ගාල්ල කොටුවේ සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානය 

 

 

 

ලක්දිව සතර දෙස විහිදී ඇති උරුමයන්ගේ තතු සොයා යන ගමනේ දී හමුවන දෑ බොහෝය. විටක ඔබ හොඳින් දන්නා උරුමයක ඔබ කිසි විටෙක නොදුටු සුවිශේෂී පැතිකඩක් අපි ලංකාදීප පුවත්පතෙන් අනාවරණය කරන ලදී. අද දින සොයා යන්නේද තවත් එවන් සුවිශේෂී නිර්මාණයකි. අපූර්වතම පවතින උරුමයන් ගණනාවක් අතරින් අද දින ඔබ කැටුව යන්නේ ගාල්ල කොටුවේ පිහිටි ලෝක ප්‍රකට ස්ථානයක් කරාය. ඒ වනාහි ගොතික් කලාවේ අපූර්වත්වය නිසාවෙන් ලෝකයේම අවධානය දිනාගත් වසර 148ක් පරැණි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයයි. 


ලෝක උරුම ගාල්ල කොටුව තුළට පිවිසීමට ඔබට මාර්ග දෙකක් භාවිත කළ හැකිය. ඒ අනුව බාලදක්ෂ මාවත ඔස්සේ ගොස් පැරැණි කොටු දොරකඩින් සේම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට යාබදව පිහිටි නව දොරකඩිනි. නව දොරටුවෙන් කොටුවට තුළට ඇතුළු වන ඔබට එහිදී හමුවන පළමු හතරමං හන්දියෙන් වමට හැරී පල්ලිය වීදිය ඔස්සේ මීටර් 50ක් පමණ ගමන් කරන විට ඔබේ දකුණු පසින් පිළිවෙළින් ගාල්ල ජාතික කෞතුකාගාරය, අමන්ගල්ල හෝටලය, ලන්දේසි රෙපරමාදු දේවස්ථානය, ගාලු කියවීම් ශාලාව හා තැපැල් කාර්යාලය පසුකරනවාත් සමඟ එම දිශාවෙන්ම මෙම දේවස්ථානය දැකගත හැකිය. ඔබ බාලදක්ෂ මාවත ඔස්සේ පැරැණි දොරටුවෙන් ඇතුළු වූයේ නම් දකුණු දෙසට හැරී රැජින වීදිය ඔස්සේ ගමන් කර එහි දී හමුවන තුන්මන් හන්දියෙන් වම් පැත්තට හැරෙනවාත් සමඟ ඔබට මෙම දේවස්ථානය දිස්වේ. 


ගාල්ල කොටුවේ ඇංග්ලිකානු දේවස්ථානයේ ඉතිහාසය සොයායන විට ලන්දේසි පාලන සමයේදී මෙම භූමියේ මහේස්ත්‍රාත් උසාවියක් පැවැත ඇති බවත්, පසුව එය ඉවත් කර 1868 ඔක්තෝබර් 30වන සිකුරාදා දින මෙම දේවස්ථානයට මුල් ගල තබා ඇති බවත් සඳහන් වේ. මෙම දේවස්ථානයේ ඉදිකිරීම් භාරව කටුයුතු කළ සැලසුම් ශිල්පියා වූයේ 19වන සියවසේ අගභාගයේ විසූ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ජේම්ස් ජී. ස්මිදර් මහතාය. ඔබ හොඳින් දන්නා කොළඹ ජාතික කෞතුකාගාරයේ නිර්මාණ සැලසුම ද මෙම ශිල්පියාගේ වේ. මෙසේ ඉදිකිරීම් කටයුතු ඇරඹි දේවස්ථානයේ සියලුම ඉදිකිරීම් මාස 27ක් වැනි ඉතා කෙටි කාලයක දී අවසන් කර 1871 පෙබරවාරි 21 දින ආගමික කටයුතු සඳහා විවෘත කර ඇත. 

 

වීදුරු සිතුවම්

 


මෙම දේවස්ථානයේ කිතුගොස ලෝකය පුරා පැතිරීමට ප්‍රමුඛ හේතුව වී ඇත්තේ එහි ඇති නිර්මාණාත්මක ලක්ෂණයි. එහිදී වර්ණවත් වීදුරු සිතුවම්වලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. වර්ණිත වීදුරු සිතුවම් කලාව හෙවත් ස්ටෙයින්ට් ග්ලාස් ලෙස සාමාන්‍යයෙන් ප්‍රචලිත මෙම කලාවට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. වර්ණවත් හෝ අවර්ණ වීදුරු මත රිදී ආම්ලික සංයෝගයක් සහිතව චිත්‍රයක් නිර්මාණය කිරීමෙන් වර්ණිත වීදුරු සිතුවම් කලාව බිහිවේ. මෙම කලාව යුරෝපයේ පල්ලිවල කවුළු හා ප්‍රධාන දොරටුවල ඉහළ කොටස අලංකාර කිරීම සඳහා භාවිතකර ඇත. 


මෙම අපූර්වතම සිතුවම් දැකගත හැක්කේ ගොඩනැගිල්ලේ ඇතුළත සිටම පමණක් වන අතර එයට හේතුව ආලෝකය වීදුරුවට වැටී විනිවිඳ යාමෙන් පමණක් මෙම සිතුවම් දැකගත හැකිවීමයි. මෙම වර්ණිත සිතුවම් කලාව ගොතික් කලාවත් සමග වර්ධනය වන අතර පසුකාලීනව ගොතික් කලාවේම අංගයක් බවට පත්වී ඇත. 


ගොතික් යන වචනය භාවිතයට පැමිණ ඇත්තේ එකළ යුරෝපයේ ගෘහ නිර්මාණ ශිල්පය හැඳින්වීම සඳහාය. ප්‍රංශයේ සෙන් ගඟ ආශ්‍රිතව එල්ඩර් ෆ්‍රන්ස් දූපත කේන්ද්‍ර කොටගෙන මෙම ගොතික් කලාව බිහි වී තිබේ. ගොත්වරු යනු බාබිරියානු ගෝත්‍රික ජන කණ්ඩායමකි. එහි අරුත ම්ලේච්ඡ යන්නයි. මීට වසර 1500 කට පමණ පෙර (ක්‍රි.ව.5 සියවසේදී) ඔවුන් රෝමය ආක්‍රමණය කර එහි කලාව විනාශ කර ඒ වෙනුවට මෙම කලාව හඳුන්වා දී ඇත. එම නිසා ගොත්වරුන්ගෙන් ඇරැඹි කලාව ගොතික් කලාව ලෙස නම් දරා ඇත. මෙහිදී ගෘහ නිර්මාණ ශිල්පය මූලික වුව ද මූර්ති කලාව, චිත්‍ර කලාව සහ වර්ණිත වීදුරු සිතුවම් කලාව ආදී කලාවන් ද ඒ වටා එකතු වී තිබේ. 

 

 


ගොතික් කලාව අනුව යමින් නිර්මාණිත ගාල්ල කොටුව සියලු සාන්තවරුන්ගේ දේවස්ථානයේදී සාම්ප්‍රදායික ආරුක්කවෙන් මිදී කැඩුණු ආරුක්කු සහිත දොරටු හා කවුළු යොදාගෙන ඇත. එනම් අර්ධ චාප දෙකක් උල් ආකාරයට සිටින ලෙස එකට එක්කළ හැඩයක් මෙමගින් දිස් වේ. දේවස්ථානය තුළ ග්‍රැනයිට් පාෂාණයෙන් නිර්මිත දැවැන්තවූත් ඉතා අලංකෘතවූත් කුලුනු 4ක් දැකගත හැකි වේ. දේවස්ථානයේ කවුළු අලංකාර කිරීම සඳහා වර්ණවත් වීදුරු සිතුවම් යොදාගෙන ඇති අතර එම සිතුවම් සඳහා වස්තු විෂය වී ඇත්තේ බයිබලයේ එන විවිධ අවස්ථාවන් සහ සිද්ධීන්ය. එනම් ජේසුස් වහන්සේගේ හා කන්‍යාමරිය මවුතුමියගේ කතා හා සබැඳි නිරූපණයන්ය. මෙම සිතුවම්හි ඒවාහි අනුග්‍රාහකයන්ගේ නම් ද සටහන් කර තිබෙනු දැකගත හැකිය. 


මෙම දේවස්ථානය තුළ එක් පසෙකින් දේවස්ථානය ආරම්භයේදීම භාවිතයට ගන්නා ලද භෞතීස්ම කිරීම සඳහා භාවිත කරන පූජනීය පොකුණක් වේ. එය නිර්මාණිත දිනය එහි පාදමේ යොදා ඇති අතර එය 1868 දෙසැම්බර් 28 ලෙස සඳහන්ය. මෙම දේවස්ථානයේ පළමු පියතුමා පූජනීය ජේාර්ජ් ජස්ටස් සෝඩර් වන අතර එතුමා 1868 වර්ෂයේ සිට 1875 දක්වා කටයුතු කර වයස අවුරුදු 46 දී ස්වර්ගස්ථ වී ඇත. එම පියතුමන්ගේ සොහොන ගාල්ල නගරයේ ටැල්බට් ටවුමේ පිහිටි පැරැණි සුසාන භූමියේ ස්ථාපිත කර තිබේ. 


යුරෝපීය ගොතික් කලාවේ ලාංකේය සලකුණ සනිටුහන් කරන ගාල්ල කොටුවේ සියලු සාන්තවරුන්ගේ දේවස්ථානය කතෝලික බැතිමතුන් පමණක් නොව මෙරට උරුමයට හා කලාවට ලැදි සියලු රසවතුන් දැක බලා ගත යුතුම ස්ථානයක් බව පැවසීම වටී. 

 


කේ. උදේනි අරුණසිරි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, රත්නපුර