ඩෙරන් ශෙනොන් පුංචි පුතාව මේ වෙනකොට නොහඳුනන කෙනෙක් නැති තරම්. ස්ටෙෆීන් ජේසි කියන්නේ ශෙනොන් පුතාගේ බාල සහෝදරයා. පාස්කු ප්‍රහාරයේ වේදනාව කොයිතරම් ද කියනවා නම් ශෙනොන්ව බලන්න අපි ඔහුගේ නිවසට ගිය වෙලාවේ ඇත්තටම අපේ හදවත් ද එක් මොහොතකට නතර වුණා.   


ඇයි අපේ අම්මා එන්නේ නැත්තේ. අම්මා කෝ. අවුරුදු 4ක් වයසැති ස්ටෙෆීන් ලොකු අම්මාගේ ඇඟේ දැවටෙනවා.   


‘අම්මා ජේසු ළඟට ගියා පුතේ’ ඒත් පුතාගේ හිත සනසන්න බැහැ. ඇය ද මහා අසරණකමකින් අප දෙස බලා සිටියාය.   


‘චූටි පුතාට තවම තේරුමක් නැහැ. නිතරම අම්මා කෝ? කියලා අහනවා. 4 වැනි උපන් දිනය තිබුණේ පහුවුණු 1 වැනිදා. මගේ උපන් දිනයට අම්මා ඒවිද කියලා හරියට ඇහුවා. අපි මුලදි කිව්වා පුතේ අම්මා හොස්පිටල් එකේ ඉක්මනට ඒවි කියලා. ඒත් පස්​සේ වෛද්‍යවරු කිව්වා දරුවාගේ හිතට බලාපොරොත්තු දෙන්න එපා ඇත්තම කියන්න කියලා. අම්මා ජේසු ළඟට ගියා පුතේ ආයේ අම්මා එන්නේ නෑ කිව්වම ෆොටෝ එක දිහා බලාගෙන ඉන්නවා. ඒත් අම්මව නිතරම මතක් කරනවා.   


අම්මව කොහෙන්ද අපි ගෙන්නේ? ඇය මොහොතකට නිහඬ වූවාය.   


මේ රටේ මිනිස්සුන්ට රටේ පාලකයින්ට වගකිව යුත්තන්ට අමතක වෙලා ගියා. පාස්කුවේ අමිහිරි මතකයන් සිහිපත් වන එදා වගේම ඉරිදාවක් තමයි අදත්.   


මාස පහකට ආසන්න කාලයක් ගත වුණත් ප්‍රහාරයට මුහුණ දුන් පවුල්වලට තවමත් සාධාරණයක් ඉටුවී ද යන්න නොවිසඳුණු ගැටලුවක්.   


පාස්කු ප්‍රහාරයට මුහුණ දී අදට දින 138ක් ගත වුණත් ඒ ප්‍රහාරයේ වේදනාවට මුහුණ පෑ මෙම ජීවිත තවමත් බලා සිටින්නේ බලාපොරොත්තු සහගත දෑසින්. අප්‍රේල් 21 වැනිදා පාස්කු මංගල්‍යයට දේවස්ථානයට ගිය 225ක් නැවත ගෙදර ගියේ නැහැ. ඉන් දරුවන් 26 දෙනෙකුගේ ජීවිත මේ ප්‍රහාරයෙන් අහිමි වුණා. හිසට දැඩි ලෙස හානිවුණු දරුවන් වගේම පිලිස්සුම් තුවාල සහිතව ඒ වේදනාවන්ගෙන් දිවි ගෙවන පුංචි දරුවන් බොහෝ දෙනකු ද ඒ අතර වෙනවා. අදටත් ඒ ප්‍රහාරයේ බලපෑම කොතරම් ද කියලා ශෙනොන්ව දැක්කම ඔබට පේනවා ඇති.   


ඩෙරන් ශෙනොන් සහ මව සහ පිය සහෝදරයා සමග අප්‍රේල් 21 පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගියේ දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගන්න. ඒ වෙනදාට වඩා සතුටෙන්. එහෙත් එක් ක්ෂණයකින් සියල්ල සුනුවිසුනු කරපු ත්‍රස්ත ප්‍රහාරයෙන් ශෙනොන් වගේම ශෙනොන්ගේ පියාත් දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලැබුවා.   


දෙවියන්ගේ හාස්කමකින් ශෙනොන්ගේ පුංචි සහෝදරයාගේ දිවි බේරුණත් ඒ ප්‍රහාරයෙන් තමන්ගේ ආදරණීය මව ඔවුන්ට අහිමි වෙලා කියලා ශෙනොන් දැනගෙන හිටියේ නැහැ. පිපිරීමෙන් සිදුවූ කම්පනයෙන් මුහුණට සිදුවූ පිලිස්සුම් තුවාල වේදනාවත් දරාගෙන සිටි මේ පුංචි පුතා තම මව පියා සහෝදරයා පිළිබඳව විපරම් කළා. වගේම ඔවුන් එනතෙක් රෝහලේ ඇඳ මත බලා සිටියා. මේ ඇස් අගිස්සෙන් නොදැනීම වැටුණු කඳුළු එදා කාටවත්ම පෙනෙන්නට නැතුව ඇති. ඩෙරන් ශෙනොන් ඒ අහිමිරි සිදුවීම ගැන මතකය අවධි කළේ මේ විදියට.   


‘එදා අම්මයි, මමයි තාත්තයි මල්ලියි අපි හතර දෙනාම පාස්කු පූජාවට පල්ලි ගියා. පූජාව ඉවර වෙන්න ළංවෙනවාත් එක්කම ලොකු ශබ්දයක් එක්ක ඇඟට විදුලි සැර වැදුණා වගේ දැනුණා. ඒ එක්කම මම දැක්කා වහලේ උළු කැට අම්මගේ ඇඟ උඩට කඩාගෙන වැටෙනවා. මම දුවලා ගිහිල්ලා අම්මව උස්සන්න හැදුවා. ඊට පස්සේ එතන හිටපු මාමලා දෙන්නකුට මම කතා කරලා අම්මව උස්සන්න උදව් ඉල්ලුවා. මම හිතුවේ අම්මට කලන්තේ දාලා කියලා. තාත්තයි මාමලා දෙන්නයි අම්මාව උස්සලා එළියට ගෙනාවාම මම එළියට දුවලා ගිහින් පයිප්පෙන් වතුර ටිකක් ගෙනල්ලා අම්මාගේ මූණෙත් ගෑවා. ඒත් අම්මා ඇස් ඇරියේ නැහැ.   


ඊට පස්සේ තාත්තා මාවයි අම්මයි ත්‍රීවීල් එකකින් හොස්පිට්ල් එකට එක්ක ගෙන ගියා. ඊට පස්සේ තාත්තා අම්මව එක්කගෙන ඇතුළට ගියා. මාව හොස්පිටල් එකේ දී කවුද අංකල් කෙනෙක් වඩාගෙන ට්‍රොලියක තියලා අරගෙන ගියා. එදා රෑ වෙනකම් බලාගෙන හිටියා අම්මයි තාත්තයි එනකම්. ලොකු අම්මා ආවම කිව්වා අම්මත් තුවාල වෙලා. තාත්තත් තුවාල වෙලා එන්න බැහැ කියලා. අම්මා නැතිවෙලා කියලා මට ලොකු අම්මා කිව්වේ නැහැ. මට දුක හිතෙන නිසා ලොකු අම්මා මට බොරු කිව්වා. මම කා එක්කවත් තරහා නැහැ. ඒත් මට දුකයි.   


ශෙනොන් පුතා දැන් සුපුරුදු විදියට පාසල් යනවා ද?   


මම මුලින්ම ඉස්කෝලේ ගිය දවසේ මගේ පාසලේ යාළුවෝ ගුරුභවතුන් මාව හරිම ආදරයෙන් පිළිගත්තා. මට ඉක්මනට පාසල් යන්න ලැබුණ එක ගැන එයාලටත් ගොඩක් සතුටුයි. මාව තනි නොකර මගේ ළඟින් හිටියට මගේ යාළුවන්ට ගුරුවරුන්ට ඒ හැමෝටම ස්තුතියි. මාත් එයාලට හරිම ආදරෙයි. මගේ පිලිස්සුම් තුවාල දැක්කම සමහර නංගිලා මල්ලිලා බය වුණා. එ් වෙලාවට මට දුක හිතුණා.   


