ඩිස්නිලන්ත සැලසුමට වසර 70 යි


 

කුඩා දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද සිහින ලෝකයක චරිත බඳු වූ මිකී මවුස් සහ පිරිස වෙසෙන ඩිස්නිලන්තය ඇමෙරිකාවේ ලොස් ඇංජලීස් හි ගොඩනැගීම සඳහා ඇමෙරිකානු රජයේ අවසරය ලබාගැනීමට, එහි නිර්මාතෘ වෝල්ට් ඩිස්නි විසින් ඇමෙරිකානු රජයට තම නිර්මාණයේ සැලසුම ඉදිරිපත් කර අගෝස්තු මස තිස් එක්වැනි දිනට පුරා වසර හැත්තෑවක් සපිරුණි. මෙම සැලසුම එදා ඉදිරිපත් කර ඇත්තේ “මිකී මවුස් උද්‍යාන සැලසුම” නමිනි.   


ප්‍රථම ඩිස්නිලන්තය ඇමෙරිකාවේ ලොස් ඇංජලීස් හි 1955 ජුලි මස 17 වැනිදා විවෘත කරමින් වෝල්ට් ඩිස්නි මහතා පැවසුවේ, කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද තම ළමා ලෝකයේ රසවිඳීමට ව්‍යාපාරයක් ලෙස නොව විනෝද උයනක් ලෙස මෙම සිහින කලාපය ඇරඹූ බවය. අද වෙනවිට ලොස් ඇංජලීස් හි ඩිස්නිලන්තය නැරඹීම සඳහා වසරකට සංචාරකයෝ මිලියන අටසීයක් පැමිණෙති.   


මිකීමවුස් සහ පිරිස සමග විනෝද වීමට ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ට ද ලොස් ඇංජලීස් හි ඩිස්නිලන්තය ප්‍රමාණවත් නොවුණු කල, 1971 දී ෆොලොරිඩාවේ තවත් ඩිස්නි විනෝද උයනක් ආරම්භ කෙරුණි. මිකී මවුස් උද්‍යාන උමුතුව ලොව පුරා ළමා මෙන්ම වැඩිහිටි පරපුර අතර ද පැතිර යද්දී 1983 ජනවාරි මස ජපානයේ ටෝකියෝ නගරයේ ද, 1992 ප්‍රංශයේ පැරිස් නුවර ද, 2005 හොංකොං හිද, 2016 චීනයේ ෂැන්ග්හයි නගරයේ ද ඩිස්නි විනෝද උයන් බිහිවිය. මෙම විනෝද උයන් තුළ ළමාවියේ සිහින දකින වැඩිහිටි සංඛ්‍යාව ළමුන්ට වඩා වැඩිය. ඒ, සෑම වැඩිහිටියකු තුළම කුඩා දරුවකු සිටින නිසා විය යුතුය.   

 

 


චාපි කෝසලා.   
මියුනිච්, ජර්මනිය.