කේසර සිංහයන් මැදින් රත්නපුරයට යමුද?


ජුරාසික යුගයේ ලංකාව 

  • රත්නපුර කඳුබෑවුම්වල හිපපොටේමස්, ගවරුන්, කේසර සිංහයන් ඈත අතීතයේ ජීවත්වුණා.  
  • තබ්බෝවේ වේගයෙන් ගලාගිය ගංගාවක් තිබී නැතිවෙලා.  

 

අරුවක්කාලු ෆොසිල තැන්පතුව

 

කොළඹ සිට රත්නපුර මාර්ගයේ ගමන්කරන විට දෙපස ඇති මඩ වගුරුවල දැවැන්ත හිපපොටේමස් සතුන් සිය ගණන් ඔබට දැකිය හැකිනම්, කඳු අතරින් පහළට රංචු පිටින් බැස එන දැවැන්ත හස්තිරාජයන් ඔබ අබිමුවෙහි සිටින්නේ නම්. අලින්ට පමණක් දෙවැනි වන ගවරුන් ද ඔවුන්ගේ හිස මතට පැන උන් මරා කන කේසර සිංහයන් ද දැකිය හැකිනම් ඔබට එය ජුරාසික් පාර්ක් වැනි සිනමා පටයක්ම වනු ඇත. මෙය කිසිදා යථාර්ථයක් නොවූව ද ඒ මෙරට පැවැති අතීත පරිසරයයි.   

ලෝකයේ රටවල් රැසකින් ඩයිනෝසර යුගයේ සත්ත්ව අවශේෂ කොතෙකුත් හමුවුව ද අපේ රටෙන් එවැනි යෝධයන්ගේ පැරණි අවශේෂ මෙතක් හමුවී නැත. ඔවුන් හමුනොවූවා යැයි කියා මෙරට අතීතයේ ඔවුන් නොසිටියේයැයි කිසිවෙකුට තර්ක කළ නොහැකිය.   


ඉතා ඈත අතීතයේ අදින් වසර මිලියන ගණනකට පෙර පෘථිවියේ මහද්වීප බොහොමයක් එකට එක්ව තිබිණි. ඒ යුගය හැඳින්වෙන්නේ ප්‍රාග් ගොන්ඩ්වානා යුගය ලෙසිනි. මේ කාලයේ ශ්‍රී ලංකාව පිහිටා තිබුණේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයෙනි. දක්ෂිණ ධ්‍රැවය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, අප්‍රිකාව, මැඩගස්කරය හා දකුණු ඇමෙරිකාව එකිනෙකට සමීපයෙන් මහා ගොඩබිමක් ලෙස පැවතිණි.   


ඒ ජුරාසික් යුගයයි. ජුරාසික් යුගයේ පැවති දැවැන්ත ශාක මෙන්ම ජීවත් වූ සත්තු ද මේ සුවිසල් ගොඩබිමෙහි අස්සක් මුල්ලක් නෑර පැතිර සිටියහ.

   

තබ්බෝව වැවේ ජුරාසික තැන්පතුව

 

එකල පෘථිවියේ අණසක පතුරාගෙන සිටියේ උරගයෝය. මිහි මත දැවැන්තයන් වූ ඩයිනෝසරයන් ද, ජලයේ සරන සුවිසල් උරගයෝද, ගුවනේ පියඹා යන උරගයෝ ද සිටියහ. එමෙන්ම අද අපට දක්නට සිටින වත්මන් ක්ෂීරපායී සතුන්ගේ පූර්වජයෝ ද වාසය කළ බවට සාක්ෂි තිබේ. ලේනුන්, හික්මීයන් වැනි අද සිටින කුඩා ක්ෂීරපායී සතුන්ගේ පූර්වජයෝ පොළොවේ හාරාගත් ගුල්වල සහ ගස් බෙනවල මෙකල වාසය කර ඇත. ඔවුන් වඩාත් ක්‍රියාශීලී වී ඇත්තේ රාත්‍රී කාලයේදීය.   


