
එක්වදෝරයේ වනාන්තරවල ජීවත් වීමට අරගල කරන සතුන් සහ ශාක අතරින් පුංචි පැණි කුරුල්ලෝ කැපී පෙනෙති. මේ වැසි වනාන්තර, පැණි කුරුල්ලන්ගේ පාරාදීසයයි. එකිනෙකට වෙනස් පැණි කුරුලූ විශේෂ සියයක් මෙම වනාන්තර ඔවුන්ගේ නිවාහන කරගෙන ඇත. හැමදාම උදේට, මල් පැණි වෙනුවෙන් පැණි කුරුල්ලන් අතරේ සටනක් පවතී. එක් මලක වරකට ඇත්තේ පැණි ඉතා ස්වල්පයකි. එහෙයින් අරුණලූ සමඟ මලේ පැණි ගැනීමට හැකිවන්නේ ඒ වෙත මුලින්ම පැණි කුරුල්ලාට පමණි.
සුවිශේෂී හොට
හැමෝම එකිනෙකා සමඟ මල් පැණි වෙනුවෙන් සටන් කරද්දී, එක්වදෝරයේ වනාන්තරවල ජීවත් වන එක් පැණි කුරුලු විශේෂයක් සටනක් නොමැතිව පැණි උරයි. මේ පැණි කුරුල්ලා අනෙක් පැණි කුරුල්ලන්ට වඩා වෙනස්ය. තරගකාරී ජීවිතයට මුහුණ දීමට හැකි අයුරින් පුංචි කුරුල්ලා හරි අපූරුවට පරිණාමය වී ඇත. මේ කුරුල්ලා අනෙක් පැණි කුරුලූ විශේෂවලින් වෙනස් වන්නේ සුවිශේෂී දිගැටි හොටක් පිහිටා ඇති නිසාය. එය දිග ඉදි කටුවක් වැනිය. අසිපතක් වැනිය. එහෙයින් මේ කුරුල්ලා හැඳින්වෙන්නේ ‘අසිපත් හොටැති පැණි කුරල්ලා’ යන නමිනි. තම සිරුරට වඩා දිගැති හොටක් ඇති එකම පැණි කුරුලූ විශේෂය වන්නේ ද මේ පැණි කුරුල්ලන්ය.

ගැටුමක් නෑ
වනාන්තරයේ ඇති ශාකවල පිපෙන මල් විශේෂවලින් පැණි ලබා ගැනීම අනෙක් සියයට 99 ක් පැණි කුරුල්ලන්ට කළ නොහැකිය. හේතුව, මල්වල රොන් ඇති කොටස ගැඹුරින් පිහිටීමත්, පැණි කුරුල්ලන්ගේ හොට කෙටි වීමත්ය. එහෙත්, අසිපත් හොටැති පැණි කුරුල්ලාට එය පහසු දෙයකි. සෙසු පැණි කුරුල්ලන් සමඟ ගැටෙන්න අසිපත් හොටැති පැණි කුරුල්ලාට හේතුවක් නැත. අනෙක් පැණි කුරුල්ලන්ගේ හොටට යා නොහැකි තැන්වලට යෑමට, අසිපත් හොටැති පැණි කුරුල්ලාගේ හොටට හැකියාව ඇත. සෙසු පැණි කුරුල්ලන් පැණි ගන්න සටන් කරද්දී, අසිපත් හොටැති පැණි කුරුල්ලා තමන්ගේ පාඩුවේ තමන්ගේ කාරිය කරයි.
අවාසියක්
තමන්ගේ සිරුරේ ප‍්‍රමාණයට වඩා දිග හොටක් තිබීමේ වාසි පමණක් නොව අවාසි ද ඇත. දිග හොටක් තිබීම එය සැමවිටම පිරිසුදුව තබා ගැනීම අසීරුය. එය සැමවිටම අතුල්ලා පිරිසුදු කිරීම කළ යුතුය. එපමණක් නොව, සිරුරේ පිහාටු පිරිසුදු කර ගැනීම කළ නොහැකිය. අනෙක් පැණි කුරුල්ලන් මෙන්, හොට සිරුරේ පිහාටු අතරේ යවා පිරිසුදු කිරීම් කිරීමට නොහැකි හෙයින්, පිහාටු පිරිසුදු කිරීමට අසිපත් හොටැති පැණි කුරුල්ලෝ් වෙනත් ක‍්‍රමයක් භාවිත කරති. ඒ, ඔවුන්ගේ පුංචි පාද ඒ සඳහා යොදා ගනිමිනි. හදිසියේ සිරුරේ කොතැනක හෝ කැසිල්ලක් ඇති වුවහොත්, ඒ සඳහා පුංචි පාද භාවිතා කිරීමට අසිපත් හොටැති පැණි කුරුල්ලන්ට සිදුවෙයි. ඒත් එය ලේසි පහසු වැඩක් නොවේ. පැණි ලබා ගැනීමේ සටන ආයාසයකින් තොරව සිදු කළ හැකි නිසාත්, ඕනෑ තරම් පැණි ලබා ගැනීමට හැකි නිසාත්, අවාසි ගැන පසුතැවෙන්න අසිපත් හොටැති පැණි කුරුල්ලාට ඉඩක් නැත.
ලූසිත ජයමාන්න
බී.බී.සී. ප්ලැනට් අර්ත් ඇසුරිනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd