දූෂිතයන්ට ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න බෑ


විවේචන, ප්‍රතිචාර සහ දේශපාලනය පිළිබඳ මේ සංවාදය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමඟයි.  


² ඔබ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න ජ්‍යෙෂ්ඨම ක්‍රියාකාරිකයෙක් නිසාමයි මේ ප්‍රශ්නය ඔබෙන් අහන්න හිතුණේ. වෙනත් දේශපාලන පක්ෂවල ප්‍රධාන පෙළේ දේශපාලකයන්ගේ පුද්ගලික ජීවිතය ගැන වගේ වගක් නැති රටේ මිනිස්සු ඇයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ පුද්ගලික ජීවිතේ දේවල් තලු මරන්න ගන්නේ?  

ඇත්තටම රටේ ජනතාවට ඔහොම ඕනකමක් නෑ. ඒත් ඉතිහාසයේ ඉඳලම වමේ ව්‍යාපාර පවත්වගෙන යනකොට ඒවට සතුරු බලවේග ඉන්නවා. ඒ සතුරු බලවේගවලට විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ විවේචනය කරන්න ප්‍රතිපත්තිමය කාරණා නෑ. අපේ භාවිතය පිළිබඳ විවේචන ගේන්න පුළුවන්කමකුත් නෑ. ඒක නිසා ඒ අය බලනවා තමන්ට පුළුවන් දෙයක් අල්ලගෙන ජනතා විමුක්ති පෙරමුණේ අයට මඩගහන්න. මේක ඉතිහාසය පුරාම එන එකක්. 


² දැන් ටික කාලයක් තිස්සේ ඔබලාගේ හැසිරීම ජනතාව තුළ විශ්වාසයක් ඇති කරවලා තියෙනවා ඔබලාගේ දේශපාලනයයි පුද්ගලික ජීවිතයයි ටිකක් ළඟින් යනවයි කියලා. මේක ටිකක් එහෙට මෙහෙට වුණාම නේද මේ වගේ කුණාටු හමා යන්නේ?  

ජනතා විමුක්ති පෙරමුණේ අපට දේශපාලන ජීවිතයයි පුද්ගලික ජීවිතයයි දෙකක් නෙවෙයි එකක්. ඒකෙදි අපේ රටේ වෙන කිසිම පක්ෂයක නැති විනයක් සහ පිළිවෙළක් පවත්වාගෙන යනවා. ඒක බිඳින්නෙ නැතුව අපි ජීවත් වෙන්නත් ඕන. අනිත් මිනිස්සු වගේ සමාජය තුළ අපිත් සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය දේවල් කරන්න ඕන. අපි රකින පිළිවෙළ සහ විනය රකින්න බැරි උදවිය උත්සහ කරනවා ඒ අය වගේම අපිත් ඒ විනය සහ පිළිවෙළ කඩනවා.


