සිඟාකෑම නැත්නම් හිඟාකෑම වත්මන් ලෝකයට ගැලපෙන අන්දමට වෙනස් වී තිබෙන්නකි. එය දැන් වෘත්තියක මට්ටමට ළඟා වී ඇත. සමහර මිනිස්සු දුගියන් හා හිඟන්නන් මෙන් රඟපාමින් මුදල් සොයා ධනවතුන් වී ජීවත් වෙති. මේ කතාව එසේ හිඟාකෑමෙන් ධනවත් වූවද, හිඟන්නෙකු මෙන් මිය ගිය අයෙකු පිළිබඳවයි. 


බිරාදිචන්ද් පන්නරාම් අසාද් වසර අවුරුදු 82ක් පමණ වන මහල්ලෙකි. මුම්බායිහි දුම්රියවලට නැගෙමින් හිඟාකන්නට පුරුදුව සිටි ඔහු ජීවත්වූයේ කුඩා පැලක තනිවමය. අසල්වැසියන්ගේ අනුකම්පාව මෙම දුගී මහල්ලා වෙත නොමසුරුව ලැබුණු අතර කෑම බීම පවා ඔහු සමඟ බෙදා හදා ගැණින. 


ඔක්තොබර් මාසයේ එක් සිකුරාදාවක දුම්රියක හැපී මිය ගිය තැනැත්තෙකුගේ අනන්‍යතාව සෙවීමේදී, ඒ මියගිය තැනැත්තා මෙම දුගී මහල්ලා බව අසල්වැසියන් හඳුනාගත්හ. තනිව ජීවත්වෙන බව කිවද, ඔහුගේ පවුලේ අය පිළිබඳව තොරතුරු සොයන්නට වූ  දුම්රිය පොලිසිය ඔහු ජීවත්වූ බව කියන කුඩා මඩුවට ගොස් පරීක්ෂා කිරීමේදීය එම දුගී මහල්ලාගේ සැබෑ තත්ත්වය අනාවරණය වූයේ.


මඩුවෙහි තිබුණු බැරලයක හා බඳුන් කිහිපයක සඟවා තිබුණු සිල්ලර කාසිවලින් හාරලක්ෂ පනස්දහසකට ආසන්න මුදලක් සොයා ගැනුණි. මේවා රුපියල, දෙක, පහ, දහය වශයෙන් කාසි පොට්ටනිවලට වෙන් කර තිබිණි. 


විසි දෙලක්ෂ හතළිස් දහක් පමණ මුදලක් ස්ථාවර ගිණුමක තැන්පත් කර ඇතැයිද, තවත් රුපියල් අනූහයදායක් පමණ බැංකු ගිණුමක තිබෙන බවත් බැංකු පොත් හා මුදල් කුවිතාන්සිවලින් හෙළි විය. මුදලින් වැඩි ප‍්‍රමාණයක් සිල්ලර කාසි වශයෙන් තැන්පත් කර තිබිණි. පොලිසියට කාසි ගණන් කිරීම සඳහා පැය ගණනාවක් ගතවී ඇත. 


මඩුවෙහි තිබී හමුවුණු බැංකු පොත් ආදිය අතර ඔහුගේ අනන්‍යතාව, නම, ගම ආදිය සඳහන් තොරතුරු වූ බැවින් රාජස්තානයේ ජීවත්වෙන ඔහුගේ පුතණුවන් සොයා  පියාගේ මරණය හා එයින් ඔහුට ලැබෙන දායාදය ගැන දැනුම් දෙන්නට පොලිසිය කටයුතු කරමින් සිටියි. මෙතරම් ධනස්කන්ධයක් උපයාගෙන වුවද ඔහු ජීවත්ව තිබෙන්නේ කාත් කවුරුවත් නැතිව, අසරණයෙකු වශයෙනි. අවුරුදු 82ක් දිගු ජීවිතය තුළ සෑහෙන කාලයක් ඔහු හිඟාකමින් මුදල් රැස් කරන්නට ඇත. නමුත් අවසානයේදී ඒ මුදල් සෙවූ දුම්රියකටම බිලිවී ජරාජීර්ණ මරණයකට ගොදුරු විය. කොපමණ මුදල් සෙවුවද, ඒ මුදල් භුක්ති විඳීමට තරම් පින බලවත් නොවන්නට ඇත. 

 

 

 

අන්තර්ජාලය ඇසුරිනි.
නිසංසලා දිසානායක