පීලි ගලවා ඉවත් කළ දුම්රිය පාරක් දිගේ ගමනක්

 

ගුරුපස්ගොඩ බෝක්කුව යට

දෙහිඕවිට ආසන්නයේ ඇති අහස් බෝක්කු යුගළය

දෙහිඕවිට ආසන්නයේ අහස් බෝක්කුවක්

 

 

පසුගිය වසරේ අවසන් මාසය පුරාවට ඔබ වෙත ගෙන ආවේ නුවරඑළියට පුංචි කෝච්චිය ගිය ආකාරය ගැන වන නමුත් මෙම ලිපි පෙළ මගින් අප සොයා ගියේ ලංකාවේ පුංචි කෝච්චිය ගමන් ගත් තවත් අපූරු ඉසව්වක් වෙතය. 

 
කැලණි වැලි දුම්රිය මඟ (KV line) යනු වර්තමානයේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් දැක්නට ලැබෙන දුම්රිය මගක් වුවද මීට වසර 115 කට පෙර සුදු ජාතිකයින් විසින් කොළඹ සිට අවිස්සාවේල්ල හරහා යටියන්තොටට දුම්රිය මාර්ගය විවෘත කරන ලදි. එම සුන්දර මගේ අවිස්සාවේල්ල සිට යටියන්තොට තෙක් ඉතිරිව ඇති නටබුන් සොයා මෙසේ අපි පිය මැන්නෙමු. 

 
වර්තමානයේ එකම දිස්ත්‍රික්කයක් තුළ ඉතිරිව තිබෙන දුම්රිය මාර්ගයක් වනුයේ කැලණි වැලි දුම්රිය මාර්ගයයි. මීට වසර තිහ හතළිහකට එපිට වනතුරුම කැලණිවැලි යනු පටු දුම්රිය මාර්ගයක් ලෙස පැවතුණි. කැලණිවැලි මාර්ගයේ ආරම්භය මීට වසර 118 ක අතීතයකට දිවයන අතර සුපුරුදු පරිදි මෙම සුවිශේෂී නිර්මාණයත් සුදු ජාතිකයන්ගේ විශිෂ්ට නිමැවුමකි. මන්ද මෙහි ප්‍රධාන කාර්යය වූයේ ගමනාගමනය සේම තේ කෝපි සහ රබර් ප්‍රවාහනයයි. පටු දුම්රිය හා එහි ලක්ෂණ ආදී සවිස්තර තොරතුරු අප මීට මසකට පෙර නුවරඑළි ලිපි පෙළේ සඳහන් කළ අතර නුවරඑළි දුර්ග මාර්ග හා සැසඳීමේදී අවිස්සාවේල්ලේ දුර්ග හෝ දුෂ්කර වංගු සහිත මාර්ග නොතිබුණි. නමුත් පිරිවැය සහ පහසුව මූලික කොට ගනිමින් එවකට ආණඩුකාරවරයා මාර්ගයෙන් උඩුපුස්සැල්ලෑව මාර්ගය තනන වකවානුවේම කැලණි වැලි මාර්ගය ද තැනීම ආරම්භ වුණි.   