මට ඕන ඉක්මනටම සනීප වෙන්න. මම හරිම ආසයි ඉස්කෝලේ යන්න. තවම ඉක්මනට අකුරු ලියන්න බැහැ. අත රිදෙනවා. මගේ ආසම විෂය භූගෝල විද්‍යාව. ලොකු වෙලා මෝටර් කාර්මික ශිල්පියෙක් වෙන්න තමයි මම ගොඩක්ම ආස.   


බෝම්බ පුපුරපු වෙලාවේ මම ඒ සිද්ධිය ගැන අන්තර්ජාලේ ගොඩක් දේවල් කියෙව්වා. ඒත් ඇයි එයාලා අපිට එහෙම කරන්නේ. ඇයි එහෙම මිනිස්සු මරන්නේ.   


පුංචි ශෙනොන් විතරක් නෙමෙයි අදටත් අපි හැමෝම අහන්නේ ඒ ප්‍රශ්නය විතරයි. උත්තරයක් නැති වේදනාවක අපි තවමත් විඳවනවා. තමන්ගේ අම්මා ඒ ප්‍රහාරයේ බිල්ලක් වෙලා. තවමත් ශෙනොන් පුතා, ශෙනොන් පුතාගේ තාත්තා පිලිස්සුම් තුවාලවලින් විඳවද්දි අහන ප්‍රශ්නවලට උත්තර නොමැති නිසාම අපට ද ඉතිරි වුණේ නිහඬ වීම පමණයි.   
ශෙනොන්ගේ පිලිස්සුම් තුවාල සුවවන්නට කොයිතරම් කාලයක් ගතවේවිද කියන්න තවමත් නිශ්චිතව කිව නොහැකිය. එහෙත් ශෙනොන් ශල්‍යකර්මයන්ට, ප්‍රතිකර්මයන්ට භාජනයවීම තවමත් නිමක් වෙලා නැහැ. මේ වනවිට මව අහිමි ශෙනොන් පුතා සහ ස්ටෙෆීන් පුතා ජීවත්වන්නේ මිත්තණිය සහ ශාමිලා ලොකු අම්මාගේ ආදරය සෙනෙහස මැද්දේ.   


“ශෙනොන් පුතාට දැන් අවුරුදු 11ක්. චූටි පුතාට දැන් අවුරුදු 4ක්. මේ දෙන්නම මගේ නැගනියගේ දරුවෝ. ම​ගේ නංගි දරුවන් දෙන්නට අසීමාන්විතව බැඳුණු අම්මා කෙනෙක්. එයාගේ වෙන්වීම දරුවෝ දෙන්නට වගේම එයාගේ සැමියාටත් අපි හැමෝටමත් දරාගන්න අමාරුයි.   


එදා සිද්ධිය වුණ වෙලාවෙම නංගිගේ මහත්තයම තමයි අපිට කෝල් කරලා කිව්වේ  නංගිට අමාරුයි එයාවයි පුතාවයි හොස්පිටල් එක්කරගෙන යනවා. චූටි පුතා පල්ලිය ළඟ කෙනෙකුට දීලා ආවා කියලා. මම ඒ වෙලාවෙම පල්ලිය ළඟට ගිහින් චූටි පුතාව ගත්තා. එයාගෙත් ඔළුවට මැහුම් දෙකක් දැම්මා. ඊට පස්සේ නංගිගේ මහත්තයම කතා කරලා කිව්වා නංගි නැති වුණා කියලා.   