² මේ දේවල් හරහා පක්ෂයේ යට ලේයර් එකේ ඉන්න සාමාන්‍ය පාක්ෂිකයගේ විශ්වාසය සහ පාක්ෂිකත්වය දෙදරලා යනවා නේද?  
සතුරාගේ අරමුණ තමයි මෙවැනි දෙයක් කරලා අපේ අවධානය වෙන අතකට යොමු කිරීම සහ පාක්ෂිකයාගේ විශ්වාසය බිඳවැට්ටවීම. ඒත් එහෙම වෙන්නෙ නෑ. අනුර කුමාර සහෝදරයා හෝ විජිත හේරත් සහෝදරයා ගැන මෑත කාලේ ගහපු මඩ අවලාද නෙවෙයි, ඉතිහාසෙට ගිහින් බලන්නකෝ. අපේ පක්ෂය 1964 පටන්ගන්නකොටම කොමියුනිස්ට් පක්ෂයේ ඇත්ත පත්තරේ කිව්වා ජනතා විමුක්ති පෙරමුණ සී.අයි.ඒ. කෙමනක් කියලා. සමහරු ඒකත් විශ්වාස කරන්න ඇති. ඊට පස්සේ 71 අරගලය වෙලාවේ ඉලංගරත්න මහත්තයා වගේ ඇමතිවරු ප්‍රසිද්ධියේ ගුවන්විදුලියේදී කිව්වා ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවොත් වයස පහෙන් පහළ ළමයි ඝාතනය කරනවා, වයස පනස් පහට වැඩි වැඩිහිටියෝ ඝාතනය කරනවා කියලා. මේ වගේ අල්ලෙ පැළවෙන බොරු අවලාද අපිට ගැහුවා. මේ කතා සමහරු එදත් විශ්වාස කරන්න ඇති. අපි 1977 පස්සේ දේශපාලනය කරනකොට ජේ.ආර්. ජයවර්ධන මහත්තයගේ පැත්තෙන් බය වුණා විජේවීර කියන්නේ කේ.ජී.බී. ඔත්තුකාරයෙක් කියලා. අනික් අතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ කට්ටිය අපිට කිව්වෙ ජේ.වී.පී. එක යූ.එන්.පී. එකේ වල්ගයක් කියලා. රෝහණ විජේවීර ජේ.ආර්. එක්ක ගනුදෙනු කරනවා කියලා ඒ අය කිව්වෙ. ඒක නිසා මේ අවලාද මඩ ගැහිල්ල අපේ පක්ෂයට අමුතු දෙයක් හෝ නුපුරුදු දෙයක් නෙවෙයි. විජේවීර සහෝදරයා කසාද බැඳපු වෙලාවෙත් අවලාද ගැහුවා පොහොසත් පවුලකින් කසාදයක් කරගත්තා කියලා. සෝමවංශ සහෝදරයා ඉන්නකොටත් මඩ ගැහුවා. දැන් ඉන්න අයටත් මඩ ගහනවා. මාක්ස්ලට ලෙනින්ලටත් ඉතිහාසයේ මේ වගේ මඩ අවලාද එල්ලවෙලා තියෙනවා.

මේවා ගැන ඕන තැනකදී පැහැදිලි කිරීමක් කරන්න අපි සූදානම්. මොකද අපේ ජීවිතවල අපට හංගන්න දේවල් නෑ. අනිත් දේශපාලන පක්ෂවල අය වගේ අපි දේශපාලන බලය පාවිච්චි කරලා පවුලේ අය උසස් තැන්වලට ගෙනල්ලා හෝ දේශපාලනයට ගෙනල්ලා නෑ. අපි කිසිම උත්සවයකට යද්දි අපේ නෝනවත් ළමයිවත් අරගෙන යන්නේ නෑ. අපේ පවුල්වල අය සමාජය ලොකුවට දන්නෙ හෝ දකින්නේ නෑ. අපි ඉල් සමරුවට හෝ මැයි දින සමරුවට ගියාම අපේ වේදිකාවට අපේ නෝනලා ගෙන්නගන්නේ නෑ. ඒ අය ආවොත් පාක්ෂිකයො එක්ක එකට බිම වාඩිවෙලා ඉන්නේ. මේක තමයි අපේ විදිය. මේක ඉවසන්නේ නැති අය තමයි ඔය අවලාද ගහන්නේ. මේ අවලාද පිටිපස්සේ ඉන්නේ අන්ත දූෂිත පිරිසක්. දේශපාලන වශයෙන් සහ පෞද්ගලික වශයෙන් ජීවිත විනාශ කරගත්තු අය තමයි මේ අවලාද පිටිපස්සෙ ඉන්නේ.  


