ගැරඬිගල ඉසව්ව අවට ඇති සමස්ත දිය ඇලි ගණන 10 ක්, ඇලි සියල්ලෙම උස එකට ගත් විට බඹරකන්දට වඩා උසයි. ඇලි දාමයේ ජල මූලාශ්‍රය ඇත්තේත් එම කන්දෙමයි. ශ්‍රී ලංකාව පුංචි රටක් වුවද එහි ඔබ අප පවා නොදුටු නොදන්නා සුන්දර ඉසව් බොහොමයක් සැඟව පවතියි. නිතර දෙවේලේ එවැනි සුන්දර ඉසව් සොයා යන අපට හමු වූ අපූරුතම කන්දක් සහ ඇලි කිහිපයක් තිබෙන එක් ස්ථානයක් හමුවුණේ නකල්ස් වනපෙතේ දකුණු කෙළවරදීය. එය කන්දක් වුවද දිය ඇලි දාමයක් ඉන් ඉහළ සිට පහළට කඩා වට්ටවන අපූරු තෝතැන්නක් විය. නමින් ගැරඬිගල වන ඉන් වැටෙන දිය ඇලි ගණන හතකි. ඒවා ගැරඬි ඇලි ලෙස හඳුන්වන අතර සමස්තයක් ලෙස මෙම ඇලි යම් ලාලිත්‍යයකට, රටාවකට අනුව ඉහළ සිට වමට බරව කඩා වැටෙනු ලබයි.   


දුමෙන් බර මිටියාවතක් ලෙස හඳුන්වන නකල්ස් සංරක්ෂිත වනාන්තර යනු කඳු හතළිහයකින් පමණ පිරුණු දිය ඇලි සියයකට වඩා පවතින සොබා දම් නිර්මාණ සියල්ලෙන් සර්වසම්පූර්ණ ඉසව්වකි. නකල්ස් වනපෙතේ වසර ගණනක් සංචාරය කළ අප ගැරඬිගල මුල්වරට දුටුවේ යහන්ගල සහ වෙලන්ගොල්ල පතනේ ක්‍රියාදාමයට යන විටදීය. ගැරඬි ඇලි ලෙස හඳුන්වන ඇලි කිහිපයක්ම ලංකාවේ පවතින අතර ඒවා නම් රත්නපුර, බලංගොඩ ආශ්‍රිතව ඇති ගැරඬිරිකිලි ඇල්ල, රම්බොඩ ප්‍රදේශයේ ඇති ගැරඬිගිනි ඇල්ල ආදියයි. ඊට එකතු වන මෙම ගැරඬිගල දිය ඇලි දාමය යනු එක පොකුරට අලංකාර දිය ඇලි හතකි.   


දිය ඇලි විවිධ ක්‍රමවලට වර්ග කෙරෙන අතර ඒවා මහල් ඇලි, තට්ටු ඇලි, තනි අැලි සහ කොටස් ඇලි ආදියයි. ඕලු ඇල්ල නම් යටියන්තොට පිහිටි ඇල්ල මහල් කිහිපයකින් ඇද හැලෙයි. දෙනියායේ පිහිටි සත්මාලේ ඇල්ල ද මහල් කිහිපයකින් ඇද හැළේ. නමුත් ගැරඬිගල පිහිටි මෙම ඇලි වෙන් වෙන්ව කොටස් කිහිපයක් ලෙස ඇද හැළෙයි.   
ඇලි දාමයක් යනු ඉතා සීමිත දුරක් ද එකම දිය පහරකින් නිර්මාණය කරන ඇලි කිහිපයකටය. ගැරඬි ඇල්ල යනු අතිශය කුඩා දුරක නිර්මාණය කරන වැඩිම සහ එකම ඇලි පිහිටි ස්ථානයයි. මීට ආසන්නව ඇත්තේ කොට ගඟ පිහිටි ඇලි හත වන අතර එහිදී කොට ගඟ තැන්නේ සිට වැටෙන දියවර තරමක දුරක් අතර ඇලි නිර්මාණය කරනු ලබයි. නමුත් මෙම ගැරැඬිගල දිය ඇලි අතර පරතරය මීටර් ගණනක් වැනි කුඩා පරතරයකි. නමුත් මෙය තනි ඇල්ලක් ලෙස හඳුනා ගත නොහැක.   