මරණ ගෙදර වැඩ කටයුතු වෙන වෙලාවේ මම තමයි ශෙනොන් පුතා ළඟ හිටියේ. ශෙනොන්ව අඳුර ගන්න බැරි තරමටම මූණ විකෘති වෙලා තිබුණේ. මරණෙ බලන්න නංගිගේ මහත්තයා පොඩි වෙලාවකට අපි ගෙදර එක්කගෙන ගියා. ඒත් ශෙනොන් පුතාට කිව්වේ නැහැ. කිව්වොත් ඒක පුතාගේ හිතට තවත් වේදනාවක් සහ මානසිකව බලපාවි කියලා අපි හිතුවා.   


දවස් 9ක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබලා එක පාරට ගෙදර එක්කගෙන ආවේ නැහැ. අපි ආසිරි රෝහලට එක්කගෙන ගිහින් ශෙනොන්ගේ තාත්තටත් එන්න කිව්වා. දවස් 9කින් තාත්තයි පුතයි මූණට මුණ දැක්කේ එදා.   

 

ෂෙනොන් පුතු ලොකු අම්මා ශමිලා සහ ස්ටෙෆීන් සොහොයුරා සමග  

 


ඉස්පිරිතාලේ ඉන්න දවස් ටිකේම නිතරම අම්මව ඇහුවා. අම්මා වෙන වාට්ටුවක ඉන්නවා තවම ඇවිදින්න බැහැ කියලා හැමදාම බොරු කියලා හිත සැනසුවා. අම්මා ළඟට ගිහින් වීඩියෝ කෝල් එකක් ගන්න කිව්වා. නොකියා හිටියේ දරුවව ඉන්න තත්ත්වයෙන් ගොඩ ගන්න ඕන නිසා. ඊට පස්සේ ටිකක් සනීප වෙලා ආසිරි රෝහලේ දවසක් තියාගෙන ඉඳලා හිත හදලා අම්මා නැති වුණා කියලා කිව්වා. ඊට පහුවෙනිදා දෙවැනි ශල්‍යකර්මය කරන්න දින නියම වෙලා තිබුණේ. අම්මා නැති වෙලා කිව්වම ‘ඔපරේෂන් එක කරන්න බැහැ අම්මා ගිය තැනටම මටත් යන්න ඕන’ කියලා ඇඬුවා. බොහොම අමාරුවෙන් තමයි හිත හැදුවේ.   


චූටි පුතාට තවම ලොකු තේරුමක් නැහැ. මුල් දවස්වල නම් පුංචි පුංචි හිතුවක්කාරකම් තිබුණා. දැන් ඒවා ​ගොඩක්ම අඩුයි. පුංචි දුකක්වත් දැනෙන්න ඉඩ තියන්නේ නැහැ. මම ජීවත් වෙලා ඉන්නකම් මම දරුවන් දෙන්නව උස්මහත් කරනවා.   


නංගිගේ මහත්තයටත් තවම පිලිස්සුම් තුවාල තියෙනවා. එයා එල්.බී. ෆිනෑන්ස් ආයතනයේ රැකියාව කරන්නේ. මාස 3ක්ම රැකියාවට ගියේ නැහැ. පසුගිය මාසේ ඉඳලා නැවත රැකියාවට යන්න පටන් ගත්තා. දරුවෝ දෙන්නව නිතර ඇවිත් බලලා යනවා. එයාට රැකියාව කරන ගමන් දරුවෝ දෙන්නව බලා ගන්න අමාරුයි.   


ශෙනොන් පුතාට අවුරුදු 2ක් විතර ප්‍රතිකාර කරන්න වෙනවා. ඒවා තාත්තෙකුට කරන්න බැහැ. අම්මෙක් ඉන්නම ඕන. තවම චුටි දරුවොනේ. රෑ වෙනකොට ටිකක් බයයි. තුරුලු කරගෙනම ඉන්න ඕන. චූටි පුතාට ගොඩක්ම අම්මා නැති පාළුව දැනෙන්නේ රෑට. මම එයාට ඒක දැනෙන්න දෙන්නේ නැහැ. ඇස් පියා ගත්තම අම්මව පේනවා කියනවා. නින්ද යන්නේ නැහැ කියනවා. මුලදි ටිකක් තිබුණා. දැන් නම් ගොඩක් අඩුයි.   


