ක්‍රියාදාම චාරිකා

අලුගල් කන්ද්‍

 

දුම්බර වනපියස යනු යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස පත්වූ මධ්‍යම පළාතේ උතුරු දිග පිහිටි මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලට අයත් වන පියසකි. සොබාසිරි අප දෙවසරක් මුළුල්ලේ මෙහි තිබෙන කඳුවලින් තුනෙන් දෙකක් පමණ මේ වනවිට තරණය කර ඇති අතර අද ගමන නම් මාස කිහිපයක සිට සිහිනයක් වූ දුම්බර රසික කිසිවකුත් පය නොතැබු කන්දක් විය. දැඩි දුෂ්කර බවකින් යුත් මෙම කන්ද එක් දිනක දී කෙසේ හෝ තරණය කිරීමට අප සූදානම් වූයේ වැසි රහිත පැහැදිලි දිනයකදීය.   


අලුගල්ලෙන යනු දුම්බර වනයේ පිහිටි සුප්‍රසිද්ධ සහ සම්මත සංචාරක මාර්ගයක් සහිත ස්වභාවික ලෙනකි. මීට වසරකට පෙර අප අලුගල්ලෙන තුළ රැයක් ගෙවා දැමුවේ මහ වර්ෂාව මැදය. එදිනට පසුදින වනය මැදින් කරඹ කැටිය ගමට සේන්දු වනවිට අප දුටුවේ අලුගල් කන්දයි. එය විශාල දුර්ග සහිත කන්දක් බවත් එය තරණය ඉතා දුෂ්කර බව එදවස වැටහුනද පුරා මාස කිහිපයක් පුරාවට එය තරණය කළ හැකි පහසුම මාර්ගය අප සොයන්නට වීමු. අලුගල්ලෙන පිහිටි මහා ගල්පර්වතය යනු වෙනම පිහිටි ගලක් වන නමුත් මීට ඉතා ඉහළින් පිහිටි අලුගල් කන්ද යනු නකල්ස් වනපෙතේ මීටර 1800 ඉක්ම වූ සිව් වැනි කන්දයි.   


මාස පහක් පමණ අප මූලික සැලසුම් ​ෙයදවූයේ අලුගල්කන්ද තරණය කළ හැකි පහසුම ක්‍රමය සොයා ගැනීමය. කරඹකැටිය හෝ දන්දෙහිකුඹුර ආදි ගම්වලින් කන්ද තරණය අතිශය දුෂ්කර බව වැටහුණේ දැවැන්ත පර්වත බිත්ති තිබෙන හෙයිනි. මෙහිදී අප නකල්ස් කඳු පහ කෙරෙහි වැඩි අවධානයක් යොමුකළේ අලුගල්කන්ද ඊට යා වී තිබුණු හෙයිනි. එම නිසාම තංගප්පුව සිට කොටගන පතන හරහා නකල්ස් යන මගේ ඡායාරූප අපි තවදුරටත් සොයාගෙන විශ්ලේෂණය කළෙමු.

   
තවද මිනින්දෝරු සිතියම් සහ ගුගල් භූ විෂමතා සිතියම් බැලු කල මුහුදු මට්ටමේ සිට උස මීටර් 1700 කිට්ටුව අලුගල්කන්ද සහ නකල්ස් පවතින බැවින් අප අලුගල්කන්ද මුදුනට යාමට නම් නකල්ස් කඳුවැටි පහම තරණය කළ යුතු බව වැටහුණි. තරමක් දිගු කාලයක් වැය වන ගමනක් වුවද නකල්ස් පළමු කන්දට පැමිණි පසු අලුගල්කන්ද තෙක් පවතින මුහුදු මට්ටමේ උස එක ළඟ වූ හෙයින් ගමනේ දුෂ්කරතාව අවම වෙතැයි අපට සිතුණි. සියල්ල සුදානම් කරගෙන සිතියම් සලකුණු කරගත් අපි වර්ෂාව මුළුමනින්ම අඩුවන තුරු මාස 2ක් පමණ බලා සිටියෙමු.   