අදින් වසර මිලියන 144 ත් 213ත් අතර යුගයට අයත් වන මේ කාල පරිච්ඡේදයේ ජීවය පිළිබඳ සාක්ෂි මෙරටින් හමුවන්නේ වයඹ දිග ප්‍රදේශයේ විජයානු සානුව ලෙස හඳුන්වන ප්‍රදේශයෙනි. පුත්තලම, අනුරාධපුර මාර්ගයේ කිලෝමීටර 14ක් ගිය විට හමුවන තබ්බෝව වැවේ බටහිර ප්‍රදේශය, තබ්බෝවට දකුණින් පිහිටි ආඬිගම හා පල්ලම ප්‍රදේශවල ද මේ සාක්ෂි දක්නට ලැබෙයි.   


මේ සාක්ෂි අතරින් පල්ලම හා ආඬිගම ඇති ජුරාසික් තැන්පතු දෙකම පසුකාලීනව ඇති වූ පාංශු ස්ථරවලින් වැසී ගොස් ඇති නිසා ඒවා හමුවන්නේ වගා ළිං සඳහා හෑරීම් කරන විට පමණි. මෙවැනි හෑරීම් කළ විට පැති බිත්තියේ ෆොසිල කොටස් නිරාවරණය වී තිබෙනු දක්නට ලැබෙයි.   
තබ්බෝව වැවේ වාන් දොරටුව අසළ පතුල නිර්මාණය වී ඇත්තේ ජුරාසික යුගයේ තැනපත් වූ පස්වලිනි. වර්ෂාව අඩු කාලයේ දී වැවේ පත්ලේ ලොකු හතරැස් කොටු ලෙස කැඩුණු අළු පැහැති ගල් ආකාරයෙන් දර්ශනය වන්නේ ඓතිහාසික වටිනාකමක් ඇති මේ තැන්පතුය. වැවේ වාන් දොරටුව අසළ විශාල ගල්කුට්ටි ලෙසත් ජුරාසික් තැන්පතු දක්නට ලැබෙන අතර බොහෝ දෙනකු සිතන්නේ මේවා කවුරුන් හෝ විසින් අතීතයේ ගෙනවිත් දමන්නට ඇති බවයි.   


මෙම පාංශු තැන්පතු පිළිබඳ විවරණය කරන භූ විද්‍යා මහාචාර්ය පී.ජී. කුරේ මහතා පවසන්නේ ජුරාසික් යුගයේ වේගයෙන් ගැලූ ගංගා පතුලක තිබූ තැන්පතු මේ ස්ථානයේ ලොකු ගල් කුට්ටි ලෙස දක්නට ලැබෙන බවයි.   
මේ ගංගාවේ ජලය ගලා ගිය වේගය හේතුවෙන්ම එහි සත්ත්ව ෆොසිල හෝ ශාක ෆොසිල හෝ තැන්පත්ව නැත. වැවේ වාන් දොරටු අසළ කළු, අළු සහ කහ පැහැති මඩ තට්ටු ලෙස ඇති තැන්පතුවේ තිරස් අතට සියුම්ව තැන්පත්ව තිබෙන අවශේෂ දක්නට ලැබෙයි. මාහාචර්ය කුරේ මහතා පෙන්වාදෙන්නේ ගංගාවේ ජලය සෙමෙන් ගලා ගිය කාල පරිච්ඡේදයක දී මෙම මඩ තට්ටුවල අවශේෂ තැන්පත්ව තිබෙන බවයි. ඒ අතර ද කිසිදු සත්ත්ව ෆොසිලයක් දක්නට නොලැබෙන නමුත් ශාක ෆොසිල රැසක් ඉතා හොඳින් සුරක්ෂිතව තිබෙනු දක්නට ලැබෙයි. ඒවා වර්ග සැතපුම් 2-3ක් පමණ පැතිර පවතියි.   


මේ ෆොසිල පිළිබඳ  පර්‌යේෂණ සිදුකළ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ කැලු‍ම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතා පවසන්නේ ජුරාසික යුගයේ සත්ත්ව ෆොසිල මෙතැනින් හමු නොවූව ද ශාක පත්‍ර හා කුඩා අතු රිකිලි හමුවන බවයි.   