දැන් ශෙනොන්ගේ තුවාලවල තත්ත්වය කොහොමද?   


දැනට ප්ලාස්ටික් ශල්‍යකර්මයක් කරලා තියෙන්නේ. දැන් මාස දෙකක් වෙනවා. ඒත් වෛද්‍යවරු 100% තහවුරු කරන්නේ නැහැ මේක ඉක්මනින්ම සුව වේවි කියලා. වෛද්‍යවරු කියන්නේ දැනට ලංකාවේ තියෙන උපරිම වෛද්‍ය ප්‍රතිකාර පුතාට කරලා තියෙන්නේ අවුරුදු 2ක් විතර යනකොට සාමාන්‍ය තත්ත්වයට එනවා කියලා. මාස 6කින් මේ කැළැල් අඩු නොවුණොත් නැවත ඉන්ජෙක්ෂන් කෝස් එකක් තියෙනවා කරන්න. ඒකෙනුත් සුවයක් නැත්නම් නැවතත් ශල්‍යකර්මයක් කරන්න වේවි කියලා වෛද්‍යවරු කියලා තියෙනවා.   


ටිකක් ගැඹුරට පිච්චිලා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. ජීවත් වෙන්න මේ පැටවුන්ට වරම් දුන්නා වගේ ඉක්මනින්ම සුව කර ගන්න ආශිර්වාද කරන්න කියලා තමයි දෙවියන්ගෙන් හැමදාම ඉල්ලන්නේ.   


දැනට ශෙනොන් පුතාට ශල්‍යකර්ම 4ක් කරලා තියෙන්නේ. තවත් එක ශල්‍යකර්මයක් කරන්න තියෙනවා. දකුණු අතෙන් තමයි ලියන්නේ. තවම සම්පූර්ණයෙන් ඇඟිලි නවන්න බැහැ. ඒත් මේ පාර වාර විභාගයට ලියලා විෂයන්වලට හොඳට ලකුණු අරගෙන තිබුණා. අත රිදෙන නිසා ලියන්න වෙලාව මදි කියලා කිව්වා.   


සෑමදාම උදේ සවස තලතෙල් ගාලා මසාජ් කරලා බේබි සබන් ගාලා පිරිසිදු කරලා ක්‍රීම් එකක් තියෙනවා ගාන්න. ඒ ක්‍රීම් එක ගාන්න පුළුවන් දවස් 10යි. මිල රුපියල් 2990ක් වෙනවා. කැළැල් උඩට මතු වෙනවට ක්‍රීම් එක ගාලා ආවරණයක් තියෙනවා දාන්න. නිතරම දාන්න කියලා වෛද්‍යවරු උපදෙස් දීලා තියෙනවා පුතා කැමති නැහැ ඒක දාන්න. අඬනවා. අතේ තුවාලවලත් තාම ලොකු සුවයක් නැහැ. හැබැයි ප්‍රතිකාර කරන වෙලාවට අඬන්නේ බැහැ කියලා කියන්නේ නැහැ. රිදුනත් වේදනාව දරාගෙන ඉන්නවා.   


ආණ්ඩුවෙන් දෙනවා කියපු වන්දි මුදල ලැබුණ ද?   


අම්මා නැති වුණ වෙලාවේ ලැබුණ මුදල දරුවෝ දෙන්නගේ බැංකු පොත්වලට දැම්මා. ඊට අමතර සියලුම ප්‍රතිකාරවල වියදමත් අධ්‍යාපනික වියදම දෙන්නේ බිෂොප් හවුස් එකෙන්. සෙත් සරණ කාර්ය මණ්ඩලය නිතරම ඇවිත් අඩුපාඩු හොයලා බලනවා. ප්‍රතිකාරවලට අධ්‍යාපනයට ඉදිරි කටයුතුවලට මුදලක් දීලා තියෙන්නේ.   


නංගිලා හිටියේ කුලී නිවසක නංගි නැති වුණාට පස්සේ කුලී නිවස නැවත දුන්නා. ගෙදරක අවශ්‍යතාව තදින්ම තියෙනවා. රජයෙන් ඇවිත් ලියකියවිලි වගයක් අරගෙන ගියා. තවම ඒ ගැන මාස තුනක් විතර අපි කිසිම දෙයක් කරේ නැහැ.   