 

නකල්ස් කඳු වැටිය

තුන්හිස්ගල, වමාරපුගල සහ ලකේගල

 


කෙසේ හෝ නකල්ස් වනපෙ​ෙත් දුෂ්කරම තරණයට දින සති මාස බලා සිටි අපට නියමිත දිනය උදාවුණි. අප තිදෙනා මධ්‍යම රාත්‍රියේ කොළඹින් පිටත්ව පාන්දර 4 වන විට බඹරැල්ල ගමට ළඟා වූයේ සැලසුමේ පරිදි කුකුළන් අතින් අරගෙනම නකල්ස්කඳු වලට යන සංචරණ මාර්ගයේ යා යුතු බැවිනි. බඹරැල්ලේ සිට එම ස්ථානය කරාද යතුරුපැදි මගින් ගමන් කළ අපි ගමන පටන් ගතයුතු නියමිත ස්ථානය අසල යතුරුපැදි නවතා අඳුර වැටුණු කණිසමට නකල්ස් කඳු වෙත යන මාර්ගයේ ගමන් කළෙමු. පාන්දර 5 පමණ වනවිට නකල්ස් ඇල්ල ද පසු කරගත් අපි හිමිදිරි අරුණ වැටෙන විට එළිමහන් තැන්නේ ගමන් කෙරුවෙමු. බොහෝ පිරිසට නකල්ස් කඳු පහ පවා එක් දිනක දී තරණය කිරීමට නොහැකි වන නමුත් අපි මීට පෙර නකල්ස් කඳු පහ තරණය කළ බැවින් නොනැවතී වේගයෙන් ඉදිරියට ගමන් කෙරුවෙමු.   


අලුගල්කන්ද තරණය කළ යුතු පහසුම මාර්ගය නම් ප්‍රථමයෙන් නකල්ස් කඳුවැටිය තරණය කිරීමය. එහි පස් වන කඳුවැටිය අසලින් පහළට බැස අලුගල්කන්ද වෙත ගමන් කළ යුතුය. එනම් අලුගල්කන්ද තරණය කිරීමට සැරසෙන ඕනෑම කෙනකුට ප්‍රසාද දීමනාවක් මෙන් නිතැතින්ම නකල්ස් කඳු පහද තරණය කළ යුතු වේ. කෙසේ හෝ නොනැවතී උපරිම වේගයෙන් ඇවිද ගිය අපි උදෑසන 8 පමණ වනවිට නකල්ස් කඳුවැටියේ උසම කන්ද වන මීටර 1863ක් උසැති නකල්ස් දෙවන කඳු මුදුනට ළඟා වු​ණෙමු. නමුත් මින් එහාට යාමට තිබූ මාර්ගය දැඩි වේගයකින් යුත් සුළං කපොල්ලකට යටව තිබුණි.   


මුළු අංශක 360ක වපසරියම සුදු මීදුමෙන් වැසී ගොසිනි. දෙවන කඳු මුදුනේ සිට තෙවන කඳු මුදුනට යා යුතු කොටස එකම කපොල්ලක් වී තිබුණි. පැයට කි.මී. 50කට අධික වේගයන් මීදුම් ඒ අතරින් යමින් තිබුණි. අපට සිටගෙන එම ස්ථානයෙන් ගමන් කළ නොහැකි විය. මන්ද එම ස්ථානය පටු ස්ථානයකි. දෙපස ඇත්තේ දරුණු හෙළකි. අලුගල් කන්දක සේයාවක් හෝ නොපෙනුණු නමුත් අපි බිම දිගා වී සෙමින් සෙමින් එම දරුණු සුළං ප්‍රවාහන හරහා ගමන් කරන්නට වීමු. සීතල කොතෙක්ද යත් දත් පවා එකට වැදෙන්නට විය.   
කෙසේ හෝ තෙවන කඳු මුදුනට ළඟාවූ අපි ඊළඟට පිළිවෙළින් සිවු වන හා පස් වන කඳුමුදුනටද ළඟා වුණෙමු. පරිසරය තරමක් පෙනෙනසුලු වූ අතර වැසි බර හෝ තෙත ගතියක් එහි නොවීය. මන්ද මද වැස්සකට හෝ අවදි වන බිලියන ගණනක කූඩැල්ලන් මෙහි නිදා සිටින වග අපි හොඳින් දැන සිටියෙමු. පස්වන කඳු මුදුනට ආ අප එම වැටියේ කෙළවරට ගිය විට ඇස් අදහාගත නොහැකි අතිශය සුන්දර දසුනක් දක්නට ලැබිණි.   