² ඔබ කියන විදියට මේ අවලාද පිටිපස්සෙ ඉන්න සමහරු කාලයක් ඔබලා සමග එකපතේ කාගෙන ඉඳපු සහෝදරයෝ?  
ඒක තමයි ප්‍රශ්නේ. ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න බෑ දූෂිතයන්ට. පක්ෂ ප්‍රතිපත්තිය රකින්නෙ නැති මිනිස්සුන්ට අපේ පක්ෂයේ ඉන්න බෑ. ඒක අපේ අතීතයේ ඉඳලාම ඔප්පු කරමින් ඉන්නවා. පක්ෂෙන් අයින් කරපු සහ අයින්වුණු හැමදෙනාම ඉවත් වුණේ පක්ෂ ප්‍රතිපත්තියට සහ පනතට විරුද්ධව වැඩ කරපු නිසා. 1969 ධර්මසේකර ඉවත් කරන්නේ විනය කඩකිරීම නිසා. ඊට පස්සේ විශාල පිරිසක් විටින් විට අයින් කරන්න සිද්ධවුණා. පක්ෂෙ ඉඳගෙන වැරැද්දක් කළා නම් අපි ඒ අය අයින් කරනවා. ඒ පිරිස එළියට ගිහින් අපිට මඩ ගහනවා. ඒක සාමාන්‍යයෙන් සිදුවිය හැකි දෙයක්නේ. මේකෙන් අපේ පක්ෂය හෑල්ලුවට ලක්කරන්න උත්සාහ කළාට ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.  


² මේ වෙද්දී රටේ දේශපාලන වාතාවරණය ගැන ජවිපෙ අවධානය කොයි වගේද?  
රටේ දේශපාලනය ගැන කතා කරන්න කලින් ඔබ කලින් මතු කරපු කාරණයට තව කරුණු කීපයක් කියන්න ඕන.  


² ඒ කිව්වෙ?  
ජවිපෙට මඩ ගැහීම ගැන ඔබ මතුකරපු කාරණයට අදාළ ආසන්නම උදාහරණය වුණු අනුර දිසානායක සහෝදරයගෙ පුත්‍රයා පිළිබඳ කතාව ගැන යමක් කියන්න ඕන. නැත්නම් පිළිතුර සම්පූර්ණ නෑ. මේවට උත්තර දිදී යන්න අපිට ඕනෑකමක් නෑ. ඔබ වෙන විදියකට අහපු ප්‍රශ්නෙට මම කෙලින්ම උත්තරයක් දෙන්නම්. නැත්නම් කොලේ වහලා ගැහුව වගේ වෙනවනේ.  


අනුර දිසානායක පුත්‍රයාගේ කසාදය ගැන මේ ගහන අවලාද අසත්‍ය කරුණු උඩ කරන වැඩක්. මම කියන්නම් ඇත්ත කතාව. අනුර සහෝදරයට ඥාති සහෝදරයො දෙන්නෙක් හිටියා. අම්මගෙ නංගිගෙ පුත්තු ඒ අය. එක්කෙනෙක් අපේ පක්ෂෙ වැඩ කළා. අනිත් එක්කෙනා හමුදාවට ගියා. අපේ පක්ෂෙ වැඩ කරපු සහෝදරයා 1989 දෙසැම්බර් මාසෙ ඝාතනය වෙනවා. ගෙවල් පවා ගිනි තියනවා. හමුදාවෙ වැඩ කරපු සහෝදරයා 1990 එල්.ටී.ටී.ඊ බෝම්බෙකට අහුවෙලා මැරෙනවා. එයා විවාහවෙලා හිටියෙ. එයාට පුංචි පුතෙකුත් හිටියා ඒ වෙනකොට. ඒ දරුවට තමයි කසුන් කියන්නේ. ගෙවල් ගිනි තියපු නිසා අනුර සහෝදරයටත් මේ අය හැමෝටම වෙන ගෙවල් හොයාගෙන යන්න සිදුවුණා. ඒ ඉන්න කාලේ අනුර සහෝදරයා සහ අර මියගිය හමුදාවෙ සහෝදරයාගේ බිරිඳත් අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවුණා. මේක අනුර සහෝදරයා පක්ෂයටත් කිව්වා. පවුලෙම අසරණ වෙච්ච කෙනෙක් නිසා පක්ෂයත් එ්කට අකැමැත්තක් දැක්වුවෙ නෑ. ඊට පස්සෙ ඒ දෙන්න විවාහ වුණා. මේ කසුන් පුතා කාලයක් අපේ පක්ෂයෙත් වැඩ කළා. අපි දැනගෙන හිටියට හැමෝටම එයා කවුද කින්ද මන්ද කියලා කියන්න අපි ගියේ නෑ. අනුරගෙ පුතෙක් කියලා එයාව මධ්‍යම කාරක සභාවට දාගන්නව වගේ දේවල් කරන්න ගියේ නෑ. ඡන්දෙ ඉල්ලන්න දැම්මෙ නෑ. ඒ අතරෙ එයා රැකියාවක් හොයාගත්තා. ඒ රැකියාව හොයාගන්න පොඩි කෝස් එකක් කරන්න ඕනවෙලා එයා ස්ලිට් එකට බැඳිලා ඒක කරනවා. ඒක මාස අටක විතර පුංචි කෝස් එකක් මිසක් උපාධියක් වගේ එකක් නෙවෙයි. එ්කට වියදම් කළේ හමුදාවෙ ඉඳපු තාත්ත වෙනුවෙන් ලැබුණු වන්දි මුදලෙන්.

