• අවුරුදු 27 ක් වයසැති වංශාධිපතිනියක් මහ රැජින වෙයි.
  • මෞලි මංගල්‍යයට වියදම පවුම් 15 කෝටියක්
  • ඔටුන්නට දියමන්ති 2783 යි, මුතු ඇට 277 යි, නිල් කැට 18 යි, රතු කැට 5යි, මරාමිණි 11 යි.
  • ඔටුනු පැළඳ වූ එඩ්වඩ් රජතුමාගේ ඔටුන්න බිමට වැටෙන්න යයි.
  • මෞලි මංගල්‍යයට අගමැති ඩඩ්ලි ඇතුළු 64 ක් සහභාගි වෙති. එහි වියදම රුපියල් එක් ලක්ෂ 70,000 යි
  • නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඇන්.ඇම්. රොබට්, මරික්කාර්, විල්මට්, වියදම් ගැන විරෝධතා, දහනායකගෙන් යහපත් ප්‍රතිචාර

 

වයස අවුරුදු 27 ක් වූ එලිසබත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි (Elizabeth Alexandra Mary) නොහොත් දෙවැනි එලිසබත් රැජිනගේ රාජාභිෂේකය සිදු වී වසර 67 ක් සපිරී ඇත. අතිශය චමත්කාරජනක ලෙස පවත්වන ලද උදාරතර මෞලිමංගල්‍යය ලෙස 1953 ජූනි 02 වෙනිදා එම සිද්ධිය අපේ ජාතික පුවත්පතක එය වාර්තා කර තිබුණේ මෙසේය.


දෙදිනක පටන් නොඉවසිල්ලෙන් බලා සිටි ශත සහස්‍ර මහා ජනකායකගේ ඇස් නිවමින් නෛකශ්‍රීන් බැබළෙමින් ස්වර්ණකාන්තියෙන් ජ්වලිත පෞරාණික රාජ මංගල රථයෙහි නැගී බකිම්හැම් රාජ මාලිගයෙන් පිටත් වූ මහ රැජින රාජාභිෂේකය හා ඔටුනු පැලඳීම පිණිස වෙස්ට් මිනිස්ටර් දේව මන්දිරය වෙත පැමිණියාය. උදේ 11.15 ට දේව මන්දිර ශාලාවේ තිරය විවෘත වෙත්ම නිශ්ශබ්දතාවක් පැතිර ගියේය. පීඨය කරා ප්‍රථම කොට ඇතුළුවූවෝ ආගමික නායකයෝය. නිදහස් නිකායයන් සියල්ලකම නියෝජිතවරුන් පිටුපස විවිධ නයිට් පදවි උසුලන්නෝ වූහ. සියල්ලන්ටම පිටුපස ගාටර් නයිට්වරු සිය තැන්ගෙන සිටියහ.
අගමැති පෙරහර ගැන විස්තර කර ඇති අන්දමට අගමැතිවරුන්ගේ පෙරහරේ ප්‍රථමයෙන් ගමන්කළ ඉතාම ළාබාල පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රාජ්‍යය වූයේ ලංකාවය. අපේ අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාට විශේෂයෙන් පැන වූ ආසනයේ වාඩි වූ බවත්, පාකිස්තාන, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, කැනඩාව හා ඒකාබද්ධ රාජ්‍ය ආදී රටවල අග්‍රාමාත්‍යවරු ඊළඟට තමන්ගේ විශේෂ ආසනවල වාඩිගත් බව වාර්තා වී තිබුණි.


