පානදුරේ අරියධම්ම හිමියන් අපවත් වුණේ වස ශරීරගත වෙලාද?-2

හාමුදුරුවන්ට නිවාඩු දවසක් තිබුණෙම නෑ. හැමදාකම කොහේ හරි පින්කමක් තිබෙනවා. ඒ හැමතැනකම මහා සෙනඟක් රැස්වෙනවා. දවසින් දවස බණට ආරාධනා එනවා. හාමුදුරුවන් මෙම පින්කම් කරන්නට ක්‍රමානුකූල ක්‍රමවේදයක් සැලසුම් කළා. ඒ අනුව එක ප්‍රදේශයක පොදු ස්ථානයක සතියක් නැවතිලා පින්කම් කිරීම ආරම්භ කළා. ගාල්ල නගර සභාව, පොළොන්නරුව ගල් විහාරය අසල, හිඟුරක්ගොඩ ධවල මන්දිරය, මාතලේ බෞද්ධ මධ්‍යස්ථානය, හලාවත බෞද්ධ මධ්‍යස්ථානය, කුරුණෑගල බෞද්ධ මධ්‍යස්ථානය වැනි පොදු ස්ථාන මීට භාවිතා කළා. මීට අමතරව පොලිස් ස්ථානවල, ගුවන් හමුදා කඳවුරුවල, නිදහස් පිටි මේ සඳහා යොදා ගත්තා.

   
1979 වසරේ වස් වැසීම සිදු කළේ රත්නපුරේ දිසාපති මන්දිරයේ. දිසාපති හිටියේ වැලිකෙපොළ මහත්තයා. මාස තුනේම පින්කම් බොහොමයක් කළා. සියලු වයස්වල අය සහභාගී කරගෙන ශීල ව්‍යාපාර 2ක් කළා. මිනිස්සු ගොඩක් සතුටු වුණා. වස් තුන් මාසය ඉවරවෙලා තරුණ අය සඳහා ශීල ව්‍යාපාරයක් කළා. ඊට සහභාගී වූ පිරිස පන්දාහටත් වැඩියි.   


​ෙම් පින්කම්වලින් පස්සේ හාමුදුරුවන් දුන් උපදෙස වුණේ “අපි පින්කම් රාශියක් කළා. මම දැන් වෙනත් ප්‍රදේශයකට යනවා. ඔය ගොල්ලෝ මගේ පස්සෙන් එන්න එපා. ඔය ගොල්ලන්ගේ පන්සල්වල හාමුදුරුවන් වහන්සේලා සම්බන්ධ කරගෙන මේ වගේ ශීල ව්‍යාපාර පින්කම් සිදු කරන්න” යන්නයි.   


මීට අමතරව හාමුදුරුවන් සම්බන්ධ වූ විශේෂ සිදුවීම් රාශියක් තිබෙනවා.   


ආනාපානසති භාවනාව මුලින් ප්‍රගුණ කරලා ඒ මගින් මාර්ගඵලයකට පැමිණි බුරුම හිමිනමක් හිටියා. එතුමන්ගේ නම බදන්ත ශෝභන මහාශීෂාඩෝ මහානායක හාමුදුරුවෝ.   


උන් වහන්සේ ලංකාවට වැඩියා ආනාපානසතිය පිළිබඳ වැඩමුළුවකට සම්බන්ධ වීමට. පූජාව තිබුණේ කළුතර නගර ශාලාවේ. එදා පුදුම සෙනඟක් හිටියේ. එදා එතන සිටි මිනිස්සු භාවනා කෙරෙව්වා. එතුමන් වහන්සේ එදා ඉදිරිපත් කළ ධර්ම කරුණු ශ්‍රවණය කළ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවොත් පැවසුවේ එහිමියන් රහතන් වහන්සේ නමක්මයි කියන එක. එදා එහිමියන් නැවතී සිටියේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අපේ හාමුදුරුවන්ගේ කුටියේයි. අපිටත් භාග්‍යයක් එ් හිමියන්ට උපස්ථාන කරන්නට ලැබීම.   


හාමුදුරුවෝ අපවත්වන වෙලාව වෙන කොට කිසිම දෙයක් තමන් සතු කරගෙන හිටියේ නෑ. පේරාදෙණිය ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයේදී හාමුදුරුවන්ට අසනීප වී තිබෙනවා. මම දන්න විදියටම හෘද රෝගයකින් තමයි හාමුදුරුවෝ අපවත් වුණේ. මිනිස්සු කියනවා හාමුදුරුවන්ට වස දීල අපවත් කළා කියලා. ඒක බොරු කතාවක්.   


