කොළොම්පුරේ ජීවිතේ   

  • අසූ ගණන්වල මම කළේ හිඟන්නන් මෙහෙයවන එක   

 

කොළඹ කොටුවේ චිර ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය පාලන යුගයේ සිට පැවත එන තරු හෝටලයක් අසල එක්තරා ස්ථානයකි. මෙතැනට මාව යොමු කරවන ලද්දේ මම කලක් තිස්සේ දැන හඳුනන ව්‍යාපාරික මිත්‍රයෙකු විසිනි.   


අඩි 10x12 වපසරියකින් යුතු සුඛෝපභෝගී කාමරයකි. වායුසමනය කර ඇති බැවින් ඒ තුළ ඇත්තේ මද සිසිල් ගතියකි. බිමට රතු පලස්ය. හිසට ඉහලින් රන් පැහැ පහන් ටැඹකි. බුදුන්, ජේසුස් වහන්සේලා ප්‍රමුඛ විෂ්ණු කතරගම, දැඩිමුණ්ඩ මේ ආදී නහුතයක් දේව රූප ඔප කරමින් පාට විදුලි බුබුළු නිවි නිවි දැල්වේ. බහු ආගමික දෙවොලක් මා ඉදිරියේ දැක්වෙයි.   


කුඩා පරිමාණ ගෑස් උඳුනක් සහිත පැන්ට්‍රියක්. ඉන් මදක් ඔබ්බට වන්නට වැටුනු ගමන් නින්ද යන ජාතියේ සැප යුගළ ඇඳකින් ද මේ කුඩා කුටිය සමන්විතය. ශීතකරණය පසෙකින් තිබෙන ඉඳගත් විට බුරිය දක්වා එරෙන සෝපාවේ මම ඉඳගෙන සිටිමි.   
සුදට සුදේ බබලන තනි සුදු ඇඳුමෙන් සැරසුණු උසේ තරමට මහත මිනිසෙකු මා ඉදිරියේය. මුහුණපුරා වැවුණු ඝන රැවුල අස්සෙන් සුදු පැහැ මුහුණ තැනින් තැන මතුව පෙනේ. වම් අත සරසන කඹ ප්‍රමාණයේ රන් දම්වැලකි (බ්‍රේස්ලට්) අනෙක් අතේ ඇඟිලි පහේම විවිධ හැඩැති රන් මුදුය. ගෙලවටා එතුණු පතරන් මාලය සුදු කමිසයේ ගැලවී ගිය උඩ බොත්තම නිසා විවෘතව ඇති රෝම පිරුණු පපු පෙදෙසෙහි තැන්පත්ව ඇත්තේ යෝධ සර්පයෙකු විලසිනි. වම් අතෙහි විදේශ දුම්වැටි පැකට්ටුවක් සිරවී ඇත.   
මහත්මයා සිගරැට් එකක් බොනවද? ඔහු කතා කරයි. රැවුල අතරින් එන කටහඬ ගොරෝසු නමුත් පැහැදිලිය. මම නැතැයි කීවෙමි. එකණෙහිම ඔහුගේ ඇඟිලි අතරට පැමිණි දුම්වැටිය යළි පැකැට්ටුව තුළට යැවිණි.   
මොහොමඩ් හසනා නමින් මා ඔහුව ඔබට හඳුන්වා දෙමි. නමුත් සැබෑ නම එය නොවේ සරලව කීවොත් කොළඹ නගරයේ ධනකුවේරයන් අතරට එක්වන්නෙකි. නම මුස්ලිම් වුවත් ඔහු දිවි ගෙවන්නේ මුසල්මානුවෙකු ලෙසට නම් නොවේ. අමු සිංහලයෙකු පරිද්දෙනි. ඔහුගේ බහු ආගමික පුදසුන දෙසට යොමුව තිබූ මගේ දෑස හඳුනාගෙන දෝ ඔහු කතාව ඇරඹීය.   


