හතළිස්  වසරක වනදිවි අත්දැකීම්

 

 

යාල උද්‍යානයේ මා සේවය කළ වකවානුවේදී ඉතිහාසයේ කෙදිනක වත් සිදු නොවූ සිද්ධියක් විය. උද්‍යානයේ හීන්වැව බංගලාව වෙන් කරවා ගත් කණ්ඩායමක් රාත්‍රි ආහාරයෙන් පසු බංගලාවේ නිදාගත්හ. ඔවුන්ගේ මාර්ගෝපදේශක සුමනපාල සේවක නිවාසයේ ඉස්තෝප්පුවේ බූරු ඇඳක නිදා සිටියේය. අනිකුත් සේවකයින් කාමරවලය. අලුයම දෙකට පමණ සුමනපාල මරළතෝනි දෙන්නට විය. මෙන්න මාව මරනවෝ. සුමනපාල බෙරිහන් දෙයි. නිදාහුන් සියලු දෙනා බිය වී නැගිටගත්හ.   


එ් වන විට සියල්ල සිදු වී හමාරය. සුමනපාලගේ ඇඟ මතට පැන ගත් දැවැන්ත කොටියකු ඔහුගේ බෙල්ල සපා කා ඉදිරිපස පාදවලින් පපුව සූරන්නට විය. කොටියනගේ සිරිත මුවකු අල්ලා ගත් පසු උගේ බෙල්ල සපා කා උගුරු දණ්ඩ සිරකරගෙන සිට ගොදුර මියගිය පසු බඩ පෙදෙසින් මස් කෑම ආරම්භ කිරීමයි.   
එහෙත් ඊට පෙර හැඩි දැඩි සුමනපාල දෑතින් කොටියා උස්සාගෙන බූරු ඇඳෙන් බැස කොටියා සිමෙන්ති පොළවේ ගැසුවේය. ඉන් පසු කොටියා කළුවරේම වනයට පලා ගියේය. සුමනපාලගේ සිරුරෙන් ලේ ගලා යාමෙන් එතැන ලේ විලක් විය. බංගලාවේ සංචාරකයින් කණ්ඩායම ඔවුන්ගේ වාහනයෙන් සුමනපාල මගේ නිල නිවසට ගෙන එන විට අලුයම 3 1/2 පමණ විය. මම වහා ක්‍රියාත්මක වී සුමනපාල (තුවාලකරු) තිස්සමහාරාම රජයේ රෝහලට ගෙන ගියෙමි. එහිදී වෛද්‍යවරු පැවසුවේ විල්සන් මහත්මයා මේ ලෙඩාට අමාරුයි කන්වලට ලේ බැහැලා. අපි පොඩි ප්‍රතිකාරයක් කරලා ඇම්බියුලන්ස් රථයෙන් මාතර රෝහලට යවනවා. ඔයාගේ සේවකයෙක් සුමනපාල එක්ක යවන්න. මාස තුනකට අධික කාලයක ප්‍රතිකාරයෙන් පසු සුමනපාල රෝහලින් නිදහස් කළේය. එහෙත් සුමනපාල මියයන තුරුම සිටියේ සිහි මඳ ගතියෙනි.   