මොකද හාමුදුරුවන්ට දෙතුන් වරක්ම හෘද රෝගය හැදුණා. ඒ සම්බන්ධව බැලුවේ විශේෂඥ වෛද්‍ය පී.ආර්. ඇන්තනීස් මහතායි. හාමුදුරුවන් අසනීප වූ පසු කාඩියොලොජි එකේ (හෘද සත්කාර ඒකකය) නතර වුණා.   

 

ශ්‍රී ලංකාවේ එවකට සිටි සියලුම හමුදාපතිවරුන් සහභාගී වූ බෝධිපූජා පින්කමක්

සම්බෝධි විහාරය

 


එ් කාලයේ හිටිය ප්‍රසිද්ධම හාමුදුරුවෝ අරියධම්ම හිමියෝයි. එහිමියන්ට අසනීපයි කියලා දැන ගත්තම ජන ගඟක් රෝහලට එන්න පටන් ගත්තා. එතන ඇති වූ මිනිස් තදබදය නිසා හාමුදුරුවෝ නැවතී ප්‍රතිකාර ගත්තේ නෑ. බලෙන්ම ටිකට් කපාගෙන ආවා. ඉන්පසු හාමුදුරුවෝ ඉන්න තැනට ඇවිත් ප්‍රතිකාර කිරීම සිදු වුණා. පස්සේ පස්සේ අසනීප තිබුණත් ඒ පිළිබඳව හාමුදුරුවෝ නොකියා හිටියා. හැම වෙලාවකම පුණ්‍ය කටයුතුවල නිරත වීමයි සිදු කළේ. එදා හාමුදුරුවෝ හදපු රැල්ල තමයි තාමත් මේ යන්නේ. හාමුදුරුවෝ හරි කැමැතියි උන්වහන්සේ කරන බෝධි පූජා පින්කම් තවත් හාමුදුරු කෙනෙක් කරනවට.   


අනුරාධපුරයේ හිටියා යටියන වෙදරාලහාමි කියලා කෙනෙක්. එතුමා මරදන්කඩවල ප්‍රදේශයේ ඉඩමක් පූජා කරලා තිබුණා. හාමුදුරුවෝ එම ඉඩමේ ජය ශ්‍රී මහ බෝසමිඳුන්ගේ ශාඛාවක් රෝපණය කළා. මේ වෙනකොට එය පිරිවෙනකට පූජා කරලා තිබෙන්නේ. හාමුදුරුවෝ කැමැති වුණේ නෑ කිසිවක් අයිති කරගන්න. ලැබෙන පිරිකර පවා අන් ස්වාමීන් වහන්සේලාට දීමයි සිදු කළේ. උන් වහන්සේ හරිම සරල ජීවිතයක් ගත කළ හිමි නමක්.   


මට මතකයි දවසක් අපි පින්කමකට සහභාගී වෙලා එමින් හිටියා. හොඳටම රෑ වෙලා තිබුණේ. පන්සලක හාමුදුරුවෝ කෙනෙක් බෝධි පූජාවක් කරන හඬ ඇසුණා. හාමුදුරුවෝ නිහඬව අසා හිටියා. පසුව බෝධි පූජාව කළ හාමුදුරුවන්ට කතා කරා. බෝධි පූජාව කිරීම පිළිබඳ අගය කළා. තවත් හොඳට කරන්න කියලා ආශිර්වාද කළා. එතරම් හිත හොඳ හාමුදුරු​ෙව් නමක් තමා අරියධම්ම හිමි.   


ඒ වගේම හාමුදුරුවෝ මව්පියන් ගැන හොයා බැලුවා. හාමුදුරුවන්ට වීමට යන දේ දැනෙන මොකක් දෝ බලයක් තිබුණා කියලා හිතෙනවා. එහෙම කියන්න හේතු රාශියක් තියෙනවා.   


හාමුදුරුවන්ට පැතුමක් තිබුණ මව්පියන්ගේ අවසන් අවස්ථාවල ළඟ සිටීමට ලැබේවා කියලා. ඒ වගේම එම පැතුම ඉටු වුණා. අහඹු ලෙස හෝ එම අවස්ථාවන්ට සහභාගී වෙලා මව්පියන් අසල සිටීමේ භාග්‍යය ලැබුණා.   


අරියධම්ම හිමියෝ හරිම පින්වන්තයි. පරිසරයට සතා සිව්පාවට හරිම ආදරෙයි. පාළු පාරවල රාත්‍රීන්වල ගමන් ගත්තත් සතුන්ගෙන් කිසිම හිරිහැරයක් වුණේ නෑ. මට මතකයි දවසක එක රාත්‍රියක බුන්දල ප්‍ර​ෙද්ශයේ දී භයානක ඇතෙක් හමු වුණා. එම ඇතා ඉන්න පාරවල මිනිසුන් යන්න බය වුණා. ඇතා හාමුදුරුවන්ගේ ඉදිරියට ආවා. ඒත් කිසිවක් කළේ නෑ.   


ඉදිරිය බලා සිට පස්සෙන් පස්සට ගොස් කැලය තුළට වැදී නොපෙනී ගියා. තව දවසක හාමුදුරුවන්ට අම්පාර වැව අයිනේ නැවතීමට සිදු වුණා. එතනත් අලි මාරු වෙන ස්ථානයක්. හාමුදුරුවෝ කවි බණ පටිය දාලා වාහනය උඩ තියලා බලා සිටියා. එතනින් අලි මාරු වුණේ හොඬය ඔසවාගෙන. අපිටත් හරිම පුදුමයි ඒ සිදුවීම්වලට.   
​ෙම් පින් බලය නිසාම මිනිස්සු හාමුදුරුවන්ට ගොඩක් ආදරය කළා. ඒ නිසා රටේ ප්‍රධාන ප්‍රභූ පවුල්වල අය පවා ප්‍රශ්න ඇති වූ අවස්ථාවල උපදෙස් ගැනීමට හාමුදුරුවෝ ළඟට ආවා.   
හාමුදුරුවෝ වැඩි කාලයක් නැවතී හිටියේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ. හිටපු ජනාධිපති වූ රණසිංහ​ ප්‍රේමදාස මහත්තයා ඉඩමක් හාමුදුරුවන්ට පූජා කළා. කෙටි කාලයක් එහි ද නැවතී හිටියා.   


අවසාන​යේ පේරාදෙණිය නිල්ගල සේනාසනයට ගිහිල්ලයි අසනීප වී උන්වහන්සේ අපවත් වුණේ. එහෙම හාමුදුරුවෝ තමන් අපවත් වන බව දැනගෙන ඉන්න ඇති කියලා මට හිතෙනවා. මම එහෙම කියන්න හේතුව හාමුදුරුවන් විසූ කුටියේ තිබුණේ පුංචි පුංචි දේවල් ටිකක්. කිසිවකට ඇල්මක් නොදැක්වූ හාමුදුරුවෝ නිල්ගලට යාමට පෙර තමන් භාවිතයට ගත් බඩු භාණ්ඩවල පවා අයිතිය එක් එක් හාමුදුරුවරුන්ට පවරා පොඩි පොඩි ලිපි අලවා තිබුණ නිසයි.   


ඒ වගේම අරියධම්ම හාමුදුරුවන් පිළිබඳ බළංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියෝ නාඩි ශාස්ත්‍රයෙන් මෙවැනි දෙයක් පවසා තිබුණා.   


අරියධම්ම හිමි කියන්නේ කලකදී මෙරටට විශාල සේවයක් කළ දිවංගත වලිසිංහ හරිස්චන්ද්‍රතුමාලු. වලිසිංහ හරිස්චන්ද්‍රතුමා නැති වුණේ අවුරුදු 36 දී. ඊට හේතු වුණේ පිටේ පිළිකාවක් ඒමයි. ඔහුගේ අරමුණ වුණේත් ගමින් ගමට ගොස් බණ කියා මිනිසුන් සුමඟට ගැනීම. අරියධම්ම හිමි අවුරුදු 46න් අපවත් වුණා. එහිමියනුත් ගමින් ගමට ගිහින් බණ කිව්වා. අද වෙනකොට අරියධම්ම හිමි අපවත් වෙලා වසර 32ක් වෙනවා.


මට මතකයි එහිමියන්ගේ අවසන් කටයුතු කළ මොහොත. එදා ඉර වටේට ලොකු වක්‍රාකාර වළාපටලයකින් වැසී ගියා. ශාසනයට ලොකු මෙහෙවරක් කළ හිමිනමක් අපට නැති වුණේ. ඒත් අදටත් එහිමියන්ගේ බෝධි පූජා පින්කම් අසන්නට දකින්නට ලැබෙනවා. එහිමියන්ගේ ඒ දහම් මඟ සමාජයේ සදාකාලික වෙලා තිබෙනවා. එය ලොකු සතුටක්.   


මතු සම්බන්ධයි.

 

කළුදිය පොකුණ සේනාසනයේ උන්වහන්සේ කලක් වැඩ සිටි කුටියේ සැතපී....

 

 


සටහන - කුමාරි හේරත්   
ඡායාරූප - චානුක කුලසේකර   
පැරණි ඡායාරූප හා තොරතුරු ලබා දුන් සුමේද මහතාට විශේෂ ස්තූතිය.