දඩබ්ම

මත්කුඩු පාතාලය

 

 

 

පාතාලය කියන්නේ කවදාවත් එහි සාමාජිකයෙක් දෙන්නෙක් මරලා, තව කීප දෙනෙක් හිරේ දාලා අවසන් කරන්න පුලුවන් සමාජයක් නොවේ. එල්ටීටිඊ ත්‍රස්තවාදය අවසන් කළ පාලකයෝ අත්අඩංගුවට පත් එහි සාමාජිකයන් පුනරුත්ථාපනය කළහ. එහි කිසියම් අඩුපාඩු තිබිය හැකිය. එහෙත් ත්‍රස්තවාදය යළි ඉස්මතුවීම වැළැක්වීමට සාධනීය පියවරක් තැබූහ. කුඩු පාතාලය මර්දනයට අඩුපාඩු සහිතව වුවත් පසුගිය ආණ්‍ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවත් අවධානය යොමු කළහ. කුඩුවලට ඇබ්බැහිවූවන්ද පුනරුත්ථාපනයට වැඩපිළිවෙලක් සකස් කළහ.   


මේ සියල්ල සපුරා සාර්ථක වන්නේ යළි කුඩුවලටත්, ත්‍රස්තවාදයටත් මග හැදෙන සමාජ ආර්ථික සාධක ද වෙනස්වන සමාජයක පමණක් බව සත්‍යයකි. එහෙත් එතෙක් මෙවැනි උත්සාහයක් හෝ දැරීම පැසසිය යුතුය. එහෙත් අපරාධ කල්ලි මර්දනයට එවැනි කිසිදු වැඩපිළිවෙලක් කිසිදු පාලන කාලයක් තුළ දකින්නට ලැබුණේ නැත. යම් යම් කාල වකවානුවල පාතාලයන් මර්දනය කළ බවට අදහසක් සමාජයේ තිබුණ ද හොඳින් නිරීක්ෂණය කර බැලුවහොත් ඒ මර්දනය කර තිබෙන්නේ දේශපාලනිකව තමන්ගේ හිතවාදි කල්ලිවලට ප්‍රතිවාදී කල්ලිවල සාමාජිකයෝය.   


 පාතාලයන් සමග ගනුදෙනු කරන ප්‍රධානම පෙළේ දේශපාලනඥයන් ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන කතා කළ යුගය අවසන් කරමින් දැන් දැන් පාතාලයන් සමග වැඩිපුරම ගැටගැසෙන්නේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ නම්ය. කුඩු සමග, පාතාලයන් සමග පසුගිය වසරකට ආසන්න කාලය තුළ අත්අඩංගුවට පත්වූ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව පරීක්ෂා කළහොත් මේ අදහස තහවුරු කරගත හැකි වනු ඇත.   


කුඩු රොෂාන් ඇතුලු පාතාලයෝ පිරිසක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් යක්කල හෝටලයක දී හා වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ. මේ කණ්ඩායම සමග ද පළාත් පාලන මන්ත්‍රීවරයෙක්ව සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසු අතර ඔහු මේ පාතාල කණ්ඩායම් සමග එක්ව යම් අපරාධ සිදුකර තිබේදැයි පරීක්ෂණ කරන බව ද පැවසීය.   


 කුඩු රොෂාන් කියන්නේ කවුද? ග්‍රෑන්ඞ්පාස් සමිට්පුර ප්‍රදේශය හොල්ලාගෙන සිටි කුඩු සුමිත්ගේ ලොකු පුතාය. ඔහුට රොෂාන් කියලා කවුරුත් හැඳින්වුවාට ඇත්තම නම තුප්පයිආරච්චිගේ ප්‍රසාද් රුවන්ය. ඔහු පාතාල ක්‍රියාකාරකම්වල නිරතවීම නිල වශයෙන් ආරම්භ කරන්නේ තමන්ගේ දෑස් ඉදිරිපිටම පියා ඝාතනය කර තමන්ව ද කපා කොටා ඝාතනය කිරීමට උත්සාහ කළ පාතාලයින්ට පාඩමක් ඉගැන්වීමේ චේතනාව ඇතිවය. කුඩු රොෂාන්ගේ පියා ඝාතනය කළේ චූටි උක්කුං විසිනි. ඒ පළිය ගන්න රොෂාන් චූටි උක්කුංගේ මව සමිට්පුර කුඩු කුමාරිව ඝාතනය කරවනු ලැබුවේ සුමිත් ඝාතනය කළදාට පසුදින අලුයමේය.   