මිහින් ලංකා එකේ රස්සාවට යනවා එයා. ඒකටත් අපි කවුරුවත් මැදිහත් වුණේ නෑ. සුදුසුකම් මතයි එයා ඒකට ගියේ. 2015 පස්සේ ඒකට යන්නේ. මිහින් ලංකා වැහුවම ඒකෙ වැඩ කරපු කීපදෙනෙක් ගත්තා එයාර් ලංකා එකට. කසුනුත් ඒ අතරෙ හිටියා. ඒ කාලේ තමයි ඔය කසාද බැඳපු ගෑනු ළමයා එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙන තියෙන්නේ. ඒ අය මෙතෝදිස්ත සභාවට අයිති කට්ටිය. මේ ගැන අනුර සහෝදරයා අපි එක්කත් කිව්වා. අපි කාටවත් ආගම්, ජාති ප්‍රශ්නයක් නැති නිසා අපිට මේක ගැටලුවක් වුණේ නෑ. එයාලා පසුගිය දවසෙ කසාද බැන්දා. පොඩි උත්සවයක් ගත්තේ. එයාලට ඕන විදියට පල්ලියේ චාරිත්‍ර කළා. ඒකයි කතන්දරේ. අනුර සහෝදරයා අපි කීපදෙනෙකුට මේකට අාරාධනා කළා. මමත් ගියා. පක්ෂ කාර්යාලයේ වැඩ කරන සහෝදරවරුත් ගියා. කසාදෙට සාක්ෂිකරුවෙක් විදියටත් අත්සන් කළේ විජිත හේරත් සහෝදරයා. මේක මේ තරම් කතාකරන්න තරම් මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපි අහන්නේ මේකෙ තියෙන එක වැරැද්දක් පුළුවන්නම් කියන්න.  


² මේ ගැන විවේචනය කරපු සමහරු කිව්වෙ කසුන් ස්ලිට් එකේ යද්දි ජනතා විමුක්ති පෙරමුණ පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධවීම සහ ජවිපෙ පතුරු ගහපු මිහින් ලංකා එකේ කසුන් රැකියාව කිරීම.  
අපේ රටේ හැම ආයතනයක්ම දූෂිතයි. හැබැයි ඒ ආයතනවල අපේ සහෝදරවරු ඒ අයගේ ඥාතීන් වැඩ කරනවා. මේ ක්‍රමය ඇතුළෙ හැම ආයතනයක්ම දූෂිතයි. එහෙම කියලා ඒවා එක්ක අපිට කරන්න තියෙන වැඩ සම්පූර්ණයෙන්ම අතඅරින්න බෑනෙ. මේක වෙනස් කරන්න අපි වෙනම දේශපාලන අරගලයක් කරනවා. හොඳම උදාහරණය විදියට ගමුකෝ පාර්ලිමේන්තුව. ඒකනේ අන්ත දූෂිත තැන. අපි කියන්නේ මේක ඌරු කොටුවක් වගේ කියලනේ. ඒත් අපිත් ඒකෙ නියෝජිතයොනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට ඉඳගෙන තමයි අපි ඒකට විරුද්ධව අරගල කරන්නේ.  


