ලොව විශාලතම ගංගාව වන ඇමසන් ගඟ සතුව ඇති අතු ගංගා ගණනින් රාශියකි. එම අතු ගංගාත් ලොව දීර්ඝතම ගංගා ලැයිස්තුවේ ප්‍රමුඛතම ගංගාය. මොමොං ගංගාව ඇමසන් ගංගාවේ සියයකට කිට්ටු අතු ගංගාවලින් එකකි. ඉක්‍යුටස් සිට පැයක පමණ දුරකින් පිහිටි මොමොං ගඟ ආශ්‍රිතව බෝරා ගෝත්‍රික ජනතාවගේ ගම්මාන පිහිටා තිබේ.


ඇමසන් වන මැද වෙසෙන ලොකු කුඩා ගෝත්‍ර අතරේ තවත් කැපී පෙනෙන ගෝත්‍රයක් වන බෝරාවරු නම් සහමුලින්ම නිරුවත් 
ගෝත්‍රයක් නොවේ. ඔවුන් ශාක පත්‍ර ආශ්‍රයෙන් තුවා බඳු රෙදි විශේෂයක් නිෂ්පාදනය කරන අතර ගැහැනුද මිනිස්සු ද එම ඇඳුමෙන් තම යටිකය පමණක් ආවරණය කරගෙන සිටිති. මේ ඇඳුම නැත්නම් සාය විචිත්‍රය. විවිධ වර්ණවලින් අඳින ලද මෝස්තරවලින් මේ සායවල් විචිත්‍ර වී තිබේ.


මේ සැරසිලි නැත්නම් මොස්තර සඳහා ඔවුන් වර්ණ සොයා ගන්නා හැටි ද අපූරුය. ඇත්තටම ඔවුන් ඊට යොදා ගන්නා සියලුම වර්ණ අවට පරිසරයෙන් සොයා ගන්නා ඒවාය. උදාහරණයක් ලෙස කහ පැහැය ගැන කිව්වොත් ඔවුන් කහ පැහැය සාදා ගන්නේ ඉඟුරු කොළවලිනි. එතකොට, කළු පැහැය සාදා ගන්නේ හුයිටෝ නම් ශාක විශේෂයේ ගෙඩිවලිනි. නමුත් හුයිටෝ ගෙඩියේ යුෂ ගෑ සැණින් කළු පැහැය නොලැබේ. එම යුෂ කළු පාට බවට පත්වන්නේ එය වාතය සමග ටික වේලාවක් 
ගැටුණු පසුවය. මේ ආදී වශයෙන් අවට පරිසරයෙන් හමුවන ශාක පත්‍රවලින් ගෙඩිවලින් ඔවූහු විවිධ වර්ණ සාදා ගනිති.


රෙදි විවීමට මෙන්ම විවිධ අත්කම් කිරීමට ද බෝරාවරු දක්ෂයෝය. ලස්සන ලස්සන බෝනික්කන්, වෙස්මුහුණු, විදින තුවක්කු ආදිය ඔවුන් නිෂ්පාදනය කරන අත්කම්ය.


මේ අත්කම් මෙන්ම රෙදි වර්ග ද බෝරාවරු තමන් බලන්නට එන සංචාරකයන්ට විකුණා කාසි පනම් ලබාගනිති. 


බෝරාවරු ඉක්‍යුටස් ප්‍රදේශයට ආවේ මීට සියවසකට පමණ පෙරාතුව බව කියති. කලින් ඔවුන් ජීවත් වූයේ වනයේ උතුරට වෙන්නටය. එහෙත් මහා පරිමාණ රබර් ව්‍යාපාරිකයෝ පැමිණ ඇමසන් වනය සිඳ බිඳ රබර් වැවීම ආරම්භ කළෝය. මෙහි ප්‍රතිඵලය වූයේ බෝරාවරුන්ට ඔවුන්ගේ සාම්ප්‍රදායික ඉඩකඩම් අහිමි වී යෑමය. බෝරාවරු ගංගාවක් දිගේ පහළට පහළට ගමන්කොට අන්තිමේ ඉක්‍යුටස්හි තම වාස භවනය ඉදිකර ගත්හ.


බෝරාවරු ගෙවල් හැදීමට ද දක්ෂයන්ය. රූස්ස වන පෙතට රිංගා හොඳ ශක්තිමත් ගස් කපාගෙන ඒවා පාරුවක් සේ බැඳ ගඟ දිගේ ප්‍රවාහනය කිරීමට පුරුදුව සිටිති. ලී දඬු, මැටි ආදිය භාවිත කර හොඳ ගෙවල් තනාගන්නා මොවූහු ඇමසන් වනයේ වෙසෙන බොහෝ ගෝත්‍රවලට වඩා ශිෂ්ට සම්පන්නය. එසේම දියුණුය.


වර්තමානයේ බෝරා ජනගහනය 3,500ට වඩා වැඩි නැත. එහෙත් 1900දී පමණ බෝරාවරු 35,000ක් පමණ ජීවත් වූ බව කියති. ඔවුන්ගේ ගහනයට සිදුවූයේ කුමක්ද? ඔවුන්ගේ පළමු වාසභවනය රබර් සමාගම්කාරයන් බිලිගනිද්දී බොහෝ බෝරා තරුණයන් රබර් සමාගම්වලට සම්බන්ධ වූවා විය යුතුය. තරුණ පරපුර එසේ රබර් වවද්දී සාම්ප්‍රදායික අදහස් තිබූ බෝරාවරු පමණක් දකුණට පැමිණියහ.