“මේ ස්ථානයේ ෆොසිල සාධක අධ්‍යයනය කිරීමේ දී පෙනී ගියා ඒවා අතර කොනිෆරස් ගස් (Coniferous trees) සයිකේඩ් (Cycade) හා පර්ණාංග (Pteridophyta) ශාකයන්හි කොටස් තිබෙන බව. මේවා ඉන්දියාවේ දමෝදා, රජ්මහල් සහ මදුරාසි ද්‍රෝණියේ හමුවන ෆොසිලවලට බොහෝ සෙයින් සමානයි. මන්නාරම ප්‍රදේශයේ පොළොව විද කරන ලද පරීක්ෂණ මගින් ද තහවුරු වී තිබෙනවා පොළොව මතුපිට සිට අඩි 200ක් 250ක් පමණ යටින් මේ හා සමාන තැන්පතු තිබෙන බවට. ඉන්දියාවේ නැගෙනහිර තීරයෙත් මේ ආකාරයේම ෆොසිල සාධක හමුවන නිසා ඒ කාලයේ අපේ රට ඉන්දියාව සමග සම්බන්ධව තිබූ බව පැහැදිලි වනවා. මේ ප්‍රදේශයේ එකල තිබී ඇත්තේ ඉතා සුළු ශාක වර්ග සංඛ්‍යාවක්. දක්නට ලැබෙන ලක්ෂණ අනුව මේ ප්‍රදේශය අර්ධ ශුෂ්ක දේශගුණයක් සහිත ජලය පිරි ඩෙල්ටාවක් තිබූ ස්ථානයක්. කඳුකර ශීත ප්‍රදේශවල තිබූ ශාක කොටස් ජලයේ ගසාගෙන ඇවිත් මේ විදියට තැන්පත්ව තිබෙනවා.”‍   
ජුරාසික යුගය වසර මිලියන 144 කින් පසු අවසන් වී යෝධ උරගයන්ගේ උච්චතම අවස්ථාව වන ක්‍රටේසියස් යුගය වසර මිලියන 144 ත් මිලියන 65ත් අතර අතීතයක් දක්වා දිව යයි. ක්‍රටේසියස් යුගය අවසන් වන්නේ අදින් වසර මිලියන 65කට හෙවත් වසර ලක්ෂ 650කට පෙර හදිසියේම පෘථිවිය හා ගැටුණු දැවැන්ත උල්කාපතයක් හේතුවෙන් යැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.   


වර්ග කිලෝමීටර 100 ක් පමණ විශාල යැයි කියන ඒ උල්කාපාතය මිහිතලයේ සිටි ඩයිනෝසරයන් ඇතුළු ජීවීන්ගෙන් සියයට 80ක් වඳකර දැමීමට සමත්ව ඇත. උල්කාපාතය උතුරු ඇමෙරිකාවේ සාගර ප්‍රදේශයට පතිතවීමෙන් කිලෝමීටර 150ක පමණ විෂ්කම්භයක් සහිත වළක් සාගර පත්ලේ සෑදී ඇති බව පවසන විද්‍යාඥයෝ ඉන් ඇති වූ සුනාමි රළ අඩි 200ක් පමණ උසට නැගෙන්නට ඇති බවත් විශ්වාස කරති. මෙමගින් වෙරළබඩ සිටි ජීවීන් සහ පරිසර පද්ධතිය මුළුමනින්ම විනාශ වී ගියේය. උල්කාව සමග එමෙන් සිය ගුණයක් පමණ වූ අවශේෂ පෘථිවි වායුගෝලයට ඇතුළුවීමෙන් හටගත් දූවිලි වලාව වසර 10-100ත් අතර කාලයක් පැවතීම හේතුවෙන් පෘථිවියේ මතුපිටට සූර්යාලෝකය නොලැබී ගොස් ජීවීන් වඳ වූ බව විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.   


සූර්යාලෝකය නොවැටීමේ විපාකය වූයේ ශාක ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය නතරවීමයි. ඒ හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වූ අතර ඔක්සිජන් අඩුවන්නට විය අම්ලවැසි ඇතිවී ජලාශවල ආම්ලික ස්වරූපය අධික විය. ශාක මත යැපෙන සතුන් මියයාම හේතුවෙන් මාංශ භක්ෂකයන්ට ද ආහාර නැති වී ඔවුන් මිහිතලයෙන් වඳ වී ගියේය. ඩයිනෝසරයන් එලෙස සමුගනිද්දී එකල ගුල්වල සහ බෙනවල දිවි ගෙවූ හික්මීයන්, ලේනුන් වැනි සත්තු මළකුණු මත යැපෙමින් තවදුරටත් ලෝකයේ ජීවය පවත්වාගෙන ගියහ. එමෙන්ම දැනට ලැබී ඇති සාධක අනුව පෙනී යන්නේ අද අපට දක්නට ලැබෙන කිඹුලන්, කැස්බෑවුන් හා ඉබ්බන්ගේ පූර්වජයන් ද කුරුල්ලන් රැසක් ද මේ විනාශය අතරතුර තම පැවැත්ම තහවුරු කරගෙන අඛණ්ඩව පරිණාමය වී ඇති බවයි.   


යෝධ ඩයිනෝසරයන්ගේ සමුගැනීමෙන් පසු උදාවන්නේ ක්‍රිටේසියස් යුගයයි. දූවිලි වලාවන් පහව ගිය පසු යළි හිරුරැස් පෘථිවිය මත පතිත වීමෙන් ලෝකය නව ජීවියකින් පණ ලබා තිබේ. කලින් දක්නට ලැබුණු ශාක වර්ග වෙනුවට මලින් බර වූ තුරු ලතාවන් බිහිවී ඇත. මෙතෙක් ගුල් ඇතුළේ සැඟවී රාත්‍රියේ දී පමණක් ක්‍රියාශීලී වූ ක්ෂීරපායී සතුන් දහවල් කාලයේ දී ද තම ගොදුරු සොයා යන්නට විය. ඩයිනෝසරයන් වඳවී ගියා යැයි කීව ද එදා අහසේ පියඹා ගිය ඩයිනෝසරයන් දිවි ගලවාගෙන කුරුල්ලන් ලෙස විශේෂණය වූහ.   
පැරණි භූ විද්‍යාත්මක සාක්ෂ අනුව මේ යුගයේ දී ද අප අද සිටින ශ්‍රී ලංකාව අත්ව තිබුණේ පැරණි ගොන්ඩ්වානා ලන්තයටමය. එම යුගය ක්‍රිටේසියන් Cretaceous හෙවත් ක්‍රිටේසීය යුගය ලෙස හඳුන්වයි.   
ඉන්පසු අදින් වසර මිලියන 24කට හෙවත් වසර ලක්ෂ 240කට පෙර ලෝකයේ මයෝසීන (Miocene) නම් යුගයක් ආරම්භ වූ බව ස්වභාව විද්‍යාඥයන් විසින් අධ්‍යයනය කර තිබේ. මයෝසීන යුගය වනවිට ඉන්දියාව හා ශ්‍රී ලංකාව එකිනෙක සම්බන්ධ වූ භූමියක් ලෙස පෘථිවියේ උතුරු දිශාවට තල්ලු‍ වී ගොස් තිබිණි. ඉන්දියාවේ උතුරු කොටස රුසියානු බිම් කොටස හා බද්ධ වූ අතර රුසියානු කොටස්වල සිටි ජීවීන් ඉන්දියානු හා අප්‍රිකානු කොටස් වෙත පැමිණීමත් මෙහි සිටි ජීවීන් උතුරට යාමත් සිදුව ඇත. මයෝසීන යුගය අදින් වසර ලක්ෂ 50කට පෙර නිමාවට පත්වූ බව විද්‍යාඥයෝ කියති.   