බ්‍රිතාන්‍ය වකවානුවේ වාසය කළ ලංකාවේ ප්‍රධාන නේවාසික ඉංජිනේරු පී.ආර්. මැක්නිටොප් විසින් වර්ෂ 1899 ජුලි මස 22 වන දින කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් වාර්තාව ආණ්ඩුකාරවරයාට යවන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1900 මාර්තු මස 22 වන දින කැලණි වැලි දුම්රිය මගේ ඉදිකිරීම් ඇරඹුණි. කොළඹ කොටුව මූලික කර ගත් ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය තුළ පවතින අවසන් වේදිකා යුගළය හිමි වන්නේ කැලණි වැලි දුම්රිය මාර්ගයේ කටයුතු සඳහා පමණි. කොළොම්තොට කොන්ක්‍රීට් වනාන්තරය මැදින් දුව යන වර්තමාන දුම්රිය මාර්ගයේ එදා මෙන්ම අදත් භාවිත කරන්නේ පැරණි ටැබ්ලට් සංඥා ක්‍රමයයි. කැලණි වැලි මාර්ගය කොළඹ සහ ආසන්නතම ප්‍රධාන නගර යා කරමින් නැගෙනහිර දෙසට දිව යන්නේ බොහෝ විට ප්‍රධාන ප්‍රවාහන මාර්ගයකට සමාන්තරවයි. දුම්රිය මඟ තැනීම ආරම්භ කර වසර දෙක හමාරක් ගත වු පසු වර්ෂ 1902 සැප්තැම්බර් මස 15 දින කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා ප්‍රථම දුම්රිය ගමන ආරම්භ කරන ලදි.   


අතීතයේ කැලණි වැලි දුම්රිය මඟ ලෙස සැලකුණේ කොළඹ සිට ඕපනායක දක්වා කැලණි වැලි සබරගමු සැහැල්ලු දුම්රිය මඟ ලෙසිනි. එම මගේ මුළු දුර සැතපුම් 87 ක් විය. ගල් අඟුරු භාවිතයෙන් ගමන් ගත් දුම්රිය අවිස්සාවේල්ලෙන් පසු ඕපනායක සහ යටියන්තොටට වෙන වෙනම මාර්ග ලෙස බෙදී ගමන් කළේ අලංකාර පාලම් සහ අහස් බෝක්කු සමූහයක් මතිනි. යටියන්තොටට දිවෙන මාර්ගය තුළ පමණක් මෙම නටබුන් සොයා යන මඟේ හමු වූ අලංකාර ආරුක්කු බෝක්කු ගණන තිහකට අධික විය. වසර 115 ක් ගත වුවද එම සුවිශේෂී නිර්මාණ තවමත් නොසැලී සවි ශක්තියෙන් තිබීම පුදුමය දනවන්නක් විය. මන්ද සියලුම බෝක්කු තනා තිබුණේ එකම ආකාරයකටය. විශාල ගල් කුට්ටි එකිනෙක පිට තබා දෙපසට හොඳින් අත්තිවාරම් වන ලෙස මෙම බෝක්කු සහ පාලම් සියල්ල තනා තිබුණේ උඩරට දුම්රිය පාලම් පරිද්දෙනි.   


අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය වර්තමානයේ කැලණි වැලි මගේ අවසානය සනිටුහන් කරන ස්ථානය වුවද අතීතයේ මෙහි ප්‍රධාන දුම්රිය මංසන්ධියක් තිබුණි. එහිදී අවිස්සාවේල්ලේ සිට දකුණට බරව කෙළින්ම ඕපනායකටත් වම් පසින් හැටන් මාර්ගය හරහා ගොස් යටියන්තොටටත් ලෙස මාර්ග බෙදුණි. එම මාර්ග බෙදීම අද වන විට වසා දමා ඇති ආකාරය එහි ගිය අපට දක්නට ලැබුණි. යටියන්තොටට මාර්ගය සීතාවක ගඟට උඩින් ගමන් කළ ද එය අටුලුගම දී කැලණි ගං මිටියාවතේ දකුණින් ගමන් කළේය. දුර්ග මාර්ග නැති වුවද අවිස්සාවේල්ල සිට දෙහිඕවිට වනතුරු දුම්රිය මඟ ගමන් කළේ වර්තමාන හැටන් මාර්ගයට මීටර් 5 ක් පමණ ඉහළිනි. මීට වසර 76 කට පෙර ආර්ථික පාඩු මත වසා දැමුණු දෙවන දුම්රිය මඟ වන යටියන්තොට පටු දුම්රිය මාර්ගයේ නටබුන් සොයා යන ගමන අප ආරම්භ කළේ අවිස්සාවේල්ල සිට ය.   