උපතින් මුස්ලිම් වුණත් මම දැන් සර්ව ආගමිකයි නබිතුමා වගේම අනෙක් සියලුම ආගම් නායකයන්ම දේශනා කළේ මිනිසාට පව් කරන්නෙ නැතිව ජීවිතේ හරිගස්සා ගැනීමටයි. අපි තවත් කෙනෙකුට කරදරයක් නැතිව ජීවත්වෙනවා නම් දෙවියොත් පිහිටවෙනව. ඔහු ඉදිරියට යයි. මට අවැසි තැනට එනතෙක් ඉවසිලිවන්තව සවන් දුනිමි.   
ගම මඩකලපුවෙ අවුරුදු 17 දී තමයි කොළඹට පය ගැහු​ෙව්. හෝටලයක තේ ගැහුවා මුට්ට ඉස්සුවා. නැවෙන් හොරෙන් ‘‘මේ දැන් පන්නපුව’’ කියල බොරු රත්තරන් මාල වික්ක. ඊට පස්සෙ තමයි නූර් මොහොමඩ්ට සෙට්වුණේ. එයා තමයි ඒ කාලෙ ඒ කියන්නෙ 1980 කාලෙ මුළු කොළඹම හිඟන්නන්ගෙ අයිතිකාරය එහෙමත් නැතිනම් හිඟන මුදලාලි කොටුව, පිටකොටුව මරදාන, බොරැල්ල, රාජගිරිය එක පැත්තක කෙළවර තවත් පැත්තකින් කැලණියේ පන්සල, මුහුද පැත්තෙන් වැල්ලවත්තෙ කෝවිල. අනෙක් අතින් බෙල්ලන්විල පන්සල නූර්ගෙ සීමා තමයි මේ.   


මම වැඩකළේ හිඟන්නන් මෙහෙයවන අයගෙන් එක්කෙනෙකු විදියට’’ විනාඩි කීපයක කැස්සකි. සිගරැට් බොනව වැඩියිනේ ප්‍රෙන්ඩ් ඒකයි මේ. පුරුද්ද නරක බව දන්නව ඒත් දවසකට 10 ක් 15 ක් විතර පෙවෙනව. දැන් මේ නොබී ඉන්නෙ ඔයා නොබොන නිසා. සිගරැට් නොබොන කෙනෙකුට ඒ දුම දරාගන්න බෑ. දුම්වැටියේ ප්‍රතිවිපාක හා ඒ මගින් අන්‍යයන්ට වන හිරිහැරය ඔහු හොඳාකාරව දනිතත් පුරුද්ද අත්හැරීමට නොහැකි සේය.   


ඉතා සන්සුන් අයුරින් සෝපාවෙන් නැගිට ගිය ඔහු ශීතකරණය ඇර වතුර බෝතලයක් ගෙන ඉතා පිරිසිදු වීදුරුවක් පිරෙන්නට පුරවාගෙන පැමිණ මා ඉදිරිපස ටීපෝව මත තබා යළිදු නැගිට ගොස් ඝන තිරයක් පිටුපස තිබූ බීම ට්‍රොලියක් තල්ලු කරගෙන විත් සමීපයේම නතර කර එහි තිබූ බදින ලද කජු පැකැට්ටුවක් විවෘත කර තසිමකට දමා මා ඉදිරිපිට වාඩිවී සුවපහසුවට දෑත සෝපාවේ දෙපසට දමා ඕන බ්‍රෑන්ඩ් එකක් ගන්න කියමින් ට්‍රොලිය දෙසට අත දිගුකර පෙන්විය.   
නානාප්‍රකාර විදේශ ඉස්තරම් මත්පැන් බෝතල් මා දෙස බලමින් අත වනන්නාක් වැන්න. ආරාධනාව පිළිනොගෙනත් බැරිය. මේ ගෙවී යමින් තිබෙන්නේ උදේ වරුවයි. මෙවැනි අවස්ථාවක මෙවැන්නකට යොමුවී ඇත්තේ එහෙමත්ම වෙලාවකය. බොහෝවිට සතියේ දිනෙක උදේවරුව එක්කෝ කාර්යාලය තුළ රාජකාරියය. එසේත් නැත්නම් එළිමහනේ රාජකාරිය. අනෙක උදේම පාවිච්චියෙන් කිසිදු ත්‍රිලක් නැත. මේ නිරතව සිටින්නේ ද රාජකාරියකය. ඉවසිය යුතුය. යටිහිත කියයි.   
ඉවසන දනා රුපුනුදයට ජයකොඩියලු හිත යළිත් කොඳුරයි. කතාව ඉවරවෙලා මම සිනාමුසුව හනිෆා දෙස බැලීමි. ඕකේ ඕකේ අද ඔයා මෙහෙන් යන්නෙ ලන්ච් එකත් අරගෙන. මොකද ඔයාගෙ යාළුවා මගෙත් හොඳ මිත්‍රයෙක්. අනික මටත් මෙහෙම නිදහසේ ඉන්න දවසක් එන්නෙ කලාතුරකින්. ඔයාල වගේ අය එක්ක කතා කරන්න එන්ජෝයි කරන්න මම හරිම ආසයි. එහෙන් මෙහෙන් ඉංගිරිසි වචන ද විසි වෙයි.   