මම මුද්‍රණ වැඩපලක් පවත්වාගෙන ගියේ. වැඩපලත් වහලා හැමදේම අතහැරියා. ඒ දරුවාව සනීප කර ගන්න ඕන නිසා. ඉස්කෝලේ යන්න ඉගෙන ගන්න පුතාලා දෙන්නම හරිම ආසයි. මොන විදියකින් හරි දරුවෝ දෙන්නට උගන්වන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.   


අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී නිවසක් ලැබේවි කියලා. ශෙනොන් පුතා යන්නේ පෞද්ගලික පාසලකට. එක් වාරෙකට රු. 13,000ක් ගෙවන්න ඕන. චූටි පුතා පෙර පාසල් යනවා. ඒකට රු. 8000ක් ගෙවන්න ඕන.   


රජයෙන් තුවාල වුණු අයට දීපු වන්දි මුදලෙන් පුතාට ලැබුණේ රු. 50,000යි. සුව වෙන්නම අවුරුදු දෙකක් විතර යනවා. රු. 50,000ක් ඇත්තටම මදි. අපි නැවත ඇෆිල් එකක් දැම්මා. දැනට බිෂොප් හවුස් එකේ සෙත්සරණ මගින් කරන්න පුළුවන් උපරිමය මේ කරුවො වෙනුවෙන් කරලා තියෙන්නේ.   


මේ පුංචි දරුවන්ට දැන් අවශ්‍ය හැමෝගෙම ආදරය කරුණාව විතරයි. ලොකු අම්මාගේ ආදරේ අම්මාට දෙවැනි වෙන්නේ නැහැ. ලොකු අම්මාගේ ආදරය සෙනෙහස මැද්දේ උණුසුම සොයන මේ දරුවෝ දෙන්නා වගේම තවත් දරුවෝ බොහෝ දෙනකු පාස්කු ප්‍රහාරයේ වේදනාව ජීවිත කාලයම විඳිවනවා. අහිමි වුණු මව්පියන්ගේ අඩුව පුරවන්න නොහැකි වුණත් මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යමක් ඔබට කරන්නට පුළුවන්. සෙත්සරණ කරිටාස් ආයතනයේ මූල්‍ය අංශය නියෝජිත ආසිරිනි වෑවිට මහත්මියගෙන් අප ඔවුනට සහය විය හැක්කේ කෙසේ ද යන්න ගැන විමසීමක් කළා.   


දැනට මව පියා අහිමි දරුවන්ට ශිෂ්‍යත්ව වැඩපිළිවෙළක් අප ආරම්භ කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙළට හැකි අය උපකාර කරන්න පුළුවන්. තව සනීපාරක්ෂක තුවා, ඕඩික්ලෝන්, වෙට් ටිෂූ වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තුවාල ලබා සිටින දරුවන්ට දෛනිකව අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම පිළිස්සුම් තුවාලවලට අලේප කරන BILUMA ක්‍රීම් එක මිලෙන් ටිකක් අධිකයි.  හැකි අයෙක් ඉන්නව නම් මේ ද්‍රව්‍යයන්ගෙන් ඔවුන්ට උපකාර කරන්න පුළුවන්. 


අපි දැනට ශෙනොන්ගේ ප්‍රතිකාර අවශ්‍ය දේවල්වලට මුදල් වෙන් කරලා තියෙනවා. ඒත් ශෙනොන් පුතා වෙනුවෙන් ඉදිරි අනාගතයට, ප්‍රතිකාරවලට උපකාර කරන්න දෙස් විදෙස් දයානුකම්පිත හදවත් ඇති අයට අපට කතා කරලා ශෙනොන් පුතාගේ තොරතුරු දැන ගන්න හැකියාව තියෙනවා. දුරකතන 0112688999 සෙත්සරණ ආයතනය අගදරගුරු නිවස.

 

 


නදීෂා අතුකෛා්රල
ඡායාරූප - චානුක කුලසේකර