එංගලන්තයේ හයවෙනි ජෝර්ජ් රජතුමාගේ අභාවයෙන් පසු එලිසබත් රැජිනගේ රාජාභිෂේකයේ සංවිධාන අරඹන ලදී. 1926 අප්‍රේල් 21 වෙනිදා උපත ලැබූ එලිසබත් කුමරියගේ රාජාභිෂේකය හඳුන්වා ඇත්තේ වංශාධිපතීන්ගේ’ සංදර්ශනයක් ලෙසිනි.
ඔටුන්න මෙන්ම රත්රං සන් කටුවත්, සෙංකෝලයත් සහ අගය කළ නොහැකි ඇඳුම් ආයිත්තම් ප්‍රදර්ශනයක් නිසා මෙය මහා සංදර්ශනයක සිරිය උසුලා ඇත.
1953 මැයි 16 වෙනිදා දිනමිණ’ පත්‍රයේ රූමත් කාන්තාවකගේ පින්තූරයක් පළ වී තිබුණේය. එහි ඡායාරූපයේ වූයේ කාන්තාවක් විශාල පොතක් හිස මත තබාගෙන සිනාසෙන අයුරුය. ඇය සිටින්නේ තමා මහ රැජින කියාය. මහ රැජිනගේ ඔටුන්න තරම් බරැති මේ පොත ඇය හිස මත තබා ගෙන සිටින්නේ ඔටුන්න පැලඳි විට රැජිනට කෙතරම් බරක් දැනේවිද කියා දැන ගැනීමටයි. මෙය මේ කාලයේ ඉංග්‍රීසි ජාතික ස්ත්‍රීන් දහස් ගණනක් කරන දෙයක්ලු‍. එංගලන්තයේ වංශාධිපතීන් පිළිබඳ විස්තර ඇතුළත් මේ පොත රාත්තල් 7 1/2 බරය.


1953 ට එපිට වසර 1000 ක් තුළ මෙසේ රාජාභිෂේක ලැබූ රජවරුන්ගේ සංඛ්‍යාව හතළිහකට අඩු බවිඩයජස්ට් ඔෆ් වර්ල්ඩ් රීඩින්’ සඟරාව උපුටා දක්වන ආනන්ද කුමාර සංස්කරණය කළ පියබස’ සඟරාව (1953) පවසා තිබුණි. එහි දෙවෙනි එලිසබත් රැජින පලඳින ලද ඔටුන්න එඩ්වඩ් රජතුමාට පෙර සැට වසරක් රජකළ වික්ටෝරියා මහ රැජින රාජාභිෂේකය ලැබූ දා පැලඳ වූ අධිරාජ්‍ය කිරීටයම බව එහි පවසා ඇත.
එය දියමන්ති 2783 කින්ද, මුතු ඇට 277 කින්ද, නිල්කැට 18 කින්ද, මරාමිණි 11 කින් හා රතු කැට 05 කින්ද යුතු පැරණි කිරීටයම බව කියා තිබුණි. ආච් බිෂොප්තුමා විසින් රැජිනගේ හිස මත තබන්නේ මොහොතක් පමණක් බවද, එයට හේතුව එය දරා සිටිය නොහැකි තරම් බර නිසා බවත් රාජාභිෂේකට ගිය වියදම පවුම් 15 කෝටියක් බවත් “ඩයිජස්ට් ඔෆ් වර්ල්ඩ් රීඩින්” සඟරාව උපුටා දක්වා ඇත.


එංගලන්තයේ රාජාභිෂේක මංගල්‍ය ඉතිහාසයේ එක් අපූරු සිදුවීමක් 1902 වසරේත් වාර්තාවේ. හත්වෙනි එඩ්වඩ් රජතුමාගේ රාජාභිෂේක මංගල්‍යයේදීය ඒ. එවකට රාජාභිෂේක මංගල්‍යයේ වගකීම් පැවරී තිබූ කැන්ටබරියේ ආච් බිෂොප්තුමා වයෝවාද්ධ කෙනෙකි. එතුමා එඩ්වඩ් රජතුමාගේ හිසෙහි ඔටුන්න පැලඳවීමට ගිය අවස්ථාවේ මහත් අකරතැබ්බකට මුහුණ දී ඇත. බිෂොප්තුමා වෙව්ලන දැතින් රජුගේ හිස මත පැළඳවීමට ගිය ඔටුන්න බිමට වැටීමට ගොස් ඇත. එඩ්වඩ් රජතුමා එය වැටෙන්නට නොදී අල්ලා ගත් නමුත් හිසෙහි පැලඳගෙන ඇත්තේ ඉස්සරහ පස්සට හිටින ආකාරයෙනි.
දෙවැනි එලිසබත් රැජිනගේ රාජාභිෂේකයට සහභාගිව ඇති අමුත්තන්ගේ ගණන 7600 කි. නමුත් එය ලෝකයේ සිටින සුපිරිම ධන කුවේරයාට වුවද මුදල් ගෙවා ලබා ගත හැකි ආරාධනාවක් නොවේ. මේ රාජාභිෂේකය පවත්වන දෙව් මැදුරේ ආසන පිළියෙල කිරීමට පවුම් හාර ලක්ෂයක්ද, බාහිර සැරසිලි සඳහා සැතැපුම් හයක් දිග පෙරහර මත මඟ සූදානම් කිරීමට පවුම් හත් ලක්ෂයක්ද වැයව ඇති අතර ආරක්ෂාව සඳහා සාමාන්‍ය යුද හමුදා සෙබළුන් 20,000 ක් කැඳවා ඇත. විසි ලක්ෂයක් මේ රාජාභිෂේකය සජීවීව හා ටෙලිවිෂනයෙන් දැක ගැනීමට පැමිණි බවද වාර්තා වේ.


මෞලි මංගල්‍යය මූලික ස්ථානය දරන අතිගරු ජෙෆ්රි ෆිසරි කැන්ටබරියේ අග්‍ර බිෂොප්තුමා වැඩම කළ පසු නාවික හමුදා අද්මිරාල් සන්නාහයෙන් සන්නද්ධ වූ එඩින්බර්ග් ආදිපාදතුමා සහ පිරිවරින් පැමිණ ඇත. මේ අවස්ථාව දිනමිණ 1953 ක් වූ ජුනි මස 4 පත්‍රයේ සඳහන්ව ඇත්තේ මෙසේය.
මහ රැජින අග්‍ර බිෂොප් දෙනමකගේ සහාය ඇතිව පැමිණියාය. රන් ගෙත්තමින් අලංකෘත වාටි සහිත ලෝහිත විල්ලු‍දයෙන් නිම වූ මංගල රාජ ඇඳුමින් සැරසී, මහාර්ඝ මැණික්මය ශීර්ෂ පලඳනාවකින් හිස සරසා, කුල කාන්තාවන් සදෙනෙකු විසින් දරාගෙන යන ලද රාජ සාටකය සහිතව සභා ගර්භය වෙත අභිෂේකකරණය හා ඔටුනු පැලඳීම පිණිස පිවිසියා වූ මහා රැජිනියගේ දර්ශනය වර්න විසයාතික්‍රාන්ත වූවකි.
කැන්ටබරියේ අග්‍ර බිෂොප්තුමාත්, යුධ නායක සාමිවරයා අනිකුත් ශ්‍රේ ෂ්ඨ නිලධාරීනුත්, රැජින සිය ආසනය මත වාඩි ගත්පසු ඔබ ශංකා විරහිත එලිසබත් රැජින’ යයි ප්‍රකාශ කොට එතුමියට ඔබගේ ගෞරවය හා සේවය පුදන්නට පැමිණි ඔබ සියල්ලෝ එසේ කැමති වන්නාහු දැයි අසත්ම “එලිසබත් රැජින දෙවියෝ රකිත්වා” යි සභාවෙන් ඝෝෂාව නික්මිණ.

 

 


‘දිනමිණ’ පුවත්පත් 1943 ජුනි 04 බ්‍රහස්පතින්දා පිටුව 05 එදා අතිශය චමත්කාරජනක ලෙස පවත්වන ලද උදාරතර මෞලි මංගල්‍යය වාර්තා කර තිබූ ආකාරයෙන් එකල පුවත්පත් භාෂාව, වාර්තාකරණය පිළිබඳ සමාජ විද්‍යාත්මක විග්‍රහයකට හොඳ උදාහරණයකි.
රාජපාක්ෂික භාවය හා සම්මාන ඔප්පු කිරීමේ වාරය පැමිණියෙන් කැන්ටබරියේ අග්‍ර බිෂොප්තුමා රැජින ඉදිරියේ දණින් සිට එතුමියගේ හස්තය සිප ආචාර කළාය. අනිකුත් බිෂොප්වරුද සිය තැන්වල දණින් සිටියහ. රැජිනිය ඉදිරියේ දණින් වැටී එතුමිය අත මත සිය අත් තබාගත් එඩින්බරෝ ආදිපාදයා (රැජිනගේ සැමියා) වූ මම සියලු‍ කාර්යයන්හිදී ඔබතුමාගේ යාවජීව ගැත්තා වෙමි. විශ්වාසය සත්‍යයෙහි පිහිටා සියලු‍ දැයකින් ඔබ රක්ෂණය කිරීමට ජීවිතය කැප කරමි. දෙවියනි, මට පිහිටවේවා රාජපාක්ෂික සම්මානය පුද කොට නැගිට සිටි එතුමා රැජිනගේ දෙකපොල සිම්බේය. ස්වල්ප විවේකයකින් පසුව මාලිගයේ ඌර්ධව අංගණය කරා මහජන දර්ශනය සඳහා එතුමිය පැමිණියාය. එඩිම්බරෝ ආදිපාදතුමාද දෙදරුවන් වූ චාල්ස් කුමරු හා ඈන් කුමාරියද එතුමිය සමග වූහ. අවට සිසාරා සිටි ඔල්වර හඩ නඟන මහ සමුද්‍රය වන් ජනකාය වෙත සියුමැලි අත වනමින් විනාඩි 7 ක් සී මැදුරු අංගණයෙහි එතුමිය සිටියාය.

 

  • මෞලි මංගල්‍ය දින ලංකාවේ රේස් තරඟ, සංදර්ශන ගිනි කෙළි සංදර්ශන
  • ලංකාවේ ප්‍රථම ලකිසුරුගේ ලංකේශ්වර අභිෂේකය පෙර රජ දරුවන් අනුගමනය කරමින් දළදා සමිඳුන් වැඳ ඇරඹෙයි.
  • ගොක් කොළ තොරන් යටින් ගිය ලකිසුරු මල්වතු අස්ගිරි නායක මාහිමියන්ගේ ආශිර්වාද ලබයි.
  • අතීතයේ අපේ රජදරුවන් අභිෂේක මංගල්‍යය උත්කර්ශවත් ලෙස පවත්වන ලද බව මහාවංශ ටීකාවේ සඳහන් වේ.


වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය වෙත රැජින කැඳවාගෙන ගිය රාජ්‍ය පෙරහරෙහි අග්‍රාමාත්‍යවරුන් පෙරහරෙහි මුලින්ම ගමන් කළේ ලංකාවේ අගමැතිතුමා වූ ඩඩ්ලි සේනානායක මහතාය. ලංකාවේ මහකොමසාරිස් ඊ.ඒ.පී. විජේරත්න මහතා රැගෙන ගිය ලංකාවේ සිංහ ලංඡනය වූ සෙසු සෑම රටකම ලාංඡනවලට වඩා කැපී පෙනුණ බවත් යුධ නාවික, ගුවන් හමුදා පෙරහරෙහි ලංකාවේ හමුදා සේනාංක (පේළියට දොළොස් දෙනා බැගින්) ලෙප්ටිනන්ට් කර්නල් මුතුකුමාර මහතාගේ නායකත්වයෙන් ගමන් කර ඇත. මෞලි මංගල්‍යයට ලංකාවෙන් සහභාගී වූ සම්භාවනීය අමුත්තන්ගේ ගණන 64 කි.


ලංකාවේ මෞලි මංගල්‍ය උළෙල නිමිත්තෙන් උත්සව ගණනාවක් රට පුරා පවත්වා ඇත. රේස් කරත්ත තරඟ මේ අතර ප්‍රධාන වීය. දළුගම කරන්ත රේස් තරඟයට විශේෂ තැනක් ලැබී ඇත. මීට අමතරව නැටුම් සංදර්ශන, කැඩෙට් භටයින්ගේ ආචාර පෙළපාළි, දුගී මගීන්ට ආහාර සංග්‍රහද ඒ අතර විය.
මෞලි මංගල්‍යයේ වියදම් ගැන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී රුවන්වැල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, මතුගම පාර්ලිමේන්තු මන්ත්‍රී විල්මට් ඒ. පෙරේරා, කඩුගන්නාව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.ඒ.ඇස්. මරික්කාර්, කෝට්ටේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොබට් ගුණවර්ධන යන මහත්වරු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගෙන් ප්‍රශ්න කර තිබුණි. අගමැතිතුමා පිළිතුරු දෙමින් මෞලි මංගල්‍යයට ලංකාණ්ඩුවෙන් සහභාගි වූ නියෝජිතයන්ට රුපියල් 1,70,000 ක් වියදම් වූ බවත් මෞලි මංගල්‍යය වෙනුවෙන් ලංකාව සහභාගි වීමෙන් වහල්භාවයක් නොහැඟෙන්නේ යයිද එසේ නොකිරීම අපේ ජාතියට යෝග්‍ය නොවේ යයි පවසා ඇත.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැස් වූ විට එහි සභාපති ඇල්බට් ඇෆ්. පීරිස් මහතා මුලසුන ගත් අවස්ථාවේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා ආණ්ඩුව ආර්ථික පරිහානියට මුහුණ පා සිටින අවස්ථාවක මෞලි මංගල්‍යයට මේසා විශාල මුදලක් වියදම් කිරීම ගැන විරුද්ධත්වය ප්‍රකාශකර ඇත.


රොබට් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ මේ රටේ ධනවතුන් පෞද්ගලික මුදල් තිබෙනවා නම් ඒවා මෞලි මංගල්‍යයට වියදම් කිරීම ගැන තමන් විරුද්ධ නොවන බවය. ගාල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. දහනායක මහතා අදහස් දක්වමින් කියා තිබුණේ මෞලි මංගල්‍යයට අප පොදු රාජ්‍ය මණ්ඩලයේ සිටින නිසා අපේ කෘතඥතාව දැක්විය යුතුව තිබෙන බවත් අප එහි යාමෙන් යටත් බවක් හැඟෙන්නේ නැති බවත්ය.
මෙහිදී අගමැති ඩඩ්ලි සේනානායක මහතා පිළිතුරු දෙමින් කියා ඇත්තේ එංගලන්තයේ සිටින කාලය සඳහා ලංකාවේ නියෝජිත පිරිසට වියදම්වන සියලු‍ම මුදල් එංගලන්ත ආණ්ඩුව දැරූ බවය. අතුරු ඇස්තමේන්තුව ගැන ඡන්දය විමසනු ලදුව මන්ත්‍රීන් 25 දෙනෙකු පක්ෂවද, මන්ත්‍රීවරුන් 9 දෙනෙක් විපක්ෂවද ඡන්දය දීමෙන් එය සම්මත විය.
මේ ආකාරයට මීට වසර 67 එපිට එංගලන්තයේ එසේ රාජාභිෂේක පැවත්වූ අතර ඊට වසර නවයකට පසු එනම් 1962 මාර්තු 02 වෙනිදා ලංකේෂ්වර අභිෂේක ශ්‍රී විභූතිය ගැනද අපේ මතකයට නැඟේ. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ලංකාවේ පළමු වැනි බෞද්ධ අග්‍රාණ්ඩුකරයා වන විලියම් ගොපල්ලව මහතා උඩරට ගිවිසුම අත්සන් කළ සංවත්සර දිනය වන මාර්තු 2 වෙනිදා උදේ මඟු‍ල් බෙරහඬ සහ පිරිත් සජ්ඣායනා මැද ජාතික ඇඳුමින් සැරසී අලු‍ත් ලකිසුරු ලෙස රජ ගෙදරදී දිවුරුම් දෙන ආකාරයිදවස’ පුවත් වාර්තා කර ඇත. 1962 මාර්තු 03 වෙනිදාිදවස’ පුවත්පතට ප්‍රවෘත්ති ලේඛක සුනිල් යසපාල ලියූ වාර්තාව මෙසේය.


ලංකේශ්වරයාණන් වශයෙන් මංගල මොහොතින් වැඩ භාර ගත් බෞද්ධ මහෝපාසක විලියම් ගොපල්ලව උතුමා සහ පිරිවරින් අද මහනුවරට පැමිණ පෙර සිංහල රජ දරුවන් අනුගමනය කළ සිරිත අනුව සෙංකඩග ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ නැමද අස්ගිරි - මල්වතු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පිදීය. පේරාදෙණිය සිට මහනුවර රජ ගෙදර දක්වා මඟ දෙපස පෙළ ගැසී සිටි 15,000 අධික පාසල් ශිෂ්‍යාවන් පෙරදිග සිරිත් විරිත් අනුව නව ලකිසුරුතුමාට ආචාර දැක් වූ අතර එතුමාද ඔවුනට පෙරදිග සිරිත් අනුව ආචාර කළේය.
අනතුරුව රජගෙදරට සම්ප්‍රාප්ත වුණු සම්භාවනීය පිරිස එහි දී දිවා භෝජනය ගත්හ. පසුව දළදා සමිඳු වැඳීම පිණිස නික්මුණු පිරිස මහනුවර කුවීන්ස් භෝජනාගාරය ඉදිරිපිට දළදා වීදියේ තනා තිබූ අලංකාර ගොක්කොළ තොරණ යටදී පෙරදිග චාරිත්‍රානුකූලව මහත් හරසරින් පිළිගන්නා ලදී.


නව ලකිසුරුතුමා හා එම මැතිනිය සුදු මල් බඳුන් ගෙන ගොස් දළදා සමිඳුන් පුදද්දී මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයේ මහානායක හිමිවරු ප්‍රමුඛ සංඝයා වහන්සේ සෙත් පිරිත් දේශනා කළ බවත් ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගෙන මහනුවර මහා විෂ්ණු දේවාලයට ගොස් ආශිර්වාද ලැබූ බවත් වාර්තාවේ.
නව ලකිසුරුතුමා එදින උදෑසන ජනතාව අමතා ඇත.

 

 


ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරයා වශයෙන් අද දවසේ ලක්වැසි ජනතාව අමතා මා කතා කරන්නේ ඉතාමත් නිහතමානී හැඟීමකින්. මට භාරගන්නට නියම වුණු මේ පදවියට අදාළ වගකීමේ බැරෑරුම්කම මම හොඳින් දන්නවා. මේ පදවිය පිරිනැමීමෙන් මා කෙරෙහි තැබූ විශ්වාසය ගැන මගේ කෘතගුණය මහ රැජිනිය වෙත සැළකර සිටින අතරම මට පැවරී ඇති භාරධූර මෙහෙවර රට වෙනුවෙන් ඉටු කිරීම සඳහා තම අවබෝධයත් සහයෝගයත්, උපකාරයත් දෙන මෙන් ලක් මාතාවගේ දරුවන් වන මගේ සහෝදර සහෝදරියන්ගෙන් මම ඉල්ලා සිටිමි.


මේ මෙහෙවර මා බාර ගත්තේ නිරහංකාරව මගේ රටට සේවයක් කිරීමේ හැඟීම ඇතිවයි. ගරු අගමැතිනියගේ රජයටත්, ලක්වැසි මහජනතාව වන තමුන්නාන්සේලාටත් මාගේ නිරවශේෂ පක්ෂපාතකම ගැන අද දින ප්‍රතිඥවක් දෙනවා.
“ලංකේශ්වර අභිෂේක ශ්‍රී විභූතිය” දවස පුවත්පතේ උපකර්තෘවරයකු, කවියකු, ගීත රචකයකු වන සිරිල් ඒ. සීලවිමලයන් කවි පන්තියකින් විස්තර කර තිබුණේය. මේ එහි කවියකි. සුසිල් ප්‍රේමරත්න තනුව යොදා ලතා සමඟ ගැයූ රූරැසේ අඳිනා ලෙසේ ගීතයේ තාලය මේ කවියෙන් ඇසේ.


පුන් කලස් පොල් මල් පුරා ඇති
රන් පටින් බැඳෙමින් දිලෙයි
නන්වමින් නව සිරිය ජාතික
දජය කොඩි සේසත් සැලෙයි
පෙන්වමින් හෙද බලය මල්කම්
සමග නෙක ලියකම් වෙළෙයි
සුන්දරයි මංඩපය අබිසෙස්
සියලු‍ ඇස් ඒ දෙස බැළෙයි


අභිෂේක මංගල්‍ය අතීතයේ අපේ පැරණි රජ දරුවන් විසින්ද උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලද බව මහා වංශ ටීකා ග්‍රන්ථවලින් පැහැදිලි වන බවත්, ලක් රජුන් හට මෙය ඇබ්බැහි වී තිබුණේද මෙයට අවුරුදු දෙදහස් ගණනකට පෙර මධ්‍යම ඉන්දියාවේ සිටි මෞර්ය වංශික රජුන් අතර පැවති අභිෂේක මංගල්‍ය ක්‍රමය බව පැවසේ.


‘අතීතයේ අභික්ෂක මංගල්‍යය” නමින් ප්‍රවෘත්ති කර්තෘ මාණ්ඩලික වෝල්ටර් සිරිමාන්න විසින් ලියූ මහරැජිනගේ මෞලි මංගල්‍යය සමරන 1953 ජුනි 01 වෙනිදා ජනතා’ පත්‍රයට ලියූ ලිපිය අනුව ධර්මාශෝක අධිරාජයාණන් විසින් ස්වකීය කල්‍යාණ මිත්‍ර වූ දෙවන පෑතිස් රජතුමා දවස එතුමා හට අනුග්‍රහය පිණිස අභිෂේක මංගල්‍යය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු මංගල චාරිත්‍ර විධි විස්තර කොට දක්වා ඒ සඳහා අවශ්‍ය මංගල සම්මත වස්තූන් ද ලංකාවට එවන ලදී.


රාජාභිෂේක දෙකක හැටි. එකක් එංගලන්තයේ අනික ලංකාවේය.

 


ඒ.ඩී.රන්ජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්