 පර්‌යේෂකයන් පවසන්නේ මේ යුගයේ අවසානය සිදුවූයේ ගොලීය උණුසුම ඉහළ යාමෙන් බවයි. එකල වූ වැසි වනාන්තර ශීඝ්‍රයෙන් අඩුවී ගොස් සුළු වශයෙන් තිබූ තණ බිම් ලෝකය පුරාම වැඩිවී ඇතැයි නූතන  පර්‌යේෂණ මගින් තහවුරු කරගෙන ඇත. වනාන්තර ගංගා දෙපසට සීමා වෙවද්දී තණ කොළ ආහාරයට ගන්නා කුර සහිත ගවයන්, එළුවන්, බැටළුවන්, සීබ්‍රා, අශ්වයන්, ජිරාෆ් වැනි සතුන්ගේ පූර්වජයන් මයෝසීන යුගයේ මිහිතලයේ දැවැන්තයෝ වූහ. මොවුන්ගේ විශේෂ සංඛ්‍යාවත් ගහණ ඝනත්වයත් වැඩිවීමේ ප්‍රතිඵලය වූයේ ඔවුන් මරා මස් කන සිංහයන්, ව්‍යාඝ්‍රයන්, කොටි වැනි මාංශ භක්ෂකයන්ගේ අතීත පූර්වජයෝ ද මිහිතලය මත පරිනාමය වීමයි. 

 

 

පුරා සත්ත්ව විද්‍යාව පිළිබඳ පර්‌යේෂණ සිදුකළ කැලුම් මනමේන්ද්‍ර-ආරච්චි මහතා මෙම යුගයේ සාධක පිළිබඳ මෙසේ පවසයි.   


“ශ්‍රී ලංකාවෙන් මයෝසීන යුගයේ සාධක හමුවනවා. ඒවා පහසුවෙන් ම දැකගත හැකිවන්නේ පුත්තලමේ සිට උතුර දෙසට යනවිට තිබෙන අරුවක්කාලු‍වලින්. එම ප්‍රදේශයේ සිට කන්කසන්තුරය දක්වාත් මේ මයෝසීන අවශේෂ සහිත තැන්පතුවක් දක්නට ලැබෙනවා. එය යාපනය අර්ධද්වීපය පුරාම තිබෙනවා. ඒ වගේම යාල ජාතික වනෝද්‍යානයේ මිනිහාගල්කන්ද කියන තැනත් මයෝසීන යුගයේ සාධක දක්නට පුළුවන්. මෙහි තිබෙන වැදගත්ම දේ තමයි කොහොම ද මේ සාධක පොළොව මට්ටමේ තියෙන්නේ කියලා. අපිට මේ තැන්වලින් හමුවන්නේ මයෝසීන යුගයේ මුහුදක ඇති සාධක. ඉන් පැහැදිලිවනවා යම් කාලයක සිදුවූ උඩුකුරු තෙරපුමක් හේතුවෙන් මයෝසීන යුගයේ මුහුදු පතුලක් උඩට එසවී තිබෙනවා කියා. මේ ප්‍රදේශ දෙකේම මුහුදු ජීවීන් පමණක් හමුවන්නේ ඒ නිසා.”‍   


ඔහු පවසන්නේ තනි කටුව සහිත බෙල්ලන්, දෙපියන් බෙල්ලන් සහ පසැඟිල්ලන්ගේ පූර්වජ අවස්ථා, ඉකිරි, තල්මසුන්, ඩොල්ෆින්, මුහුදු ඌරන්, අස්ථික මසුන්, මෝරු සහ මඩුවන් වැනි කාටිලේජ සැකිලි දරන මසුන් ඇතුළු තවත් ජීවීන් ගණනාවකගේ පොසිල මේ මයෝසීන තැන්පතුවෙන් හමුවන බවයි.   
“මේ තැන්පතුව ඇත්තටම ලංකාවට භූ විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක සම්පතක් ලෙස වැදගත් වෙනවා. මේ පුරාණ පොසිල අධික උෂ්ණත්වයට රත් කරලා සිමෙන්ති හදනවා. කැල්සියම් අධික නිසා දශක ගණනාවක සිට මේ ස්ථානයෙන් සිමෙන්ති නිෂ්පාදනයට අමුද්‍රව්‍ය ලබාගන්නවා. ඉහළින් තිබෙන පසුකාලීන තුනී පස්තට්ටුව ඉවත් කරලා මේ තැන්පතුව කඩනවා. රටේ නිෂ්පාදන අවශ්‍යයි. මේ කොටස් සිමෙන්ති සඳහා ඉවත් කරාට පස්සේ දක්නට ලැබෙන පැති බිත්තියේ ලෝකයේ පුදුම ඉතිහාසයක් සැඟව තිබෙනවා. මහා පරිමාණයේ ෆොසිල එතැන තිබෙනවා. ඒ තැන්පතුවෙන් ලොරියක් ඉවත් කළොත් ඒ ඉවත් කරන්නේ ෆොසිල ලොරියක්. ඒ තරම් අරුවක්කාලු‍ කියන තැන ෆොසිලවලින් පොහොසත්.”‍   