විල්සන් මිනීමරු අලියාගෙන් මැරුම් නොකා බේරීම   


හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස සහ ජඳුර ප්‍රදේශය මේ වන විට එකම නාගරික කලාපයකි. 1969 සමයේදී එම ප්‍රදේශය වන අලි ගහන වනාන්තරයකි. මිනිසකු දුටු තැන පසුපසින් හඹා විත් පහරදෙන අලියකු අල්ලා ඉවත් කිරීමට වනජීවී අධ්‍යක්ෂ ලීන්ද අල්විස් මහතාගෙන් (නැසී ගොසිනි) අප හට උපදෙස් ලැබිණි. එම වකවානුවේ වර්තමානයේ සිදු කරන පරිදි අලින් නිර්වින්දනය  කිරීමක් සිදු නොවිණි. ඒ සඳහා සුදුසුකම් ලත් පශු වෛද්‍යවරුන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටියේ නැත. අලි ඇල්ලීම සිදු කළේ අලියා ගමන් කරන මගේ (මන්නිලයේ) උගුල් මළ පුඩු තැබීමෙනි. ඒ සඳහා ත්‍රිකුණාමල කින්නියා පාරම්පරික අලි අල්ලන අයගේ සහය ලබා ගති. මිනීමරු අලියා කොහි සිටින්නේ ද ඉසව්ව සොයා ගත යුතුව ඇත. මේ වන විට මිනීමරු අලියා කාන්තාවන් තුන් දෙනෙක් සහ පිරිමින් පස් දෙනෙකුට පහර දී මරා තිබේ. ඊළඟ මරණය අප කණ්ඩායමේ කෙනෙකුගේ ද යන සිතුවිල්ල මගේ සිත තුළ ජනිත වී තිබේ. මම රයිපලයට උණ්ඩ (Cartridges) පටවා ගතිමි. ආසදීන්, සෝමරත්න, ජෝතිපාල, යුසුප් පතොරම් තුවක්කුවලට පතොරම් දමා ගන්න. අපි දැන් යමු. කිසිම කෙනෙක් කතා කරන්න එපා. වේලාව උදේ 11.00 පමණය. ජඳුර වනාන්තරය කටු ළැහැබකි. එරමිනියා කටුවලට ඔළු​ ගෙඩිය සීරියතත් ඒ ගැන සිතන්නට. වේලාවක් නැත. පොළොව පුරාම ඇත්තේ තැන තැන අලිබෙටි සහ මී හරකුන්ගේ වසුරුය. ඉදිරියට යත්ම අප දුටුවේ අද උදේ හලන ලද අලි බෙටිය. මම හස්ත මුද්‍රාවෙන් කණ්ඩායමට ඒවා පෙන්වීය. අපි හමන සුළඟේ දිසාව පරික්ෂා කළෙමු. සුළඟ හමන්නේ අප යන ගමන්මගේ විරුද්ධ දෙසිනි. එය අපට අස්වැසිල්ලක් විය. ස්වල්ප වේලාවකින් අලියකු ගොරවන ශබ්දය ඇසෙන්නට විය. මේ නම් මිනීමරු අලියාගේ විය යුතුය. මගේ සිත වේගයෙන් ක්‍රියා කරයි. මම රයිෆලය වෙඩි තැබීමට සූදානම් කර ගතිමි.   
1982 සිට 1984 දෙවසරේ මා සිටියේ නැගෙනහිර අප්‍රිකාවේ ටැන්සානියා (Tanzania) වන ජීවී කළමනාකරණ පුහුණු විද්‍යාලයේ පුහුණුව ලබමිනි. 1983 අප්‍රිකානු අලි 18 දෙනෙකු වෙඩි තබා මරා තිබේ. වෙඩි තැබීමට පුහුණුව ලැබුවේ ටැන්සානියානු යුද හමුදා යුද පිටියේදීය.   


අපි වන ළැහැබට රිංගුවෙමු. විනාඩියක් ගත වූයේ නැත. කටුළැහැබ බිඳගෙන අලියකු අප ඉදිරියට හඹා එන්න විය. මේ නම් මිනීමරු අලියා විය යුතුය. ඌ අප වෙත හඹා ආවේ මිනිස් ඉව දැනීමෙනි. අපි සිසීකඩ දුවන්නට වීමු. යාර පහක් වත් දිව යාමට පෙර මගේ පාද බිම තිබූ වැල් පොටක පැටලී මා බිම ඇදවැටිණි. මම ඒ ඉරියව්වෙන්ම සිටියා විනා දෙපයින් සිට නැගීමට තැත් නොකළෙමි. හේතුව ඒ සඳහා වේලාවක් නොතිබූ බැවිනි.   


අලියා හඹා එන ශබ්දය ඇසෙයි. බිම වැතිර සිටි මට කල්පනා වූයේ හඹා එන අලියා මගේ ශරීරයේ කොතැනක් පාගා දිව යයිද යන සිතුවිල්ලයි. හිස පපුව බඩ නම් මා ක්ෂණයකින් මියයනු ඇත. දෙපා උඩින් නම් මා සදාකාලික අබ්බගාතයකු වනු ඇත. ඒ සිතුවිල්ලත් සමග ගසක විශාල අත්තක් කැඩී මගේ ශරීරයට පහර දීමක් සිදුවිණ. එකෙණෙහිම මිනීමරු අලියා මා පසු කොට ඉදිරියට දුවන්නට විය.   


එම සිද්ධිය මා මරණින් බේරුණු එක් අවස්ථාවක් විය. මම ජයග්‍රාහී ලෙසින් දෙපයින් සිට ගතිමි. එතැන් සිට සිදු වූයේ කුමක් දැයි අධ්‍යයනය කළෙමි. මා බිම වැතිර සිටි තැනට නුදුරින් තිබූ දිවුල් ගසක අලියා හැපීමෙන් ඌ දුවගිය මඟ වෙනස් විය. දිවුල් ගස පහළට නැමීයාමේදී ඉන් අත්තක් මගේ හිසට පහත් වී තිබේ. ගසේ කඳ අඟල් දහයක පමණය. පොත්තක් ගැලවී තිබුණේ අලියා ගසේ හැපීමෙනි. එම ගස නොතිබෙන්නට මේ වන විට මා මිය ගොසිනි. පසුව මට කල්පනා වූයේ කඳ සුරිඳුන් පහළව මා බේරා ගත් හැටියකි.


කිඹුලකු පැන මල පහ කිරීමට ගිය රියදුරු ඩැහැගෙන යාම.   


බම්බලපිටිය මැජස්ටික් ඉලෙක්ට්‍රික්ස් අයිතිකරු සුනිල් ගුණවර්ධන මගේ මිත්‍රයා බූන්දල ජාතික උද්‍යානයේ කූඩාරම්පොළක (Camping Site) ලැගුම්ගෙන සිටියේය. මේ වන විටත් එම උද්‍යානයේ බංගලා ඉදි කොට නැත. 1969 වසරේ ප්‍රකාශයට පත් කළ උද්‍යානයේ වපසරිය හෙක්. 6216 කි. සුනිල්ගේ රියැදුරු උදේ පාන්දර වන ළැහැබට රිංගාගත්තේ මළපහ කිරීමටය. කර්තව්‍ය සිදුකොට සෝදාගැනීම සඳහා නුදුරින් පිහිටා ඇති ජලාශයට ගියේය. ජලය මඩ රතු පාටය. ඔහු ජලාශ තීරයේ ඇනතියාගත්තා පමණි දිය යට සැඟව සිටි කිඹුලෙක් ඔහු ඩැහැගෙන දිය යටට ගියේය. රියැදුරු පෙනෙන්නට නොසිටි බැවින්  සුනිල් තම මිතුරාට කථා කළේය. සමරේ මගේ ඩ්‍රයිවර් තවම නැහැ. බං බලන්න යමු. සුනිල් සමරේ සමග ජලාශය වෙත පියා නැගුවේය. දුරතියාම දෙදෙනා රියැදුරුගේ රබර් සෙරෙප්පු යුගලය හඳුනා ගති.   


කලකට පෙර දෙහිවල සත්වෝද්‍යානයේ අතිරික්ත සතුන් යාල සහ බූන්දල උද්‍යානවලට නිදහස් කෙරිණි. නියත වශයෙන් මේ එක් කිඹුලෙක් බව මම විශ්වාස කරමි.   