එනම් එකයායට දිස්වන නකල්ස් හි දැවැන්තයන් කිහිප දෙ​ෙනකි. තුන්හිස්ගල, වමාරපුගල, අප්පල පතන, ලකේගල ඉතා සුන්දරව වෙනස්ම ආකාරයකින් අපට දැක ගැනීමට ලැබුණි. මෙතැන් සිට පහළ තැන්නට අපට බැසීමට සිදුවූ අතර එය අංශක 70ක පමණ ආනතියකින් යුක්ත විය. ගල් පර්වත දිගේ ගස්වැල් දිගේ රූටා යමින් අපි පහළ තැන්නක් වැනි විවෘත ප්‍රදේශයකට පැමිණියෙමු. එහිදී ඉතා ගාම්භීරව සහ පුළුල්ව පිහිටි අලුගල්කන්දේ මුළු වපසරියම අපට දැකගත හැකි විය. ඊටම අනන්‍ය වූ හැඩය මුළුමනින්ම අප යා යුතු දළ මාර්ගයක් අපට දැක ගත හැකි විය.  


පසුව අප බොහෝ ඡායාරූප ප්‍රමාණයක් ගෙන අපගේ දවසේ ඉලක්කය කරා යාමට පිටත්වුනෙමු. වන පියස ඉතා විශාල වුවද මෙහි පඳුරු නොවීය. ගස් අතරින් මග සාදාගෙනම ඉදිරියට යාමට හැකි වුණි. මෙසේ හෝරාවක් පමණ මහ රූස්ස කැලයේ නෙක නෙක සුන්දරත්වය බලමින් ගමන් කළ අපට වෙනස්ම විදිහට ගල් බිත්ති 2ක් පිහිටි ඉසව්වක් නෙත ගැටුණි.   


දෙවරක් නොසිතාම එහි පියමැන්න අපට දැක ගැනීමට හැකි වූයේ කුඩා ගුහාවකි. අංශක 90කින් යුත් විශාල ගල් බිත්ති 2ක් අතර පර්චස් 15ක පමණ තැනිතලාමය කොටසක් වූ අතර එහි කිසිම ශාකයක් නොවීය. එක් පර්වතයක් මුදුනේ සිට පහළට ජලය වැගිරෙමින් තිබූ අතර අනෙක් දෙපසම ගල් කුට්ටි ඉහළට වන්නට පිහිටා තිබුණි. කුඩා ගුහාවක් තිබූ අතර දුරකතන එළිමගින් එය විපරම් කර එහි යා හැකි වූයේ කෙටි දුරකි. ආලෝකය ප්‍රමාණයක් නොවූයෙන් එහි බඩගා ඉදිරියට යාමට අපට අවස්ථාවක් නොවුණි. තවද විවෘත කුඩා ලෙනක් යාබදව පිහිටා තිබූ අතර ඇතැම් විට මෙම ස්ථාන කොටියාගේ නවාතැනක් විය හැකි බව අපට සිතුණි.   


කෙසේ හෝ නැවතත් අපි ගමන පටන්ගෙන සිතියමට පරිදි අලුගල් කන්දේ ප්‍රථම නාරටිය අසලට පැමිණියෙමු. මෙතැන් සිට මඳ වශයෙන් යුත් නැගිම කඳු මුදුනට යන අතර දෙපස කෙළවර දැවැන්ත ප්‍රපාත පිහිටා ඇති බව අපි නිර්ණය කර ගත්තෙමු. අතරමග රූටමින් ගලමින් තිබූ සුන්දර දිය දහරාවන්ගෙන් පිපාසය නිවාගෙන ජලය බෝතල්වලටත් පුරවා ගත් හෙයින් අද දවසේ දැවැන්ත ක්‍රියාදාමයේ අවසන් කඩඉම සොයා අපි ඉදිරියටම ඇදුණෙමු. දහවල් 12ට විනාඩි දහයක් පමණ තිබියදී අපි ගමනාන්තය වූ මීටර් 1808ක් උසැති අලුගල්කන්ද මුදුනට පැමිණියෙමු.   


අලුගල්කන්ද යනු එකම කුරුගස් වන පියසකි. ඉතා තදින් ඝනව වැඩී තිබුණු කුරු ගස් තේ ගස් වලට වඩා ශක්තිමත් විය.   


සමස්ත කන්දම මෙම කුරුගස්වලින් පිරී තිබුණි. ඒවා අපගේ උරහිස ප්‍රමාණයට විය. හොඳින් ශක්තිමත් අතු ගණනාවකින් යුත් කුරු ගස් මතට අපි නැගගෙන අංශක 360කින් යුත් පරිසරය දැක ගත්තෙමු. ගොම්බනියා, යකුන්ගේ ගල, නකල්ස් කඳු පහ, තුන්හිස්ගල, වමාරපුගල, මානිගල, රිවස්ටන්, ලකේගල, යහන්ගල, කෙහෙල්පොත්දෙරරුවේගල, ගැරඬිගල, දුම්බානාගල, කොබෝනීලගල, කිණිහර ගල් දෙක අලියා වැටුණු ඇළ දෝතලුගල ඇතුළු අංශක 360 වපසරියක යුත් නකල්ස් දසතම මෙම අලුගල් කන්ද මුදුනට දැක ගැනීමට අපට හැකි වුණි.   


උස මැනීමේ මෘදුකාංගයට අනුව අලුගල් කන්දේ උස මීටර 1808ක් විය. නකල්ස් වල පිහිටි මීටර 1800ට උසැති සිව් වන උසැති කන්ද මෙය විය. අපි මුළුමනින්ම කුරු ගස මත නැග සිටියෙමු. මාස 7ක පමණ බලා සිටි ප්‍රයාමය අතිශය සාර්ථක බව අපට වැටහුණේ පැහැදිලි කාලගුණය දවස පුරාවටම වූ හෙයිනි.   


නකල්ස් කඳු වැටි 5 ඉතා පැහැදිලිව දැක ගත හැකි වූ අතර දුම්බානාගල පිහිටීමද පැහැදිලිව දැකගත හැකි විය. කන්ද මුදුනේ කෙළවරටම ආ අපි මෙහි පහළ කොටසද දැක ගත්තෙමු. කුරු ගස් යට වැතිර අපි ගෙන ආ ආහාර ගත් පසු මඳ විවේකයක් ගත්තෙමු. පසුව ආපසු පිටත්වීමට සූදානම් වූයේ නැවතත් ගස් උඩට නැග පරිසරයේ සුන්දරත්වය අත්විඳ ගනිමිනි.   


දහවල් දෙකට කිට්ටුව පිරිස නැවත කන්ද බැසීමට පටන් ගත් අතර එහිදී අපි වෙනත් මගකින් නකල්ස් දෙවන කන්දට යාමට තීරණය කළෙමු. එම ගමන අප සිතුවට වඩා දුෂ්කර වූ නමුත් එක්තරා පතනකට පැමිණ පසු එතැන් සිට ගෝනා ගිය මග දිගේ යාමට තීරණය කළෙමු. එම මග එතරම් දුෂ්කර නොවූ අතර සවස 5 වනවිට අපි තවත් අතිරේක කඳු වැටි 2ක් තරණය කරමින් නකල්ස් දෙවන කන්දට පැමිණියෙමු.   


පසුව අප හෝරාවකින් නකල්ස් ඇල්ල අසලට පැමිණියෙමු. අඛණ්ඩ පැය 12ක පමණ ගමනකින් පසු අප සාර්ථක ලෙස අලුගල්කන්ද තරණය කර අවසන් කෙරුවෙමු. සමස්ථයක් ලෙස නකල්ස් කඳුවැටි පහද අලුගල් කන්දේ කඳු වැටි දෙකද ආපසු පැමිණි මග තරණය කළ අතිරේක කඳු වැටි 2ක ඇතුළුව අද දිනයේ කඳුවැටි 9ක් අපි තරණය කර වෙහෙසට පත්ව සිටියෙමු. එම නිසාම දිය දහර ළඟ වැතිර ගත දෝවාගෙන නැවතත් යතුරුපැදි නැවතූ ස්ථානයට අප ළඟා වුණෙමු.   


කිසිවකුත් මින් පෙර තරණය නොකළ අලුගල් කන්ද ක්‍රියාදාමයේ පහසු මග සොයාගෙන කෙසේ හෝ එක් දිනකදී අපට තරණය කිරීමට හැකි වුණි. සොබාසිරි කණ්ඩායමේ තවත් ක්‍රියාදාමයක් සමග ලබන සතියේ හමුවෙමු.   

 

අලුගල් කන්දේ අප ගිය ස්ථානය

පර්වත බෑවුම

විවෘත ලෙන්

අසාමාන්‍ය පර්වත පිහිටීම්

නොඉඳුල් දිය දහරාවන්

නකල්ස් ඇල්ල

අංශක 90 ගල් බිත්ති පිහිටි ගුහාව

අධික මීදුම මැදින්....

නකල්ස් කඳු මුදුනට යන මග

 

 

 


සංචාරක සටහන හා ඡායාරූප   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු