ජනපතිගේ දෝස්මුරය එජාපයේ කතාබහට


අගමැති රනිල් බ්‍රහස්පතින්දා උදේම සිරිකොත ගියේ එජාප කෘත්‍යාධිකාරී රැස්වීමටය. වෙනදාටත් වඩා විශාල පිරිසක් එදින සිරිකොතට පැමිණ සිටියහ.


“ජනාධිපතිතුමා ඊයේත් එජාපයයි, ඔබතුමායි නැති කළා” බෙහෝ දෙනෙකු කීවේ අගමැතිවරයා වාහනයෙන් බැස ඇතුළට යන අතරේය.


“කෘත්‍යාධිකාරියේදී ඒ ගැනත් කට්ටිය කතා කරාවි. බලමු ....බලමු. කලබල වෙන්න එපා.” අගමැති කීවේ සුපුරුදු සැහැල්ලුවෙනි. න්‍යාය පත්‍රය අනුව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණ. වැඩිවෙලා නොගොස්ම ජනාධිපතිවරයා සෝභිත හිමිගේ උත්සවයේදී කළ කතාව ගැන බොහෝ දෙනෙක් කතා කරන්න වූහ.


“ජනාධිපතිතුමා හිතෙන හිතෙන වෙලාවට එජාපයට හා අගමැතිතුමාට පහර දෙනවා. ඒත් ඔබතුමා හෝ පක්ෂය හෝ මේවාට උත්තර දෙන්නේ නැති එකෙන් ඒ ඔක්කොම කුණු එජාප එකවුන්ට් එකටයි, වැටෙන්නේ” බොහෝ දෙනෙකු කීවේ එවැන්නකි.


“ජනාධිපතිතුමාට ඔහුගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය කාටවත් වළක්වන්න බැහැ. එජාපයේ අප කලබල විය යුතු නැහැ. ඕවාට උත්තර බැඳීමත් අනවශ්‍යයි.”, අගමැති කීවේ සිනා මුසුවය.


“ඒත් ගහන්න-ගහන්න වඳින එකා අන්තිමේ මෝඩයා බවට පත්වෙනවා. අප දැන් උත්තර නොදුන්නත් අවශ්‍ය වෙලාවට මේවාට නිසි උත්තර දෙන්න ඕනෑ. ඒ වගේම එතුමා පෙන්වාදෙන අපේ වැරදි සත්‍ය නම් ඒවා වහාම නිවැරදි කර ගැනීමත් අත්‍යවශ්‍යයි.”,


කෘත්‍යාධිකාරියේ බහුතරයකගේ අදහස එය විය.


එහිදී අගමැතිවරයා හිස සැලුවා මිස කිසිවක් කීවේ නැත.


තවත් බොහෝ දෙනෙක් ජනපතිගේ කතාව හා වෙනත් දේ ගැන විවිධ අදහස් පළ කළහ.


කෘත්‍යාධිකාරී රැස්වීම නිම කළ අගමැතිවරයා තේ පානය සඳහා සිය කාර්යාලයට ගිය විට එජාප මැති-ඇමැතිවරු හා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෝ බොහෝ දෙනෙක්ද රැස්ව සිටියහ.


“2016 අප්‍රේල් 09 වැනිදා ජනාධිපතිතුමා කළ කතාවක එතුමා කියන්නේ මහින්දට හෙලිකොප්ටර් දුන්නේ එයා කියලයි. දැන් ඒක අගමැතිතුමාගේ ඇඟේ ගහන්න හදනවා. සමාජ ජාලාවල ඒ වීඩියෝ එක මා දැක්කා”, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“අනික දින 100 වැඩ පිළිවෙළට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය විහාර මහා දේවී එකේ බුදු පිළිමේ ඉදිරිපිට එළිදක්වන වෙලාවේ ජනාධිපතිතුමා කළ කතාවක් දැන් සමාජ ජාලාවල තිබෙනවා මා දැක්කා.


“ඒකෙදී එතුමා කියන්නේ දින 100 වැඩ පිළිවෙළ හදන්න හා එය ක්‍රියාත්මක කරන්න තමා කැපවන බවයි. දැන් එතුමා වෙන දෙයක් කියනවා”, බදුලු දිස්ත්‍රික් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.


“දින 100 ඉවර වූ ගමන් පාර්ලිමේන්තුව විසුරවන්න එජාපය යෝජනා කළා. සිවිල් සමාජය හා සෝභිත නාහිමි කිව්වේ 19 වැනි සංශෝධනය සම්මත කර විසුරුවන්න කියා නිසා තව කල් ගනිමු යයි යෝජනා කළේ ජනාධිපතිතුමාමයි”, අගමැතිවරයා අතීතය සිහිපත් කළේය.


“එජාපය කියපු වෙලාවෙ මහ ඡන්දයට ගියා නම් අපට මන්ත්‍රීධුර 120ක් වත් ගන්න තිබුණා. කල් දැමීමෙන් එජාපයටයි, අවාසි වුණේ.”, නවීන් දිසානායක කීය.


“අපේ මාමණ්ඩි කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් තිබූ රැස්වීමක ජනාධිපතිතුමා-අගමැතිතුමා හා එජාපයට ප්‍රහාර එල්ල කිරීම නිසා කතානායකතුමත් අපහසුතාවකට පත් වෙලා කියා ආරංචියි.” නවීන් වැඩිදුරටත් කීය.
ජනාධිපතිවරණය දිනපු ගමන් එජාප නායකයා අගමැති කරන බව මැතිවරණ වේදිකාවල ජනතාවට කියපු එක කාටවත් අමතක කරලා දැන් කතා කරන්නත් බැහැ.”, ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ සියලු දෙනා අනුමත කළහ.
“ශ්‍රීලනිප මහ ලේකම් ජනාධිපති කර එජාපයට පස්ස පැත්තේ අත පිහිදා ගන්න බැහැ. රනිල් මැතිතුමා අගමැති කළේ ඒ තුළයි.”, චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.