නමුත් මේ දක්වාම සිමෙන්ති නිෂ්පාදනය සඳහා විනාශ කරන අරුවක්කාලු‍ ෆොසිල තැන්පතුව මතට කොළඹ කුණු ගෙනවිත් දමමින් තිබේ. මෙය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව පුරාවිද්‍යාඥයෝ කියති.  
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සත්ත්ව පුරාවිද්‍යා විශේෂඥ කැලුම් මනමේන්ද්‍රආරච්චි මහතා සමග සාකච්ඡා කර සකස් කරන ලදී.

මයෝසීන යුගයෙන් පසු තවත් යුගයක් පෘථිවියේ දක්නට ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි. එය හඳුන්වන්නේ ප්ලයිස්ටොසීන (Pleistocene) යුගය නමිනි. අදින් වසර ලක්ෂ 25කට පෙර මේ යුගය ආරම්භ වී අදින් වසර 11,700කට පෙර නිමා වී ඇති බව ඔවුහු කියති.   

 

තබ්බෝව තැන්පතුවේ ඇති ශාක ෆොසිල

 

“මේ යුගය වැදගත් වෙන්නේ ලෝකයේ නූතන මානවයා හෙවත් හෝමෝ සේපියන්ස් කියන සත්ත්වයා පරිණාමය වීම. හෝමෝ ඉරෙක්ටස් ගින්දර භාවිතය ආරම්භ කළා, කෘෂිකර්මාන්තය ආරම්භ වුණා. කැලේ සිටි සතුන් සහ ගහකොළ ගෘහස්ථකරණය කළා. මෙතෙක් ලෝකයේ පහළ වූ කිසිම සත්ත්වයෙක් තමන් ජීවත් වූ පරිසරයට අනුව හැඩගැසුණා මිසක් පරිසරය වෙනස් කළේ නැහැ. නමුත් මානවයා තමන්ගේ පරිසරය වෙනස් කළා.”‍   


මේ යුගයේ දී ශ්‍රී ලංකාවේ සිටි මානවයන් ඇතුළු සතුන් සම්බන්ධයෙන් ෆොසිල සාධක ඉතා විශාල සංඛ්‍යාවක් හමුවී ඇත. එවැනි ෆොසිල වැඩිපුරම හමුවී ඇත්තේ මැණික් ඉල්ලම්වලිනි. මැණික් ඉල්ලමක් යනු පැරණි මියගිය ගංඟා පතුලකි. මේ යුගයේ සිටි සතුන් දඩයම් කරන මානවයා දඩයම හා වගාව හේතුවෙන් ම ලෝකය වෙනස්කරමින් මහා වඳවීමක් ආරම්භ කරන්නේ සියලු‍ දේ තමා නතුකරගනිමිනි.   
කැලුම් මනමේන්ද්‍ර-ආරච්චි මහතා පවසන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ මහාද්වීපවල සැරි සැරූ විශාල ක්ෂීරපායීන් බුරුතු පිටින් වඳවී ගොස් ඇති බවයි. ප්ලයිස්ටොසීන යුගයේ දී අද අපට දක්නට නැති බොහෝ සතුන් මෙරට ගොඩබිම තම අණසක පතුරුවමින් සිටි බවට මෙරටින් හමුවන ෆොසිල සාධකවලින් පැහැදිලිවෙයි. ඔහු ඒ පිළිබඳ දීර්ඝ කාලයක සිට අධ්‍යයනය කර ඇත.   


ඔහු කරන ලද අධ්‍යයනයන්ගෙන් පැහැදිලි වන්නේ අද අපට දක්නට ලැබෙන අලියා හැර වඳ වී ගිය අලි විශේෂ තුනක් මෙරට වාසභූමිය කරගෙන ජීවත්ව ඇති බවයි. ඒ අලි විශේෂ තුනෙන් එක් විශේෂයක් දැනට සිටින මෙරට සිටින විශේෂයේ පූර්වජයාය. අනෙක් අලින්ගේ පසුකාලීන පරපුර හෝ අපට දක්නට නැතිවීම අවාසනාවකි. 