මගේ බාහිර පෙනුමත් කාය ශක්තියත් නිසාම නූර් ඒ ජොබ් එකට මාව තෝරගන්න ඇති. අවුරුදු දෙක තුනක් යනකොට මම එයාගෙ හොඳම විශ්වාසවන්තම ගෝලයා වුණා විතරක් නෙමෙයි. හිඟන සමාගමේ මැනේජර් තත්ත්වයටත් උසස් වීමක් ලැබුණා. දිනපතා යාචක රැළ ස්ථානගත කරවන්න. බාහිර පෙනුම වෙනස් කරන්න බාරවුණේ මට.   
අපේ සමාගමේ හිඟන්නො හිඟන්නියෝ 200 ක් විතර ලියාපදිංචි වෙලා තිබුණ හිඟන පවුල් ඒ අතර හිටියා. හිඟන පවුල් කියල කියන්නෙ මව පියා දරුවො ඔක්කොම හිඟාකනවා. ඒත් එකට නෙමෙයි වෙන වෙනම කොරු, අන්ධයො, ගොළුවො කවදාකවත් හොඳ නොවෙන තුවාලකාරයො, අත දරුවෝ කරපින්නගෙන හිඟාකන ගැහැනු පිරිමි කවි විරිඳු කාරයෝ, ඇස් අන්ධ පුංචි දරුවෝ මේ විදියට ඕනෑම කොලිටියක ඈයො. වකුගඩු හදවත් සැත්කම්වලට ආධාර එකතුකරන.   
ඒකෙ කොටස් 2 යි. බස්වලට කෝච්චිවලට නගින අයයි. වෑන් වලින් ගම් ප්‍රදේශවලට යන අයයි. පිටට යන වාහන 7 ක් තිබුණා. ඒ කල්ලි ලංකාවෙ හැම පළාතක්ම ආවරණය කෙරෙන විදියට තමයි යැවෙන්නෙ. උතුරු නැගෙනහිරට දෙමළ අය. දැන්වීම්වල බැනර්වල මුද්‍රණය කරල තියෙන වැඩි දෙනෙක් මැරිලා ඒත් අපි වැඩේ කරගෙන ගියා.   
අත දරුවෝ ආබාධිත ළමයි දවසේ කුලියට මාසෙ පඩියට වනාතෙන්, දෙමටගොඩින්, මෝදර, මට්ටක්කුලිය වගේ පැති වලින් හොයාගත්තා. මාස් පඩියට වැඩකරන අම්මල තාත්තලත් හිටිය. මේ දුර පළාත්වලට යන ටීම්වල මැනේජර් කෙනෙකුත් ඉන්නව. එයා ගැහැනු කෙනෙක් නම් ආබාධිත දරුවගේ මව පිරිමියෙක් නම් පියා. දවසෙ කලෙක්ෂන් එක එකතුකරල රිපෝට් එකක් හවසට කොළඹට එවන්න ඕන. ඉස්සර නම් ටෙලිෆෝන් එකක් හොයාගෙන ගිහින් වටපිට කාටවත් නොදැනෙන විදියට කතා කරන්න ඕන. ඒකට කෝඩ් ක්‍රමයක් භාවිත කළා. දැන්නම් ඊසි මොබයිල් ෆෝන්, ඊමේල්, වට්ස්ඇප්, ඉමෝ තියෙනවනේ. තාමත් වැඩේ යනවද?. මම මැදට පැන්නෙමි.   
ඉන්නකෝ කියනකම්. ඉදිරියට යන්න ඕන පියවරෙන් පියවර ඔහු මටත් වඩා හොඳින් නිවැරදි සිංහල කතා කරයි. වැඩේ කරගෙන යනකොට 80 සිංහල දෙමළ කෝලාහල උග්‍රවුනා. එතකොට අපේ මූලස්ථානය තිබුණෙ මට්ටක්කුලියේ තැනක බොසාගෙ මාලිගාව උඩ තට්ටුව. යට තට්ටුවෙ හිඟන ගුබ්බෑයම. බොසාගෙ කිට්ටුම ගෝලයන් නැවතිල හිටියෙත් එයත් එක්ක දෙවැනි තට්ටුවෙ. දවස් පඩියට වැඩකරන හිඟන්නො රෑට ගෙනැත් බස්සන්නෙ එතැනට.   


කොළඹ වැඩියෙන්ම ද්‍රවිඩ අය පදිංචි වෙලා හිටියේ අපේ ඒරියා එකේ මට්ටක්කුලිය, මෝදර, ඉඟුරුකඩේ වගේ ප්‍රදේශවල ගහගෙන එනකොට අපේ පොට් එකටත් වැදුණා. එතන හිටපු හිඟන්නො වැඩිදෙනෙක් ගින්නට අහුවුණා. දෙමළ කෝලාහලය පිටින් දාල අපිට ගැහුවෙ අපේ මුදලාලි වගේම කොළඹ ඒරියා එකේ අනෙක් හිඟන රජවරුන්ගෙ ගේමක් බව දැනගත්තෙ පස්සෙ. ගිනිතියන කොට අපි පැනල ගියා. මුදලාලි පණ බයටම ඔක්කොම අතහැරල එයාගෙ ගමට කාත්තන්කුඩියට ගියා. එයාගෙ දරු පවුල් හිටියෙ එහේ.   
මාත් එක්ක කොළඹ නන්නත්තාර වුණු මුදලාලිගෙ ගෝල බාලයන්ට කරකියාගන්න දෙයක් නැතිව අතරමං වුණා. කලබල නිවුණට පස්සෙ ගෝල පිරිසක් එක්ක මම වැඩේ පටන්ගත්ත. ඔහු මදකට කතාව නතර කර මා දෙස බලයි. නූර් මොහොමඩ් හිඟන්නන්ගෙ රජාගෙන් මට ඒ කියන්නෙ මොහොමඩ් හනිෆාට රජකම මාරුවුණේ ඔය විදියට ඔහු කාමරය සලිත වන හඬින් සිනාසෙයි.   


ඇත්තටම ඔහු ඔටුනු නොපළන් රජ කෙනෙකි, ධන කුවේරයෙකි. සැමටම නොව යාචකයන්ටය. රජු ධනය උපයන්නේ ඔබ අප යාචකයන්ට බැතිසිතින් දෙන රුපියල දෙකෙහි වර්තමාන යාචකයෝ නම් මේ කියන රුපියල දෙකට අතපාන්නේ නැත. ඔවුන් බලාපොරොත්තු වන අවමය රුපියල් 20 යි.   
ඕනෑම වර්ගයක යාචකයෝ හනිෆාගේ ගැන්සියේ සිටිති. සින්දුකාරයන් දෙනෙත් අඳ කුඩාවුන්, ආබාධිත ශරීරය පිළිස්සුණු, ගොළුවන්, සමාජ සේවකයන්, මහල්ලන්, මැහැලියන්, අත් පා අහිමිවූවන්, මෙකී නොකී සියලුදෙනාම ගැන්සියේ සාමාජිකයන් වෙති. කොපමණ හිඟාකෑවත් මොවුන්ට ලැබෙන්නේ දවසේ වැටුපකි. මීට අමතරව ලැබෙන මුළු සිඟමනෙන් සියයට 5 ක කොමිස් මුදලක්ද හිමිවේ. වැඩියෙන් වැඩ කළොත් අතට වැඩිපුර මුදලක් ලබාගත හැකිය.   
මේ හිඟන සමාජය තුළ හොරකමට වංචාවට ඉඩක් නැත. හනිෆාගේ සහචරයෝ දවස පුරාම ඒරියා එකේ විමසිල්ලෙන් පසුවේ. පිටින් බජාර් එකට පැමිණෙන හිඟන්නන් පලවා හරින්නේද නොඑසේ නම් රජු වෙත යොමුකරන්නේද? මේ සහචරයන් විසිනි. එසේම වෙනත් හිඟන සමාජවලින් එල්ල වන තර්ජන ගර්ජනයන්ට මුහුණ දෙන්නේද මේ සහචර පිරිසය.   
මේ අය මාස් පඩි කාරයෝ වෙති. එක් අයෙකුගේ වැටුප රු 50,000 ඉක්මවති. අපේ බොහෝ රාජ්‍ය සේවකයන්ට හා පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවට මේ ආකාර වැටුපක් නැත.   
හිඟන්නන්ට නිවාඩු නැත. බරපතළම අසනීපයක් නම් රෝහල් ගත කෙරේ. ඒ පෞද්ගලික රෝහල්වලටය. ඒ හිඟන ඇඳුමෙන් නොව වැදගත් නෝනා මහතුන් මෙනි. සියලුම විය හියදම් රජතුමා ගෙනි.   