ස්ලිට් එකේ කතාවත් ඒ වගේ තමයි. අපි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී ඉන්නවා. රාජ්‍ය අධ්‍යාපනය ස්ථාපිත වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. හැබැයි රාජ්‍ය අධ්‍යාපනය තුළ නැති දෙයක් කෙනෙකුට ඉගෙනගන්න ඕන නම් ඒක පුද්ගලික ආයතනයකින් කරගන්න වෙනවා. අධ්‍යාපනය ආරක්ෂා කරන්න අපි පෙනී ඉන්නවා. ස්ලිට් එකයි සයිටම් එකයි සමාන කරන්න බෑ. මේක දෙකක්. සයිටම් එකේ ප්‍රශ්නෙ බරපතළ එකක්. අපේ දේශපාලන ප්‍රතිපත්තියත් එක්ක මේ ප්‍රශ්නය ගැටගහලා මඩගහන්න හදන එක විහිළුවක්. අනුර සහෝදරයාගේ පුතා ස්ලිට් එකේ ඉන්නවා කියලා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන සටන අතඇරියනම්නෙ වැරැද්දක් වෙන්නේ. අනිත් මැති ඇමතිවරු පුද්ගලික අධ්‍යාපනය වෙනුවෙන් සයිටම් එක වෙනුවෙන් පෙනී ඉන්නේ තමන්ගෙ ළමයි ඒකෙ ඉගෙනගන්න නිසා. අපිට එහෙම ප්‍රශ්නයක් නෑ.  


² රටේ දේශපාලනය ගැන දැන් එහෙනම් කතා කරමු.  
ඇත්තටම ආණ්ඩුව රට ආගාධය කරා ශීඝ්‍රයෙන් ඇදගෙන යමින් තියෙන්නේ. මේ ආණ්ඩුවට අරමුණක් දැක්මක් කිසිම දෙයක් නෑ කියලා ඔප්පු කරමින් යනවා. ආණ්ඩුව කොහොම හරි අල්ලගෙන යන්න ඕන නිසා ආණ්ඩුවෙ ඉන්න අයට සැරින් සැරේ වරදාන වරප්‍රසාද කප්පම් දිදී ඉන්නවා. ඇමති මාරුවත් ඒ වගේ කප්පම් දීමක්. රට දවසින් දවස ප්‍රපාතයට යනවා.  


² රට ආගාධයට ගෙනියනවා කියලා ඔබ කියනවා. ඒ වේගෙට සමාන්තර වේගෙකින් ඔබලගේ ආණ්ඩු විරෝධය නෑ නේද ඒත්?  
මොකද නැත්තේ. අපි අදාළ නිසි වේගයෙන් ආණ්ඩු විරෝධය පවත්වගෙන යනවා. පාර්ලිමේන්තුව ඇතුළත සහ ඉන් පිටත අපි ඒ අරගලය අඛණ්ඩව අරගෙන යනවා. අපි ඉන්ටර්වල් අරගෙන නෑ. අපි මේ ධනපති ක්‍රමය පෙරළා දැමීමේ අරගලය ශක්තිමත් කරන්න කියලා ජනතාව දැනුම්වත් කරනවා. රටට අද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්නවලට වඩා අනර්ථකාරී ධනවාදී අාර්ථික ක්‍රමය. ඒක වෙනස් කරන්න ඕන. ඕන අරගලයක ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවනම් ඒක පිළිවෙළක් ඇති සටනක් වෙනවා. අපි ඒ පිළිවෙළක් ඇති අර්ථයක් ඇති අරගලය නොනවත්වා අරගෙන යනවා. ඒකෙන් රටට ජයග්‍රහණය ලබාගන්න ඕන.