 

වඳවීගිය අලියකුගේ චාර්වක දතක්.

 

මෙරට වාසය කර වඳවීගිය කඟවේනන් විශේෂ දෙකකට අයත් සාධක හමුවී තිබේ. මේ විශේෂ දෙකම අදටත් ඉන්දියාවේ හා ජාවාවල සිටින රයිනෝසිරස් විශේෂ දෙකට යම් සමානකමක් දක්වයි.   
අදින් අවුරුදු 100,000 - 150,000ත් අතර කාලයේ ශ්‍රී ලංකාවේ වාසය කළ සිංහ විශේෂයක ෆොසිල සාධක හමුවුව ද පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ ඉන් මෑතකාලීනව සිංහයන් මෙරට වාසය කර නොමැති බවයි. නමුත් බිළාල පවුලේ විශාලතම සාමාජිකයා වන ව්‍යාඝ්‍රයන් වසර 17,000කට පෙර මෙරටින් වඳවනතුරු ම වනාන්තරවල වාසය කර ඇති බව තහවුරු වී තිබේ.   
පූර්ව යුගයන්හි සිටි සතුන් පිළිබඳ අධ්‍යයනයේ දී මතුකරගෙන ඇති සාධක අනුව මනමේන්ද්‍ර-ආරච්චි මහතා අපූරු කතාන්තරයක් කියයි.   


“හිතන්න අවිස්සාවේල්ලේ සිට රත්නපුරය අතර මහා මාර්ගය ගැන. මේ පාරේ කිසිම තැනක ලොකු කන්දක් හෝ පල්ලමක් හමුවන්නේ නැහැ. පාර යන්නේ තැනිතලා ප්‍රදේශයක. දෙපස කඳු තිබෙනවා. අද මේ මාර්ගය දෙපස විශාල කුඹුරු ප්‍රදේශ තියෙන්නේ. ඒවා අතීතයේ වගුරු භූමි. දැන් මේ ප්‍රදේශයේ පතල්වලින් බහුලව හමුවනවා හිපපොටේමස් ෆොසිල. ඒවා දුලබ නැහැ. මෙයින් පැහැදිලිවන්නේ හිපපොටේමස් සත්ත්ව විශේෂයක් මේ ප්‍රදේශයේ වගුරු ආශ්‍රිතව දිවි ගෙවූ බව. මොවුන් ලංකාවට ආවේණික විශේෂයක්. අවාසනාවකට ඔවුන් අද අපට දක්නට නැහැ සිංහයන් සහ හිපෝ අදින් වසර ලක්ෂයකට පෙර වඳවෙලා ගිහින්.”‍   

 

මයෝසීන යුගයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූ උරග හා ක්ෂීරපායී සතුන්.

 

ඔහු පවසන්නේ මෙරට සිටි ප්ලයිස්ටොසීන යුගයේ සතුන් අතරින් අවසානයට වඳවී ගොස් ඇත්තේ ගවරා නම් අලියාට පමණක් දෙවැනි වන සුවිසල් ගව විශේෂය බවයි. 18 වැනි සියවසේ දී ලියැවුණු ගණදෙවි හෑල්ලේ ද නුවර මාළිගාව හා සම්බන්ධ ගවරුන් ගැන කියැවේ. එමෙන්ම යුරෝපීය නිලධාරියකු තැබූ වාර්තාවක දැක්වෙන්නේ ශ්‍රී පාද අඩවියේ දී ගවරකු දුටු බවට ගැමියකු කළ ප්‍රකාශයයි.   
රොබට් නොක්ස් ද සිය සටහනක ප්‍රකාශ කර ඇත්තේ උඩරට රජු තම ආරක්ෂාවට සිටි සෙබළුන්ගේ ශක්තිය මැන බැලීම සඳහා ඔවුන්ට කෙටි ආයුධයක් දී වනයේ සිටින ගවරකු මරාගෙන එන ලෙස නියෝග කරන බවයි. මේ අනුව ගවරා මහනුවර යුගයේ දී ද මෙරට වාසය කර තිබේ. 

