සිරිපා වඳින්නට සමනලුන් පියඹායන මංපෙත ඔස්සේ...

 

මල්වත්තඕවිටට සිරිපා මලුව දිස්වන අයුරු

 

 

බෞද්ධ ජන කතාවල එන ශ්‍රීපාද වන්දනාව මෙන්ම ශ්‍රීපාදස්ථානය සොයා ගැනීම් සම්බන්‍ධ කතා පුවත් සැලකිල්ලට ගැනීමේ දී රාජකීය මල්වත්ත ගැන කියවෙන සාධක වර්තමානයේ සනාථ කළ හැකි නෂ්ටාවශේෂ නැත්තේම නොවේ. රජ සමයේ රටේ තිබුණ කුල පරම්පරා ගැන ද කියැවෙයි. රාජකීය මල්වත්ත පිහිටියේ යැයි විශ්වාස කරන කුරුවිට ‘මල්වත්තඕවිට” ප්‍රදේශයට යාබදව රජවාසලට මැටි වළං සැපයූ කුඹල් කර්මාන්තයේ නියැළුණ ‘කුලයක’ පිරිස් ජීවත් වූ බව වැඩිහිටියෝ කීහ.   


එහෙත් රාජාණ්ඩු සමයේ මේ කුඹල් කර්මාන්තය කළ ජනකොටස් උසස් කුලයෙහි ලා නොසැලකීය. කුඹල් කර්මාන්තයේ නියැළුණු ජන කොටස් ‘බඩහැලයන්’ ලෙස හැඳින්වීම එකල සාමාන්‍ය සිරිත විය. ඊට අමතරව ‘කුඹල්කරුවන්’, ‘පණ්ඩිතයන්’ වැනි නම්වලින් ද එම කර්මාන්තයේ නියැළුණු ජන කොටස් හැඳින්වීය. මේ කියන කුරුවිට මල්වත්තඕවිටට යාබදව “බඩහැල්ගොඩ” නමින් කලකට ඉහත ගමක් වූ බව ද පැරැන්නෝ කියති.   


අපේ සමාජයේ දැන උගත් බුද්ධිමත් තැනැත්තා හඳුන්වන්නේ ද ‘පණ්ඩිතයා’ නමිනි. නමුත් ‘පණ්ඩිතයන්ට ඒදණ්ඬේ යන්නට බෑ’ යැයි කියමනක් තිබේ. මේ කියමන වර්තමානයේ භාවිත කරන්නේ බොහෝ දැන උගතුන් වූ ‘පණ්ඩිතයන්’ සම්බන්‍ධවය. පණ්ඩිතයන් ගමන් යනවිට ඒදණ්ඩක් හමුවුණොත් ඉන් ගොඩවෙන්නට පෙර එහි ශක්තිය, ඉදිකර ඇති ආකාරය ඇතුළු ඒදණ්ඬේ සියලු විස්තර සොයාබලන නිසා ‘පණ්ඩිතයන්ට ඒදණ්ඬේ යන්නට බෑ’ යැයි කියන බව ඇතැම් ප්‍රදේශවල ජන විශ්වාසසයි. එය සැබෑවක් නොවුණත් පණ්ඩිතයන් යමක් ගැන වැඩියෙන් සොයන්නේය යන්නට ඉන් සමාන කරයි.   


නමුත් එහි සැබෑ අරුත එය නොවන බවටද මතයක් පවතී. කුඹල්කරුවා අතීතයේ දී ඔහුගේ නිෂ්පාදන අලෙවි කරන්නටත්, රජවාසලටත් ගෙන ගියේත් කද භාවිතයෙනි. අද දවසේ ‘කද’ යනු කුමක්ද යන්න බාල පරපුර නොදන්නවා විය හැකිය. කද් ලීය කර මැද තබාගෙන දෙපැත්තේ වළං අසුරූ වට්ටි දෙක රැගෙන තැන්නේ යනවිට ‘කද’ සෙලවෙයි. පාරේ යනවිට රිද්මයකට සෙලවෙන කදේ සමබරතාව පවත්වා ගන්නට කද්කරුවා හෙවත් වළං ගෙනයන කුඹල්කරුවා ලොකු ආයාසයක් ගනී. 

