ගවේෂණ

පූජා භූමියේ අනවසර වෙ​ෙළඳාම් කරන අයුරු.

 

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය වැඳ පුදා ගැනීමට බැතිමතුන් පැමිණෙන්නේ ඉමහත් භක්තියකිනි. තම සිතුම් පැතුම් ප්‍රාර්ථනා මුදුන්පත් කරගැනීමේ බලාපොරොත්තුවෙන් පැමිණෙන ඔවුන්ට සිදුවන විවිධ හිරිහැර හා බාධක දෙවියන්ට ද නොපෙනීම පුදුමයට කාරණයකි. ඒ තරමටම අද වෙනවිට කතරගම පුදබිම අවට ප්‍රදේශවල නීතිවිරෝධී කටයුතු සිදුවෙමින් තිබේ. 


ඉකුත් පාසල් නිවාඩු කාලය හා නව වසර උදාවීමට පෙර ආශිර්වාද ලබාගැනීම සඳහා බැතිමත්හු වැඩි වශයෙන් කතරගමට පැමිණියෝය. 


කතරගම පූජා භූමිය ආසන්නයට පැමිණෙන විටම දහ පහළොස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් බැගින් මග දෙපස රැඳී සිටිමින් බැතිමතුන්ට ඇවිටිලි කරන්නේ තම පලතුරු වෙළෙඳසල් ඉදිරිපිට රථවාහන නතර කර ගැනීමටය. එසේත් නොමැති නම් රථවාහන ගාල් කර තබා ගැනීමටය. එසේ නවතා තබන රථවාහනවලින් පැමිණෙන පිරිස් අනිවාර්​‌‌යෙන්ම පූජා වට්ටි එම වෙළෙඳසල්වලින් මිලදී ගත යුතුය. රුපියල් දහසේ සිට පන්දහස පමණ වන තෙක් පලතුරු පූජා වට්ටි සකස් කරගෙන ඔවුහු සිටිති. 


යම් හෙයකින් පූජා වට්ටි මිලදී නොගතහොත් හෝ අඩුවෙන් මිලදී ගතහොත් බැතිමතුන්ට නොසෑහෙන්න බැණුම් ඇසීමට ඔවුන්ට සිදු වෙයි. ඔවුන්ගෙන් ගුටි නොකා යාමට සිදු නොවන්නේ පෙර පිනක් තිබුණහොත් පමණි. 


එතැන් සිට කතරගම මහ දේවාලය අසලට යන තෙක්ම මග දෙපස ද පදික වෙළෙඳුන්ය. ඊට අමතරව යාචකයන්ය. ඔවුන්ගෙන් බේරී යාමද එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවේ. පදික වෙළෙන්දෙකුගේ ඇඟේ හැපී යම් බඩුවක් බිම වැටුණහොත් හෝ යාචකයකුගේ මුදල් පීරිසිය කකුලේ හැපී විසි වුවහොත් බැතිමතුන්ට තම මව පියාගේ ජාතකයේ සිට බැණුම් ඇසීමට සිදු වෙයි. 


ඒ වගේම පුදබිමට ඇතුළුවීමට තිබෙන අංක 02 පාලම වැනි ස්ථාන ද අවහිර කරමින් ජංගම වෙ​ෙළන්දෝ වෙළෙඳාම් කරති. පාලම උඩ සිට මැණික් ගඟේ සිටින මාළුන්ට පොරි විකුණන වෙළෙඳුන්ගේ ද අඩුවක් නොමැත. මුදල් ගෙවා පොරි පැකැට්ටුවක් මිලදී ගෙන මාළුන්ට දමන ලෙසට එම වෙ​ෙළන්දෝ ඇවිටිලි කරති. 


කතරගම දේවාලය අසල පූජා වට්ටි සකස් කරන තැන්වලදී පවා ඇතැම් වෙ​ෙළන්දෝ බුලත් කොළ හා මල් මාලා විකුණති. එමෙන්ම කතරගම මහ දේවාලය අසල සිට කිරිවෙහෙර දක්වා මග දෙපස පූජා භූමියකට වඩා දිස් වන්නේ කොළඹ මැනිං වෙ​ෙළඳපොළ වැනි දර්ශනයක්ය. ලොතරැයි අලෙවි කිරීම, කළු‍දොදොල් විකිණීම, මල් මාලා, නූල්, බුදු පිළිම, කරමාල විකිණීම ආදී වෙළෙඳුන්ගෙන් පිරී පවතී. එපමණක් නොව පරිප්පු වඩේ, මාළු පාන් හා අයිස්ක්‍රීම් විකුණන වෙළෙඳුන්ගේ ද අඩුවක් නොමැත. ඔවුහු වර්ග අඩි සීය දෙසීය ආදී වශයෙන් ඉඩ කඩ වෙන් කරගෙන තම වෙළෙඳාම් නිදහසේ තමන්ට අවශ්‍ය පරිදි කර ගෙන යති. 


ඒ මග දෙපස මල් විකිණීම සඳහා වෙළෙඳ කුටි තනා දී තිබෙන අතර එම කුටිවල වෙළෙඳුන් ද මල් විකිණීමට අමතරව පානීය ජල බෝතල්, පූජා වට්ටි, හඳුන්කූරූ, පොල් ගෙඩි ආදී පූජාභාණ්ඩ විකුණන වෙළෙඳසල් බවට එම කුටි පත් කරගෙන තිබේ. 

 

වෙළෙන්දෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කොස්තාපල්වරියක් ඔහු පසු පස ලු‍හුබඳිමින්.

දෙවියන්ට පූජා කළ පලතුරු නැවත පලතුරු වට්ටි සැකසීමට රැගෙන යමින්.

 


මාතර, කළුතර, අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය ආදී ලංකාවේ විවිධ පළාත්වල පූජනීය ස්ථාන පිහිටා තිබියදීත් එම ප්‍රදේශවල පදිංචි පුද්ගලයෝ පවා කතරගම පූජාභූමිය තුළ රැඳී සිටිමින් යාචකයින් ලෙස මුදල් සම්මාදම් කරගැනීමේ ජාවාරම ජයටම කරගෙන යති. එමෙන්ම ඇතැම් කාන්තාවෝ තම කුඩා දරුවන් ළඟ තබාගෙන ඔවුන්ගේ දුක වේදනාව ද පෙන්වාගෙන යාචක රැකියාව නිදහසේ කරගෙන සිටිති. 


ඇතැම්විට පොලීසිය හා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ ඔවුන් අල්ලා ගැනීමට උත්සාහ කරන විට එම පිරිස බැතිමතුන් ද පෙරළා ගෙන හිස් ලූ ලූ අත දුව යාම සාමාන්‍ය තත්ත්වයකි. එසේ අත්අඩංගුවට ගන්නා සුළු පිරිස කතරගම පොලීසිය වෙත රැගෙන යන අතර ඔවුන් බේරා ගැනීමට ප්‍රාදේශීය දේශපාලනඥයින් දක්වන්නේ පුදුම උනන්දුවකි. බරපතළ තත්ත්වයකදී මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රබල දේශපාලනඥයින් පවා පොලීසියට කතා කර තම ආධාරකරුවන් බේරා ගැනීම වෙනුවෙන් කටයුතු කරන බවට ප්‍රසිද්ධ රහසක් ද ඇත. 


කෙසේ නමුදු සුළු වේලාවකදී ඇප ලබා ගන්නා වෙළෙඳුන් යළිත් පෙර සිටි ස්ථානයටම ගොස් වෙ​ෙළඳාම් කිරීම කතරගම ජීවත් වන ජනතාවට අලු‍ත් දෙයක් නොවෙයි. ඇතැම් වෙළෙඳුන් වගකිවයුතු රජයේ නිලධාරීන්ට රුපියල් සියයක් දෙසීයක් තේ බොන්න ලබා දී ඔවුන්ගේ සහයෝගය ලබා ගෙන වෙ​ෙළඳාම් කිරීමට තරම් උපක්‍රමශීලී වී ඇත. 
පූජා භූමිය එකම වෙළෙඳ පොළක් බවට පත්ව තිබියදී විශේෂ අවසරය මත පූජා භූමිය ආසන්නයට පැමිණෙන රථවාහනවල ද වැඩිවීමක් දිනපතා පෙන්නුම් කරයි. දේවාලය ආසන්න කලාපයට පැමිණීමට විශේෂ අවසරපත් නිකුත් කිරීම බස්නායක නිලමේ කාර්යාලය, පොලීසිය, කිරිවෙහෙර විහාරස්ථානය ආදී අංශ කිහිපයකින් සිදු වන අතර ඒවා ද කිසිදු විධිමත් භාවයකින් තොරව ලබා දීම තුළ දේවාලය ආසන්න භූමිය ද එකම රථවාහන ගාලක් බවට පත්වෙමින් තිබේ. මේ නිසා කුඩා මාර්ගවල නගරයේ මෙන් ඇතැම් විට දැඩි රථවාහන තදබදයන් ද හටගෙන තිබේ. බස් රථවලට අවසර පත් ලබා නොදීම කොන්දේසියක් වුවද එම කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කරමින් ඕනෑම වාහනයකට එම පහසුකම් ලබා දී ඇත්තේ පුද්ගල හිතවත්කම් මතය. එසේ පැමිණෙන වාහන තුළ සිටිමින් ඇතැම්හු මත්පැන් පානය කිරීම ආදී වැරදි ක්‍රියා ද සිදු කරන අයුරු පෙනෙන්නට ඇත. 
බැතිමතුන් තමන්ගේ ප්‍රාර්ථනා මුදුන්පත් කරගැනීම වෙනුවෙන් දෙවියන්ට පූජා කරන පලතුරු වට්ටිවල පලතුරුවලින් කොටසක් දේවාලය තබාගෙන ඒවා නැවත ලබා දීමේ වැඩසටහනක් ද බස්නායක නිලමේ කාර්යාලයේ අධීක්ෂණය මත ආරම්භකර තිබේ. එසේ එකතු කරන පලතුරු කතරගම වැඩිහිටි නිවාසයට හා ළමා නිවාසයට යවන්නේ යහපත් සිතිනි. ඊට අමතරව ඕනෑම බැතිමතෙකුට ද පලතුරු ඉල්ලා ගත හැකිය. පලතුරු යන්ත්‍රානුසාරයෙන් යුෂ බවට පත් කර බැතිමතුන්ගේ පවස නිවා ගැනීමට ද එම ස්ථානය මගින් ලබා දෙයි. 


එසේ දෙවියන්ට පූජා කිරීමෙන් පසු ලබා දෙන පලතුරු ඇතැම් කූට වෙළෙඳුන් රැගෙන ගොස් අතරමග පාළු තැනකදී ඒවා යළි පූජා වට්ටියක තබා සකස් කර නැවතත් බැතිමතුන්ට අඩු මුදලට විකිණීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක වෙයි. ඒ බව නොදත් ඇතැම් බැතිමත්හු පැය ගණන් පෝලිමේ සිට එම පලතුරු වට්ටි යළි දෙවියන්ට පූජා කිරීම ද සිදු කරති. 
1968 වර්ෂයේ දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කතරගම පූජා භූමියක් බවට පත් කරන්නේ එහි අනාගත අභිවෘද්ධිය ගැන සිතමිනි. ඒ අනුව පූජා භූමිය තුළ වෙළෙඳාම සම්පූර්ණයෙන් තහනම්ය. එසේ වෙළෙඳාමේ නිරතව සිටි වෙළෙඳුන්ට මැතිනිය කතරගම නව නගරයෙන් නව වෙ​ෙළඳසල් ඉදිකර දී ඔවුන් පූජා භූමියෙන් ඉවත් කළ අතර අද වනවිට උද්ගතව ඇති තත්ත්වය හමුවේ එම වෙළෙඳසල්වල වෙළෙඳුන්ට යන එනමං අහිමි වී තිබේ. ඒ පිටස්තර වෙළෙඳුන් දේවාල භූමිය ආක්‍රමණය කර තිබෙන නිසාය. 


මීට අමතරව කතරගම නගරයේ බැතිමතුන් ඉලක්ක කරගෙන තහනම් මත්ද්‍රව්‍ය විකිණීම මෙන්ම දඩ මස් විකිණීම ද අප්‍රසිද්ධියේ ඉතා සූක්ෂම ලෙස සිදු කෙරෙන බව කියති. කතරගම දෙවියන් වැද පුදාගැනීමට පැමිණෙන ඇතැම් බැතිමතුන් මුව මස් ගෝන මස් සොයමින් වෙළෙඳසල් පීරන අවස්ථා ද නැතුවා නොවේ. 


කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු සොමිපාල ටී. රත්නායක මහතා මෙසේ කීය. 


“අද කතරගම පූජා භූමිය එකම වෙළෙඳ පොළක් බවට පත් වෙලා. මේ අනවසර වෙළෙඳාම නතර කර දෙන ලෙස අවස්ථා ගණනාවකදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් වැඩක් වුණේ නෑ. දේවාලයට ලබා ගන්නා පලතුරු නැවත ලබා දීමේ වැඩසටහන තුළිනුත් ක්‍රියාත්මක වෙන්නේ ජාවාරමක්. මේ ජාවාරම ගැන බැතිමතුන් දැනටමත් දැනුවත් වෙලා ඉන්නවා. ඒ නිසා ඔවුන් ගෙදර ඉඳන් එද්දීම පලතුරු වට්ටි හද‌ාගෙන එනවා. තව අවුරුදු තුන හතරකින් කතරගම පලතුරු කඩවලින් මිනිස්සු පලතුරු මිලදී ගැනීම සම්පූර්ණයෙන් නතර කරාවි. එවැනි අකටයුතුකම්වලින් දෙවියන් පවා කෝපයට පත් වෙනවා. මේවා පත්තරේ දාන්න. එතකොට මිනිස්සු හැමෝම දැනුවත් වේවි.” 


කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා මෙසේ කීය. 


“මේ තත්ත්වයෙන් කතරගම බේරාගන්න අපිට ලොකු වුවමනාවක් තිබෙනවා. පූජා භූමිය අවට අනවසර වෙළෙඳසල් සියයකට වඩා තිබෙන බවට අපි හඳුනාගෙන තිබෙනවා. නමුත් අපිට ඒවා ඉවත් කරන්න දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයින් බාධා කරනවා. අපිට බලය තිබුණත් ඒවා ඉවත් කරන්න ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. ඒක නිසා අපිත් හිර වෙලයි වැඩකරන්නේ.”


කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතාගෙන් විමසූ විට මෙසේ කීය. 

 

ප්‍රවේශ මාර්ග අවහිර වී තිබෙන අයුරු

පූජා භූමියේ යාචකයින්.

දේවාලය ආසන්නයේ නවතා ඇති රථවාහන

 


“පූජා භූමිය තුළ ඔය කියන තත්ත්වය පැවතියත් ඒවා ඉවත් කළ යුත්තේ පොලීසිය හා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. අවශ්‍ය නිලධාරීන් හා ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් ඔවුන්ට එම රාජකාරිය නිසි පරිදි කරන්න බැරි වෙලා තියෙනවා. පූජා භූමියට ඇතුළුවීමට ඇති පාලමෙන් මෙහා කිසිදු වෙළෙඳාමක් කරන්න බැහැ. ඒක නීතියෙන් තහනම්. අපි පලතුරු නිකුත් කරන්නේ සද්භාවයෙන්. එම ස්ථානයේ අකටයුතුකමක් සිද්ධ වන බවට මේ වනතෙක් වාර්තා වී නැහැ. හැබැයි එහෙම වෙනව නම් අපි දැනුවත් කරන්න. දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. දේවාලයේ සංවර්ධනයට හා මුරුතැන් පූජාවට දායක වන අයට රථවාහන ඇතුළු කරන්න අවසර පත්‍ර දෙනවා. මේ දිනවල පැමිණෙන පිරිස වැඩි නිසා රථවාහන පැමිණීමේ යම් වැඩි වීමක් තිබෙනවා. ඉදිරියේ දී මේ තත්ත්වය ගැන සාකච්ඡා කර තීන්දු තීරණ ගන්නවා.” 


කතරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ලියනගම මහතාගෙන් විමසූ විට මෙසේ කීය. 


“කවුරු කතා කළත් අපි රාජකාරි කරන්නේ නීතියේ රාමුව තුළයි. අනවසර වෙළෙඳාම ඇප ලබා දිය හැකි වරදක්. ඉතින් අපි දවසකට විශාල පිරිසක් අල්ලා ගෙන එනවා. පැය ගානක් තියලා ඇප ලබා දෙනවා. ඔවුන් නැවතත් ඒකම කරනවා. ඔවුන්ගේ මානුෂීය පැත්ත ගැනත් අපි අහනවා. කොහොම හරි මේ තත්ත්වයට ස්ථීර විසඳුමක් අවශ්‍යයි. අපි පොලිස් රාජකාරි වැඩි කර තිබෙනවා. අදත් අනවසර වෙළෙඳුන් අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායමක් යවා තිබෙනවා.” 


කෙසේ වෙතත් තමන්ට නිදහසේ කතරගම පූජා භූමිය වන්දනාමාන කිරීමට බැතිමතුන්ට අවශ්‍ය වාතාවරණය ඇති කිරීම සියලු‍ම බලධාරීන් සතු යුතුකමක් හා වගකීමක් වන්නේය. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් අනාගතයේදී කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන් අඩුවීමට ද එය හේතුවක් වනු ඇත. දැනටමත් බොහෝ දෙනකු පූජා වට්ටි තමන් ගෙදර සිට එනවිට රැගෙන ඒම ඊට කදිම උදාහරණයකි. එම නිසා කතරගම පූජා භූමියක් ලෙස එහි ගෞරවය රැකෙන පරිදි පවත්වාගෙන යාම කතරගම දෙවියන් වෙනුවෙන් දක්වන ගෞරවයක් ද වනු ඇත.

 


ඡායාරූප හා සටහන 
ක්‍රිෂාන් ජීවක ජයරුක්