ඇමෙරිකා හමුදාවෙන් අනතුරු ඇඟවීමක් !


 

(දයාසීලි ලියනගේ) 
“අයි.එස්.අයි.එස්.” ත්‍රස්තවාදීන් ඔවුන්ගේ විදේශීය ඉලක්කවලට පහරදීම සඳහා සාමකාමී රටවල සිට සැළසුම් කරන බවට තොරතුරු ලැබී ඇතැයිද, එම නිසා සංක්‍රමණිකයන් 

ගැන විශේෂයෙන් සැළකිලිමත් වන්නැයිද ඇමෙරිකානු හමුදාවේ ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානී මේජර් ජනරාල් හැරී බී හැරිස් මහතා මෙරට ආරක්ෂක අංශවලට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 


ඉකුත්දා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු හැරිස් මහතා මෙරට ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇත. 


ඉතා දරුණු ත්‍රස්තවාදී සංවිධාන ලෝකය පුරා විසිරී සිටිමින් ත්‍රස්තවාදී කටයුතු සංවිධානය කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවද විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටකට පහසුවෙන් ඇතුල්වීමට ඔවුන්ට අවස්ථාව සැලසෙන බවද හැරිස් මහතා පෙන්වා දී ඇත. 


මේ තත්ත්වය නිසා විශේෂයෙන් සංක්‍රමණිකයන් පිළිබඳව අවධානය දක්වන ලෙස හැරිස් මහතා අනතුරු අඟවා තිබේ. 


කුඩා රටවල් කෙරෙහි ජාත්‍යන්තර ආරක්ෂක අංශ අවධානය නොදැක්වෙන නිසා එය ප්‍රයෝජනයට ගනිමින් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් දැන් කුඩා රටවලට සංක්‍රමණය වනු ඇතැයිද ඔහු සඳහන් කර තිබෙන බව වාර්තා වේ.