 

ඉහළ තල්දූවේ ඇති පාළමක්

 

පැරණි දෙහිඕවිට දුම්රිය ස්ථානය

 

ඉහළ තල්දූවෙන් පැමිණි දුම්රිය මාර්ගයට ඉසිපතානාරාමය අසළින් හැටන් මාර්ගය හමුවන ස්ථානය

 

 


අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ කෙළවර යටියන්තොට මාර්ගය වසා දමා ඇති අතර එහි එකල ගල් අඟුරු දුම්රියට ජලය සැපයූ ටැංකිය අදටත් දක්නට ලැබේ. අවිස්සාවේල්ල සිට වර්තමානයේ ප්‍රධාන මාර්ගය හරහා වම් පසට දුම්රිය මඟ හැරී කෙළින්ම දිව ගියේ විද්‍යාල මාවතටය. වර්තමානයේ විද්‍යාල මාවත අතීතයේ මුළු මනින්ම මහ වනය මැදින් ගිය මාර්ගයයි. මේ වන විට කාපට් ඇතිරූ විද්‍යාල මාවත යනු අතීතයේ සෘජුවම යටියන්තොටට පටු දුම්රිය ගිය මාර්ගයයි. යතුරුපැදිය මගින් එම මාර්ගයේ ගමන් කිරීම ආරම්භ කළ අප හොඳින් විමසිලිමත් වූයේ බෝක්කු වෙතය. මන්ද වර්තමානයේ පවා පවතින බෝක්කු යනු අතීතයේ දුම්රිය මඟ වෙනුවෙන් තනන ලද මේවාය. එසේ යන විට මාර්ගයේ දකුණින් කුඩා නාන තොටුපළක් ළඟ පළමු බෝක්කුව දැක ගැනීමට අපට හැකි විය.   


එම බෝක්කුව දෙපස ගස් අතු දමා ජරා ජීර්ණ වී තිබුණත් අතීත ගල් කුට්ටි රඳවා සකස් කළ නිර්මාණය හොඳින් තිබුණි. ඊට සමු දී තවත් ඉදිරියට යන විට අපට දැක ගැනීමට හැකි වූයේ සමස්ත දුම්රිය වගේම දිගම පාලම පිහිටි ස්ථානයයි. තල්දුව නගරයට ළංවත්ම සීතාවක ගං කොමලිය මතින් තනා තිබූ පාලම මීටර 30 කට වඩා දිගින් යුක්ත විය. එය තවමත් රඳා පවතින්නේ සුදු ජාතිකයන්ගේ නිර්මාණ කෞශල්‍යය මතය. සීතාවක ගඟ මත ඉදි කළ දැවැන්ත ගල් කණු ආධාරයෙන් ඉහළටම එසවුණු පාලම දෙපස පැරණි රේල් පීලි දමා අත්වැට තිබුණද පාලමට යටින් පැරණි දුම්රිය මඟ නටබුන් දැක ගත හැකි විය. කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර ප්‍රධාන මාර්ගයට දායාද වූ මෙම පාලම උඩින් දුම් දමාගෙන ගිය පුංචි කෝච්චිය යකහටුවාව කන්දට කදිමට දැක ගත හැකි බව සිතුණි. සිරිපා අඩවියෙන් පැන නඟින දියෙන් පෝෂණයෙන් වන සීතාවක ගඟ කැලණි ගඟට එකතු වන අතර යටියන්තොට මාර්ගය කැලණි වැලි දුම්රිය මගේ තවත් විහිදුවීමක් විය.   


තල්දුව නගරයෙන් එළියට පැමිණෙන දුම්රිය හැටන් පාර දෙවන වරට හරහා යමින් මගේ දකුණ පසින් දිවයයි. අප ද එම මගේ යතුරුපැදිය මගින් හිමි හිමිහිට ගමන් කරන විට වර්තමාන අතුරු මාර්ගයට මීටර් 3 ක් 4 ක් ඉහළින් පටු දුම්රිය ගමන් කළ චතුරශ්‍රාකාර අහස් බෝක්කුවක් දක්නට ලැබුණි. එහි උඩ ගස් වැවී කැලයක් වී තිබුණු නමුත් පහළින් යකඩ පීලි ආදිය දක්නට ලැබුණි. වක්‍රාකාරව පාදම් බිත්ති ගල් කුට්ටි මගින් තනා තිබූ අතර ඒවා ද කිසිදු කැඩීමක් නොමැතිව හොඳින් තිබුණි. ඒ අසලම නිවාස රාශියක් තිබුණද අතීතයේ මෙම මඟ තිබුණේ වනයක් මැදින් විය. මෙම මඟ තවත් මීටර් 500 ක් පමණ ගිය පසු ගුරු පස්ගොඩ දී දුම්රිය මඟ නැවත හැටන් පාර හරහා ගොස් වම් පසට දිවෙයි. අරඹට යන පාර අසල තිබූ බෝක්කුවෙන් පසු අපට හමු වූ ඊළඟ බෝක්කුව තිබුණේ හැටන් මඟට වම් පසින් ගුරු පස්ගොඩ නම් ස්ථානයේය.   


​ෙම් අසල දී අපට සුවිශේෂී පුද්ගලයෙකු හමු විය. ඔහු ගුරු පස්ගොඩ පදිංචි වැඩිහිටියෙකි. 1936 උපත ලබා ඇති ඔහු සතුව වසර 6 ක මතකය තිබුණි. තවද සුහද පිළිසඳරක වැටුණු පසු අප ඔහුද කැටිව තල්දුව ඇතුළු මාර්ගයක් ඔස්සේ සම්පූර්ණ දුම්රිය මග දිගේම ගමන් කළේ තැඹිලියානේ පංසල දක්වාය.   


වික්‍රමසිංහ මාමා සිය කට හඬ අවදි කළේ මෙලෙසය. ‘ඉස්සර අපේ තාත්තා වැඩ කළේ ටෙලිකොම් එකේ. ඉස්සර එකට කිව්වේ කම්බිය කියලා. තාත්තා වැඩ ඇරිලා එන්නේ මේ පුංචි කෝච්චියේ. ගුරු පස්ගොඩ හරියේදී අපි යනවා කෝච්චිය එන වෙලාවට පාර ළඟට. තාත්තා බෑග් එක විසි කරලා තල්දුවෙන් බහිනවා. මම ඉපදුණේ 1936. ඒ හින්දා ගොඩක් ලොකු මතකයක් නෑ. ඒත් හොඳට මතකයි මේ කෝච්චිය ගියේ හෙමින්. පුංචි කෝච්චියක් හින්දදෝ වැඩිය සෙනඟ එහෙම හිටියෙත් නෑ. මම එක පාරක් වගේ ඕකෙන් ගිහින් තියෙනවා මතකයි. පස්සේ ලොරි වලින් තේ රබර් ගෙනියන එක ලෙහෙසි වුණා හින්දා මයේ හිතේ ඔය පාර වැහුවා.   


ඉන් පසු අප ළඟා වූයේ කුඩා කොස් ගසක් සහිත ප්‍රධාන මාර්ගයෙන් වම් පස පිහිටි ඉඩමකටයි. වික්‍රමසිංහ මාමාගේ දියණියක් ඒ අසල ජීවත් වන අතර එහි අලංකාර විශාල බෝක්කුවක් විය. මෙලෙස අප බෝක්කුවක් යනුවෙන් අදහස් කරන්නේ වර්තමානයේ අප දන්නා මග තොට ඇති අඩි 5 ක් පමණ පළලැති බෝක්කු නොවේ. මේක ප්‍රධාන මාර්ගයට ඉහළින් තැනු තරමක් විශාල දිය දහරාවන්ට ඉහළින් පිහිටවන ලෙස ගල් කුට්ටි ආධාරයෙන් ආරුක්කු හැඩයට නිම වන ලද පාලම් වැනිය. මෙවැනි පාලම් රාශියක් අදටත් මෙම ප්‍රදේශ තුළ දක්නට ලැබෙන අතර ඒවා තවමත් දෛනික ප්‍රවාහන කටයුතු සඳහා ඇතැම් ප්‍රදේශවල මාර්ග පද්ධති ලෙස භාවිත කෙරේ.   


වික්‍රමසිංහ මාමා සමග අප ඉහළ තල්දුවේ තරමක් විශාල පාලමක් වෙත ගිය අතර එම පාලමේ යකඩ නටබුන් හොඳින් දක්නට ලැබුණත් ප්‍රදේශයේ පවුල් කිහිපයක අවශ්‍යතාව මත පාලම අතුරු මාර්ගයක් ලෙස යනු වස් එහි ඉහළ කොන්ක්‍රීට් දමා තිබුණි. මීටර් 8 ක් පමණ දිගැති මෙම පාලම යටින් ද අලංකාර දිය දහරාවක් ගලා යන අතර ප්‍රදේශය පුරා තේ වතු සහ නිවාස පිහිටා තිබේ. ඉන් පසු අප ඉහළ තල්දුවේ මෙම අතුරු මාර්ගය දිගේ තැඹිලියානේ විහාරය දක්වා ගමන් කළේ මීට වසර 76 කට පෙර පුංචි කෝච්චිය දිවූ මාර්ගය මෙය වූ බැවිනි. ඉන් පසු අප ළඟා වූයේ තවත් කුඩා බෝක්කුවක් අසලටය. මෙහි යටින් දිය දහරාවක් ගලා නොයන නමුත් පළළ අඩි 4 ක් පමණ විය. කටු අකුල් ගස් අතු අතරින් පරිස්සමට ඒ යටට රිංගා ගත් අතර යම් සටහනක් පිණිස විපරම් කළ ද තවමත් නොකැඩී පවතින ගල් කුට්ටි නිර්මාණය පමණක් දක්නට ලැබුණි.   


තව දුරටත් ඉහළ තල්දුව මාර්ගයේ ගමන් කරන විට මාර්ගය මත අලංකාර විශාල ආරුක්කු අහස් බෝක්කු රාශියක් දක්නට ලැබුණි. මෙම නිර්මාණ සාදා ඇත්තේ උඩරට මාර්ගයේ පාලම් සැදු ආකාරයටය. විශාල හතරැස් ගල් කුට්ටි එක පිට එක තබා දැඩි ශක්තිමත් ලෙස නිමවා ඇති හෙයින් කිසිදු අමතර ප්‍රතිසංස්කරණයකින් තොරව මෙම පාලම් අද වන තුරු තිබීම පුදුම දනවන සුුලුය. සෑම ස්ථානයකම තිබූ බෝක්කු යටින් ගියේ මිනිසුන් ඉවත ලන ජලප්‍රවාහයක් නොවූ අතර ඒවා වනය තුළින් ගලා එන ස්වභාවික ජල මූලාශ්‍ර විය. වික්‍රමසිංහ මාමා පවසන පරිදි මෙම පුංචි කෝච්චියේ මතක ඇති වැඩිහිටියන් සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඉහළ තල්දුව මාර්ගය කාපට් අතුරා ඇත්තේ අතීතයේ කෝච්චිය ගිය පාර මතිනි. අතීතයේ මෙම ඉසව්ව වන පියසක් වූ නමුත් මේ වන විට දෙපසම නිවාස පිහිටා තිබේ.   


ක්‍රමයෙන් අපි ඉහළ තල්දුව මාර්ගයේ අවසානය එනම් තැඹිලියානේ විහාරය අසලට මාර්ගය සේන්දු වන මංසන්ධියට ළඟා වන්නට වීමු. එහිදී මීටර 200 කට එහායින් මාර්ගයේ දකූණු පස ඈතින් හැටන් පාර ගමන් කරනු දැක ගත හැකි විය. තැඹිලියානේ විහාරය අසලින් දුම්රිය ගමන් කළේ සෘජුවම හැටන් මාර්ගය හා සමාන්තරවය. දුම් කැරලි දමාගෙන ඉහළ තල්දුවේ තරමක් ඉහළින් පැමිණි පුංචි කෝච්චිය මෙතැන් සිට තවත් කිලෝ මීටරයක් පමණ ගමන් ගන්නේ ප්‍රධාන මාර්ගය හා සමාන්තරවය.   


මෙම ස්ථානයේ සිට අප හැටන් මඟ ඔස්සේ ඉදිරියට ඇදෙත්ම වම් පසින් විශාල ගල් වැටි දක්නට ලැබුණි. මේ වන විට නිවාසවල බිම් අත්තිවාරමට යොදා ගෙන ඇති නමුත් දුම්රිය මඟ මීටර් 3 ක් පමණ ඉහළින් ගමන් කළේ මේ ගල්  බැම්ම මතිනි. ගල් බැම්ම මීටර 500 කට ආසන්නව දිගින් එක එල්ලේ තිබුණි.   


එ් අසලම අලංකාර අහස් බෝක්කුවක් තිබුණු අතර එ් යටින් විශාල දිය දහරාවක් ගලාගෙන යන ලදි. නිවාස පේළියක් පිටුපසට ගොස් ජල පහරට බැස එම බෝක්කුව යටට පැමිණ එහි ඡායාරූප ගත් පසු අප පිටත් වූයේ දෙහිඕවිට දුම්රිය ස්ථානය සොයාගෙනය. ඒ යන අතරතුර ආරක්කු දෙකේ බෝක්කුවක් ප්‍රධාන මාර්ගය අසලම දැක ගත හැකි වූ අතර එම බෝක්කු ඉහල මාර්ග සංවර්ධන කාර්යාලයක් ස්ථාපනය කර තිබුණි. දෙහිඕවිට නගරය තෙක් විශාල ප්‍රමාණයේ අහස් බෝක්කු 5 ක් පමණ දැක ගත් අතර ඒ සියල්ල ජනාවාස අසල තිබූ අතර ඒවා වන ගත වී හමාරය. නමුත් ඒවායේ පෙනුම සහ සුන්දරත්වයේ කිසිදු අඩුවක් දක්නට නොලැබුණි.   


පුංචි කෝච්චියේ ප්‍රධාන මාර්ගයේ හා සබැඳිව දෙහිඕවිට නගරය පසුකර තවත් කිලෝ මීටරයක් පමණ ගිය පසු දුම්රිය නැවතුම්පොළ නිමවා තිබුණි. වර්තමානයේ එම ගොඩනැගිල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලය වන අතර තට්ටු දෙකකින් සමන්විත එම ගොඩනැගිල්ල මුළුමනින්ම පැරණි දුම්රිය ස්ථානය විය. එහි ටිකට් කවුළුව පවා තිබූ අතර ගොඩනැගිල්ලේ දෙපස 1930 සහ ජුලි ලෙස කොටා තිබුණි. එම ගොඩනැගිල්ලේ පාදම සකස්ව තිබුණේ පාලම් සකස් වූ ලෙස ගල් කුට්ටි මතිනි. තවමත් එදා තිබූ දැව පඩිපෙළ පාවිච්චියේ තිබූ අතර යටියන්තොට මඟේ තිබෙන දුම්රිය ස්ථාන සියල්ල තට්ටු දෙකේ ගොඩනැගිලි ලෙස නිමවා තිබීම සුවිශේෂී විය.   

 

ගුරුපස්ගොඩ ඇති කුඩා බෝක්කුවක්

තල්දූව විද්‍යාල මාවතේ ඇති දිගම පාලම

 

 


මීළඟ සතියේ ඉතිරිව ඇති අනෙක් දුම්රිය ස්ථාන සොයා යටියන්තොටට.   


සංචාරක සටහන හා ඡායාරූප   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු.