විසූ කුමරු එම නිවසේ කුඹුරු වපුරා වී බහුලව රැස් කළ බැවින් එම නිවස වීසුරුගෙදර නමින් ප්‍රකට විය. මාගම කාවණ්තිස්ස රජු මිය ගිය පසු කුමරු සොයා මඟුල් ඇතා ප්‍රධාන පෙරහැර පුසුල්පිටිය දෙසට එයි. කුමරු රජඇළ බැඳ වගා කළ කුඹුරුයාය මාස්වෙල ගමේ අදත් දැකිය හැක.   


දහවල් බත කා නින්ද ගිය කුමරුට තම බඩවැල් මුවින් එනු සිහිනෙන් දක්නට ලැබුණි. ඒ ළඟින් ගිය පොන්න තැනැත්තා ඒ සිහිනය ඉතා ශුභ එකක් බව ගුත්තාට තේරුම් කර දුන්නේය. ජනප්‍රවාද අනුව කුමරු සමඟ මාගමට රජකමට ගියේ රන්මැණිකාය. ඒ වනවිට ඇය ගැබිනියක් විය. ඇය බැලීමට ගිය නෑදෑයින්ට රජමැදුරේදී නිදා ගැනීමට ඇඳක් ලැබුණු බව ජනකතාවල එයි.   


ගැමුණු කුමරුගේ මුල් බිසව කොටහේපිටියේ ඌරුපැළැස්සේ ගෙදර රන්මැණිකාය. කැකිරාව කොස්සගම කන්ද ලෙන් ලිපියක එන ‘රමණිබරිය’ යන ලෙන් ලිපි පාඨයේ රන්මැණිකා යන නමේ ඡායාවක් වැටී ඇත. පසුකල ගැමුණු රජුට රාජකීය අගබිසවුන් සිටි බව ලෙන් ලිපි දෙක තුනක තොරතුරු කියවෙයි. එහෙත් කුමරුගේ මුල් බිසව කොටහේපිටිය ගමේ ගැමි තරුණියක වූ රන්මැණිකාය. (ගැමුණු කුමරු පිළිබඳ ජනප්‍රවාද දඹදෙණියේ දෙවෙනි පරාක්‍රමබාහු රජු පිළිබඳව ජනප්‍රවාදවලට සමානය)  


මාවෙල ගමේ සිරිමල් එතනා  


ගැමුණු කුමරුගේ පෙම්වතියන් ගැන කොත්මලේ ඇති ජනප්‍රවාද ඒ ඒ ගම්වලට කුල අනුව ඈඳා ගෙන ඇත. කොත්මලේ මාවෙල ගමේ ජනප්‍රවාද අනුව කුමරු සැඟවී සිටියේ මාවෙල ගමේ ගොවි ගෙදරකයි. ගමරාළගේ වැඩිමල් දියණිය කළු එතනාය. රූබර බාල දියණිය සිරිමල් එතනාය. කුමරු සමඟ ආදරයෙන් වෙළී සිටියේ සිරිමල් එතනාය. කුමරු දුටු සිහිනය වියගහේ මීයක් බැඳ තිබීමයි.  


නවන්ගම ගමේ සර්ධා  


කොත්මලේ නවන්ගම ලෝකුරු ගම්මානයකි. පසුකල ගැමුණු කුමරුගේ යුද්ධයට අවශ්‍ය අවි ආයුධ රැසක් නවන්ගම සැදුණු බව කියවෙයි. කුමරු පලා එන විට නවන්ගම ගමේ සැඟ වී සිටි බව පේරාදෙණියේ කථිකාචාර්ය සාලිය කුලරත්න ලිවූ ජන සන්නිවේදනය හා ජනශ්‍රැති ග්‍රන්ථය කියයි. නවන්ගම ගමේ ප්‍රධාන යවන්නාගේ නිවසේ කුමරු රැඳී සිටි අතර ඔහුගේ දියණිය වූ සර්ධා සමග කුමරු ආදරයෙන් වෙළී ඇත. කොත්මලේ ජලාශ ව්‍යාපාරය නිසා නවන්ගම යන නම ඉවත්කොට රජරටට ගෙන ගොස් ඇත.  


කොත්මලේ සැඟවී සිටි කුමරු තම තමන්ගේ ගම්වල කුලවලට ඈඳා ගැනීම ඒ ඒ ගම්වල අය කටයුතු කළ බව මින් පෙනී යයි.  

 

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ 
එස්.කේ. ජයවර්ධන!

 



Recommended Articles