බෝරාවරු තම සංස්කෘතිය ගැන මහා ආඩම්බරයෙන් සිතන පිරිසකි.  


බෝරාවරු නැටුමට ද ගැයුමට ද හපන්නුය. ඔවුන් සතුව බොහෝ වාද්‍ය භාණ්ඩ තිබේ. බෙර, ඔවුන් විසින්ම නිෂ්පාදනය කරගනු ලැබේ. මේ බෙරවලින් නැගෙන හඬ, ඔවුන් නැටුමට යොමුකරන සුලුය. බෝරාවරුන්ගේ උත්සවවලදී ඔවුන් රැයක් පුරාවට නටන්නට ද ගයන්නට ද සූදානම්ය.


නමුත් මොවුන්ගේ සාම්ප්‍රදායික නැටුම්වල මහා ලොකු විශේෂාංග නොමැත. දිගු රිටක් ගෙන එය පොළවෙහි අනිමින් රවුමට ඇවිදීම, දිවීම, මදක් එහාට මෙහාට ඇඟ සෙලවීම වැනි ප්‍රාථමික අංගවලින් බෝරා නැටුම් සමන්විත වී තිබේ.


බෝරාවරු ඉඳහිට අසනීප වෙයි. එවැනි වෙලාවට ඔවුනට පිහිටවෙන්නේ කොකා නම් වන පැළෑටියයි. මේ පැළෑටියේ කොළ කොටා ලබා ගන්නා යුෂය බෝරාවරුන්ගේ බොහෝ අසනීපවලට ප්‍රතිකාරයකි. ඇන්දීස් කඳුකරයේ බොහෝ ස්ථානවල මේ කියන කොකා පැළ යායවල් දැකිය හැකිය.


බෝරාවරු ද බොහෝ ලස්සනට සිටින්නට කැමතිය. එහෙත් ඔවුන්ට සිරුර ලස්සන කරගන්නට ඇත්තේ ඔවුන් නිපදවන රෙද්ද පමණි. විසිතුරු මෝස්තරවලින් තම රෙද්ද විචිත්‍ර කරන්නේ ඒ නිසාය.


ඒ හැරුණු විට ඔවූහු විචිත්‍ර හිස්වැසුම් පලඳිති. මේ හිස්වැසුම් හදාගන්නේ ශාක පට්ටවලින් සහ මැකෝ ගිරවුන්ගේ වර්ණවත් පිහාටුවලිනි. මේ හිස් වැසුම් පලඳා ලස්සන වෙන්නේ කතුන් පමණක් නොවේ. බෝරා පිරිමි ද විශේෂයෙන් පිරිමි ළමයි ද මේ හිස්වැසුම් පලඳාගෙන මොනරකු මෙන් ආඩම්බරයෙන් හිස ඍජුව තබාගෙන සිටිති.


ගෑනු ළමයි නම් තම ශරීරය ද වර්ණවලින් පින්තාරු කර ගනිති. කම්මුල්, දෙතොල් පමණක් නොව ඔවූහු තම පියයුරු ද වර්ණ ගන්වති.


මොවුන්ගේ ජීවන රටාව ද වෙනස්ය. ආහාර සොයා ගැනීම ජීවිතයේ එකම අවශ්‍යතාව වන බැවින් ගොවිතැන් කිරීම ද දඩයම් කිරීම ද මොවූහු එක ලෙසම කරති. ගංගාවේ වෙසෙන මසුන්ට විදින තුවක්කුවෙන් විද මරා ගැනීමට මොවූහු දක්ෂයෝය. කුඩා කුඩා සතුන් විශේෂ මරා ගැනීම ද මොවුන්ගේ තවත් ආහාර සොයා ගන්නා ක්‍රමයකි.


බෝරාවරු දඩයමට පුරුදු පුහුණුවෙන්නේ ඔවුන්ගේ ළමාවියේදීමය. පුතුන් නම් තාත්තලාත් එක්ක පුංචි සන්දියේදීම දඩයමේ යති.
එහෙත් ගැහැනු දරුවන් නම් කරන්නේ අම්මලාත් සමග රෙදි විවීම, සැරසිලි කිරීම, වෙස්මුහුණු තැනීම ආදියයි. ගැහැනු දරුවන් යුවතියක් ලෙස සමාජගත වෙනවිටම ඔවුන් අති දක්ෂ අත්වැඩකාරියන් බවට පත්වී අවසානය.


ඉනික්බිතිව ඔවුන් කරන්නේ දඩයමට හපන් තරුණයකුගේ පතිනිය බවට පත් වී දරු පරපුරක් හදා ගැනීමය.


බලාගෙන යනවිට ඔවුන්ගේ ජීවිත ඉතාමත් සරලය. සැහැල්ලුය. ලෝකයේ තියෙන සැප සම්පත් හඹා යෑමට ඔවුනට අවශ්‍ය නැත. ඔවුන්ගේ දැක්මට අනුව ඒ සියල්ලම විකාරය. ජීවිතය යනු කා බී විනෝද වීම මිස වෙන කුමක්ද?

ශාන්ත කුමාර විතාන