චුටි උක්කුං බ්ලුමැන්ඩල් සංකගේ ගෝලයෙක් බව අපි මීට පෙරත් කතා කළා. සංඛලාගේ හා ඔහුගේ ප්‍රතිවාදියා වූ දෙමටගොඩ චමින්දගේ අතර ගැටුම මේ ආකාරයට දෙමටගොඩත්, සමිට්පුර, මෝදර” මට්ටක්කුලිය ප්‍රදේශවල මීනි ගොඩගැසෙන්නට මං පෙත් විවර කරනු ලැබීය. එහෙත් පාතාලයන්ගේ වර්ධනය මර්දනය කිරීමට කිසිම පාලකයෙක් සමත් වූයේ නැත. එයට ප්‍රබලම හේතුව වූයේ පාතාලයන් සමග හැමවිටම දේශපාලකයන්ද සිටි බැවිනි.   


දෙමටගොඩ චමින්ද නියෝජනය කළේ කොළොන්නාව ප්‍රදේශයේ එකල සිටි ප්‍රබල තරුණ දේශපාලනඥයෙකි. ඔහුට කුඩු ජාවාරමේ නිතර වීම සම්බන්ධයෙන් චෝදනා සමාජයෙන් විවිධ තැන්වලින් එල්ල විය. එහෙත් පාලකයන් විසින් ඔහු ආරක්ෂා කිරීම නිසා අදටත් ඔහුට කුඩු චෝදනාවක් නැගීමට කිසිවෙකුට හැකියාව ලැබී නැත. බ්ලුමැන්ඩල් සංඛ නියෝජනය කළේ බොරැල්ල ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකි. ඔහුට කුඩු චෝදනා නැති වුවත් කුඩුකාරයන් ලවා මැරකම් කරවා ගත් බවට චෝදනා තිබිණ.   
කවුද මේ බ්ලුමැන්ඩල් සංඛ?   

 

දෙමටගොඩ චමින්ද නියෝජනය කළේ කොළොන්නාව ප්‍රදේශයේ එකල සිටි ප්‍රබල තරුණ දේශපාලනඥයෙකි. ඔහුට කුඩු ජාවාරමේ නිතර වීම සම්බන්ධයෙන් චෝදනා සමාජයෙන් විවිධ තැන්වලින් එල්ල විය. එහෙත් පාලකයන් විසින් ඔහු ආරක්ෂා කිරීම නිසා අදටත් ඔහුට කුඩු චෝදනාවක් නැගීමට කිසිවෙකුට හැකියාව ලැබී නැත. බ්ලුමැන්ඩල් සංඛ නියෝජනය කළේ බොරැල්ල ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකි. ඔහුට කුඩු චෝදනා නැති වුවත් කුඩුකාරයන් ලවා මැරකම් කරවා ගත් බවට චෝදනා තිබිණ.


