බස්නාහිර පාසල් ලබන මස මැද ඇරෙයි


 

(අජන්ත කුමාර අගලකඩ)  

බස්නාහිර පළාතේ පාසල්වල පළමු වාරය ලබන මස මැද දී පමණ ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.  

මේ සම්බන්ධයෙන් ඉරිද‌ා ලංකාදීපය කළ විමසුමක දී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බස්නාහිර පළාතේ පාසල් ලබන මස මැද දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව කීවේය.  
අනපේක්ෂිත සිදුවීමක් නොවුණහොත් බස්නාහිර පළාතේ සියලු පාසල්වල එකේ සිට 13 දක්වා ශ්‍රේණි සියල්ල ලබන මස මැද දී ආරම්භ කරන බව ද මහාචාර්ය පීරිස් මහතා සඳහන් කළේය.  


බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් පාසල්වල පළමු වාරය ඉකුත් 11 වැනිද‌ා ආරම්භ කරනු ලැබූ අතර බස්නාහිර පළාතේ පාසල්වල ද අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්ති ලබන 25 වැනිද‌ා ආරම්භ කෙරේ.  


 බස්නාහිර පළාතේ උපකාරක පන්ති හා පෙර පාසල් ද ලබන 25 වැනිද‌ා සිට ආරම්භ කිරීමට රජය අවසර දී තිබේ.  


 කොවිඩ් අර්බුදය හේතුවෙන් ඉකුත් වසරේ මාර්තු මාසයේ වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල් පසුගිය වසරේ දී ඉතා කෙටි කාලයකට විවෘත කරනු ලැබුව ද ඉකුත් ඔක්තෝබර් මාසයේ දී නැවත වසා දමනු ලැබීය.