 
මෙවැනි සතුන් සමග මෙරට මානවයන් ජීවත්වූ බවට ඉතා පැරණි සාධක රැසක් හමුවේ. බුන්දල පතිරාජ වෙලෙන් වසර 125,000ක් පැරණි ගල් මෙවලම් හමුවන අතර පාහියන්ගල ලෙනෙන් අදින් වසර 48,000ක් පැරණි මානව අස්ථි කොටස් හමුවී ඇත. බෙලි ලෙනෙන් වසර 40,000ක් පැරණි සහ බටදොඹ ලෙනෙන් වසර 37,000 පැරණි අස්ථි කොටස් ද හමුවෙයි. 

 
ශ්‍රී ලංකාවේ පැරණි මානව සාධක ලැබෙන බෙල්ලන්බැඳිපැලැස්සේ දී ගෘහස්ථකරන ලද බල්ලකුගේ ෆොසිලයක් හමුවී තිබේ. මෙය ලෝකයේ ඉතා වැදගත් සොයා ගැනීමක් බව කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි මහතා පවසයි. බල්ලන්ගේ පැරණිතම ෆොසිල සාධක හමුවන්නේ චීනයෙනි. එය වසර 16,000ක් පැරණිය. බල්ලන්ගේ වල් දර්ශකයක් විය යුතු කැලෑ බල්ලන් ලෝකයේ කිසිම රටක දක්නට නැත. එබැවින් විද්‍යාඥයන් පවසන්නේ අපේම මුතුන් මිත්තන් විසින් අළු වෘක්කයාගෙන් බල්ලා බිහිකර ගන්නට ඇති බවයි. නමුත් ශ්‍රී ලංකාවේ අළු වෘක්කයන් සිටි බවට කිසිදු සාධකයක් නැත. ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ අළු වෘක්කයන් සිටියි. අදින් වසර 12,750කට පෙර මෙරට බලංගොඩ මානවයා අතරට බල්ලෙකු පැමිණියේ ඉන්දියාව, චීනය ආදී ප්‍රදේශවල සිටි මානවයන් මෙරටට සංක්‍රමණය වූ බැවින් විය යුතුය. 

 

 

කුරුවිට බටදොඹ ලෙනෙන් හමුවූ ව්‍යාඝ්‍ර ඇඟිලි පුරුකක්.

 


ලෝකයේ තිබූ අයිස් කඳු දියවී මුහුදු මට්ටම ඉහළ ගොස් තවදුරටත් ගොඩබිම් එකිනෙක වෙන්ව ගියපසු යුගය හඳුන්වන්නේ හොලෝසීන යනුවෙනි. එය අදින් වසර 11,700කට පෙර ආරම්භ වෙයි. මේ යුගයේ අදින් වසර 10,000ත් 7,000ත් අතර කාලයේ දී ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අද දක්නට ඇති පරිදි පටු මුහුදු තීරයකින් වෙන් වූ බව තහවුරු කරගෙන ඇත.   


එතැන් පටන් මෙරට විසූ සත්ත්වයෝ මේ දූපතේම පරිණාමය වෙමින් ඉන්දියාවේ ද සිටින තම ඥාතීන්ගෙන් ඇතැම් විට වෙනස් වෙමින් අලු‍ත් විශේෂ හෝ උප විශේෂබවට පත්ව සිටිති.   


නමුත් අදට ද දකුණු දිග ඉන්දියාවේ ඇති භූ විෂමතාව, ඒවායේ ඇති පස්තට්ටු පැරණි ෆොසිල තැන්පතු මෙන්ම ශාක විශේෂත් ජීවී විශේෂත් අපේ රටට බොහෝ සෙයින් සමීපතා දැක්වීමෙන්ම පෙනී යන්නේ මේ එකම භූමියක්ව තිබූ මුහුදු මට්ටම ඉහළ යාමෙන් ඈත්වූ රටවල් දෙකක් බවයි. අනාගතයේ දී යළි පැමිණෙන අයිස් යුගකදී මේ දෙරට එකම රටක් වනු ඇත.   

 

සජීව විජේවීර

 



Recommended Articles