උප්පැන්නයට අනුව ඔහු රණසිංහ ආරච්චිගේ සංඛ ශිරන්තය. රණසිංහ ආරච්චිගේ ලලිත් ප්‍රසන්න නමින්ද ඔහු ඇතැම් ලිපිලේඛන සකස් කරගෙන ඇති බවද පොලිසිය සොයාගෙන තිබේ. සංඛ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ උපන් දරුවෙකි. ඔවුන් උපතින්ම දුප්පතුන් වුවත් සංඛගේ දෙමාපියන් හා පවුලේ වෙන කිසිවෙක් මෙලෙස අපරාධවල නොයෙදුන බවයි පොලිසියේ අදහස. පස්දෙනෙකුගෙන් යුත් ඔහුගේ පවුලේ සහෝදරයන් දෙදෙනෙක් හා සහෝදරියන් දෙදෙනෙක් සිටි. නම් තුනක් වගේම සංඛට ලිපින ද තුනකි. සිරිසඳ නිවාස සංකීර්ණය, කොළඹ 14. පර්ගිල්සන් පාර, කොළඹ 14. හා 26 වන පටුමග, මුතුරාජවෙල, කඳාන ඒ ලිපින තුනය. එකක් ඔහුගේ මහගෙදරය. අනෙක් ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ සමග විසු නිවසේය. අනෙක් අනියම් බිරිඳගේය. තිස්තුන් හැවිරිදි වියේ පසුවන ඔහු තිදරු පියෙකි.   


 පවුලේ කිසිවෙකු අපරාධ සමග සම්බන්ධයක් නොතිබුණේ නම් සංඛ කොහොමද අපරාධවලට යොමු වුණේ කියන ප්‍රශ්නයට නිශ්චිත උත්තරයක් නැත. එහෙත් පාසල් නොගිය සංඛට ප්‍රදේශයේ කොලුගැටව් සමග බජාර් එකට වැටුණාම විවිධ අපරාධකරුවන් මුණ ගැසුණ බවට නම් සැකයක් නැත. සංඛට එලෙස මුණ ගැසුණ නම ගිය අපරාධකරුවෙක් ද විය. ඔහු අන් කිසිවෙක් නොව ප්‍රින්ස් කොළම්ය. සංඛට ප්‍රින්ස් කොළම් හමුවුණේ 2002 වසරේදීය. එකල ඔහුගේ වයස අවුරුදු යම්තම් දහසයක් වුවා පමණි.   
 ප්‍රින්ස් කොළම් යටතේ ඔහුගේ ගෝලයා වෙමින් අතනට මෙතනට කුඩු ගෙනියන්න, ආයුධ අරන් යන්න, රැලට එකතු වෙලා චන්ඩිකම් කරන්න සංඛට කිසිම පැකිළිමක් තිබුණේ නැත. මේ දේවල් නිසා තමන් ද චන්ඩියෙක් වී ඇතැයි යන මාන්නයකින් සංඛ පෙළෙන්නට ද ඇත. එය තව තවත් ඔහුව අපරාධ කෙරෙහි යොමු කරන්නටද ඇත.   
ප්‍රින්ස් කොළම් 2004 ඝාතනය වන විට සංඛට අවුරුදු දහ අටක් පමණ වන්නට ඇත. ආමි සම්පත්, රේල්පාරේ සංජීව මේ සියලු දෙනාම ප්‍රින්ස්ගේ ගෝලයෝය. සංඛට වඩා රේල්පාරේ සංජීව වැඩිමහල් තරමක් අත්දැකීම් තිබුණ අයෙක් වූ නිසා සංඛ හා සම්පත් දෙදෙනා සංජීව යටතේ ටික කලක් වැඩ කළහ. දෙමටගොඩ චමින්ද වැඩ කළේද මොවුන් සමගය. මොවුන්ට දේශපාලන රැකවරණය දුන්නේ තරුණ දේශපාලනඥයෙකි. ප්‍රින්සම්ගේ මරණයෙන් පසු එකට වැඩකළ මේ කණ්ඩායම සංඛලා ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේත්, චමින්දලා දෙමටගොඩ ප්‍රදේශයේත් කුඩු බෙදාහැරීම සිදු කළා. ඔවුන්ගේ ඉලක්කය වුණේ මුලු කොළඹ කුඩු බෙදාහැරීමේ ජාලය තමන් අතට ගැනීමටය.   