​කොළඹ සිට මහනුවරට පැමිණ මහියංගණය පාරේ හුන්නස්ගිරිය නගරය පසු කර උඩුදුම්බරට පැමිණ එම මංසන්ධියෙන් වමට දිවෙන කළුගල මාර්ගයට හැරවියයුතුය. පසුව කිලෝ මීටර් 8 ක් ගමන් කරන විට ඔබට ගැරඬිගල දැක ගැනීමට ලැබෙයි. එහිදී අතුරු මාර්ගයක් හරහා ගැරඬිගල ගමට අවතීර්ණ විය යුතු අතර එම මාර්ගය එක් ස්ථානයක දී අඩි පාරක් බවට පත්වේ. මෙතැන් සිට අප යා යුත්තේ වනගත කුඩා අඩි පාරක් ඔස්සේය. අප සමග මඟ පෙන්වන්නට පැමිණි මාමා කියූ පරිදි ගැරඬිගල තරණය කළ යුතු හොඳම ක්‍රමය නම් පළමු ඇල්ලේ සිට ඉහළට නැගීමය. එහිදී ඇලි වටෙන් යමින් එකිනෙක උඩට ගමන් කළ යුතුය.   
​කෙසේ හෝ අප අලංකාර කෙත්වතු පසු කරමින් යන විට මොණරුන් දැක ගැනීමට හැකි වූ අතර මඩේ ලැඟ සිටි මී හරක් රංචුව සේම වතු අද්දර තණකමින් සිටින හරක් නාම්බන් ද දුටු විට අපට සිතුණේ කතා පොත්වල ඇති සම්ප්‍රදායික ගමක් ලෙසිනි. දුම්බර අවට ඇති බොහෝමයක් ගම්මාන මෙලෙසයි. ඒවා තවමත් සාම්ප්‍රදායික වත්පිළිවෙත් සහ ජීවන රටාවක් අනුගමනය කරමින් කල්ගෙවන අතර ගම්මානයේ ගැමි සුවඳ නාගරිකරණය නොවූ ගැමි ලාලිත්‍යය හොඳින් අපට මෙහිදී දැක ගැනීමට ලැබුණි.   
ක්‍රම ක්‍රමයෙන් අපි වන ලැහැබ හා අඩි පාර දිගේ ගමන් කර එක්තරා උස් බිමකට පැමිණියෙමු. ගැරඬිගල ගම්මානයට යන මාර්ගය පසෙකින් වූ අතර අප යා යුතු දැවැන්ත ගැරඬිගල අප ඉදිරියේ පෙනෙන්නට විය. ගැරඬිගල පාමුල අලංකාර ගොයමකි. එහි වූ කටු මැටි ගසන ලද කුඩා පැල්පත මුළු ප්‍රදේශයේම සිත්තම් කරන ලද්දක් සේ පෙනෙන්නට සලස්වයි. මෙම ප්‍රදේශය සත්‍ය වශ​ෙයන්ම අතිශය සුන්දර ඉසව්වකි. සීතල මඳ නල සමග කැටිවුණු කෝඩ මීදුම මහ ගල් පර්වත කඳු මිටියාවත් වසා ඒ මේ අත දුවන විට හරිත ගොයම් පියස, වන ළැහැබ සමග වාර්ණ රටා මවයි. ඒ අතර චිරි චිරියේ ගලා යන කුඩා දිය කඩිති සේම අතරින්පතර පෙනෙන අලංකාර ගම්මාන අප සිත් වශී කිරීමට සමත් විය. ගැරඬිගල යනු අතිශය වෙනස්ම ආකාරයකින් යුත් කන්දකි. කොටස් දෙකක් ලෙස මැදින් වමට බරව කුඩා නිම්නයක් ලෙස තිබෙන ඉසව්ව ඔස්සේ දිය පහර ගලාගෙන වැටෙයි. එක එල්ලේ ඒ දෙස බලා සිටින විට ඒ ඇලි වැටෙන ආකාරය නිශ්චය කර ගත හැක. ඉහළ සිට පහළටම ස්ථාන කිහිපයක දී ඇදවැටෙන මේ අලංකාර ඇලිවල දියවර පසුව මෙම ප්‍රදේශ හරහා ගලා බසිමින් අවසානයේ මහවැලිය පෝෂණය කරනු ලබයි. ගැරඬියගල කන්ද පාමුලට පැමිණි අප කන්ද තරණයට සූදානම් වූයේ පියදාස මාමා පෙරමුණ ගත් පසුවය. මාන කැලය කපමින් අප ​හෙමි හෙමිහිට ඉදිරියට ගියේ පින්න තැවරුණු ගස් වැල් අතරිනි. මඳ දුරක් ගිය විටම අපට මීටර් 10 ක් පමණ උසැති පළමු ඇල්ල දැක ගැනීමට හැකි වූ අතර මෙය දුර සිට ගැරඬිගල බලන කිසිවෙකුටත් නොපෙනෙයි. පසුව අප නැවතත් ගමන ආරම්භ කර ඉදිරියටම ගමන් කළ අතර ගල් කුට්ටි අතරින් සීරුවට මාරු වෙමින් අපි ඉදිරියට ඇදු​ෙනමු. ගමන තරමක් අසීරුය. මන්ද පින්න සහ අතරින්පතර රූටා හැලෙන දිය සීරා නිසා ලිස්සීමේ අවදානම ඇති හෙයිනි.   

 

 

 


දෙවන දිය ඇල්ල වෙත යාමට අප ඉදිරියට බාධකයක් හමුවුණේ මීටර් 10 ක් පමණ උසැති ගල් බිත්තියක් ලෙසිනි. කෙසේ හෝ වැටී තිබෙන කොටසකටත් අසල වූ තවත් ගල් කුට්ටි දෙකකටත් අඩි තබමින් අප හීන් සීරුවට එකිනෙකා බැගින් උඩට නැග ගත්තේ සහයෝගයෙනි.   


එය ඉතා සුන්දර ඇල්ලකි. අතිශය පළල් ගල් බිත්තියක එක් ස්ථානයකින් ඍජුවම කඩා වැටෙන මෙම ඇල්ල මීටර් 40 කට වඩා උසය. මෙය දෙපස පිහිටි කළුගල් බිත්තිය අංශක අනූවක් පමණ ඍජු විය. ඇල්ල අසල ගල්කුට්ටි බොහෝ පිහිටා තිබූ අතර ඒ මත හිඳ අප ගිමන් හැරීමට ගත්තේ යම් අවදානමක් පැන ආ නිසාවෙනි. දෙවන ඇල්ල නරඹා මාන කැලය හරහා ඉහළට අැදුණේ මඩේ ලිස්සමිනි. ඉහළ ගලේ සිට දිය සීරා වැටෙන හෙයින් අපි සියල්ලෝම අර්ධ වශයෙන් තෙත් වී සිටියෙමු.   


පසුව අප ඊළඟ ඇල්ලට පැමිණ එය නරඹන්නට වූයේ දෙවන ඇල්ල මුදුනේ සිටය. මාන පඳුරු වලින් මුළු කන්දම පිරී ගොසිනි. ඒ අතර දැවැන්ත කළු ගල් පෙනේනට වූ අතර ඒවා පහළට බෑවුම් වූයේ අංශක අනූවක පමණය. මේ වන විට අපට අංශක 180 ක ඉදිරිපස පරිසරය හා ගම්මාන ඇතුළු ප්‍රදේශයම පෙනුණු අතර එහිදී පසෙකින් වූ බලල්ගිරිය කන්දත්, දුම්බානාගල කන්දත් දැක ගත හැකි විය.   


තෙවැනි ඇල්ලෙන් සමුගෙන ඉහළට යත්ම ගමන තව තවත් අමාරු විය. අප හණිකට වැරෙන් මාන පඳුරු අල්ලාගෙන පහළට නොවැටෙන ලෙස කන්දට බරව ඉදිරියට ඇදුණේ ඇස්මානයේ පෙනෙන සිව්වන ඇල්ල ඇලි කිහිපයක් ලෙස පෙනුණු හෙයිනි. සැබවින්ම එය සියලුම ඇලිවලට වඩා අලංකාර විය. මන්ද යත් ඉළ ගලේ සිට වැටෙන දියවර ස්ථාන තුනකදී බෙදී වෙන් වෙන්ව කඩා වැටෙන බවයි. එම නිසාම මීටර් 15 ක පමණ දුරක් තුළ ඇලි තුනක් කඩා වැටෙන්න වූයේ කඳු ගැට්ටේ පිහිටි වන රොද මත අපවද සීමා කරවමිනි. එම ඇල්ල කොතරම් සුන්දරදයත් අපට නොතෙමී හෝ ජලයට නොබැස ඒ හරහා යාමට නොහැකි විය.   


නඩයේ දෙතුන් දෙනෙක් පහසුවෙන්ම ඇල්ලෙන් ස්නානය කර පසෙකට වී තිබුණු සීමිත ඉඩ කඩේ සිට මෙම අලංකාර ඇල්ලේ සුන්දරත්වය දැක ගත්තෙමු. තුන්පත් රෑනක් විලස තිබෙන මෙම ඇල්ල දර්ශනීය වේ.   


කෙසේ හෝ උදෑසනම පටන් ගත් ගමන මේ වන විට හෝරා තුනකට වඩා වැය කර තිබුණි. අනෙක් ඇල්ල සොයා ගල් කුට්ටි මතට බර වී මාන පඳුරු අල්ලාගෙන හතරගාතෙන් අපි ගැරඬිගල ඉහළට නගින්නට විය. මෙම කොටස තරමක් අමාරු වූ නමුත් ආරක්ෂාකාරීව අප සියල්ලෝම එය තරණය කළෙමු. ඉන් පසු අප දුටුවේ මෙම කන්දේ උසම ඇල්ලයි. මෙය ඉතා ගාම්භීරව කඩා හැලෙන අතර පෙනුමෙන් බඹරකන්ද මෙන් විය. කෙසේ හෝ එය නරඹන විට පහළින් අප පසු කර පැමිණි තුන් පත් රෑන අල්ල දැක ගත හැකි විය. පසුව අප ගැරඬිගල මත තිබෙන අවසන් ඇල්ල සොයා ඉහළට ඇදෙන්නට විය. එහිදී ගලේ අවසන් අදියර අංශක 90 ක ගල් දෙ​ෙබාක්කාවක් මැද්දෙන් යාමට තිබුණි.   

 

 


අප සියල්ලන්ට පියදාස මාමා උඩට නැග ගසක වැලක් පහළට දමන ලදී. එය ආධාරයෙන් අප ගැරඬිගල මුදුනට නැග ගන්නට ප්‍රබල උත්සාහයක යෙදුණේ සුළු අතපසුවීමක් මරණය ගෙන දෙන නිසාවෙනි. මෙම ස්ථානයට ගල පාමුල පිහිටි ගොයම් කෙත සහ කටු මැටි ගෙය හොඳින් පෙනුණු අතර නඩයේ කිහිප දෙනෙකු කන්ද මුදුනට ගියේ තබන පියවර ගැන පවා සිතමිනි. කෙසේ හෝ දහවල් වන විට අප ගැරඬිගල මුදුනට පැමිණි අතර මුදුනේ වූයේ තවත් කුඩා ඇල්ලකි. 

 
ගැරඬිගල යනු සොබා දම් මෑණියන් සඟවාගෙන සිටි සුන්දර නිර්මාණයකි. ඉතාමත් දුෂ්කර සහ අවදානම්කාරී ගමකින් පසු ගැරඬිගල ඇලි දාමය තරණය කරමින් කන්ද මුදුනට ලඟා විය හැකිය. මීට අමතරව මෙම ප්‍රදේශයේ තවත් අවශේෂ අැලි 3 ක් අප දුටුවේ මාන කැලය හරහා පැමිණෙන විටය. මීමින්නෙකු පවා දිව ගිය ස්ථානයක දී අප නැවත ගැරඬිගල දෙස හැරී බැලුවේ අප ඉතා දුෂ්කර ගමනක් අවසන් කරමින් ලක්වාසී සංචාරකයින්ට තවත් අලුත් ඉසව්වක් කරළියට ගෙන ආවා පරිද්දෙනි.   


දුම්බර මිටියාවතේ ඇති ගැරඬිගල යනු තනි කන්දකින් එකම ස්ථානයක දී ඇලි හතක් මවන ලංකාවේ පිහිටි එකම ඉසව්වයි. එය අප රැක ගත යුතුය. තවත් ක්‍රියා දාම චාරිකා සඳහා මුහුණු පොතේ Travel in SriLanka Sobasiri පිටුව සමග එකතු වන්න.   

 

 


සංචාරක සටහන හා ඡායාරූප   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු.