සිරිපා වඳින්නට සමනලුන් පියඹායන මංපෙත ඔස්සේ-4

 කුණුදිය ගලට පිටුපසින් ශ්‍රීපාද කන්ද

 

 

වනාන්තරයෙන් සොයාගත් දේශීය ඖෂධ හිස ගල්වා මෝදර ඇළෙන් ස්නානයකර ගමන් විඩාව නිවාගත් අතීත වන්දනාකරුවෝ මෝදර ඇළ අසල ලිපක් තනාගෙන වන්දනාවේ එනවිට ගෙනා මුට්ටිය ලිප තබා රණවරාමල් හෝ බෙලිමල් ටිකක් තම්බාගෙන පානය කර ගිමන් විඩාව නිවා ගත්හ.හිරු මුදුන් වූ මහ දහවලෙත් මෝදර ඇළේ වතුර හිරිගඩු පිපෙන සීතලෙන් යුතුය. වටේ පිටේ ඇති මහ ගස්කොළන් නිසා මෝදර ඇළට හිරු රශ්මිය වැටෙන්නේ නැති තරම්ය. ඒනිසා වැඩි වෙලාවක් මෝදර ඇළේ දියේ ගිලී නොඉඳ ඉක්මනින් ගොඩ එන්නට සියල්ලෝම වග බලාගත්හ. 


කුරුවිට ‘මල්වත්තඕවිට’ රාජකීය මල්වත්තේ මල් නෙළාගෙන සිරිපා පුදට ගෙනගිය සුරංගනාවියන් එහි මුරට සිටි ‘කොටා’ට සිරිපා වඳින්නට යන්න මල් හෙළමින් ගිය මාවත ඔස්සේ එදා ‘කොටා’ ​ෙකසේ ගියාදැයි අද මේ මග දෙස බලද්දී ඒ කතා පුවත පාරම්පරික ජනකතාවක් බව සිතීම අසීරු නැත.


අවුරුදු දහසකට වැඩි පැරණි මේ බෞද්ධ පාරම්පරික ජනකතාව තුළින් පෙන්වූ අරමුණ කරා ගමන් කිරීම සහ අවසානයේ අරමුණට ළඟාවීම යන අවසානය තුළින් ගම්‍ය කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය බව බෞද්ධයන්ගේ නිගමනයයි. සංසාර ගමනේ දී අත්විඳින දුක්ගැහැට, සතුට, වේදනාව, අභියෝග, අතරින් අධිෂ්ඨානය කරා ගමන් කිරීම මේ ‘කොටාගේ’ සිරිපා සොයා යාමේ බෞද්ධ ජනකතාවේ  මුඛ්‍ය පරමාර්ථය වන්නට ඇත.


සැබැවින් ම ඒ බෞද්ධ ජනකතාවේ සඳහන් ඉසව් අනුමාන කරගෙන යද්දී යම්යම් පුරාවිද්‍යා සාධක එහි ඇති බවට සිතිය හැකිය. අද මෙන් ජීපීඑස් තාක්‍ෂණයක් ගැන එදා දැන සිටියේ නැත. එහෙත් සමනල කඳුවැටියේ උසම කන්ද වූ සමනල කන්ද මුදුනට කුරුවිට පැත්තෙන් පහසුවෙන් යාහැකි මග සොයාගෙන අතීත බෞද්ධයා වන්දනාවේ ගියේ පරිසරයේ ගස්වැල්වල, සතා සිවුපාවාගේ සහ සමනලුන් සංචරන රටා අනුගමනය කරමින් ද යන්න ගැන යම් නිගමනයකට ද පැමිණිය හැකිය.


පුරාවිද්‍යා ගවේශකයෙක් සහ ජනශ්‍රැති පර් යේෂකයෙක් වූ ආචාර්ය කමල් අබේවර්ධන මහතා පැවසුවේ තමන් ඇතුලු සිව් දෙනෙක් පුරා සති අන්ත දහයක් දොළහක්  තිස්සේ මේ අතීත සිරිපා මග ඔස්සේ යද්දී ඉපැරණි ගමන් සලකුණු රැසක් හමුවූ බවයි.


