කාටුන් ලෝකය

 

 

සමාජයේ පෙරැළියක් ඇති කළ හැකි මාධ්‍ය මෙවලමක් ලෙස කාටූන් හැඳින්විය හැකිය. දේශපාලන කාටූන් යනු අපහාසයෙන් නොව, උපහාසයෙන් කෙනකුට අතුල් පහරක් එල්ල කළ හැකි ක්‍රමයයි. ලොව ප්‍රධාන පෙළේ පුවත්පත්, සඟරා ආදියේ පළ වන ගෝලීය වශයෙන් වැදගත් වන කාටූන් සැමවිටම කාගේත් අවධානය දිනා ගනී. ලෝකයට ලොක්කා වන ඇමෙරිකන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ද එරට ප්‍රධාන පෙළේ පුවත්පත් වන ‘වොෂින්ටන් පෝස්ට්’, ‘නිව්​ෙ‌යා්ක් ටයිම්ස්’, ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’, ‘යූඑස්ඒ ටුඩේ’ ආදියේත්, ‘ටයිම්’, ‘බ්ලූම්බර්ග්’ වැනි සඟරාවලත් නිරන්තරයෙන් කාටූන් පළ වෙයි. වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද කාටූන් ශිල්පීන්ගෙන් ගැලවීමක් නැත. ට්‍රම්ප් ගන්නා තීන්දු තීරණ සහ ට්‍රම්ප් කරන කියන දේ පමණක් නොව, ට්‍රම්ප්ගේ කොණ්ඩයත්, ට්‍රම්ප්ගේ පවුලේ උදවියත් උපහාසයට ලක් කරමින් නිර්මාණය වී ඇති කාටූන් සැබැවින්ම නිර්මාණශීලීය.   


මේ දිනවල ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයට සූදානම් වෙයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම නොවැම්බර් මාසයේදීය. රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ට්‍රම්ප් ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ සිය දෙවැනි සහ අවසන් ධුර කාලය සඳහාය. ට්‍රම්ප්ට අභියෝග කරන ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා මෙතෙක් නම් කර නැත. ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා තෝරා ගැනීම සිදු කෙරෙන්නේ, ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතරේ පැවැත්වෙන ඡන්ද සටනකිනි. එය ඇමෙරිකන් ජනපති සටනටත් වඩා තියුණු සටනකි. මේ වනවිට ඩිමොක්‍රටික් පක්ෂයෙන් අපේක්ෂකයෝ දෙදෙනක් අවසන් සටනට සූදානමින් සිටිති. ඔවුන්ගෙන් එක් අයකු ඔබාමා පරිපාලනය සමයේ, ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය හෙබවූ ජෝ බයිඩන් ය. අනෙක් තැනැත්තා බර්නි සැන්ඩර්ස් ය.   

 

 


ජනාධිපතිවරණයේ දී ජෝ බයිඩන්ගෙන් අභියෝගයක් එල්ලවේවි යැයි ට්‍රම්ප්ගේ විශ්වාසය වී තිබේ. ට්‍රම්ප් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්සිකි අමතමින්, ජෝ බයිඩන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා සිටියේ එහෙයිනි. ජෝ බයිඩන් උප ජනාධිපති ලෙස කටයුතු කරද්දී, බයිඩන්ගේ පුතු හන්ටර් යුක්රේනයේ තෙල් සහ ගෑස් සමාගමක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු විය. මෙම සමාගම දූෂණ වංචා රැසකට සම්බන්ධ යැයි චෝදනා එල්ල වූ හෙයින් එවකට පැවැති යුක්රේන රජය, සමාගම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹද්දී, උප ජනාධිපති බයිඩන් සිය බලතල අනිසි ලෙස යොදා ගනිමින්, ඊට හරස් විය. විමර්ශන යට ගැසුණි. දේශපාලන ප්‍රතිවාදියා ලෙස ජෝ බයිඩන් ඉදිරියට පැමිණීම වැළැක්වීමට ට්‍රම්ප් මෙම සිදුවීම උපයෝගී කර ගත්තේය. ජනාධිපති ට්‍රම්ප්, වත්මන් යුක්රේන ජනපතිවරයාට ඇමතුමක් දුන්නේය. උප ජනාධිපති ලෙස බයිඩන් කළ බලපෑම් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන්නැයි යුක්රේන ජනපතිට ට්‍රම්ප් බලපෑම් කළේය. ට්‍රම්ප් එසේ බලපෑම් කළේ ඔහුගේ ජනපති බලතල අනිසි ලෙස යොදා ගනිමිනි. ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සිදුවූයේ ඒ අනුවය. ට්‍රම්ප් යුක්රේනයට දුරකථන ඇමතුම් දුන් අයුරු චිත්‍රයට නගමින් උපහාසාත්මක කාටූන් රැසක් ඇමෙරිකන් ජාතික පුවත්පත්වල පළ විය. බොහෝ කාටූන් සහ ඒවා පළ වුණු පුවත්පත් ට්‍රම්ප්ගේ උදහසට ලක්විය.   


ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් වූයේ 2016 ජනාධිපතිවරණයෙනි. එය කාගේත් පුදුමයට හේතුවක් විය. එදා ට්‍රම්ප් ට අභියෝගයක් වූ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව වූයේ හිලරි ක්ලින්ටන් ය. ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට හේතුවක් වූයේ ‘පරිගණක ජිල්මාට්’ යැයි චෝදනා එල්ල විය. එම ‘ජිල්මාට්’ පසුපස රුසියානු පරිගණක හැකර්වරුන් සිටින බවටත්, රුසියන් ජනපති ව්ලැදිමීර් පුටින් සිටින බවටත් චෝදනා එල්ල විය. 2016 ජනපතිවරණයට රුසියාවේ මැදිහත් වීමක් සිදුවුණැයි විමර්ශන පැවැත්වෙද්දී, ට්‍රම්ප් සහ පුටින් සම්බන්ධයෙන් කාටූන් නිර්මාණය විය. එල්ල වුණු චෝදනා අවසානයේ විහිළුවක් බවට ද පත්විය. එක් අවස්ථාවක ජනපති පුටින් මුහුණට මුහුණ හමුවෙද්දී, ට්‍රම්ප් විහිළුවක් ද කළේය. ‘ඔන්න ආයේ එහෙම ඇමෙරිකන් ජනපතිවරණයට මැදිහත් වෙන්න එපා’ ට්‍රම්ප් එම අවස්ථාවේ පැවැසුවේ කාගේත් මුවගට සිනහවක් එක් කරමින්ය.   


2016 වසරේ දී, ඇමෙරිකන් ජනාධිපති ලෙස ට්‍රම්ප් දිවුරුම් දුන් අවස්ථාවේ පටන් ට්‍රම්ප් සම්බන්ධයෙන් දිගට හරහට කාටූන් පළ වීමට පටන් ගත්තේය. ජනාධිපති ට්‍රම්ප් සහ මාධ්‍ය අතර ‘විරසකයක්’ පවතී. ට්‍රම්ප් ‘කැමති’ මාධ්‍ය ආයතන ඇත්තේ අතළොස්සකි. රූපවාහිනී මාධ්‍ය ආයතන කිහිපයක් ද ඊට අයත්ය. ට්‍රම්ප් එම මාධ්‍ය සම්බන්ධයෙන් සැමවිමට කතා කරන්නේ පැහැදීමෙනි. සෙසු මාධ්‍ය ආයතන මොනවා කළත් ට්‍රම්ප් පවසන්නේ ඔවුන් ‘ව්‍යාජ පුවත්’ පළ කරනවා යනුවෙනි. ධවල මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී පවා ට්‍රම්ප් එවැනි මාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන්ට බැණ වදී. එම මාධ්‍යවේදීන් විවේචනය කරයි. කාටූන් ශිල්පීන් විවේචනයට ලක් කරයි.   

 

 


ඩොනල්ඩ් ට්‍රම්ප්, කෝටිපති ව්‍යාපාරිකයෙකි. ට්‍රම්ප්ගේ ඡන්ද පොරොන්දුවක් වූයේ, චීනයෙන් ඇමෙරිකාව ඇතුළු ලෝකයට එල්ල වන ‘ආර්ථික ආක්‍රමණය’ නැවැත්වීමය. චීනය ඇමෙරිකානුවන්ගේ රැකියා උදුරා ගන්නා බවට ට්‍රම්ප් චෝදනා කරයි. ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ට්‍රම්ප්, චීනයට තීරු බදු පැනැවීමක් කළේ ඒ අනුවය. ට්‍රම්ප්ගේ උපදෙස් මත, ඇමෙරිකාවෙන් චීනයට තීරු බදු එල්ල වෙද්දී, චීනය ද පෙරළා ඇමෙරිකාවට තීරු බදු පැනවීය. ඒ අනුව, ඇමෙරිකාවත් චීනයත් අතර වෙළෙඳ යුද්ධයක් නිර්මාණය විය. එය මුළු ලෝකයටම බලපෑවේය. ට්‍රම්ප් චීනය අඩපණ කිරීමට තීරු බදු පැනැවීම සම්බන්ධයෙන් කාටූන් පළ විය. ට්‍රම්ප් චීනයට තීරු බදු පනවද්දී, ඇමෙරිකාවේ ගොවීන්ට, කුඩා ව්‍යාපාර හිමිකරුවන්ට සහ කොටස් වෙළෙඳපොළට පෙරළා බලපෑම් එල්ල විය. කාටූන්වලින් නිරූපණය වූයේ එයයි.   


චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වූ ‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, මුළු ලොවම කැලැඹූයේ ඇමෙරිකා චීන වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලුව විසඳාගැනීමට දෙරටේ නියෝජිතයන් සූදානම් වෙද්දීය. ‘කෝවිඩ් 19’ වයිරසයට එරෙහිව ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ග පවා කාටූන් ශිල්පීන්ගේ උපහාසයට ලක්විය. ඇමෙරිකාවේ වයිරසය ව්‍යාප්ත වෙද්දී, ට්‍රම්ප් දිගින් දිගටම මාධ්‍ය හමුවේ කියා සිටියේ, කලබල නොවන ලෙසත්, වයිරසය මැඬලීමට තමන් නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බවත් ය. වයිරසය මැඬලීමේ නව වැඩපිළිවෙළ මෙහෙයවීම ට්‍රම්ප් පැවැරුවේ උප ජනාධිපති මයික් පෙන්ස්ට ය. එපමණක් නොව, ට්‍රම්ප් නව මාණ්ඩලික ප්‍රධානියකු ද පත් කළේය. ඔහු මාක් මෙඩෝව්ස් ය. මෙඩෝව්ස් උතුරු කැරොලිනා ජනපදයේ දේශපාලනඥයෙකි. වසරක කාලයක් තිස්සේ ට්‍රම්ප්ගේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළේ මයික් මුල්වානි ය. මුල්වානි එම තනතුරේ කටයුතු කළේ තාවකාලිකවය. නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මෙඩෝව්ස් පත් කරගත් බවත් අයර්ලන්තය වෙනුවෙන් විශේෂ නියෝජිතයකු ලෙස මයික් මුල්වානි පත් කළ බවත් ජනපති ට්‍රම්ප් කියා සිටියේ ට්විටර් පණිවුඩයක් මගිනි. නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස, මෙඩෝව්ස් රාජකාරි ආරම්භ කරමින් ධවල මන්දිරයට පැමිණෙන අයුරු කාටූන් ශිල්පීන්ගේ උපහාසයට ලක් විය. කාටූන්වලින් දකින්න ලැබුණේ මෙඩෝව්ස් රාජකාරි ආරම්භ කරමින්, ට්‍රම්ප් ඉදිරියේ පෙනී සිටින්නේ වයිරසවලින් සහ විෂ බීජවලින් ආරක්ෂා වන ආකාරයේ ආරක්ෂිත ඇඳුම් කට්ටලයකින් සැරැසීගෙනය.   


සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් නිරන්තරයෙන් විවේචනය කළ මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය වූයේ 2018 වසරේදීය. ඒ වනවිට සෞදි ජාතිකයකු වුවත් කශොග්ජී ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා ගෙන සිටියා පමණක් නොව, ඇමෙරිකාවේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ දේශපාලන තීරු ලිපි රචකයකු ලෙස ද කටයුතු කළේය. කශොග්ජී ඝාතනය වූයේ සල්මාන් කුමරුන්ගේ උපදෙස් පරිදි යැයි චෝදනා එල්ල වූයේ ප්‍රබල සාක්ෂි ද සහිතවය. කශොග්ජී ඇමෙරිකන් පුරවැසියකු වූ බැවින්, ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකාවට මැදිහත් වීමට සිදුවිය. කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් සල්මාන් කුමරුන්ට ඇඟිල්ල දිගු වෙද්දී, ට්‍රම්ප් කියා සිටියේ තම සෞදි මිතුරා අමනාප කරගත නොහැකි බවය. අවසානයේ සෞදි රජය සහ සල්මාන් කුමරුන් ලබා දුන් ‘පැහැදිලි කිරීම’ ප්‍රමාණවත් බව ට්‍රම්ප් තරයේ කියා සිටියේය. එම සිදුවීම පාදක කර ගනිමින් කාටූන් රැසක් පළ විය. ඒ අතරේ, එක් කාටූනයකින් දකින්න ලැබුණේ කශොග්ජී ඝාතනය, ඉරානය විසින් සිදු කරනු ලැබූවක් බව ට්‍රම්ප් පවසන ආකාරයයි. මැදපෙරදිග කලාපයේ, ඇමෙරිකාවට හෝ සෞදි අරාබියට හෝ ඊශ්‍රායලයට හෝ එරෙහිව සිදුවන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ට්‍රම්ප් චෝදනා කරන්නේ ඉරානයටය.   


ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් ජනාධිපති පුටුවට ආවේ ‘මැදපෙරදිග ත්‍රස්තවාදියා ඉරානය’ යැයි චෝදනා කරමිනි. 2016 ජනපතිවරණයේ දී ට්‍රම්ප් ට ඇමෙරිකන් යුදෙව්වන්ගේ සහාය හිමිවිය. ඒ නිසාම, ට්‍රම්ප් ඉරානයට සහ පලස්තීනයට එරෙහි වෙමින් ඊශ්‍රායලය සමඟ ඉතා සමීප මිතුදම් පවත්වා ගෙන යයි. දූෂණ චෝදනාවලට ද ලක්වුණු, බහුතර බලය නොමැතිව රජයක් පිහිටුවා ගැනීමට අපොහොසත් වී සිටින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු, ට්‍රම්ප්ගේ සමීපතම මිතුරෙකි. ඊශ්‍රායලයත් පලස්තීනයත් අයිතිය ඉල්ලන ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර යැයි ට්‍රම්ප් නම් කළේය. එය පලස්තීනුවන්ගේ විරෝධයට හේතුවක් විය. හටගත් විරෝධතා සහ ගැටුම් හේතුවෙන් සිය ගණනකට ජීවිත අහිමි විය. ලොව රටවල් රැසකින් ට්‍රම්ප්ට අප්‍රසාදය පළ විය. එපමණක් නොව, ඊශ්‍රායල පලස්තීන අර්බුදය හෙවත් ‘මැදපෙරදිග’ අර්බුදය අවුල් ජාලයක් විය. ට්‍රම්ප් ඉදිරිපත් කරන කිසිදු සාම සැලැස්මකට තමන් එකඟ වන්නේ නැතැයි පලස්තීනය පැවැසීය. ඒ අනුව, 1979 වසරේ ඇමෙරිකන් ජනපති ජිමී කාටර්, 1993 දී ඇමෙරිකන් ජනාධිපති බිල් ක්ලින්ටන් එක් වී ඊශ්‍රායල පලස්තීන නායකයන් වොෂින්ටනයට ගෙන්වා පැවැත්වූ සාම කතා සහ සාම වැඩපිළිවෙළ එක රැයින් බිඳ වැටුණි. මෙම 2020 වසරේ දී ඊශ්‍රායල පලස්තීන නායකයන් හමුවීම වෙනුවට, ධවල මන්දිරයේ හමුවක් පැවැත්වෙන්නේ ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති නෙදන්යාහු අතරේ පමණක් බව කාටූන් හරහා දකින්න ලැබුණි.   


උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ දිගට හරහට බැණ ගනිමින්, පසුව කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවීමට ජනපති ට්‍රම්ප් නම්‍යශීලී විය. කිම් ජොන් උන් සමඟ සාකච්ඡා පවත්වමින්, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණයක් ඇති කිරීමට ඔහු කැමැති කර ගැනීම ඇමෙරිකන් ජනාධිපතිවරයකු ලෙස ට්‍රම්ප් ලැබූ ජයග්‍රහණයකි. කෙසේ නමුත්, අවස්ථා කිහිපයකදී දෙදෙනා එකිනෙකා මුහුණට මුහුණ හමුවුවත්, ට්‍රම්ප් අපේක්ෂා කරන ආකාරයේ ‘අවිහරණයක්’ උතුරු කොරියාවෙන් සිදුවූයේ නැත. එහෙයින්, සාකච්ඡා අසාර්ථක විය. ට්‍රම්ප් තරයේ පවසා ඇත්තේ තමන් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ ඇතිවුණු මිතුදම් වෙනස් වී නැති බවය. ට්‍රම්ප් සහ කිම් ජොන් උන් හමුව සම්බන්ධයෙන් කාටූන් පළ විය. ඒ, යුද ටැංකි සහ මිසයිලවලින් සෙල්ලම් කරන කුඩා දරුවන් දෙදෙනකු ලෙස ට්‍රම්ප් සහ කිම් ජොන් උන් චිත්‍රයට නගමිනි.   


ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්, පරිසරය ගැන තැකීමක් නොකරන අයකු යැයි පරිසරවේදීන්ගේ චෝදනාවට ලක් වී සිටී. ඒ නිසාම, ස්වීඩන පරිසර ක්‍රියාකාරිනිය 17 හැවිරිදි ග්‍රෙටා තන්බර්ග් මුල්කොට ගනිමින් ද කාටූන් නිර්මාණය වෙයි. ට්‍රම්ප් පමණක් නොව, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ ද එම කාටූන්වල දකින්න ලැබුණි. ඒ, ග්‍රෙටා දැරියගේ වාග් ප්‍රහාර හමුවේ අසරණ වී සිටින අයුරු නිරූපණය කරමිණි.   

 

 

 

 


ලුසිත ජයමාන්න   
ඇමෙරිකන් පුවත් ඇසුරිණි