ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ දෙවන කලාපයේ වෙරළට සමීපව හුදෙකලා වූ තවත් මයෝසීන තැන්පතුවකි මිනිහා ගල් කන්ද. මැණික් ගං මෝයෙන් කිලෝමීටර 9ක් ඊසාන දෙසටත් පිලින්නෑව කලපුවේ සිට කිලෝමීටර 5ක් දුරින් වෙරළේ මෙම මයෝසීන හුනුගල් සැකැස්ම පිහිටයි. වෙරළ ඉම සිට බලද්දී ඇති හුණුගල් තැන්පතුවේ සිට ඉහළ තැනක නැඟී ඉන්නා මිනිස් රුවකි. සයුර දෙස සිට හමා එන සුළඟ විඳිමින් වසර ගණනාවක් තිස්සේ ඈති දියඹට නෙත් යොමා සිටින මේ හුදෙකලා මිනිසා මෙහි යන කාගේ වුවද නෙත් පළමුකොට පැහැරගනියි. ලවණ මිශ්‍ර සුළඟට කාලයක් තිස්සේ විවෘත වීම නිසා ඛාදනයට ලක්වෙමින් මිනිස් රුවකට සමාන හැඩ ගත් ගල් කුළ නිසා මෙම ස්ථානයට ‘‘මිනිහා ගල්කන්ද’’ යන නාමය ලැබී ඇත. 


මෙම හුණුගල් සැකැස්මෙහි පහළ ස්ථරය මීටර 1.5-2.00 ඝනකමකින් යුතු ෆොසිලීකරණය නොවූ යමල කැටිති සහ වැලි ගල් පාදමකින් යුක්ත වන අතර ඊට ඉහළින් මීටර 15ක පමණ දුඹුරු සහ කහ පැහැති වැල්ලකින් සහ මැටි තට්ටුවකින් යුක්ත වේ. මෙම පස් ස්ථර විවෘත ප්‍රදේශයේ දී පැහැදිලිව දැකගත හැක. මිනිහා ගල් කන්දේ ඉහළ දී හමුවන වැලි සහ මැටි ස්ථර අතර ෆොසිලීකරණයට ලක් වූ ගැස්ට්රොපෝඩාවන්, පසැඟිල්ලන්, දෙපියන් බෙල්ලන් වැනි සමුද්‍ර ජීවීහු හමු වෙති. 


මිනිහා ගල් කන්ද තැන්පතුවේ ස්ථර දිස්වෙන අයුරු. 


වර්ෂ 1923 දී මුල් වරට මෝර්ලි ඩේවිඩ් විසින් මෙම තැන්පතු වල තිබූ Gastropoda සහ Lamellibranchia ට අයත් අපෘෂ්ඨවංශී මුහුදු ජීවී ෆොසිල හඳුනාගන්නා ලදී. ඉන්පසුව පළමු වරට ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා විසින් 1960 දී echinoderms, sponges, corals සහ වෙනත් අපෘෂ්ඨවංශී ෆොසිල වාර්තා කළේය. තවද මෙහිදී හමු වී ඇති ශිලා මෙවලම් මෙම ස්ථානය ප්‍රාග් ඓතිහාසික මානව වාසස්ථානයක් බවට සාක්‍ෂි දරයි. 


ශ්‍රී ලංකාවේ පුරා ජෛව විවිධත්ව අධ්‍යයනයේ දී මයෝසීන තැන්පතු අතර මිනිහා ගල් කන්ද සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනු ලබයි. දැනට මෙම ස්ථානය අධ්‍යයනය කටයුතු සඳහා පමණක් විශේෂ අවසරයකින් යුතුව නැරඹීමට අවස්ථාව සලසා දෙනු ලබයි. එනමුත් යාල කලාප අංක 2හි වෙරළ තීරයට යන ඔබට වර්ණවත් ඈතට දිළෙන මයෝසීන තැන්පතුව දැකගත හැකි වේ. 


යාල වෙරළ තීරයේ මයෝසීන සිහිවටන සමඟින් මේ හුදෙකලා මිනිසා ගල් කුළු මුදුනේ එදා සිට තවමත් අවු වැසි අරා අහසට නැඟී සිටියි. 

 

 


සටහන: 
තිලානි ප්‍රියංවදා රත්නායක