“ මේ කියන පරතලාකන්ද හරියත් අයිති වෙන්නේ දෙවන අඩතැන්නට. මෝදර ඇළ අද නම් බොහෝම වියළී ගිය ඇළක්. නමුත් මේ ඇළ අතීත මහ වනාන්තරය තිබුණ කාලේ සීතල දිය පිරුණු ඇළක් වෙන්න ඇති. මේ ඇළ හරහා එගොඩ මෙගොඩ වෙන්න ගල්විදලා යකඩ කණු හිටවලා දම්වැල් දාලා තිබෙන්න ඇති. ගල්විදලා යකඩ දාපු තැන්වල සලකුණු අපිට ඒ අවුරුදු විස්සකට ඉස්සර ගිය ගමනේදී හමුවුණා.”


“හැබැයි අපි විශ්වාස කරන්නේ ඒවා අවුරුදු පන්සියයක් හයසියක් තරම් පැරණි ඒවා කියලයි. ඒ කියන්නේ සීතාවක රාජසිංහ රජ සමයේ යොදපුවා වෙන්න ඇති කියලයි. සීතාවක රාජසිංහ රජසමයේ තමයි ඔය විතාරම්පංගුව, පාගොඩ ආදී ගම් යම් මට්ටමකින් ජනාවාස වූ බවට සාධක තියෙන්නේ.” ආචාර්ය කමල් අබේවර්ධන මහතා සිය ගවේශණ තොරතුරු වලදී හෙළිවූ කරුණු අනාවරණය කළේ ය.


“ඒක ඇත්ත මේ ගලවිදලා ඒවාට යකඩ බස්සවලා සවි ගන්වලා තිබුණේ ඊයම් වගේ ලෝහයකින්. කියලා අපිට තේරුණා.” ආචාර්ය කමල් අබේවර්ධනයන් සමග ඒ ගවේශණ චාරිකාවට එක්වූ එරත්නාගොඩ ඩබ්.කේ. ප්‍රේමදාස මාමා කතාවට අලගු තැබීය.


“අඩි හයෙන් අටෙන් වගේ දුරින් දුරට ගල් විදලා මේ විදියට යකඩ දම්වැල් දාලා තියෙන්න ඇති කියන සලකුණු තිබුණා. සමහරවිට වැහිකාලේට මෝදර ඇළ පිරිලා ඉහළ සිට ආපු වතුර පාරට මේවා කඩලා යන්නත් ඇති.” ප්‍රේමදාස මාමා කතාවට තවත් යමක් එකතු කළේ ය.


“මේ දම්වැල් තිබුණ් තැන ආසන්නයේ ඇළ ඉවුරේ වට අඩි විසිහතක විතර ලොකු හොරගහක් තිබුණා. අවුරුදු තිහකට තිස්පහකට උඩදි මේ හොරගහ කොළඅතු මැරිලා ගිහිං වේළිලා තිබුණා. වර්තමානයේ කුරුවිට ඉඳලා එරත්නට වාහන යන පාරේ  දෙමංහන්දිය පහුකරලා යන විට දකුණු පැත්තේ වැසි සමයට දිය ඇල්ලක් පේනවා. ඒ දියඇල්ල ළඟ මේ කොළවැටුණු ලොකු හොරගහ පේන්න තිබුණා. දැන් අවරුදු තිහ තිස් පහ ඉක්මවූ හැම කෙනෙකුටම මේ හොරගහ මතක ඇති. කොළපාට ගස් අතරින් ඉහළට ඒ මැරුණ හොරගහ ලොකුවට කැපී පෙනුනා.”


“එහෙත් පස්සෙ කාලේ මේවා පුද්ගලික ඉඩම්වලට අයිතියි කියලා ඒ හොරගහ කපා දාලා තිබුණා.” ආචාර්ය කමල් අබේවර්ධන මහතා අමතකවී ගිය කරුණක් සිහිපත් කළේය.
වර්තමානය සලකා බලද්දී මේ කියන මග වැටී තිබෙන්නට ඇත්තේ පාතලස්සකන්ද හරහා විය යුතුය. සමෝච්ච රේඛා විහිදී ඇති ආකාරයට එක් සමොච්ච රේඛාවක් දිගේ තැනිතලා මගක් ඔස්සේ මේ පාර වැටි තිබේ.


“ ඇත්තටම මේ පාර අඩි පාරක් වුණාට යන්න එන්න අපහසු නෑ. අඩු දුරකින් එරත්නට නුදුරු ලස්සෙකන්දේ කොළණිහන්දියට ටිකක් ඉහළින් තියන සීඕ බංගලාව තියන හරියට තමයි මේ පාර වැටිලා තිබුණේ. පාර තිබුණ ප්‍රදේශය දැන් රක්‍ෂිතයක්. රක්‍ෂිතය හරහා ඒ පාරේ එනවිට අපිට පරණ ගෙවල් කිහිපයක නටබුන් හමුවුණා. ලැගුම්හල් එහෙම නැත්නම් අම්බලන්වල යැයි හිතන්න පුළුවන් නටබුන් ඒ අතර තිබුණා. ඒ විතරක් නෙවෙයි පරණ පිඟන්මැටි කෑලි ආදියත් හමුවුණා.” ආචාර්ය කමල් අබේවර්ධනයන් සඳහන් කළේය.
ආචාර්ය කමල් අබේවර්ධනයන් පවසන මේ සාධක හා සසඳා බැලීමේ දී අතීත බෞද්ධයා සිරිපා කරුණාකරන්නට මේ මග යන්නට ඇතැයි අනුමාන කළ හැකිය. වර්තමානයේ එරත්නට යනවිට හමුවන බටතොට හන්දිය, මරුකන්ද, කොළණි හන්දිය ආදී ප්‍රදේශවලට ඉහළින් මේ මග වැටී තිබේ. පැරණි මාර්ගයේ සිට කුරුගඟ ඇත්තේ වඩාත් පහළිනි. නමුත් වත්මන් මාර්ගය කුරුගඟ සමීපයෙන්ම වැටී තිබේ. වර්තමානයේ දිවාගුහාව ලෙස හඳුන්වන ‘බටතොට’ මේ පැරණි මග ඔස්සේ යද්දි වම්පැත්තේ කඳුවැටියේ ඇති බව පෙනේ.
මෝදර ඇළේ පරතලාකන්ද තොටුපළින් එගොඩවී කිසිදු අපහසුවක් නැතිව අතීත ජනයා පැමිණි මග වෙනුවට මෑතකදී හැදුණු වාහන පාර කඳුහෙල් සහ බෑවුම්තරින් වැටී තිබේ.
කොළණි හන්දියට නුදුරු සීඕ බංගලාව අසලින් කොළණිහන්දියේ සිට ලස්සකන්ද හරහා  විතාරම්පංගුවට වාහන යන පාර මාරුවී බෝවිටියගල පාමුලින් විතාරම්පංගුවට අතීත සිරිපා පාර තිබූ බවට බෞද්ධ ජනකතා මූලාශ්‍ර සඳහන් කරයි. නමුත් හැටේ දශකයේ මේ බිම් කොටස් කොළණි වී පෞද්ගලික තේවතු සහ නිවෙස් ඉදිවී කාලයාගේ වැලිතලාවෙන් පැරණි මගක තිබූ සාධක යටපත්ව ඇත. 

 

සමනල අඩවිය

ශ්‍රීපාදය සහ පැදුරුතලාගල කන්ද

පැදුරුතලාගල

 

 


මේ සමොච්ච රේඛා මග ඔස්සේ ඉදිරියට යනවිට නැගෙනහිර දෙසින් සමනල කන්දට ඉදිරියෙන් ප්‍රතාපවත්ව පෙනෙන්නේ කුණුදිය පර්වතයයි. රාත්‍රී කාලයට මේ කුණුදිය පර්වතය දෙස බලන විට සිරිපා සමයේ එම මාර්ගයේ  ආලෝක කළ  විදුලි බල්බ එක නැග්මකින් කඳුවැටියේ ද්‍රෝණිය දක්වා ඉහළට යෙනෙන අයුරු පෙනෙයි. විතාරම්පංගුව පැත්තේ සිට බලද්දී ඉදිරියෙන් ඇති කුණුදිය ගලට දකුණු පැත්තේ ඈතින් කුඩාවට සමනල කන්ද පෙනෙයි.


වත්මන් එරත්නාගොඩින් කුරුගඟ එගොඩවීමෙන් පසු කුරුගඟේ දකුණු පැත්තෙන් ගමන් ගන්නා මේ පැරණි සිරිපා කරුණා කළ මාර්ගය යළි කුරුගඟ පනින්නේ විතාරම්පංගුව පසුකර පලාදෙණිය හොර මූකලානෙනි. එගොඩවන්නේ අඩවිකන්දටය. දැවැන්ත හොරගස් කපා ගඟ හරහා ඒදණ්ඩක් දැමීම ද සිරිපා වන්දනා වාරවල සිදුකරන වකවානු තිබී ඇත. මේ ප්‍රදේශයේ හොරගස් බහුලව තිබූ නිසා හොරමූකලාන යැයි භාවිත වන්නට ඇතැයි පැරැණ්නෝ කියති.  ඉන්පසු සුලු නැග්මකින් හීන් පැදුරුගලාගල කන්ද පාමුලට ගොස් යළි සුලු නැග්මක් සහිතව මහ පැදුරුතලාගල කන්ද පාමුලින් ඉදිරියට සුදුවැල්ල දක්වා දිවෙයි.


සමහරු මෙයට පිදුරුතලාගල යැයි ද කියති. ‘හීන් පැදුරුතලාගල, මහ පැදුරුතලාගල’ යන නම් දෙක සමග කෙනෙකුට සිහිපත් වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ලංකාවේ උසම කන්ද වූ පිදුරුතලාගල කන්දය. මේ කියන පැදුරුතලාගල එය නොවේ. 


වර්තමානයේ සිරිපා පාර වැටී ඇත්තේ මීට හාත්පසින් වෙනස් ආකාරයටය. කරුවිට නගරයේ එරත්න හන්දිය සහ පොලීසිය අතර කොළඹ රත්නපුර පාරේ ඇති පාලමෙන් කුරුගඟ එගොඩ වී යළි එරත්න ගඟබඩින් ඇති පාලමෙන් ගඟෙන් එගොඩ වෙයි. ගඟබඩ පසුකර අඩවිකන්ද හරහා පලාදෙනිය දක්වා වාහන ගමන් කර එතැන් සිට පා ගමනින් ජම්බලගස්යට අම්බලම, සරුවත් අම්බලම, වර්ණගල පසුකර සුදුවැල්ලට ළඟාවෙයි. කුරුවිට එරත්න වත්මන් සිරිපා පාරේ ගමන් කිරිමට අපහසුම කොටස ලෙස සලකන්නේ ද මේ ජම්බලගස්යට අම්බලමට ඉහළින් සරුවත් අම්බලම, වර්ණගල අම්බලම, හරහා සුදුවැල්ලට තරමක් මෙපිටින් හමුවන තැන්න දක්වා වූ නැග්ම කොටසයි. 


ඒ අමාරුකම සුරංගනාවියන්ට ද අතීතයේ දී දැනෙන්නට ඇත. ඒ නිසා ‘කොටාට’ පහසු මගක් පෙන්වමින් පාරට මල් දමාගෙන යන්නට ඇත. මේ හීන් පැදුරුතලාගල, මහ පැදුරුගලාගත කන්දත්, පහළ වූ කුරුගඟ හෙවත් සීත ගඟුලටත් එගොඩින් ඇති කන්ද අතර ඇති ද්‍රෝණිය ඔස්සේ සිරිපා සමයේ පායන දිනවල වන්දනාවේ යන ෂඞ් වර්ණ සමනල රංචු දැක ගත හැකිය. දැඩි විමසිල්ලකින් බැලුවොත් අතරමං වූ සමනලයෙක් දෙන්නෙක් හැර වැඩිපුර සමනලුන් යන්නේ මේ පැරණි සිරිපා කරුණාකළ හින් පැදුරුතලාගල සහ මහ පැදුරුතලාගල කදු පාමුලිනි.


මෑතකදී වර්ණගල ප්‍රදේශයේ දී කුරුගඟ හරස් කර ඇති අතර එතැන වේල්ල තැනීමට බඩුගෙන වාහන ගමනාගමනයට යොදාගෙන ඇත්තෙ හීන් පැදුරුතලාගල සහ මහ පැදුරුතලාගල පහළින් තිබූ පැරණි සිරිපා පාරට පහළිනි. 


ඉංග්‍රීසින්ගේ පාලන සමයේ වර්ණගල ප්‍රදේශය තේ වගාකර ‘ස්ලෝවයාන වත්ත’ ලෙස නම්කර තිබේ.  මේ වත්ත හරහා කුරුගඟ ගල්තලාවක් මතින් දිගටම ගලා බසී. ඉන් නැගෙන පින්නට හිරු එළිය වැටුණු විට ෂඞ් වර්ණයක් දිස් වන නිසා ‘වර්ණගල’ ලෙස පැරැන්ණෝ මේ ප්‍රදේශය හැඳින් වූහ. සුද්දන් හැර සිංහලයන් සහ වත්තේ වැඩකළ දෙමළ ජනතාව කිව්වේ ‘වර්ණගල වත්ත’ කියාය.


වර්තමාන වර්ණගල අම්බලම අසලින් කරුගඟ දෙසට යනවිට අංකාර දියඇල්ලක් හමුවෙයි. ‘මන්නකැටිය’ ඇල්ල ලෙස ද සමහරු එය හඳුන්වයි. එය පහළ දැන් ඇත්තේ ගඟ හරහා බැඳි වේල්ලකි. මෙතනින් එගොඩ 1830 සහ 40 ගණන්වල අතින් තේ අඹරණ කර්මාන්ත ශාලාවක් තිබී ඇත. ඒ ඉංග්‍රීසීන්ගේ සමයේය. ‘ස්ලෝවයාන තේ වත්ත’ ගඟ දෙපස වූ අතර වවා තිබුණේ ‘ඇට තේ’ ය. නමුත් පැන්සයක් සහ සිලිමක පාඩුවක් නිසා සුද්දා මේ තේ වත්ත අතහැර දමා ඇති බව අවුරුදු දෙසීයකට මෙපිට තොරතුරු අනාවරණය කරයි. තේ ෆැක්ටරියේ කොටස් සහ පැරණි ඇට තේ ගස් අදටත් වර්ණගල ප්‍රදේශයේ දක්නට තිබේ.


ඉංග්‍රීසීන්ගේ කාලයේ වාර්ණගල තේ වත්තට පැමිණ ඇති අශ්ව කරත්ත පාර හීන් පැදුරුතලාගල කන්ද පැත්තෙන් ඇති බව කලක් හිමේ කිතුල් මල් මදිමින් ගල් ලෙනක ජීවත් වූ කැලෑ ජෝන් යන අය හමුවීමට ඉරිදා ලංකාදීපය වෙනුවෙන් ගිය අවස්ථාවකදී පැවසුවා මතකය. මාධ්‍යවේදී ක්‍රිෂ්ණ විජේබණ්ඩාරයන් සමග ඒ ගිය ගමනේ දී පැරණි පාරක සලකුණු කන්ද ඉහළ ගලපාමුල තැනින් තැන ඇති බව ‘කැලෑ ජෝන් ’ පෙන්වා දුන්නේය. දැන් ඔහු එහි නැත.  


හීන් පැදුරුතලාගල, මහ පැදුරුතලාගල  සහ සුදුවැල්ල ගත් කල අඩි කිහිපයක උස් පහත්වීමක් හැර මුහුදු මට්ටමේ සිට බලද්දී සම මට්ටමකින් පිහිටි ප්‍රදේශයකි. සුදුවැල්ල හරහා තැනිතලා මාර්ගයක් ඔස්සේ ඉදිරියට ගොස් යළි කුරුගඟ හෙවත් සීත ගඟුලෙන් එගොඩවී මැදහින්න දක්වා පැරණි සිරිපා පාර වැටී තිබී ඇත. වර්තමානයේ සීතගඟුල අම්බලමට උඩින් මේ පැරණි සිරිපා මග පිහිටා ඇතැයි සැලකිය හැකිය. මෙසේ ඉදිරියට යනවිට දකුණු පැත්තේ කුණුදියගල පිහියා තිබේ.


කුණුදියගල ප්‍රදේශයේ භාවනානුයෝගී බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක් වැඩසිටි බවත් උන්වහන්සේට සිරිපා අඩවියේ වළහෙක් පැන නාසයෙන් කොටසක් කඩාගෙන තිබූ බවත්, ‘වළහා පැන්න හාමුදුරුවෝ’ ලෙසින් උන්වහන්සේ හැඳින්වූ බවත් එරත්න ප්‍රදේශයේ වැඩිහිටියෝ කීහ. මාස ගණනකට වරක් උන්වහන්සේ දකින්නට ලැබෙන බව ද ගැමියෝ කීහ. උන්වහන්සේ දුටු බොහෝ වැඩිහිටියන් එරත්න සහ පලාබද්දල ගම්වල තවමත් වෙසෙන බවද ගම්මු කිහ.


“අතීත සිරිපා ගමන් මාර්ගය වැඩි අපහසුවක් නැතුව, කඳුහෙල් නොනැග යන්නට හැකිලෙස සකස කරගෙන තියනවා. මේක අතීත වැසියන්ගේ දැනුම, ඥානය මත තමයි සකස් කරගෙන තියෙන්නේ. වල් වැදුනට ඇත්තටම පහසු පාරවල් ඒවා. අතීත පැරණි පාර වත්මන් පාර තරම් දුර නොවෙන්න පුළුවන්. කැලෑවේ ඇති ස්වභාවික නිවස්නයන් වූ ගල්ලෙන් ආදිය තමයි ඒ අය නවාතැන් පොළවල් විදියට යොදාගෙන තිබුණේ. වැහි කාලයට ගංගා ඇළදොළ දෙගොඩතලා යන නිසා ගමන් මාර්ග ඒවා ළඟින්ම වැටී තිබුණේ නෑ. කඳුකරය වුණාට හැම තැනකම දියපාරවල් තිබිලා තිබුණා. ඒනිසා දොළවල් වලින් ඈත්වෙලා සමාන දුරකින් තැනිතලා මාර්ගයන් ඔස්සේ පාරවල් හදාගෙන තිබුණා.” ආචාර්ය කමල් අබේවර්ධනයන් සිය පර් යේෂණ වලදී තහවුරු කරගත් කරුණු මත පැරණි වන්දනාකරුවාගේ සිරිපා පාර ගැන පැහැදිලි කිරීමක් කළේය.

 

බටතොට ලෙන

සිරිපා මලුවේ සමන් දේවාලයේ පැරණි පිංතූරයක්

 

මහගිරි දඹය

 


සිරිපා කරුණා කරද්දී දෙමළ ජනයා ගැන කෙළින්ම සඳහන් වන ස්ථාන දෙකක් ඇත. ඉන් එකක් කුරුවිට එරත්න පාරේදී හමුවන දෙමළමළහීන්නයි. අනෙක් තැන නම් කුරුවිට එරත්න පාර සහ රත්නපුර පාර මුණගැහී මලුව දෙසට යද්දී හමුවන ආඬියා මළතැන්නයි. 


මේ සම්බන්‍ධ ඉතිහාසය සීතාවක රාජසමයේ සීතාවක රාජසිංහ රජුට සම්බන්‍ධවන කරුණු බව පොතපතේ සඳහන් වෙයි. ශිව ආගම වැලඳ ගැනීමෙන් පසු ශ්‍රීපාදස්ථානයේ අයිතිය හින්දු භක්තික ‘ආඬින්ට’ පැවරූ බව ශ්‍රීපාදස්ථානය පිළිබඳව එන කතාවල ද දැක්වෙයි. මේ පැවරුම නිවැරදි කරන්නට වසර සියයකට වඩා වැඩි කාලයක් ඉන්පසු බිහිවූ මේ රටේ රාජත්වයට ගතවූ බව ද සඳහන්වේ. 


රජුගේ පැවරීමෙන් පසු ‘ආඬි’ නමින් හැඳින්වූ දෙමළ පූජකවරු සමනල අඩවියට යද්දී මුහුණ දුන් යම් අකරතැබ්බයන් සිදුවු ස්ථාන නිසා සමනල අඩවියේ දෙමළ නම්වලින් ඇතැම් ස්ථාන හඳුන්වන්නට ඇතැයි ඉතිහාසඥයෝ පෙන්වා දෙති. ශ්‍රීපාදස්ථානය ‘ශිවනොලිපාදම්’ ලෙස හඳුන්වා ඇත්තේ මීට වසර හාරසිය තිස් නවයට පෙර රජ පැමිණි සීතාවක රාජසිංහ රජුගේ සමයේ දී බවද සඳහන්ය. එහෙත් තථාගතයන් වහන්සේ සමනල කන්දට වැඩම කර වම් සිරිපා සලකුණ තබා ඇත්තේ මීට වසර දෙදහස් හය සියයකට පෙරදී බව බෞද්ධ මුලාශ්‍ර වල දැක්වේ.


සිරිපා මාර්ගයේ මැදහින්න භූ විiාත්මකව ද වැදගත්ය.


‘දෙවන අඩතැන්න නිමවෙන්නේ මැදහින්නෙන්. තුන්වන අඩතැන්න ආරම්භ වෙන්නේත් මැදහින්නෙන්. මැදහින්නෙන් ආරම්භ වන තුන්වන අඩතැන්න ආඬියාමළ තැන්න දක්වාම විහිදෙයි. තුන්වන අඩතැන්න තුළ ඇත්තේ නැග්මක්. ඒක කෙටි දුරක් තුළ වූ නැග්මක්” ආචාර්ය කමල් අබේවර්ධන මහතා පැහැදිලි කළේය.


සීතාවක රජ සමයේ සිරිපා ගිය දෙමළ ජන කණ්ඩායමක සාමාජිකයෙක් අධික සීතල දරා ගත නොහැකිව මිය ගිය ස්ථානය ‘දෙමළමළහින්න’ නම් වූ බව මූඛ වහරේ එන කතාවකි. ‘දෙමළා-– මළ - හීන්න (කුඩා තැනිතලා බිම) ‘දෙමළමළහින්න’ නම්විය. ඒ වගේම සිරිපා යන්නට ගිය දෙමළ ජාතිකයන් පිරිසක් සමග සිටි වැඩිහිටි හින්දු ආගමික නායකයෙක් වු  ‘ආඬි ගුරෙක්’ මියගිය ස්ථානය ආඬියාමළතැන්න නම් විය. ‘ආඬියා- මළ- තැන්න’ ආඬියාමළතැන්න නම් වූ බව දැක්වෙයි. 


තවත් ජනප්‍රවාදයක දැක්වෙන්නේ සීතාවක රාජසිංහ රජු විසින් ශ්‍රීපාදස්ථානයේ අයිතිය හිමිකරගත් ’ආඬින්’ වු හින්දු පූජකවරුන් කිහිප දෙනෙකුටම මරණය අත්වූ තැන ‘ආඬිමළතැන්න’ නම් වූ බවයි. මේවා ජනප්‍රවාද සහ මුඛ පරම්පරාවේ එන කතා ය. 


එරත්න පාරේ දෙමළමළහින්න පසුකරනවිට හමුවන්නේ ඉඳිකටුපාන හෙවත් ගෙත්තම්පානයි. ගෙත්තම්පාන පසුකර කන්ද නගිනවිට බැලුම්ගල හමුවෙයි. වටපිටාව ඉතා ඈතට පෙනෙන නිසා මෙතැන බැලුම්ගල වන්නට ඇත. බැලුම්ගල පසුකර යනවිට රත්නපුර පාර හමුවන හැරමිටිපානයි. එතැනසිට නැවත සමනල කන්ද දෙසට නගිද්දී ආඬියාමළතැන්න හමුවෙයි. එතැන් සිට සමනල කඳු මුදුනට අතීතයේ ගමන් කර ඇත්තේ දම්වැල් ආධාරයෙනි. 


එක්වර නැගී සිටින අංශක අසූවේ ආනතියට ඇති මහ කන්දකි. අද නම් ආඬියාමළතැන්නේ සිට මලුවට නගින්නට සිමෙන්තියෙන් පඩි බැඳ යකඩින් අත්වැටවල් සකසා ඇත. ඒ මීට දශක හතරකට පහකට පෙරදීය. මේ මහගිරි දඹ ඔස්සේ අහැළ කණුව, අහස්ගව්ව පසුකර හුළං කපොල්ලද පසුකර මලුවට ළඟාවී ශ්‍රීපාද පද්මය වන්දනා කළ හැකිය. 
සිරිපා වඳින්දට එන සමනලුන්ට සිරිපා මලුවට එන්නට පින් මදිබව පෙනේ. සමනල කන්ද අවට ඇති තද සුළඟ සමනලයින්ට එහි ළඟාවන්නට ඇති ප්‍රධානම බාධාවයි. දවසේ සෑම වෙලාවේම මේ සු`ළං තත්ත්වය පවතී.


ඒනිසා සිරිපා වන්දනාවේ එන සමනලුන් සමනලකන්දේ හැපී සමනල ජීවිතයෙන් සමුගන්නා බව ජනප්‍රවාදයේ කියවෙයි. සමහර අවස්ථාවල සමනල පිහාටු, මියගිය සමනලයින් සහ සලඹයන්ගේ කොටස් මේ පැරණි සිරිපා මග ඔස්සේ එද්දී හමුවෙයි.


මෙම ලිපිය පළකිරීමේදී මාධ්‍යවේදී වසන්ත කුමාර සහ රංගන ශිල්පී එම්.ජී. කුසුම්සිරි යන මහත්වරුන් ලබාදුන් සහාය  ස්තුති පූර්වකව සිහි කරමි.

 


සටහන සහ ඡායාරූප
අජිත්ලාල් ශාන්තඋදය