බොහොම දක්ෂ අය මා ළඟ ඉන්නව විශේෂයෙන් පුංචි ළමයි එක්ක ඉන්න පවුල්. වකුගඩු හදවත් රෝගීන්ට සල්ලි එකතු කරන්න බස්වලට නගින තරුණ තරුණයෝ වගේ අය. අපිට වෑන් රථ 5 ක් තියෙනව මේ අය රට වටේ යන්නෙ ඒවයින්. 

 
අපි අපිටම වෙන්කරගත්තු ප්‍රදේශ තියෙනව. දැන් ඉස්සර වගේ නෙමෙයි හිඟන මුදලාලිලා බොහොම සමගියෙන් ඒරිය බෙදාගෙන තමයි වැඩ කරන්නෙ. මේ වෙනකොට කොළඹ හා අවට මම වගේ රජවරු 12 දෙනෙකු සිටිනවා. හනිෆා නැවතත් කාමරය දෙදරන තරමට සිනාසෙන්නේ සමාජයට ඔලොක්කුවට මෙනැයි මට සිතුණි.   
හැබැයි පොසොන් කාලයට අනුරාධපුරයට පෙරහැර කාලෙට මහනුවරට, බෙල්ලන්විලට, කැලණියට, කතරගමට, රත්නපුරේ සමන් දේවාලයට හිඟන සෙට් දාන්න කාගෙන්වත් බාධාවක් නැහැ. අපි හැමෝටම අයිති හිඟන්නො සමගියෙන් ඒ ඒ තැන්වල ඉන්නව. පෝය දවසට තමයි වැඩි මුදලක් ලැබෙන්නෙ. ඒ වගේ දවස්වල රැකියාවට යන්න හැම හිඟන්නම කැමතියි. මොකද අතට වැඩි මුදලක් ලැබෙන නිසා.   


වෙන් වෙන් වශයෙන් ගත්තොත් එක යාචකයෙකුගේ දවසෙ පඩිය රු 2500 යි පොඩි ළමයෙකුට රු 1500 යි. දරු පවුලකට රු 3500 යි. ඊට අමතරව 5% කොමිෂන් එකක් එක්ක දවසකට රු 5000, 6000 හොයන හිඟන මහත්වරු නෝනල මා ළඟ ඉන්නව. ඔහු මදෙස බලන්නේ මොකද පුදුම දැයි විමසන්නාක් මෙනි.   
හදවත් වකුගඩු මේ වගේ අසනීප සම්බන්ධව ඊට අදාළ රෝගීන් සොයාගන්න ක්‍රම දෙක තුනක්ම තියෙනව. මේ රෝගවලට ප්‍රතිකාර කරන රජයේ රෝහල් සායනවල මගේ තැරැව්කාරයො ඉන්නවා බ්‍රෝකර්ලා රෝහල් වෙන්කරගෙනයි ඉන්නෙ. අපිට යොමුකරන එක් රෝගියෙකු වෙනුවෙන් බ්‍රෝකර් ගාස්තුව රු 1000 යි. රටේ ඈත ප්‍රදේශවල ඉඳල එන අය ගැන මේ බ්‍රෝකර්වරු දන්නව. මේ නැති බැරි දුප්පත් අහිංසකයො දැළට දාගන්න ක්‍රම සහ විධි බ්‍රෝකර්ල දන්නව.   
හැබැයි මම නම් මේ අයට අසාධාරණයක් කරන්නෙ නැහැ. කුඩා දරුවෙක් නම් එයාගෙ මව්පියන් හරි බාරකරුවන් සමග වසරක එහෙමත් නැත්නම් වසර දෙකක ගිවිසුමකට එළඹෙනව. මාසික වැටුප් දීමනා මේ ගිවිසුමට යටත් වෙනව.   


ඊට අමතරව රෝගියාට අවශ්‍ය බෙහෙත්, ආහාරපාන මගේ ගානෙ. මාසිකව අදාළ සායනවලට යොමු කරනව කොළඹ සමහර රජයේ රෝහල්වල ඒ ඒ සායනවල වැඩ කරන සේවකයනුත් අපේ බ්‍රෝකර්ල අතරෙ සිටින නිසා වැඩේ පහසුයි. කිරිබොන අත දරුවාගේ පටන් වැඩිහිටි දක්වා හොර බොරු නැති ඇත්ත ලෙඩ්ඩු මා ළඟ ඉන්නවා. ඒ බය සැක නැතිව වෛද්‍ය වාර්තා පෙන්නන්න පුළුවන්. මේ අයට විතරයි. මේ අය රට වටේ යනවා. හැබැයි අපි වෙන් කරගෙන සිටින ප්‍රදේශවල පමණයි.   
කිසිම රජෙකුගෙ කණ්ඩායමක් තවත් රජ කෙනෙකුගෙ ඒරියා එකකට ඇතුල්වෙන්නෙ නැහැ. නීතියක් නෙමෙයි අපි අපි අතරෙ ඇති කරගෙන තිබෙන ක්‍රමවේදයක්. හැම වෑන් එකකම මගේ කළමනාකරුවෙකු හෝ කළමනාකාරියක සිටිනවා. දවසේ මුදල හවසට එයා අතට දිය යුතුයි. ඇවිදින ප්‍රදේශය අනුව ලැබෙන මුදල සම්බන්ධයෙන් හොඳ ඉවක් මේ කළමනාකරුවන්ට තියෙනවා. ඒ නිසා හොර, බොරු වංචා සිද්ධවෙන්නෙ අඩුවෙන් රු 100/- ක් 200 ක් යටිමඩි ගහනවා ඇති. ඒ ගැන අපි පස්සෙන් එළවන්නෙ නැහැ.   
ඉන් පස්සෙ කළමනාකරු දිනපතා රාත්‍රියෙදි ඊමේල් හෝ ෆැක්ස් පණිවුඩයකින් අපිට දවසේ ආදායම දන්වනව. ඊමේල් ෆැක්ස් වලින්.   
ඒ කොහොමද? මුළු කාමරයම නාභිගතවන පරිද්දෙන් බැල්මක් හෙළුවෙමි. එය වටහාගත් පරිදි මට සෝපාවෙන් නැගිටීමට සන් කළ හිඟන රජු ඔහු පසුපස එන ලෙසට පවසා ඒ සුඛෝපභෝගී කුටිය පසෙක තිබූ ඝන පර්සියන් තිර රෙද්ද මඳක් ඈත් කර බිත්තියේ වර්ණයෙන්ම සැරසුණු දොරක් තල්ලු කර පෙන්විය.   
එය විශේෂ කුටියකි. මුළුමනින්ම වායුසමනය කර තිබූ මේ තුළ අති නවීන පරිගණක හා සන්නිවේදන උපකරණ රාශියකි. එක් එක් පරිගණකය සමීපයේ වාඩිවී කටයුතු කරන සුරූපී තරුණියන් දසදෙනෙකු තරුණයන් දෙතුන් දෙනෙක් ද එ් අතර වූහ.   


තිරය පිටුපස බිත්තියට සවිවූ විශේෂ දොර රජුට හැර අන් කිසිවෙකුට හඳුනා ගැනීමට නොහැක. එහි නිර්මාණය ඒ තරමටම සියුම්ය. එපමණක් නොව එතැන මෙවැනි කුටියක් ඇතැයි රජුගේ කාමරයට පිවිසෙන කිසිවෙකුට හෝ වටහා ගැනීමට නුපුළුවන. පුදුමයෙන් පිරි මගේ දෑස් දෙස බලමින් හනිෆා නැවතත් සිනාවිය.   
මේක තමයි අපේ කාර්යාලය, අපි ළඟ සේවය කරන හැමදෙනාගෙම සත්‍ය තොරතුරු මෙහි පරිගණක ගත කරලයි තියෙන්නෙ. අපේ ඒජන්තවරුන්ට, බ්‍රෝකර්ලාට, කළමනාකරුවන්ට මේ හැමදෙනෙකුටම ස්මාර්ට් ෆෝන් ලබාදීල තියෙනව ලංකාවෙ කොතනක හිටියත් විනාඩියෙන් ඕනම පණිවුඩයක් මෙතනට ලැබෙනව. ඒවායින් මට ලැබිය යුතු පණිවුඩ තොරතුරු මෙතන කණ්ඩායම් නායකයා විසින් ලබාදෙනවා. අනෙක් ඒවට ඒ අය සුදුසු ප්‍රතිකර්ම යොදනව. 

 


මතු සම්බන්ධයි...

 


තිලක් පුෂ්පකුමාර