නඳුන් ඉගෙනුම ලබන්නේ පානදුර ප්‍රදේශයේ පිහිටි පාසලක හත්වන ශ්‍රේණියේය. නඳුන් පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම ලකුණු ලබාගත් ශිෂ්‍යයෙකි. පාසලේ ගුරුවරුන්ගේ මෙන්ම කොයි කාගේත් හිත දිනාගත් නඳුන් ඇත්ත වශයෙන්ම ඉගෙනීමට දක්ෂකම් දැක් වූ, මාපියන්ට ද කීකරුව හැදී වැඩෙන දරුවෙකි.   


ඉගෙනීමට දුර්වල නඳුන්ගේ පන්තියේ යහළුවන් ද නඳුන්ගේ පොත් බලා සටහන් ලියාගන්නේ නඳුන් ඉතා හොඳින් පාඩම් වැඩකටයුතු කරගෙන යන නිසා වුවද පන්තියේ දුර්වලම ළමුන්ගේ තැනටම වැටෙන්නට නඳුන්ට වැඩි කලක් ගියේ නැත. නඳුන්ගේ වාර්තා පොතේ ගණිත විෂයට නඳුන් ලබාගෙන තිබුණේ ලකුණු තිස් එකකි. පන්තියේ ළමුන් අතරින් විභාගයේදී පළමුවැනියා සිට පස්වැනියා අතර සිටි නඳුන් විභාගයෙන් දහඅට වූයේ විෂයන් සියල්ලටම වාගේ ඉතාම අඩු ලකුණු ලබාගෙන තිබුණු බැවිනි. මෙය නඳුන්ගේ මාපියන්ට දරාගත නොහැකි වූ අතර, පාසලේ ගුරුවරුන්ටද නඳුන් කුමක් නිසා මෙතරම් දුර්වල ශිෂ්‍යයෙකු වූයේ කෙසේදැ’යි වටහාගත නොහැකි වුණි. 

 
“පුතා ඔයා මේ පාරත් විභාගෙට ලකුණු අරන් තිබුණේ ගොඩක් අඩුවෙන්. මොකද ඔයාට වෙලා තියෙන්නේ..?” නදුන්ගේ අම්මා ඇසුවත් එයට කිසිදු පිළිතුරක් නොදුන් නඳුන් එතැනින් පිටව කාමරය තුළට ගියේය.   


නදුන් පුරුද්දක් වශයෙන් පාසල නිමවී නිවසට පැමිණි වහාම කරනුයේ ජංගම දුරකථනයෙන් හෝ පරිගණකය මගින් “ඔන්ලයින් ගේම්” සෙල්ලම් කිරීමය. අඩුම තරමේ ඔහුගේ කුසගින්නවත් ඔහුට මතක් නොවෙන තරම් ඔහු කරනුයේ “ඔන්ලයින් ගේම්” සෙල්ලමය. නඳුන්ගේ අම්මා ‘ස්මාට් ජංගම දුරකථනයක්’ මිලදී ගෙන නඳුන්ට දිනක් දුන්නේ “කොල්ලට කම්මැළිකමට ඔය ෆෝන් එකෙන් ගේමක්වත් සෙල්ලම් කර කර ඉඳියිනෙ. හැම තිස්සෙම කොල්ල පොතේමයි අනේ. පව්නෙ” කියමිනි.   


එදා පටන් නඳුන්ට ෆෝන් එක නැතිවම බැරි විය. එහෙත් නඳුන්ගේ අම්මාටයි තාත්තාටයි එය වරදක් බව දැනුණේ නැත.   


“පුතා ඔයා මේ දවස් ටිකේම පොතක් අතටවත් ඇල්ලු වෙ නැහැ මං බලාගෙනයි. පොතක් අරන් පාඩම් කරන්න” න‏ඳුන්ගේ අම්මා දිනක් ඔහුට පැවැසුවාය. “හරි අම්මා. මං මේ ගේම ඉක්මනට ඉවර කරලා පාඩම් කරන්න ගන්නම්” නඳුන් එසේ පැවසුවත් ඔහුට වේලාව ගෙවෙනවා දැනෙන්නේවත් නැත. රාත්‍රී ආහාර වේලාවද ලං වූ පසු මවගේ ඇවිටිල්ල මත ආහාර ගත්තද ක්ෂණයකින්ම නැවත “ඔන්ලයින් ගේම්” එකට යයි.   


