අපේ මූලික අරගලය වෙන්නේ නිදහස් අධ්‍යාපනය රැකගන්න එකයි


 

සයිටම් විරෝධී සටන් පාඨ සහිත අරගලවලින් ශිෂ්‍ය ව්‍යාපාරය ගිනියම් වෙමින් තිබෙන ආකරයක් පෙනෙන්නට තිබේ. සයිටම් ආයතනය අහෝසි කළ යුතු යැයි කියන ශිෂ්‍ය ව්‍යාපාරය ඉන් මෙහා විසඳුමකට එකඟ නැති බව දැඩිව අවධාරණය කරයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද ඇතුළුව තවත් වෘත්තීය සමිති රැසක් සමඟ එකතු වෙමින් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය අවුළුවන මේ සයිටම් විරෝධී සටන මෙතැනින් කොතැනටද? මේ ඒ සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සමඟ කළ සාකච්ඡාවකි. 

 


ප්‍රශ්නය : සයිටම් විරෝධී අරගල නිසා සරසවි ශිෂ්‍ය ප්‍රජාව නිතිපතා මහපාරේ ඉන්න බවක් පේන්න තියෙනවා. මේ අරගලයෙ ඉදිරි දිශානතිය මොන වගේ හැඩයක් ගනියිද?
පිළිතුර :
සයිටම් ප්‍රශ්නය කියන්නෙ අපි කරන අරගලයෙ ප්‍රධාන කොටසක් විතරයි. අපේ මූලිකම අරගලය වෙන්නෙ නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් සෞඛ්‍යයත් ආරක්ෂා කරගන්න එක. මේ වෙලාවෙ සයිටම් අරගලය ජයග්‍රහණය කරන එක වැදගත් වෙන්නෙ පහුගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් අධ්‍යාපනය විකුණන ප්‍රතිපත්තියෙ මූලික සංකේතයක් විදියට සයිටම් ආයතනය පවත්වාගෙන ආවා. අධ්‍යාපනය, සෞඛ්‍ය විකුණන ප්‍රතිපත්තියට සුජාත භාවයක් ගේන්නයි ආණ්ඩුව මේක පාවිච්චි කරන්නෙ. ඒ නිසයි මේ මොහොතෙ සයිටම්වලට විරුද්ධව අපි කරන අරගලය වැදගත් වෙන්නෙ. අපේ ප්‍රධාන ඉල්ලීම වන්නෙත් මේ සයිටම් ආයතනය අහෝසි කළ යුතුයි කියන එක. එහෙම නොකර මේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නෙ නෑ.


ප්‍රශ්නය : නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ඇතුළු යෝජනාවලියක් මේ සයිටම් අර්බුදයට විසඳුම් හැටියට රජය ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ගැන සෑහීමකට පත්විය නොහැකිද?
පිළිතුර :
නිශ්චිතවම ඒ එකක්වත් අපේ යෝජනා නෙවෙයිනෙ. ඒ සියලු යෝජනා සයිටම් ආයතනය තවදුරටත් හොඳින් පවත්වාගෙන යන්න ගෙනාපුවා. අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේක ඇතුළෙ අධ්‍යාපනය විකුණන එක. ඒකෙ තියෙන ප්‍රධාන යෝජනාවක් තමයි නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම. ඒක අපේ ඉල්ලීමකුත් නෙවෙයි. සයිටම් එකේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි සායනික පුහුණුව පිළිබඳ ගැටලුව. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්න යෝජනා කරලා තියෙන්නෙ ඒකට උත්තරයක් හැටියට. සයිටම් එක නීතිගත වීම හරහා තව ඉස්සරහට පෞද්ගලික විශ්වවිද්‍යාල කීපයක් රටට එන්න නියමිතයි. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත්තට පස්සෙ ඒ රෝහල ජනතාවගෙ බදු මුදල්වලින් නඩත්තු කරන්න වෙනවා. පැත්තක ඉන්න නෙවිල් ප්‍රනාන්දු කෙනෙක් මිනිස්සුන්ගෙ සල්ලිවලින් සයිටම් සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්නයි මේ උත්සාහ කරන්නෙ. මේ එක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් රටේ තියෙද්දි ඇති වෙන තත්ත්වය. මේ වගේ තව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කීපයක් රටට ආවොත් ඒවයෙ මුදලාලිලා පෝසත් කරන්න තමයි අපිට වෙන්නෙ.


ප්‍රශ්නය : සයිටම් හිතවාදී පාර්ශ්ව මතුකරන කාරණයක් වෙන්නෙ රටක නිදහස් අධ්‍යාපනය වගේම අධ්‍යාපනයේ නිදහසත් තිබිය යුතුයි කියන කාරණය. අනෙක් විෂයයන්වලට අදාළ පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විතරක් තද විරෝධය ඇයිද කියලත් ඔවුන් ප්‍රශ්න කරනවා. මේ ගැන කුමක්ද කිව හැක්කෙ?
ප්‍රශ්නය :
අධ්‍යාපනයෙ නිදහස කියලා එයාලා ඉදිරිපත් කරන මූලික නිර්වචනය වැරැදියි. අධ්‍යාපනයෙ නිදහස අපිත් පිළිගන්නවා. ඒ අය අධ්‍යාපනයෙ නිදහස ගැන කියන්නෙ සල්ලි තියෙන අයට සල්ලි ගෙවලා ඉගෙන ගන්න තියෙන අයිතියත් එහෙම නැති අයට ඉගෙන ගන්න තියෙන අයිතියත් කියලා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නෙ තමයි සල්ලිවලට අධ්‍යාපනය ලබා දෙන ආයතන බිහිවෙන්නෙ ලාභ ලැබීමේ අරමුණ ඇතිව. ලාභ නොලබන පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාවෙ නෑ. අපි අධ්‍යාපනයෙ නිදහස කියලා කියන්නෙ අපිට කැමැති දෙයක් ඉගෙන ගන්න තියෙන අයිතියට. දැන් ආණ්ඩුව මුදල් අය කරන පදනමට ගෙනල්ලා ඒකත් නැති කරලා තියෙන්නෙ. අපේ සටන් පාඨය වෙන්නෙ නිදහස් අධ්‍යාපනය සල්ලි තියෙන අයට ගන්න අවස්ථාවක් නෑ කියලා අපි කියන්නෙ නෑ. අපි කියන්නෙ ඇති - නැති ස්ත්‍රී - පුරුෂ, ජාති - ආගම් කිසි භේදයක් සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීමේදි සළකන්න එපා කියලා. රටේ නිදහස් අධ්‍යාපනය හරිහැටි තියෙනවා නම් සල්ලි තියෙන කෙනෙක් වුණත් තමන්ගෙ ළමයට සල්ලි අය කරලා අධ්‍යාපනය ලබා දෙන ආයතනවලට දාන්නෙ නෑ.


ප්‍රශ්නය : සයිටම් අර්බුදය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අපහාසයට ලක් කිරීමේ චෝදනාව වෛද්‍ය සංගමයට වගේම අන්තරයටත් එල්ල වෙනවා. මේක ප්‍රශ්නයක් නෙවෙයිද?
පිළිතුර :
අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කළ හැකියි. ඒ වගේම ඒක විවේචනයට ලක්කරන්නත් පුළුවන්. අධිකරණවල ඉන්න විනිසුරුවරු නීතිඥවරු මේ හැමෝමත් සාමාන්‍ය මිනිස්සු. ඒ අය ලබාදෙන තීන්දු නොවරදින සුලුයි කියලා අපි විශ්වාස කරන්නෙ නෑ. අධිකරණය හැම වෙලේම තීන්දු තීරණ දෙන්නෙ ඉදිරිපත් වෙන කරුණු කාරණා සළකළා. අභියාචනාධිකරණය මේ තීන්දුව දුන්නෙත් ඒ වෙලාවෙ ඉදිරිපත් වුණු කරුණු කාරණා සළකළා. නමුත් මෙතන ප්‍රශ්නය තිබුණෙ මේ නඩුවෙදි සයිටම් විරෝධී පාර්ශ්වය වෙනුවෙන් අදහස් දක්වන්න ඉදිරිපත් වුණු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, දන්ත වෛද්‍ය සංගමය හා තවත් රෝගීන් දෙන්නෙකුට ඒ සඳහා අධිකරණයෙන් ඉඩ ලබා නොදුන් එකයි. මේ නඩුවෙ වග උත්තරකාරයො හැටියට නම් කරලා හිටපු උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය ඇමැතිවරු දෙන්නා උසාවියට ගිහින් කියපු කරුණු මත පදනම් වෙලා තමයි මේ තීන්දුව දුන්නෙ. එහෙම බලන කොට පැහැදිලිවම මේ අධිකරණ තීන්දුවෙ ප්‍රශ්නයක් තියෙනවනෙ. එහෙම නම් මේ නඩු තීන්දුව විවේචනය කරන්න හැකියාවක් මේ රටේ සිවිල් ජනතාවට තියෙන්න ඕන. විවේචනයට තියෙන ඒ හැකියාව අධිකරණයට කරන අපහාසයක් හැටියට අපි දකින්නෙ නෑ.

 

ප්‍රශ්නය : රුපියල් බිලියන හයසියයක බැංකු ණය පහසුකමක් රාජ්‍ය බැංකුවක් මගින් ලබාදෙමින් සයිටම් ආයතනය ආරම්භ කිරීමට මුල පිරුණෙ ඉකුත් රජය කාලයෙදි. එදා නොතිබුණු තද විරෝධයක් අද ඒ ආයතනයට එරෙහිව මතුයවීම ගැනත් සමහර පාර්ශ්ව විමතිය පළ කරනවා. ශිෂ්‍ය ව්‍යාපාරයට ඒ ගැන දිය හැකි පිළිතුර මොකක්ද?
පිළිතුර :
ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තෙන් මේ ප්‍රශ්නෙට උත්තර දෙද්දි අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මේක ආරම්භයෙ ඉඳන්ම අපේ විරෝධයක් තිබුණා. නමුත් යුද්ධය අවසන්විමත් සමඟ රාජපක්ෂ මහත්තයට සමාජයෙ ලැබුණු රාජ පිළිගැනීමත් එක්ක අපිට සටන් කළ හැකි පසුබිමක් තිබුණෙ නෑ. ඒ කාලේ අපේ ශිෂ්‍ය සහෝදරයො 1423 කගෙ පන්ති තහනම් කරලා තිබුණා. ශිෂ්‍යයො තුන් දෙනෙක් ඝාතනය කරලා තිබුණා. මේ මරණවලට විරුද්ධව එක අවස්ථාවකදී දැවැන්ත අරගලයක් කරන්න අපිට සිද්ධ වුණා. ඒවත් එක්ක අපිට සයිටම් විරෝධී අරගලය මූලික සටනක් විදියට කරන්න බැරි වුණා. නමුත් මේ අරගලවලදිත් අපි අධ්‍යාපනය විකුණන්න එපා සයිටම් අහෝසි කරන්න කියන සටන් පාඨ අඛණ්ඩව ඉදිරියට අරගෙන ආවා. 2013, 2014 කාලෙදි අපි මේ සයිටම් සටන් පාඨය මූලික කරගෙන අරගල කළා. ඊට කලින් කරපු ශිෂ්‍ය අරගල ජයග්‍රහණය කරන්න පුළුවන් වුණ නිසා ඒ විශ්වාසය උඩ අපි මේ සයිටම් විරෝධී සටනටත් අවතීර්ණ වුණා. ඒ සටන අපි මේ වෙනකන් ගෙනාවා. අපේ ශිෂ්‍ය ව්‍යාපාරය කිසිවිටෙක ආණ්ඩු හදන්න මැදිහත් වුණේ නෑ. ඒ නිසා අපිට මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක විශේෂ ඇල්මක්වත් මේ ආණ්ඩුව එක්ක විශේෂ තරහක්වත් නෑ. ශිෂ්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයෙදි මේ ආණ්ඩු දෙකේම කිසි වෙනසක් නෑ.

සාකච්ඡා කළේ : උපුල් වික්‍රමසිංහ
ඡායාරූප : ශාන්ත රත්නායක