ලංකාවේ අබ්රහස් ස්ථාන

මාතලේ පෙදෙසින් පෙනෙන කඳු

 

‘‘සොබාසිරි’’ අපි යනු හුදෙක් විනෝදයකට ක්‍රියාදාම සංචාර යන්නවුන් පිරිසක් නොවෙයි. සෑම ගමනක්ම අපට ගවේෂණයකි. මන්ද මිනිස් පහස නොලද, කාලයේ වැලිතලාවෙන් වසං වූ අතිශය දුෂ්කර කඳු, දියඇලි, ගුහා සොයාගෙන යන අපේ සංචාරක දිවිය යනු දුෂ්කර බව, අවදානම හා උද්​ෙ‌යා්ගය සපිරි ක්‍රියාදාම චාරිකාවකි. සංචාරක ක්ෂේත්‍රයේ අතිබහුතරය පවා දැන සිටියේ ‘‘කිරිගල්පොත්ත’’ නම් වූ කන්ද හෝර්ටන් තැන්නේ ඇති ලංකාවේ දෙවන උසම කන්ද ලෙසය. ඒ හැර තවත් කිරිගල්පොත්ත නම් ලද කන්දක් නකල්ස් වනයේ සැඟව ඇති බව අති බහුතරය නොදැන සිටියේ සැබවින්ම මීට පෙර කිසිදු සංචාරකයකු දුම්බර වනයේ සිව් වැනියට උසම කිරිගල්පොත්ත (1648) තරණය නොකළ හෙයිනි. සමස්ත දුම්බර වනයේම අතිශය සංවේදී වලාකුළු වනාන්තර ඉසව්ව සොයා ගිය දුෂ්කර ගමන මෙසේ දිග හරින්නෙමි.   

මීට දෙවසරකට පමණ පෙර සිට අප නකල්ස් වනයේ පිහිටි කිරිගල්පොත්ත නම් කන්ද සොයා ගැනීමට වෙහෙසුණේ මින් පෙර කිසිවෙකුත් එය තරණය කළ නොමැති නිසාවෙන් සහ කිසිදු මගපෙන්වන්නෙකු පවා මෙම කන්ද මීට පෙර අසා නොමැති නිසාවෙනි. නමුත් මිනින්දෝරු සිතියමේ කිරිගල්පොත්ත ලෙස නමක් නකල්ස් වනපෙතේ සඳහන්ව තිබූ අතර ඇතැම් වන සංරක්ෂණ විස්තරවල කිරිගල්පොත්ත කන්ද සටහන්ව තිබුණි. නමුත් හරි හැටි කන්ද පවතින තැන කීමට කිසිවෙකුත් නොවූයෙන් අපි ගූගල් සිතියම් ආධාර කොට ගෙන මිනින්දෝරු සිතියමේ පිහිටි මීටර 1648 ක් උසැති කන්ද සෙවීමට පටන් ගත්තෙමු.   


පසුව අපි අනුමාන කළ ලෙසම සමස්ත නකල්ස් වනයෙම ගූගල් චන්ද්‍රිකා (Google Earth View) රූපවල සුදු වලාකුළකින් වැසුණු ස්ථානය කිරිගල්පොත්ත බව අප සනාථ කරගත්තෙමු. ඒ සඳහා ගූගල් හී Terrain සිතියම් මගින් මුහුදු මට්ටමේ සිට උස සොයා මිනින්දෝරු සිතියමේ කිරිගල්පොත්තට ආසන්නම ලකුණ කළ ගම වන කබරගල සමග සසඳා ඒ ආසන්නයේම තිබෙන මීටර 1600 ට වැඩි උස පරිමාව පෙන්වූ කිරිගල්පොත්ත පිහිටීම අපි නිශ්චිත කරගත්තෙමු.   


පසුව අප සියල්ලෝම කතිකා කරගත් පරිදි කොළඹ සිට මධ්‍යම රාත්‍රියේ පිටත්වූයේ කබරගලට උදැහැනැක්කෙම ළඟා වීමේ අරමු​ෙණනි. නුවර සිට කටුගස්​තොට හරහා මඩවලට පැමිණ එතැනින් බඹරැල්ල පාරේ හුළුගඟට පැමිණ මඩුල්කැලේ හරහා කන්දෙගම පාරට හරවා අලුයම් ජාමයේම ගමන් කළෙමු. අපගේ දකුණු පස ඈතින් තවමත් මීදුම් සළු පොරවගෙන නිදිගැට හරින නකල්ස් කඳු වැටිය, ගොම්බානියා සහ යකුන්ගෙගල කඳුවැටිය දැක ගත හැකි වූ නමුත් කඳු මුදුන්වල මීදුම් සළු ඔබ මොබ යමින් තිබුණි. මඩුල්කැලේ පසුවත්ම පසෙකින් හපුතලේ කුඩා ලෝකාන්තය ඈතින් පිහිටා ඇති බවත් ඉදිරියේදී කැලෑ​බොක්ක කඳු මුදුනත් දැක ගැනීමට බලන් සිටියෙමු.   

 

නෙළු වනය මැදින්

මීදුමෙන් වැසුණු පරිසරය

 


කැලෑ​බොක්ක යනු රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වතුයායකි. එහි පිහිටි කඳු මුදුනක නැරඹුම් මැදිරියක් තනා සංචාරකයන්ට පැමිණීමට අවස්ථාව උදා කරදී ඇති බැවින් මීට පෙර අප එහි ගිය අයුරු අපට සිහි විය. අංශක 360 ක වපසරියක් දැකිය හැකි කැලෑබොක්ක කඳු මුදුනට කිරිගල්පොත්ත පවා දැක ගත හැකිය. අප ඒ පිළිබඳව දුටුවේ පෙර දිනදී ගත් ඡායාරූප නැවත පිරික්සන විටදීය. තේ දලු තාමත් සීතලට ගුළි වී ඇත. ගම්වැසියෝද කවුළු පියන් මතින් එබිකම් කොට අප දිහා බැලුවේ නිවාඩු දින පාන්දරින් ගමන් කරන්නේ කවුරුන්දැයි විමසන අයුරිනි. කැලෑබොක්ක පසුකර තවත් ඉදිරියට යන විට කබරගල හන්දියට ප්‍රථම කුඩා මංසන්ධියක් හමුවිය. වාසනාවකට එම කඩය විවෘත කළ විගස පමණ විය. හා හා පුරා කියා අප නඩය උණුවෙන් කෝපි කෝප්පයක් විඳගත්තේ මින් පෙර මෙවැනි තදබදයක් එම කඩයේ නොතිබුණු බවට අවට වැසියන් පවසන අතරය.   
කිරිගල්පොත්ත තවමත් නිද්‍රා සුවයෙන් පසුවෙයි. පියවි ඇසට මීදුම රහිතව කිරිගල්පොත්ත කන්ද දැකීමට ඇත්නම් එය වාසනාවකි. මන්ද මීට පෙර අප මෙම ප්‍රදේශයේ පැමිණි විට හා ගූගල් වීදි සිතියම් හා චන්ද්‍රිකා සිතියම් වලත් මුළු දවස පුරාම මෙම කන්ද මීදුමෙන් වැසී ඇති හෙයිනි. ඊට හේතුව අප සොයා ගත් අතර ඒ පිළිබඳව ලිපියේ ඉදිරියේදී සටහන් කරන බැවින් ගමනේ මුලට නැවතත් අපි ​සේන්දු වුණෙමු. අපි කබරගල මංසන්ධියට පැමිණ හුලංකැලේ ප්‍රදේශයට පිවිසුණෙමු. මහනුවර දිස්ත්‍රික්කයෙන් අපි දැන් පිවිසියේ මාතලේ දිස්ත්‍රික්කයටය. තවමත් වේලාව උදෑසන 7 ට වූ බැවින් අපි යා හැකි උපරිම දුරට වාහනයේ පැමිණ පසුව GPS මගින් සලකුණු කර පැමිණි ලැයිම් නිවාස පේළිය බලා ​කොන්ක්‍රීට් මාර්ගයක් දිගේ පිය මැන්නෙමු.   


මෙම ප්‍රදේශයේ පිහිටි අවසන් ජනාවාසය මෙම ස්ථානය වන අතර අප GPS සිතියම් බැලූ කල අප යා යුතු නිවැරදි ඉසව්ව වෙතත් යා යුතුව පවතින GPS මග ආසන්නයටත් පැමිණ සිටියෙමු. අප කොතරම් කඳු නැග්ගද අප යන සෑම ප්‍රදේශයක්ම අපට අලුත් වේ. එබැවින් අප හැකි සෑම විටම කැලයට පිවිසීමට ප්‍රථම අසල ගම්වාසීන්ගෙන් එම පරිසරය හා අනතුරුදායක ස්ථාන පිළිබඳව හොඳින් විමසා දැනගනු ලබයි. නැතහොත් හැකිනම් මග එළිපෙහෙළි කිරීමට හෝ මග පෙන්වීමට කෙනෙකු සොයා ගනියි. මන්ද ඔවුන් උපන් ගම හා ජීවිතය ගෙවන එම කාලය වන බැවින් එහි පවතින අනතුරු හා සැකැස්ම ඔවුන් දන්නා නිසාවෙනි. එබැවින් අප ආරක්ෂාව පෙරදැරිකොට GPS අනුසාරයෙන් මගපෙන්වන්නටද මග පෙන්වමින් අප ගමන් කිරීම සාමාන්‍ය සිරිත වේ. මන්ද GPS මගින් අප සොයාගෙන යනු ලබන්නේ කෙටිම හා පහසුම මාර්ගය වන බැවිනි.   
හුලංකන්ද ඉහළ කොටසේ පිහිටි තේ වතු යාය මතින් ගොස් එහි කෙලවරින් අප වන පියසට ඇතුළු වූයේ දැවැන්ත කූඩලු ප්‍රහාර මධ්‍යයේය. මෙම කූඩැල්ලන් ඉතා දිගු හා විශාල විය. බොහෝ විට මුන්ට මිනිස් ලේ රස බැලීමට මේ අවස්ථාව උදාවූයේ වසර ගණනකට පෙර බැවින්දෝ අඩි තබන ඇසිල්ලෙන් දෙතුන් දෙනෙකු සපත්තු මත එල්ලුණහ. කෙසේ නමුත් අපි සියල්ලන්ටම කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව සූදානම් ක්‍රම කියාදී පැමිණියේ මෙවැනි ප්‍රහාරයක් කල්තියාම අප අපේක්ෂා කළ බැවිනි. එම නිසාම සියල්ලෝම ඇලුමිනියම් සල්ෆයිඩ් (ALUM) සමඟ පොල්තෙල් හෝ ඩෙටෝල් මිශ්‍ර කර සාන්ද්‍රණය වැඩි දියරයක් සාදා සපත්තුවල තවරා ගත්තේ තවත් ක්‍රම සමහර ඇත්තෝ අනුගමනය කරන විටය.   


GPS මගින් අප ගමන කොටස් 4කට වෙන් කරන ලද්දේ පිළිවෙළින් අප එම නැවතුම්පොළවල් වෙත යාමෙන් නිවැරදිව ගමන සිදුකර ගත හැකි හෙයිනි. මන්ද කඳු ගැටයේ යාමෙන් අනවශ්‍ය ලෙස ප්‍රපාතවලට බැසීමට හෝ අතිරේක කඳු නැගීමට අනවශ්‍ය හෙයිනි. තේ යාය පසුකර මීටර 300 ක් පමණ ගිය විට අපි දිය දහරාවකින් එතෙර වී එනසාල් යායක් මැදින් උතුරු දෙසට ගමන් කළෙමු.   

 

කැලේ බොක්ක නැරඹුම් ස්ථානයට පෙනෙන කර්මාන්තශාලාව

කන්දේ එක් කොටසක්

 


පසුව කඳුගැටය පිහිටි පළමු GPS නැවතුම්පොළ වෙත කටු අකුල් කපාගෙන එනසාල් යාය මැදින් ආවෙමු. තවමත් අහස් කුළ අපට පැහැදිලිය. මහ රූස්ස අතු මුදුන්වල යන්තමින් හෝ නිල් පාට අහස් කුස අැත්දැයි විපරම් කළද අප දුටුවේ වැසිබර අහසක ලක්ෂණ විය. වන පියසද අංශක 360 ම හරිත පැහැ වෙලා ගත් තුරුලතාවලින් වසාගෙන සිටියේ වනපෙතින් පිටවීමට කිසිඳු දොරටුවක් නැතැයි පවසන්නාක් මෙනි.   


මුහුදු මට්ටමේ සිට උස (Altitude) නිර්ණය කරන මෘදුකාංග භාවිත කොට බැලූ කල අපි මීටර් 1250 ක පමණ උසක සිටින බව දැන ගත්තෙමු. ප්‍රධාන තේ වත්තෙන් කිලෝමීටරයක පමණ දුර පැමිණියද මෙම ප්‍රදේශයේ මීට පෙර දුර අතීතයේ තේ වගා කටයුතු සිදුකර අැති බවට ලක්ෂණ දැකිය හැකි විය. මන්ද තට්ටු ක්‍රමයට ගල් අතුරා සකස් කළ බිම් කඩවල නටබුන් දැක ගත හැකි වූ හෙයිනි. අපත් සමග පැමිණි මග පෙන්වන්නා පැවසූ පරිදි මීට වසර 30කට පමණ පෙර මෙම ප්‍රදේශවල තේ වගාව සිදුකළද පසුව එම ප්‍රදේශවල දුෂ්කරතාව සහ එනසාල් ව්‍යාප්තිය හේතුවෙන් මෙම බිම් අත්හැර දැමූ බවයි. මන්ද කලකට ඉහත මෙම ප්‍රදේශයේම නකල්ස් වනයෙන් ​බොහෝ අභ්‍යන්තර ප්‍රදේශ අයත්ව තිබු​ණේ සාමාන්‍ය ජනතාවට වුවද මීට කාලයකට පෙර ඔවුන් සියළු වන සීමාවෙන් ඉවත්කොට නකල්ස් ප්‍රේරණ කලාපවල අක්කර ගණනින් ඉඩම් ලබාදී පදිංචිකොට ඇත.   


කෙසේ හෝ දුෂ්කරව ප යන මෙවැනි චාරිකා තුළ වනයේ පිහිටීම, එහි අතීත විස්තර, භූමියේ සැලැස්ම සහ ජන ජීවිතය ගැන විපරම් කිරීම අපගේ පුරුද්දක් විය. ඒ තුළ අප අපගේ චාරිකාව හුදෙක් ප්‍රායෝගික කරණයකට පමණක් සීමා නොකර න්‍යායාත්මක වනය සහ ජනජීවිතය ආදී කරුණු පිළිබඳව දැන ගත්තෙමු. පළමු කඩඉම පසුකොට තරමක වියළි ස්වභාවයක් උසුලන වනපියස අතරින් අපි ඉදිරියට යාමට පටන් ගත්තෙමු.   


මෙම ප්‍රදේශයේ අතරින් පතර විශාල ගල් කුට්ටි තිබූ අතර ශාක පිහිටීමද පෙර තරම් ඝන නොවීය. මන්ද ශාක පිහිටීම අතර දැඩි ගණනක දුර පිහිටි නිසාවෙන් මාර්ගය කපාගෙන යාමට එතරම් වෙහෙසක් ගැනීමට අපට සිදු නොවුණි. නමුත් සමස්ථ වනයම ගස්වලින්ම වැසී තිබුණි. මීදුම් සළු වනය මතට අනාරාධිතව පැමිණෙන බව අප නෙත් කොනින් දුටුවේ ගමනේ අවසානයට තව බොහෝ දුර තිබූ නිසාවෙනි.   


‘‘මෙන්න කටු අත්තක්, බලාගෙන එන්න ළමායි’’ කියා පැවසුවේ මග පෙන්වන්න හා මා සමග ගිය මියුරංග සහෝදරයා විසිනි. ඔහු පැවසූ කටු ගසේ කටු තිබුණේ පොකුරු ලෙසය. නිරායාසයෙන්ම එම අඩි තුන පැනීමේදී කටු ගස ඇල්ලිය යුතු වුවද කටු වල පිහිටීම සහ කටු අතර ගසේ කඳ ඇල්ලීමට ඉඩ නොතිබුණු නිසාවෙන් පොළොව අල්ලා එම කඩ ඉම සියල්ලෝම පැනගත්හ. ‘‘මහත්තයා, ඕං පොඩ්ඩක් ඉන්නවනං’’ කියා මගපෙන්වන කදිරා ටිකක් එහාට ගොස් ගසක් පාත් කර යමක් කඩා ගනු අපි දිටිමු. එය එක් වරම කටේ දමාගෙන රසබැලූ ඔහු අපටද එහි පැමිණෙන ලෙස දැන්වූයේ වනයේ යාමේදී ජීවිතයේ පැවැත්මට අවශ්‍ය ආහාර හා ජලය වනයෙන්ම සොයා ගැනීමේ ක්‍රමයක් පෙන්වමිනි. ඒවා කුඩා පෙර වර්ගයක් විය.   


රතු පාටින් ඉදී තිබූ පේර ගෙඩි මිදි ගෙඩි තරම් කුඩා විය. එම ප්‍රදේශයේ ගස් බොහෝමයක තිබූ හෙයින් හිමින් සීරුවේ කිහිප දෙනෙක් පේර කැඩීමේ නිරතව ඒවා කඩා සෙස්සන් අතර බෙදා දුන්නේ කුස ගින්නට පිහිටක්​ වෙමිනි. මන්ද දෙවන නැවතුම්පොළට යනතුරු උදෑසන ආහාර ගැනීම අප කල් දමා ගත්තේ ගමනේ සැලසුම වූ නිසාවෙනි.  