 
කුඹල්කරුවන් ‘පණ්ඩිතයන්’ යන නමින් ද හැඳින්වූ නිසා මේ වළං කද රැගෙන ඒදණ්ඩකින් එගොඩ වෙන්නට ඔහුට නොහැකිය. ‘පණ්ඩිතයන්ට ඒදණ්ඬේ යන්නට බෑ’ යනුවෙන් ජනප්‍රවාදයේ සඳහන්වෙන්නේ මේ අදහසින් බව පුරා විද්‍යා ගවේශකයෙක් සහ ජනශ්‍රැති පර් යේෂකයෙකු වූ ආචාර්ය කමල් අබේවර්ධන මහතා පැවසුවේය. අතීතයේ ඒදඬු තිබුණු බවට විශ්වාස කරන තැන් කිහිපයකින් එවැනි වළං කැබලි හමුවූ බව ද ආචාර්ය කමල් අබේවර්ධන මහතා කියයි.   


මේ අතීත ජනප්‍රවාදයේ කියන ‘කුඹල්කරුවන්’ කුරුවිට සිටියේ නම් තැනිතලා ඔස්සේ ගලා බසින ඇළ දොළ ගංගා වලින් එගොඩ වෙන්නට යෙදූ ඒ ඒදඬුවලින් එගොඩවෙන්නට ‘පණ්ඩිකයන්’ වූ කුඹල්කරුවන්ට නොහැකි වන්නට ඇතැයි ද අනුමාන කළ හැකිය. එය මේ සිරිපා කරුණාවට සුරංගනාවියන් මල් නෙළුෑ බවට විශ්වාස කරන රාජකීය මල්වත්ත හා බැඳුණ ජන කියමනක් වෙන්නට ඇතැයි ද බැහැර කළ නොහැකිය.   


එහෙත් නිදහස ලැබී දශක කිහිපයක් ගතවෙද්දී මේ ‘බඩහැල්ගොඩ’ යන නම භාවිතයෙන් ඉවත්ව ඒ ප්‍රදේශයත් ‘මත්වත්තඕවිටම’ ලෙස භාවිත කරන්නට විය. වළං කර්මාන්තය තිබූ බවට ඉපැරණි සාධක හමුව නැතත් යම් ආකාරයකින් මේ නම භාවිත වූයේ රජවාසල හා ඇති සම්බන්‍ධයක් නිසා විය හැකිය.   


එසේනම් බෞද්ධ පාරම්පරික ජනකතාවල එන ’රාජකීය මල්වත්ත’ කුරුවිට පිහිටි ‘මල්වත්තඕවිට’ යැයි අනුමාන කිරීම ද බැහැර කළ නොහැකිය.   

 

ගල්තොට දියමංකඩ

 


සමන්තකූඨ පර්වතයේ පිහිටි ශ්‍රීපාදය සොයාගත්තේ රාජකීය මල්වත්තේ මල් හොරුන් අල්ලන්නට සිටි කොටා යැයි කියන ජනප්‍රවාදය තුළ සුරංගනාවියන් මල්නෙළුෑ මාවත ඔස්සේ සිරිපා මළුවට ගිය බව සඳහන් වුවත් ඔහුගේ ආපසු පැමිණීම ගැනත්, ජනප්‍රවාදයේ පැහැදිලිව සඳහන් නොවේ. නමුත් ඇතැම් ප්‍රදේශවල මේ සම්බන්‍ධව කියවෙන්නේ සුරංගනාවියන්ගේ ආනුභාවයෙන් අතපය ලැබී සිරිපා මළුවට ගොස් පැමිණි කොටා රාජකීය මල්වත්තේ මල් නෙළන්නේ සුරංගනාවියන් සිරිපා පුදට බව රජුට දැන්වූ බවයි.   
පසුව රජු මේ කියන මල්වත්තේ මල් නෙළන්නට සුරංගනාවියන් වෙනුවෙන් ම වෙන්කළ බව ද ඒ ජනකතාවල සඳහන්වෙන බව පැරැණ්නෝ කියති. ශ්‍රීපාදස්ථානය සොයාගැනීම ගැන කීර්ති ශ්‍රී නිස්සංකමල්ල රජ්ජුරුවන්ගේ කාලයේ බවට බොහෝ පැරණි බෞද්ධ ගැමි ජනතාව තුළ විශවාසයක් පවතී. කීර්ති ශ්‍රී නිස්සංකමල්ල රජු රජකළේ ක්‍රිස්තු වර්ෂ 1187-1196 වකවානුවේය.   


සිරිපා මළුවට පහළින් පිහිටි බුදුරදුන් දිවා විහරණය කළ බව සැලකෙන ‘භගවා ලෙන’ තුළ පිහිටි සෙල් ලිපියේ සඳහන් වන්නේ නිස්සංකමල්ල රජු සිරිපා කරුණා කළ බව යැයි පුරාවිද්‍යා ගවේශකයන් කියයි. නමුත් මහාවංශයට අනුව කීර්ති ශ්‍රී නිස්සංකමල්ල රජු සිරිපා කරුණා කරන්නට පෙර තවත් රජවරු දෙදෙනෙක් සිරිපා කරුණා කර තිබේ.   
ඒ ක්‍රිස්තු වර්ෂ 1059ත් 1114ත් අතර රජ කළ ශ්‍රී සංඝබෝධි විජයබාහු හෙවත් පළමුවැනි විජයබාහු රජු සහ ක්‍රිස්තු වර්ෂ 1153-1186 අතර කාලයේ රජකළ මහා පරාක්‍රම බාහු රජතුමාලාය. පළමු වැනි විජයබාහු රජු ගිලීමලේ සහ අඹගමුව සෙල් ලිපි දෙක කරවූ බවත් සිරිපා මළුවේ සමන් දේවාලය මහා පරාක්‍රමබාහු රජු විසින් කරවූ බවත් ඉතිහාස පොත්වල සඳහන් වෙයි.   


එසේ නම් බෞද්ධ ජනවහරේ එන ශ්‍රීපාද මළුවට සුරංගනාවියන්ගේ මග පෙන්වීමෙන් කොටා ගිය ගමන් මගේම මේ රජවරු ගියේ ද යන ගැටලුව මතුවෙයි. ශ්‍රී සංඝබෝධි විජයබාහු හෙවත් පළමු වැනි විජයබාහු රජ සිරිපා කරුණා කරන්නට යද්දී ගිලීමලේ සෙල්ලිපිය කරවූ බව සඳහන් වෙයි. එසේනම් රජුගේ ගමන් මාර්ගය සුරංගනාවියන් මල් නෙළාගෙන ගිය ගමන් මග විය නොහැක. එය සිරිපා කරුණා කරන ඉපැරණි රත්නපුර මාර්ගය හෙවත් ශ්‍රී පලාබද්දල මාර්ගය විය යුතුය.   


ශ්‍රී සංඝබෝධි විජයබාහු හෙවත් පළමුවැනි විජයබාහු රජ සිරිපා කරුණාකර ආපසු යද්දී අඹගමුව සෙල් ලිපිය කළ බව ඉතිහාසයේ දැක්වෙයි. එසේනම් රජු ආපසු ගොස් ඇත්තේ හැටන් පැත්තෙනි. මේ ඉතිහාසගත තොරතුරු හා සසඳනවිට බෞද්ධ පාරම්පරික ජන කතාවේ එන සුරංගනාවියන්ගේ උදව් ඇතිව ‘කොටා’ විසින් ශ්‍රීපාදය සොයාගත් වකවානුව ඊට බොහෝ ඈතට දිවයනු ඇත.

   
මේ අතීත සිරිපා මග ගැන මීට විසි වසරකට පෙරදී සොයා ගිය ගවේශකයන් කණ්ඩායමක ප්‍රධානියා වූයේ ආචාර්ය කමල් අබේවර්ධනයන්ය. සති අන්ත දහයක් දොළහක් තිස්සේ මේ ගමනට ගත වූ බව පැවසූ කමල් අබේවර්ධන මහතා කුරුවිට මල්වත්තඕවිටේ පිහිටි රාජකීය මල්වත්තේ සිට ගිය ගමන්මග යැයි නිවැරදි සාධක නැතත් ගමන් මගේ ආරම්භය ඒ අසලින් බවට වූ සාධක ඇති බව පැවසුවේය.   


රජකීය මල්ලවත්ත කුරුවිට ‘මල්වත්තඕවිට’ යැයි අනුමාන කළහොත් වත්මන් කොළඹ රත්නපුර ප්‍රධාන පාරේ 85 සහ 86 වැනි කිලෝමීටර් කණු දෙක අතර පිහිටි හිග්ගස්හේන හන්දියෙන් රත්නපුර සෙට යද්දී දකුණු පැත්තේ ‘මල්වත්තඕවිට’ පිහිටා ඇත. ශ්‍රීපාදස්ථානය පිහිටා ඇත්තේ එම පාර ඔස්සේ රත්නපුර දෙසට එනවිට වම් පැත්තේය.   


වර්තමානයේ ‘මල්වත්තඕවිට’ යාබද ගම දෙල්ගමුවයි. ශ්‍රීමත් දළදා වහන්සේ පුරා අවුරුදු හතළිස් තුනක් යෝධ කුරහන් ගලක් තුළ සඟවා තිබුණේ මේ විහාරස්ථානයේ ය. ඒ සීතාවක රාජ සමයේ එනම් ක්‍රිස්තු වර්ෂ 1549-1592 කාලයේ ය. නමුත් මේ සුරංගනාවියන් මල් නෙළුෑ කාලය ඊටත් වසර පන්සියයකට එපිට විය යුතුය.   


දෙල්ගමුව පන්සල පිහිටි ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජන ශුණ්‍යව තිබුණු එකල එහි කොක්කු ලැග්ග ප්‍රදේශයක් බවටත් ජනප්‍රවාදයේ කියයි. ආචාර්ය කමල් අබේවර්ධනයන්ගේ ජනශ්‍රැති පර් යේෂණ වලදී මේ ‘කොක්කු ලගින හේනක්’ ගැන යම් තොරතුරක් ලැබුණු බව කීවේය.   


වැඩි උස නැති එහෙත් තරමක් ශක්තිමත් මෙන්ම ගස් මුදුනේ කොක්කුන්ට ලැගිය හැකි ලෙස පරිසරය එකල නිර්මාණය වී තිබෙන්නට ඇත. මේ කතාව අසන විට සිහිපත් වන්නේ කුමන අභය භූමියේ කුමන විල්ලුවයි. පෙලිකන් වැනි විශාල කුරුල්ලන් කුමන විල්ලුවේ ගස් මත කූඩු තනා පැටවුන් ලොකු කරන දසුන් එදා මේ ‘කොක්කු ලගින හේන’ ප්‍රදේශයෙන් ද දිස්වෙන්නට ඇතැයි සිතිය හැකිය.  වර්තමානයේ දෙල්ගමු රජමහා විහාරය, හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යලය, කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය, කුරුවිට උප තැපැල් කාර්යාලය, කොළඹ රත්නපුර පාරේ හිග්ගස්හේන පසුකරනවිට හමුවන වරකදෙණිය පාලම, කුරුවිට ගොවිජනසේවා කාර්යාලය ආදී ප්‍රදේශ මේ කොක්කු ලගින හේන වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. පසු කාලීනව දෙල්ගමු කැලේ යැයි ද ඒ ප්‍රදේශය භාවිත වන්නට විය.   


දෙල්ගමු කැලේ පසුකරන විට සිරිපා අඩවියේ සිට සීතගඟුල නමින් හැදින්වෙන කුරුඟග හමුවෙයි. ඒ අපි ගිය සතියේ කතා කළ මනරම් වූ බෝපත් ඇල්ලට කිලෝමීටරයක් පමණ පහළිනි. එතැනදී කීරගල දෙසින් ගලාඑන කීරගල ඇළ කුරුඟගට එක්වන නිසා උඩ-මංකඩ ලෙස එතන හඳුන්වයි. ගල්තොට දියමංකඩ කියන්නේ ද මෙතැනටය. උඩ-මංකඩ පසුව උඩකඩ වී ඇති අතර දෙල්ගමු කැලේ පසුකරගෙන නැගෙනහිර පැත්තට යනවිට මේ උඩ-මංකඩ හමුවෙයි. මෙතැන පිහිටි ගල්තොටට කතා කළ හැකිනම්... අපි සිතින් මවාගන්නා ඒ අපූරු ඉතිහාසය අකුරක් නෑ දැනගත හැකි වනු නියතය.   


දෙල්ගමු රජමහා විහාරස්ථානය පිහිටි කොළඹ රත්නපුර පාරෙන් රත්නපුර දෙසට යනවිට දකුණු පැත්ත දෙල්ගමුව ලෙස වර්තමානයේ හඳුන්වයි. පාරේ වම්පැත්තේ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයට පහළින් නැගෙනහිර පැත්ත උඩකඩ ලෙස හඳුන්වන්නේ ‘උඩං-මංකඩ’ නමින් ‘මං’ කොටස ගිලිහීයාමෙනි. ‘දෙල්ගමු කැලේ’ යනුවෙන් භාවිත කිරීමේ යම් සමාජමය අවමානයක් පෙනෙන නිසා ‘දෙල්ගමු කැලේ’ යන්න ව්‍යවහාරයෙන් බැහැරව ‘උඩකඩ’ යන නම අද භාවිත වෙයි.   


මේ ගම් විස්තරය මෙතරම් විස්තර කළේ යම් හේතුවක් ඇතිවය. සුරංගනාවියන් ‘රාජකීය මල්වත්තෙන්’ මල් නෙළාගෙන සිරිපා මළුවට “කොටාට” යන්නට මග පෙන්වූ බවට විශ්වාස කළ හැකි අතීත සිරිපා කරුණා කරන මග වැටී තිබුණේ ‘මල්වත්තඕවිට’, හිග්ගස්හේන, කොක්කු ලැග්ගහේන හෙවත් දෙල්ගමුව පසු පසුකර උඩ-මංකඩ හෙවත් උඩකඩ දී කුරුගඟෙන් එගොඩ වීමෙන් බවට ඇති තොරතුරු ආචාර්ය කමල් අබේවර්ධන මහතාගේ පර් යේෂණ වලින් ද තහවුරුවී තිබේ.   


“මේ පැරණි සිරිපා මාර්ගයේ දී සිරිපා අඩවියෙන් ගලා එන කුරුගඟ හෙවත් සීතගඟුල මුලින්ම එගොඩ වෙන්නේ උඩ-මංකඩදී. මෙතනට දියමිටිතැන කියලා කියනවා. එහෙම කියන්නේ මෙතන තමයි ගඟේ ගැඹුර අඩුම තැන. සාමාන්‍යයෙන් දණහිස දක්වා ප්‍රමාණයක් තමයි වතුර තියෙන්නේ. ඒ නිසා කෙනෙකුට පහසුවෙන් එගොඩ වෙන්න පුළුවන්.” ආචාර්ය කමල් අබේවර්ධන මහතා පැහැදිලි කළේය.   


සියවස් ගණනක අතීතයට මේ කතාව සම්බන්‍ධ කරන විට සියවසකට පෙර කාලය ගැන සෝදිසි කරද්දී තෙප්පනාව, කුරුවිට, පරණගම, මුදුන්කොටුව, මාටුවාගල, ඇහැලියගොඩ, සීතාවක ආදී ප්‍රදේශවල ජනතාව ශ්‍රීපාද වන්දනාවේ ගොස් තිබෙන්නේ මේ පාරෙනි.   


“දැන් කැලණිවැලි කෝච්චිය නැත්නම් පුංචි කෝච්චිය රත්නපුරේට ආපු කාලේ අවිස්සාවේල්ල, කොස්ගම පාදුක්ක, නාවල පැත්තේ මිනිස්සු සිරිපා වන්දනාවේ යන්න කෝච්චියෙන් ඇවිත් හිග්ගස්හේනේන් බැහැලැ මේ කියන පාරෙන් තමයි සිරිපා වන්දනාවේ යන්න ගිහිං තියෙන්නේ. ඒ කාලේ හිග්ගස්හේනේ බඩු ගබඩාවක් තිබුණා. කීරගල වත්තේ නිපදවන තේ ගෙනියන්නත්, කීරගල වත්තට උවමනා බඩුත් ගෙනැල්ලා තියෙන්නේ කෝච්චියේ. පොඩිමැණිකේ තමයි කෝච්චියට තිබිලා තියන නම. හිග්ගස්හේනේ බඩු බාන්න විනාඩි පහක් දහයක් කෝච්චිය නවත්වලා තිබිලා තියනවා. ඒ කාලය තුළ වන්දනාකාරයෝ කෝච්චියෙන් බැහැලා තියනවා.” සිය පර් යේෂණණයන්වලදී සොයාගත් බව ආචාර්ය කමල් අබේවර්ධන මහතා පැවසුවේය.   


හිග්ගස්හේනෙන් බහින වන්දනාකරුවන් වතුයාය වෙල්යාය හරහා උඩ-මංකඩට ළඟාවෙයි. එකළ වන්දනාකරුවන් බඩුමුට්ටු රැගෙන යන්නේ රෙදිවලින් සැකසූ උරහිස දෙපැත්තට දාගත හැකි මල්ලකිනි. එයට කුට්ටි සාක්කුව යැයි කියයි. මේ ප්‍රදේශයේදී ‘සැහැල්ලුව’ කියන්නේ ද මේ ගමන් මල්ලටමය. ඒ සැහැල්ලුවේ සති දෙකකට තුනකට ප්‍රමාණවත් වියළි ආහාරය.   


සියවසකට එක හමාරකට පෙර සිරිපා වන්දනාවේ ගිය ඒ ගමන් මගට සමාන මගකින් සුරංගනාවියන්ගේ මල් දැමූ මග ඔස්සේ ගියේ ද යන්නට සාක්කි සාධක නැතත් අනුමාන නම් කළ හැකිය.   


මේ මාර්ගයේ පීල්ල තිබූ වත්ත යැයි ස්ථානයක් ගැන ද සඳහන් වෙයි. එහි අම්බලමක් තිබූ බවත්, සමහරු පීල්ලෙන් දියනා විඩාව නිවාගෙන උයා පිහාගෙන කෑම කෑ බවට ද පාරම්පරික බෞද්ධ ජනකතාවල දැක්වෙයි. ආචාර්ය කමල් අබේවර්ධන මහතාගේ පර් යේෂණවලදී ඒබව තහවුරු වුණ බව ද සඳහන් කළේය.   


වර්තමානයේ මේ ස්ථානවල විශාල වෙනස්කම් සිදුව තිබේ. අතීතයේ ජනශුණ්‍ය ප්‍රදේශයක් වුවත් අද අඩියෙන් අඩියට ගෙවල් ය. ඇතැම් අය මේ අතීත කතාව කියනවට අකමැතිය. ඔවුන් මේ පාරම්පරික ජනකතා තරයේ ප්‍රතික්‍්ෂේප කරති. හේතුව මේ කියන ගමන් මග පිළිබඳ පුරාණ තොරතුරු හෙළිදරව්වීම ඔවුන්ගේ දේපල වලට අයහපතක් වේය යන බිය නිසා ය.   


කුරුගං නිම්නයේ පිහිටි උඩමංකඩ දෙපැත්තේ ඇත්තේ ඈතට විහිදුන තැනිතලාවකි. නිරිතදිග මෝසම සමයේ සහ අන්තර් මෝසම් සමයේ හිමගිරට ඇද හැලෙන මහ වැසි නිසා කුරුගං ලලනාවගේ දිය දහරාව මේ ඈතට විහිදුණ නිම්නය පුරා පැතිරගොස් ගංවතුරක් ද නිර්මාණය කරන්නීය. එ කාලයේ හැර අනෙක් කාලයේ මේ උඩමංකඩ දියමිටි තැන වතුර මට්ටම කෙනෙකුගේ දණහිසිනුත් පහළටය. ඒනිසා උඳුවප් මහේ ඇරඹෙන සිරිපා සමයේ වන්දනාවේ යන බැතිමතුන් ඉන් එගොඩ වන්නේ පැමිණි ගමනේ ගිමන් නිවාගන්නට දියබැස නාගෙනය.   

 

දියමිටිතැන

 


මේ දියමිටි තැන බෞද්ධ විහාර කර්මාන්තයේ දී සුවිශේෂ තැනකි. චෛත්‍ය ඉදිකිරීමේ දී සහ පිළිම නෙළීමේ දී උවමනාකරන වැලි ගත් තැනක් ලෙසත් දියමිටි තැන ප්‍රකටය. පසුකාලීනව වැලි බලපත්‍ර දීම නිසා එතැන පරිසරය විනාශ වී තිබුණි. නමුත් දියමිටි තැන ඇති වැලි ගොඩදා කුරහන් ගලේ අඹරා සිහින් කර චෛත්‍ය සහ පිළිම කර්මාන්තයට යොදාගත් බවට ජනප්‍රවාදයේ එයි.   


ආචාර්ය කමල් අබේවර්ධනයන් පැවසුවේ ඔහුගේ පර් යේෂණයන්වලදී ඒ බවත් තහවුරු වුණ බවයි. හෙළි කිරීමට අකමැති වුණත් ඒ වැලි ඇඹරූ කුරහන් ගල්වල කොටස් අවට ගෙදරක දෙකක ඇති බව ද ඔහු කීවේය.   


සුරංගනාවියන් මල් නෙළාගෙන සිරිපා වන්දනාවේ ගිය මග ඔස්සේ සිරිපා මළුවට ගිය බවට විශ්වාස කරන මේ අතීත ගමන්මග සැබැවින්ම අද වල් වැදිලාය. එහෙත් පාරම්පරික ජනප්‍රවාදයේ එන ඇතැම් සලකුණු තවමත් තිබේ.   

 


ඉතිරි කොටස ලබන සතියට.....   

 


සටහන ඡායාරූප
අජිත්ලාල් ශාන්තඋදය