රත්‍රියේ පසුවන කුළු මදයාගේ පහරින් බේරීම   


කලකට පෙර මා සේවය කළේ ගල්ඔය ජාතික උද්‍යානයේ (වපසරිය 2590 හෙක්.) භාරකරු හැටියටය. ඩී.එස්. සේනානායක මැතිඳුන් විසින් (1950 වසරේ) ඉදිකරවන ලද ජලාශය නම් කෙරුණේ ගල්ඔය ජාතික උද්‍යානය හැටියටය. පස්සර කඳුවලින් ගලා බසින ගල ඔය ගංගාව ඉඟිනියාගලදී හරස් කොට බැම්මක් බැඳීමෙන් සේනානායක සමුද්‍රය නිර්මාණය විය. මෙම උද්‍යානය වන අලින්ට තෝතැන්නකි. අලින් සමීපයටම ගොස් ඡායාරූප ගැනීමට කදිම ස්ථාන දෙකක් උද්‍යානයේ ඇත. එනම් හත්පත සහ කොස්ස පොළයි. ඉඟිනියාගල නගරයේ සිට කි​ලෝමීටර් 18 ක සීමාවේ එම ස්ථාන පිහිටා ඇත. සිරිතක් වශයෙන් සතියකට දෙවතාවක් පා ගමනින් එම ස්ථානවලට යාමට මම පුරුදුව සිටියෙමි. එසේ ගිය කිසිම දිනක තුවක්කු රයිපල් මම රැගෙන නොගියෙමි. ගිනි අවි රැගෙන ගියේ හොර දඩයක්කරුවන් වැටලීමට ගිය දිනවලදී පමණකි. එදින මා සමග සිටියේ ජ්‍යෙෂ්ඨ නියාමකවරුන් වන ගෝමිස් අප්පුහාමි, ඒමිස් අප්පු හාමි, සාමෙල් අප්පු සහ විශ්ව කුලරත්න යන අයයි. (සියලු දෙනා නැසී ගොසිනි). සමුදායේ ජල තීරයට ආසන්න බිම රැලි සහිතය. ඒ සමුදායට ගලා යන ජල පහර ස්වාභාවික ඇළ මාර්ග හේතුවෙනි. ඒ නිසාම වැව් පිටිය රැලි සහිතය. අපි කණ්ඩායම හත්පතට ළං වන විටම දුටුවේ දැවැන්ත කුළු හරක් මදයකු ගැහැනු සතකු කොටු කරගෙන සිටින හැටිය. කුළු මදයා රතියේ (In Heat) පසුවෙයි. වනාන්තරයේ අතිශයින්ම අවදානම් සතා බව කාලයක සිට මම දැන සිටියෙමි. අපි කණ්ඩායම දුටු මදයා සහ ගැහැනු සතා හතර පයින් සිට ගති. එතැන් සිට අප දෙසට නෙත් යොමු කරගෙන හිස ඉහළට පහළට වනන්නට විය. මොහොතකින් අප දෙසට ඊයක් ලෙසින් හඹා එන්නට විය. තුවක්කුවක් තිබුණේ නම් උන් දෙදෙනාගේ හිස් කබල් පුපුරා යන ලෙසින් වෙඩි තැබීමට හැකියාව තිබිණි. ගැමි වහරේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්න ද? කියමනක් තිබේ. එහෙත් අපි සතුව තුවක්කුවක් නැත. අපි හතර දෙනා කුළු හරකුන් දෙදෙනා දෙස එක එල්ලේම බලාගෙන යටිගිරියෙන් දිගින් දිගටම කෑ ගසන්නට වූහ. මගේ රළු කටහඬ නිසල වනාන්තරයේ දෝංකාරය දුණි. කතරගම දෙවිඳුන් බිමට වැඩියාක් ලෙසින් අපි ආසන්නයට හඹා පැමිණි කුළු හරකුන් දෙදෙනා බිය වී ආපස්සට හැරී පලා ගියහ. යම් ලෙසකින් අපට පහර දුන්නේ නම් මේ වන විට හතර දෙනාම මියගොසිනි. දෛවය අපි හතර දෙනාට එරෙහි වූයේ නැත.   


තරුණ සහජාන් කිඹුලකුට බිලි වීම   


යාල උද්‍යානයට නුදුරු කිරින්ද ගමේ හැදී වැඩුණු තරුණ සහජාන් දක්ෂ කිමිදුම්කරුවකු මෙන්ම පිහිනුම්කරුවෙකි. දවසේ වැඩිහරියක් ඔහු ගත කරන්නේ මුහුදේය. නැතහොත් වැවක හෝ ගංගාවකයි. ඔහු රැකියාව කරන්නේ යාල වනෝද්‍යානයේය. යාල උද්‍යාන කාර්යාලයට නුදුරුව පිහිටා ඇති පලටුපාන වැව කිඹුලන්ගෙන් පිරී පවතින බව සහජාන් හොඳින් දැන සිටියේය. එකී වැව පහළ කම්කරු වැඩක නිරතව සිටියදී දහවල් 2.00 පමණ මහ වැස්සක් ඇද හැළෙන්නට විය. සහජාන් ගොඩ මන්ඩි පාරෙන් තම කාමරයට නොගොස් වැවට පැන හරහා පිහිනන්නට විය. ඔහු වැව මැදට ළං වූවා පමණි. හතර වටින් ඊතල මෙන් කිඹුල්ලු පිහිනා ගෙන විත් සහජාන් ඩැහැගති. තරුණ ජවය ඉහ වහා යාම නිසා ඔහුට දිවියෙන් සමුගැනීමට සිදු විය.   


යාල ගලපිටගල අලියාගෙන් පහර නොකා බේරීම   


යාල උද්‍යානයට පිවිසීමට මාර්ග තුනක් තිබේ. තිස්සමහාරාමය පසු කොට කිරින්ද හරහා ගමන් කොට ගොඩේ කලපුව පසු කොට උද්‍යාන කාර්යාලයට ළඟා වන මාර්ගය එකකි. යෝධකණ්ඩිය හන්දියෙන් හැරී සිතුල් පව්ව රාජ මහා විහාරය වෙත වැටී ඇති මාර්ගය දිගේ ගොස් බැඹව ගේට්ටුවෙන් ඇතුල් වී කි​ලෝ මීටර් හතරක් ඉදිරියට යාමෙන් ද උද්‍යාන කාර්යායට යා හැකිය. සිතුව් පව්ව විහාරයේ දොළොස් දහසක් රහතන් වහන්සේලා වැඩ විසූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. අනික් මාර්ගය කතරගම කටගමුව හරහා වැටී ඇත.   
බැඹව (Bambawa) ගේට්ටුවෙන් ඇතුළු වී කිලෝ මීටරයක් ගිය තැන ගලපිටගල හමුවෙයි. ගෝලාකාර දැවැන්ත කළු ගලක් මත තවත් ගෝලාකාර ගලක් තැබුවාක් මෙනි. දහවල් රාත්‍රී ගලපිටගල අලින් ගැවසෙන ස්ථානයකි. නුදුරින් ගලා යන බැඹව ඇළට (Bambawa Ara) බැස දිය බී ශරීරය මතට මඩ දමා ගන්නා අලි ගලපිටගල ළඟට ඇවිත් ගල්වල පිට අතුල්ලමින් පිට කසා ගනිති. ඊට නුදුරින් ඇති පලු ගස් කඳන්වල ද අතුල්ලමින් ශරීරය කසා ගනිති.   


දිනක් දහවල් දහයට පමණ බැඹව සේවා ස්ථානයේ සේවය කළ නියාමක එන්.ඩබ්. ප්‍රේමදාස තම පා පැදියෙන් උද්‍යාන කාර්යාලයට එන්නට විය. ඔහු ගලපිටගල සමීපයට පැමිණියා පමණි. හමු වූයේ පිට කසමින් සිටි කබර වැටී ඇති අලි දෙදෙනෙකි. ප්‍රේමදාස දුටු අලි දෙදෙනා ඔහු පසුපස හඹා එන්නට වූයේ පිට කැසිල්ල නතර කරමිනි. ප්‍රේමදාස මරණයෙන් බේරුණි. ඔහු කළේ පාපැදිය මාර්ගය මැද දමා පැන දිවීමය. හඹා ආ අලියා සයිකලය අසල නතර වී එය පාගා කුඩු පට්ටම් කළේය. ප්‍රේමදාස එක පිම්මේ අධික වේගයෙන් කිලෝ මීටරයක් පමණ දුවගෙන උද්‍යාන කාර්යාලයට පැමිණ බංකුවේ වාඩි වී අත් දෙක දණ හිසේ තබාගෙන හති දමන්නට විය. (වසර 1969).   


ඒ වන විට මා නවකයෙකි. මොකද ප්‍රේමදාස හති දමන්නේ උද්‍යාන භාරකරු ඩෙස්මන්ඩ් වයිට් මහතා ලියමින් සිටි පෑන පසෙකලා ඔහුගේ කතාවට සවන් දුනි.  අනේ බුදු සර් තව ඩිංගෙන් අලියා මාව මරනවා. ගලපිටගල ඉස්සරහදී ඌ මගේ සයිකලේ කුඩු පට්ටම් කළා. හත් දෙවියනේ මගේ සයිකලේ කියමින් වැලපෙන්නට විය. ප්‍රේමදාස වට කර ගත් සේවකයින් අමතමින් වයිට් මහතා වටවෙලා බං ඉන්නේ. මොනවද ඔය මනුස්සයගේ කමිසය ගලවලා බොන්න වතුර ටිකක් දීපල්ලා. හේමසිරි ඩ්‍රයිවර් තව දෙන්නෙක් එක්ක ගිහින් ප්‍රේ‍මදාසගෙ සයිකලේ අරගෙන එනවා. අලියා ඉන්නවා නම් එළවලා දමනවා කීවේය. සර් මමත් යන්නද ප්‍රේමදාස විමසීය.   


නැහැ, අවශ්‍ය නැහැ. ඒ වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වූයේ ලීන්ද අල්විස් මහතාය. අල්විස් මහතා, වයිට් මහතාගේ වාර්තාවක් ලබාගෙන ප්‍රේමදාසට වන්දි හැටියට රුපියල් පහළොවක් රජයෙන් ලබා දුන් හැටි මගේ මතකයේ රැඳී තිබේ. අල්විස් මහතා නැසී ගොසිනි.   


කොටියා වට කර ගත් ඌරු රංචුව මියයන තුරු පහර දෙයි. 

 
වනාන්තරවල කොටියන් දවස ගෙවන්නේ ඌරන් සමග වෛරයෙන්. 1990 මාර්තු මස යාල උද්‍යාන කාර්යාලයට ගොඩ වූ පට්ටනංගල ධීවරයෙක් මා අමතමින් සර් පට්ටනංගල වැල්ල අද්දර කොටියෙක් මැරිලා ඉන්නවා. උගේ ඇඟ පුරාම තුවාල. මට හිතෙන්නේ ඌට උෟරු රංචුවක් වටකරගෙන පහර දීලා වෙන්න ඇති. පටනංගල වනාහි යාල උද්‍යානයේ සංක්‍රමණික ධීවරයින්ගේ වරායකි. යාල උද්‍යානයේ දකුණු සීමාව මුහුදු වෙරළයි.   


මම ඔහුද කැටුව පටනංගලට ගියෙමි. මියගිය කොටියාගේ වලිගය මැදින් කැඩී ඇත. ඇස් දෙක විනාශ වී තිබේ. මහ පොළොව විෂ්කම්භය අඩි 30 ක පමණ ප්‍රදේශය බුල්ඩෝසරයකින් සුද්ධ කළාක් මෙනි. ගස් පඳුරු මුලින් ගැලවී ඇත. පස නගුලකින් අවුස්සා ඇති ආකාරයකි.   


කෙසේ වෙතත් කොටියාගේ කටේ දත් සියල්ල කවුරුන් හෝ ගලවා තිබේ. 2007 වසරේ උද්ගත වුණු සුනාමි (Tsunami) මුහුදු රළ සැඩ පහරින් පටනංගල වෙරළේ සිටි ධීවරයින් සහ විදේශිකයින් 200 ක් පමණ දෙනා මුහුදුබත් වූහ. වර්තමානයේ බංගලාව වෙනුවට ඇත්තේ සුනාමි ස්මාරකයයි.   


පූනානි මිනි කෑ කොටියා අවසන් වූ හැටි  


නැගෙනහිර පළාතේ පූනානි ගම්මානයේ විසූ මිනී කෑ කොටියා පිළිබඳ පුවත භීතියෙන් ඇඟ හිරිවට්ටන කතාවකි. ඒ 1924 වසරයි. පොළොන්නරුව - පූනානි මහා මාර්ගය දෙපස ඇත්තේ රූස්ස ඝන වනාන්තරයයි. පූනානි මිනී කන කොටියා මාර්ගය දෙපස රූස්ස ගස්වලට මුවා වී සිට එක්වරම මහ මඟ යන එන මිනිසුන් වෙත කඩා පැන බෙල්ල සපා කෑමෙන් පසු සිරුර වනාන්තරය තුළට ඇදගෙන යාම පුරුද්දක් කරගෙන තිබුණි. මෙම හිංසාකාරි කොටියා විසින් මරා දමන ලද මිනිසුන් ගණන දහහතරකි. කොටියා කා දැමූ මිනිස් සිරුරුවල ​කොටස් සොයා යාම භයානක කාර්යයක් විය. ඌ විනාශ කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැත. නැගෙනිහර පළාතේ ආණ්ඩුකාරවරයා ඒ සඳහා රු. 100/- ක ත්‍යාග මුදලක් පිරිනමන බව දැන්වීය. කපිතාන් ෂෙල්ටන් අගාර් (Capt. Shelton Agar) හට ත්‍යාග මුදල වැදගත් නොවීය. 

 
ප්‍රදේශයේ ජනතාව කෙරෙහි දැක් වූ අනුකම්පාවෙන් ඔහු අභියෝගය භාර ගත්තේය. අගාර් දින ගණනාවක් වනාන්තරයේ රැකවලේ සිට 1924 ජුනි 19 දින පූනානි මිනි කෑ කොටියාට වෙඩි තබා මරා දැමීය. උගේ සිරුර පදම් කොට මහජන ප්‍රදර්ශනය සඳහා කොළඹ ජාතික කෞතුකාගාරයේ තබා ඇත.