“මේ ළමයා පාඩම් වැඩවලට දැන් හරිම දුර්වලයි කියලා පන්තිභාර ටීචර් මට කිව්වා. මොකක්ද අනේ කොල්ලට වුණේ. ඇස්වහ වැදිලද මන්දා. ශිෂ්‍යත්වයටත් හොඳ ලකුණු ගත්ත දරුවනේ. දැන් බලන්නකො ඔයාගේ නංගිගේ පුතා ශිෂ්‍යත්වයටවත් හොඳ ලකුණු තිබ්බේ නෑ. පාඩම් වැඩවත් හරියට කළේ නැහැ කලින්. ඒත් දැන් කොල්ල හරි දක්ෂයි ඉස්කෝලෙ වැඩවලට. ඔයාගේ නංගි අපේ දරුවට ගුරුකමක්වත් කළාද දන්නෙ නෑ. ඊර්ෂ්‍යාකාරිනේ කොහොමත්” නදුන්ගේ පියාට රාත්‍රී ආහාර ගනිමින් සිටියදී නඳුන් ගේ අම්මා පැවසුවාය.   
නඳුන්ගේ අම්මා තම යෙහෙළියකට නඳුන්ගේ ඉගෙනීමේ දුර්වලකම් ගැන කියන අතරතුර නදුන්ගේ පංතියේම ඉගෙනුම ලබන නඳුන්ගේ නැන්දගේ පුතා ගැනද කියා සිටියාය. “ඔයා සාස්තරයක් බලන්න. කව්ද දන්නෙ මොනවා හරි කරලද කියලා ඉගෙනීම කඩාකප්පල් වෙන්න” යෙහෙළිය නඳුන්ගේ අම්මාට වෙනම පැත්තක් ගැන අවධානය යොමු කරවීය.   
නඳුන් පාසලට ගියපසු නඳුන්ගේ අම්මා සාස්තරයක් බැලීම සඳහා පිටත් වුණි. සාස්තරයට අනුව නඳුන්ගේ ඉගෙනීම කඩාකප්පල් වන බවත් ඔහුට වැඩිදුර ඉගෙනීමට නොහැකි වන බවත් එයට හේතුව නඳුන්ගේ ඉගෙනීම කඩාකප්පල් කිරීමට ඥාතියෙකු විසින් නඳුන්ට ගුරුකමක් කර කෑමට යමක් දී ඇති බවත් එය නඳුන්ගේ බඩේ තිබෙනතුරු නඳුන් ඉගෙනීමට දුර්වල වන බවත් එය වහාම ඉවත් කළ යුතු බවත් සාස්තරයෙන් කියවුණි. නදුන්ගේ අම්මා නිවසට පැමිණියේ කෙසේදැයි ඇයටම වැටහීමක් නොවුණි.   


සාස්තරය ඇසුවාට පසු නඳුන්ගේ අම්මාගේ සිහිකල්පනාව පවා වෙනස් විය. ඇය නඳුන්ගේ පියා නිවසට පැමිණි පසු සාස්තරයෙන් කී දෑ පවසා සිටියාය. “මං හිතුවා වගේම ඔයාගේ නංගි තමයි මේක කරන්න ඇත්තෙ. පුතාගේ බඩට යමක් දීලා තියෙනවා කියලනේ කීවේ. ඒක අයින් කරන්න වෙයි ඉක්මනට” නඳුන්ගේ අම්මා සාස්තරය කෙරෙහි බොහෝ විශ්වාසය තැබුවාය. ඇය සිතුවා සේම සාස්තරයෙන්ද කියැවුණේ එකම දේය.   


නඳුන්ගේ බඩට දී ඇති දේ ඉවත් කිරීම සඳහා දේවාලයක් කරන එම ප්‍රදේශයේ මෑණියන් කෙනෙකු වෙත ගිය නඳුන්ගේ අම්මා සියල්ල ඇයට පැවසුවාය. එය සත්‍යයක්දැයි බැලීමට මෑණියෝද දෙවියන් ඉදිරියේ ආරූඪ වූවාය. සාස්තරයෙන් පැවසූ දෑ සත්‍යයක් බවත් එය ඉවත් කළ හැකි බවත් ආරූඪයෙන් කියැවිණි. මෑණියෝ නඳුන්ව රැගෙන එන ලෙස දවසක් වෙන් කර දුන්නාය. එදින පාසල් දිනයක් වුවද නඳුන්ව පාසල් නොයවා නඳුන්ගේ අම්මාත් තාත්තාත් දේවාලයට රැගෙන ගියේ දේවගැති මෑණියන්ගේ බලයෙන් නඳුන්ගේ දක්ෂතාවන් පෙරපරිදිම ඇති කරවන්නට හැකි වනු ඇතැ’යි යන විශ්වාසය මතය. නඳුන් ගන්නා ආහාරයක් සමඟ මිශ්‍ර කර ඔහුගේ බඩට දුන් විෂ ආහාරය නඳුන්ට වමනය කරවීමට යමක් මෑණියෝ බීමට දුන්නාය. එය බිව් පසු නඳුන් කිහිප වරක් වමනය කළ අතර “ආ.. මේ තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මේක තමයි දීලා තියෙන්නෙ දරුවගේ බඩට” යනුවෙන් පවසමින් මෑණියෝ නඳුන් වමනය කළ තැනෙහි කඩල ඇටයක් වැනි දෙයක් පෙන්වමින් සියල්ලන්ටම පැවසුවාය. “දැන් හරි. බයවෙන්න දෙයක් නෑ” මෑණියෝ නඳුන්ගේ අම්මාට තමන්ගේ බලය පෙන්වා ඇගේ අතට පොල් ගෙඩියක් දී ඔවුන්ගේ පවුලට කරදරයක් කිරීමට කටයුතු කරපු අයගේ පිටින්ම එම දොස් යන ලෙස සිතමින් දෙවියන් ඉදිරියේ එළියේ ඇති ගලට පොල් ගෙඩිය ගසන්නට කියාය. නඳුන්ගේ අම්මාද මෑණියෝ පැවසූ පරිදිම දැඩි හිතින් පොල් ගෙඩිය ගැසුවාය.   


එහෙත් ඉන්පසුවද නඳුන් ඉස්කෝලෙ වැඩවලට කිසිම උනන්දුවක් දැක්වූයේම නැත. දේවාලයේ මෑණියන්ගේ වැඩේ සාර්ථක වී නොමැති බව නඳුන්ගේ මාපියන්ට වැටහුණි. මේ අතර නඳුන්ගේ පාසලේ මිතුරෙකුගේ මවක් නඳුන්ගේ අම්මාට තම ප්‍රදේශයේ දේවාලයක් කරන කපු මහතකු ගැන විස්තර කීවාය. සෙත්ශාන්තියක් කර නඳුන්ට ඉගෙනීම කෙරෙහි අවධානය යොමු කරවීමටත් මතක ශක්තිය වැඩිදියුණු කරවීමටත් දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිදු කළ යුතු බව එම කපු මහතා කීය. ඒ අනුව නඳුන්ගේ පැවැති අධ්‍යාපනය කෙරෙහි තිබූ දුර්වලතාව මගහරවා ගැනීමට දෙවියන්ට පූජා පැවැත්වුණේ කපු මහතාගේ දේවාලයේය. එහෙත් නඳුන්ගේ තත්ත්වයේ වෙනසක් සිදුනොවන බව මාපියන්ට අවබෝධ වුණි.   


නදුන් පාසලේදීවත් පාඩම් වැඩකටයුතු කෙරෙහි අවධානයක් යොමු කළේ නැත. ඔහුට ඒ තරමටම පාසල් අධ්‍යාපනය නීරස වී තිබුණි. නමුත් නිවසට පැමිණි ක්ෂණයකින් “ඔන්ලයින් ගේම්” එකට ගොස් සෙල්ලම් කිරීමේ කිසිදු වෙනසක් සිදුවී නොතිබුණි. අම්මා තාත්තා කියන කිසිවක් මේ වනවිට නඳුන් කනකටවත් ගත්තේ නැත.   
නඳුන්ගේ පාසලේ විදුහල්පතිතුමා නඳුන්ගේ මාපියන් කැඳවා ඔවුන් සමඟ නඳුන් ගැන සාකච්ඡා කළේය. ඉන්පසු නඳුන් මනෝ විද්‍යාඥයකු වෙත පෙන්වන ලෙස කීවේය. ඒ අනුව නඳුන් ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති, මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති වෙත යොමු කෙරිණි. නඳුන්ගේ සියලු විස්තර අසා දැනගත් වෛද්‍යවරයා නඳුන්ට ප්‍රතිකාර කිරීමට භාර ගත්තේය. 

 
නඳුන් හා මාපියන් වෙන වෙනම ගෙන කුලපති මහතා ඔවුන් සමඟ කතා කළේය. පළමු පියවර හැටියට වෛද්‍යවරයා විසින් මාපියන්ට දැඩි සේ අවවාද කළේ දරුවට ජංගම දුරකථනයක් මිලදී ගෙන දීම සම්බන්ධවයි.   


වෛද්‍යවරයා මුලින්ම නඳුන්ට සංයම අභ්‍යාස ලබාදුන්නේය. සති  කිහිපයක් Aversion Therapy  (එපා කරවීමේ ප්‍රතිකාර) ලබාදුන්නේය. සති කීපයක් යනවිට නඳුන් “ඔන්ලයින් ගේම්” එක අතහැරියේය. එපමණක් නොව, ජංගම දුරකථනය හා පරිගණකය (ලැප්ටොප්) භාවිතයද අඩු කළේය. මේ වනවිට නඳුන් සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වී උසස් පෙළ හදාරමින් සිටියි.   


මෙහි ඇතුළාන්තය කුලපති මහතා මෙසේ පහදා දුන්නේය. මෙහිදී පළමු අවවාදය දිය යුත්තේ මාපියන්ටයි. ඔවුන්ගේ නොදැනුම්වත්කම හා මෝඩකම හේතුවෙන් අනුවණ මාපියන් විසින් රැල්ලට යාමේ කැමැත්ත නිසා හෝ තම පහසුව නිසා පාසල් යන දරුවාට ස්මාට් ෆෝන් එකක් රැගෙන දීමට පෙලඹෙනවා. ඇත්තටම පාසල් වයසේ දරුවෙකුට ස්මාට් ෆෝන් එකෙන් ඇති වැදගත්කම කුමක්ද? මෙම හේතුව නිසා ළමුන් වැරදි ඇබ්බැහිවීම්වලටද පෙළඹීමේ ඉඩකඩ වැඩියි. ඒ වගේම ඔන්ලයින් ගේම් හෝ වීඩියෝ ගේම් නිසා දරුවන් පසුකාලීනව අධ්‍යාපන මට්ටමින් පහළ තත්ත්වයන්ට පත් වේ.   


ඇත්තටම අවුරුදු දොළහක දහතුනක දරුවෙකුට දුරකථනයක් කුමකටද? ඒ වගේම අන්තර්ජාල පහසුකම් සහිත දුරකථන ලබාදීමෙන් නව යොවුන්වියේ පසුවන දරුවන් වැඩි වශයෙන් සොයායන්නේ ලිංගිකත්වයයි. නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම අත්‍යාවශ්‍ය දෙයක් වුවද මෙවැනි දේ මගින් ළමුන් සිදුකරන්නේ විකෘති ලිංගිකත්වය සොයායෑමයි. එමෙන්ම මෙවැනි දුරකථන හෝ පරිගණක ලබාදීමෙන් ඔබ නොදැනුම්වත්වම ඔබගේ දරුවන්ගේ බුද්ධිඵලය අඩුවී ඔබගේ දරුවා අධ්‍යාපනයට හිත යොමු නොකරන අදක්ෂ දරුවෙකු විය හැකියි. එමනිසා එවැනි දෙමාපියන්ට පැහැදිලි වශයෙන්ම දිය යුතු අවවාදය වන්නේ මෙවැනි මෝඩ ක්‍රියාවන් සිදු නොකර ඔබත් බුද්ධිමත්ව කටයුතු කරන ලෙසටයි. ඔබ කුමන ආකාරයේ මාපියෙක්දැ’යි සිතා බැලීම ඔබට භාරයි.   

 


හබරාදුව නිමල් අල්ගෙවත්ත