“අගමැතිතුමාගේ ස්ථාවරය හරියි. කතාවලට උත්තර දීම වෙනුවට රට පාලනය, ණය ගෙවීම, ආයෝජන ගෙන ඒම, ජනතාවට සහන දීම වගේ ආණ්ඩුවේ මූලික අරමුණුවල පිහිටා කටයුතු කිරීමට මූලිකත්වය දීම ඉතා නිවැරදියි.”, නවීන් දිසානායක කීය.


“ජනාධිපතිතුමා හා අර ශ්‍රීලනිප 16 නඩය ප්‍රසිද්ධියේ එජාපය හා ආණ්ඩුව විවේචන කළ නිසා පළාත් පාලන ඡන්දය එජාපය විතරක් නොවෙයි ශ්‍රිලනිපයත් පැරදුණා. පොහොට්ටුවට බලය අරන් දුන්නේ ඒ කට්ටියයි.” චමින්ද විජේසිරි කී දේට සියලු දෙනාගේ එකඟත්වය පළ විය.


“ජනාධිපතිතුමා දැන් දේශපාලන ලෙස විශාල පීඩනයක ඉන්න හැඩයි. ඒකට එජාපය පළි නැහැ.” චමින්ද වැඩිදුරටත් කීය.


“රුපියල් ලක්ෂ 10 ක් පගාව අරන් දයාසිරි නාපු නෑම පුදුමයි. ඔහු පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත මේ ගැන කතා දෙකක් කීම තුළ ඔහු තවත් හිර වුණා. දයාසිරි බැදුම්කරේට ගැහුවේ එයාට දීපු මුදල මදි වෙලා කියලයි, කුරුණෑගල පැත්තේ ඒකාබද්දේ අය ඒ පැත්තේ පතුරවන්නේ?” රන්ජන් රාමනායක කීවේ සිනා මැදය.


“දැන් අප 20 වැනි සංශෝධනයට මොකද කරන්නෙ?” සභානායක කිරිඇල්ල ඇසුවේ අගමැතිගෙනි.


“ජවිපෙ ඒකට හදිසි වුණා වැඩිද කියලත් හිතෙනවා. අප කතා කර බලමු. රටට වඩාත් හොඳක් කරමු”, අගමැති කීය.


“ජවිපෙ මුලින්ම මහින්දලා එක්ක මේක කතා කළා. 20 සම්මත වෙන කොටම පාර්ලිමේන්තුව විසුරුවන කොන්දේසිය දාලා. පාර්ලිමේන්තුවේ කවුරුත් ඒකට කැමති නැති පාටයි”, නවීන් දිසානායක මෙන්ම විජයදාස රාජපක්ෂ කීවේ එකම කතාවකි.


“මැලේසියාව වගේ එක පාරට ලංකාවේ හොරුන් ඇල්ලුවේ නැතිවීම ගැන අද නොයෙක් මත තිබෙනවා. මැලේසියාවේ වගේ ලංකාවේත් හොරුන් ගැන පරීක්ෂණ පටන් ගත්තා. ලංකාවේ සමහරුන්ට නඩු දැම්මා. අත්අඩංගුවටත් ගත්තා. අපේ පවතින නීතිය අනුව බොහෝ දෙනෙකු ඇප ගත්තා. ඇමරිකානු නීතිය අනුවත් මැලේසියාවේ පරීක්ෂණ යන බව ආරංචියි” විජයදාස රාජපක්ෂ කීය.


“ලංකාවේ නීතිය හොරුන්ට-මිනීමරුවන්ට දඬුවමට වඩා රැකවරණ ලැබෙන බවයි, ජනතාව කියන්නේ. ගෝඨාභය අත්අඩංගුවට ගැනීම පවා වළක්වන නියෝග දිගින්-දිගටම ඒම ගැනත් ජනතාව එකඟ නැහැ” චමින්ද විජේසිරි මෙන්ම රන්ජන් රාමනායක කීවේ එකම අදහසකිනි.


“ගෝඨාභය බේරුවලත්, බැසිල් ගාල්ලෙත් මුස්ලිම් නෝම්බි උත්සවයට යාම ගැන සමාජ ජාලාවල මාර විග්‍රහ යන්නේ” සිංහලයා ගැන බලන්න අප වෙන කෙනෙකු තෝර ගත්ත නම් කියලයි”, ඒවායේ ගෝඨාභයට ප්‍රහාර එල්ල කරන්නේ.


සිංහල ජාතිවාදීන් හැමෝගේම අදහස ගෝඨාභය හා බැසිල් අනවශ්‍ය වැඩක් කළ බවයි. උත්සවයකට මුස්ලිම් අය ඒවි. ඒත් මුස්ලිම් ඡන්ද එයාලට ගන්න බැහැ” රන්ජන් රාමනායක කීය.
“ගෝඨාභයගේ කැම්පේන් එක ගියාට බහුතර ජනතාව හමුදාවේ කෙනෙකුට රට භාර දෙන්න කැමති නැහැ. අනික ඔහුට තිබෙන චෝදනා නිසා මේ තත්ත්වය තවත් අවුල් වෙනවා”, පී. හැරිසන් කීවේ එවැන්නකි.