මේ සිහිනය සමග කටයුතුකරගෙන යද්දි යම් යම් අනවබෝධයත් හා එකෙක් පරයා එකෙක් නැගී සිටිමේ පාතාලයේ අනන්‍ය ලක්ෂණයත් නිසා සංඛලා හා දෙමටගොඩ චමින්දලා අතර ගැටුම් හටගන්නට විය. රේල්පාරේ සංජීව ද  චමින්දට හේත්තු විය. මේ ගැටුම නිසා පොලිසිවලට නිවනක් තිබුණේ නැත. දෙපාර්ශ්වයේ ගැටුම් නිසා සිදුවන කපාකොටා ගැනීම්, ඝාතන ආදිය නිසා මෙලෙස පොලිසියට ප්‍රශ්න බේරා අවසන් කළ නොහැකි තත්ත්වයක් ඇති විය. එහෙත් හැමවිටම මේ දෙපාර්ශ්වයටම දේශපාලනඥයින්ගේ අතපෙවීම් තිබු නිසා පැමිණිලි ලියා ගැනීම, කට උත්තර ගැනීම හැර පොලිසියට කළ හැකි දෙයක් තිබුණේ නැත.   


2010දී සංඛ කප්පම් ඉල්ලා පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් විය. මේ සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි සංඛ පසුව කුඩුද සමග අත්අඩංගුවට පත්විය. මාස කීපයක් රිමාන්ඞ් භාරයේ සිටි සංඛ 2011 වසර ආරම්භයේදීම ඇප මත මුදාහරිනු ලැබීය.   


රිමාන්ඩ්බාරයේ පසුවන කාලයේ ඔහුට තවත් තද පොරක් හමුවිය. ඒ මාකිලංගමුවේ සංජීවය. ඔහු රිමාන්ඞ් බාරයට පත්ව තිබුනේ සුප්‍රසිද්ධ කෝටි හතේ බැංකු මංකොල්ලයටය. එයට රිමාන්ඞ් වූ දොලොස් දෙනා අතර ආමි සම්පත් ද විය. ආමි සම්පත් මගින් සංඛ සංජීව දැන හඳුනා ගත්තේය.   


සංඛ දෙමටගොඩ චමින්ද ඝාතනයට සැලසුම් සකස් කළේය. ඒ මාකිලංගමුවේ සංජීව සමග එක්වය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කෙරෙන්නේ 2011 වසරේ ඔක්තෝබර් 08 වෙනිදාය. ඒ පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරවාරයේදීය. මෙම සිදුවීමට චමින්ද එක් සැකකරුවෙක් විය. ඒ සිදුවීමෙන් පසු ඉන්දියාවට පළාගිය චමින්ද එහිදී අත්අඩංගුවට ගෙන ලංකාවට පිටුවහල් කරන ලදුව 2011 වසරේ අගභාගයේදීම මෙරට පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කරනු ලැබිණ. වසරකට ආසන්න කාලයක් රිමාන්ඞ්ව සිටි ඔහුට පසුව ඇප ලැබිණ.   


චමින්දට සහය දුන් දේශපාලනඥයා ඒ වින විට සිටියේ වෙඩි වැදී තුවාල වීම හේතුවෙන් සිංගප්පුරුවේ රෝහලකය. ඒ නිසා චමින්දට තිබූ දේශපාලන හයිය ද දැන් නැත. සංඛලා චමින්දව ඝාතනයට පිඹුරුපත් සකස් කළේ මේ සියල්ල හොඳින් කිරාමැන බලමිනි.   


 සංඛලා චමින්ද ඝාතනට සැලසුම් කිරීම හා ඔහු සිදුකළ තවත් අපරාධ සම්බන්ධයෙන් අප ඉදිරියේදී කතා කරමු.   

 


මුදිතා දයානන්ද