 

මකර කටුස්සා

 


විනාඩි විස්සක පමණ කාලයක් මිඩංගු කොට අපි එම පේර අත්දැකීම් විඳගත් පසු නැවත ගමන ආරම්භ කළෙමු. තවත් මීටර තුන් හාරසියයක් ගමන් කළ පසු අපගේ උස මට්ටමට ගස් පිහිටි ඉසව්වකට පැමිණියෙමු. එහිදී කැලෑ​බොක්ක සිට අරංගල සහ අම්බොක්ක කඳු දක්වා වපසරියක් අප දැක ගත්තෙමු. තවද අනෙක් පසින් රත්තොට අවට කුඩා පතන කිහිපයක් සහ ඉතා ඈතින් ගම්මඩුව සහ නාවුල දක්වා ප්‍රදේශ අපි දැක ගත්තෙමු.   
නැවත ගමන් ඇරඹූ අප තෙත් කලාපයකට ඇතුළු වුණෙමු. පරිසරයේ ආර්ධතාවය වැඩි බවක් අප දුටු අතර ක්‍රමයෙන් දෙවන නැවතුම්පොළ අසලට අප කිට්ටු වී ඇති බව GPS මගින් දුටුවෙමු. මෙම දෙවන නැවතුම්පොළ විශේෂයෙන් අප සලකුණු කොට පැමිණියේ මේ අසල වනයේ පැහැදිලිවම දැවැන්ත නාය යාමක් සිතියම්වල පෙන්වූ නිසාවෙනි. මෙම නාය යෑම සිදුව වසර කිහිපයක් වේ. මෙම නායයෑම් තුළින් ප්‍රබල දිය පහරක් මතුව එය ගලාගෙන යාම වර්තමානයේ පවා සක්‍රීයව පවතින බව අප දැනගත්තේ මේ දියවර නිර්මාණය කරන බඹරකිරි ඇල්ල නිසාවෙනි.   


අපට අවශ්‍ය වූයේ මෙම නාය යෑම පටන් ගත් කන්ද මුදුනේ ආසන්නතම ස්ථානයට යාමටය.කෙසේ හෝ අපි පර්චස් 40 ක පමණ වක්‍රාකාර පතනකට පැමිණියෙමු. එම ප්‍රදේශය ජල උල්පත් ගණනාවක උපත දෙන ස්ථානය විය. ඊට පහළින් ඍජුවම ඇත්තේ නාය යෑමේ ආරම්භක ස්ථානයයි. මෙහි පොළොව තදින් එරෙනසුලු විය. ජල ධාරිතාව හා තෙත් බව අධික විය. පොළොව යටින් පැන නඟින දියවර සෑදුණු වළවල් පො​ෙළාව යටින්ම පහළට ගලා යන්නාක් මෙනි. අසල වන පියසට රිංගා ගත් අප විපරම් කළේ නාය යෑමේ මුල බැලීමටය. මීදුම නිසාවෙන් එය ඉතාමත් මඳ වශයෙන් අපට දැක ගැනීමට ලැබුණි.   


ගමනේ හරි අඩක් නිම කළ නිසාවෙන් ගිවිස ගත් පරිදි සියල්ලෝම උදෑසන ආහාර ගන්නට විය. ලංකාවට ආවේණික මකර කටුගස්සා සහ මැඩියන් වර්ග කිහිප දෙනෙකු අප දුටු අතර මෙම දිය උල්පත් වළවල් තුළද ඉස් ගෙඩියන් බහුලව දක්නට ලැබුණි. මෙම කුඩා පතන සිතියම තුළ තිබුණේ ඉතාමත් කුඩාවෙනි. කෙසේ හෝ මීදුම අපට නොදන්වාම පැමිණ ගුවනට විවෘත අවකාශය වසාගත්තේ අපව වනයේ සිරකළාක් මෙනි. කෙසේ නමුත් ඡායාරූප ගෙන මද විවේකයක් ගෙන මෙම පරිසරයේ සුන්දරත්වය විඳ අප ඊළඟ නැවතුම් පොළ බලා පිටත්වූයේ නැවතත් ඝන වන පියසකට ඇතුළු වෙමිනි.   


ඊළඟ සතියේ කිරිගල්පොත්ත මුදුනේ මුහුන දුන් අභියෝග සමග අවසානයට.   

 

 

 


සංචාරක සටහන හා ඡායාරූප 
 ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු   
Traveling Sri Lanka - Sobasiri