වසර 200 කටත් වඩා පැරැණියි

 

ලක්දිව ගැමියාගේ ආහාරවේල තුළ කොස්, දෙල්, අල, බතලවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙරට වැසියාගේ ප්‍රධාන ආහාරය බත වුවද බොහෝ ගැමියෝ කොස්, දෙල්, අල, බතල ආදියෙන් තම වේලක් දෙකක් පිරිමසා ගැනීමට මැළි නොවෙති. ලාංකිකයෝ කොස් ගස බත් ගස ලෙසද හැඳින්වූයේ ඒ පුරුද්ද නිසාවෙනි. ජන සමාජයේ ප්‍රචලිත උක්ත ආහාර වර්ග 4 අතරින් දෙල් යනු මෙරට අනාදිමත් කාලයක් තිස්සේ පැවැත එන ආහාර භෝගයක් නොවන අතර දෙල් වනාහි මෙරට ලන්දේසි පාලන යුගයේදී හඳුන්වාදෙන ලද්දකි. මේ එම දෙල් ගසේ මුතුන්මිත්තන් පිළිබඳ තොරතුරු සොයායාමකි.   


 ලාංකිකයන් අතර දෙල් ලෙස ප්‍රචලිත ශාකය ඉංග්‍රීසි භාෂාවේදී Breadfruit ලෙස හඳුන්වන අතර එහි විද්‍යාත්මක නාමය ආට්‍රෝකොප්‍රස් ඕල්ටිලිස් (Artocarpus altilis) යන්නයි. ඉංග්‍රීසි ජාතිකයන්ට දෙල් පලතුරක් වුවද (Breadfruit-පාන් පළතුර) ලාංකිකයන්ට එය එළවළු භෝගයකි. මීටර 25ක් පමණ සාමාන්‍ය උසකට වැඩෙන මෙම ශාකයේ සෑම කොටසකින්ම කිරි සාරයක් වැගිරෙන අතර (කැපුමක් කළවිට) එම සාරය පැරැන්නෝ බෝට්ටුවල පලුදු පිරියම් කිරීම සඳහා යොදාගෙන ඇත. දෙල් භෝගය වැඩි ඵලදායි ආහාර නිෂ්පාදන ශාකයක් වන අතර ඵල හටගන්නා කාලයේදී එක් දෙල් ගසකින් දෙල් ගෙඩි 200කට වැඩි ප්‍රමාණයක් නෙළාගත හැකිය.   


දකුණු පැසිපික් කලාපීය ප්‍රදේශයන්හි වැඩෙන දෙල් ගසකින් වසරකට ගෙඩි 50-150ක් අතර ප්‍රමාණයක් නෙළාගත හැකි අතර දකුණු ඉන්දියානු කලාපයේදී එය ගෙඩි 150-200ක් අතර ප්‍රමාණයක් වේ. මෙම භෝගයේ වැඩීම සඳහා වඩාත් සුදුසු වන්නේ මුහුදු මට්ටමින් මීටර 650ක් පමණ උස් වූ භූමි ප්‍රදේශවන අතර අවශ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1500-3000ක් අතර වේ. වැලි සහිත ලොම් පසේද, වැලි සහිත මැටි ලොම් පසේද හා කොරල් සහිත ලවණ පසේද වර්ධනය වන දෙල් ගස සඳහා මධ්‍යස්ථ ක්ෂාරීය ගුණයකින් යුත් (PH6.1-7.4) පසක් පැවැතීම වඩාත් යෝග්‍ය වේ.   


 මෙරට ජනතාව අතර බොහෝ ප්‍රචලිත භෝගයක් වන දෙල් ගසෙහි ලාංකේය මී මුත්තා එනම් මෙරට රෝපිත මුල්ම දෙල්ගස තවමත් ජීවමානව තිබේය යන්න බොහෝදෙනා නොදන්න කරුණකි. එම දෙල් ගස රෝපණය කර ඇත්තේ ඓතිහාසික ගාල්ල කොටුව තුළය.   


දකුණු පළාතේ අගනගරය වන ගාල්ල ඈත අතීතයේ සිටම ඉතා වැදගත් වූ භූමි ප්‍රදේශයකි. නිරිත දිග රාජධානි සමයේදී වරායක් හා වෙළෙඳ නගරයක් ලෙස ගාල්ල වර්ධනය වුවද ගාල්ල බලකොටුවක් ලෙස වර්ධනය වීම ආරම්භවන්නේ 16 වන සියවසේ යුරෝපීය ජාතීන්ගේ ආගමනයත් සමගය. 15 වන සියවසේ යුරෝපය පදනම් කරගත් පුනරුදය හේතුවෙන් දේශ ගවේෂණ කටයුතු වර්ධනය වූ අතර ඒ යටතේ යුරෝපීය නාවිකයින් පෙරදිග රාජ්‍යයන් සොයා යාත්‍රා කරන්නා විය.   


මේ අනුව මෙරටට පැමිණි පළමු යුරෝපීය ජාතිය පෘතුගීසීන් වන අතර ඔවුන් 1505දී මෙරටට ගොඩබසින ලදී. එම ආගමනයේ විශේෂත්වය වන්නේ ඔවුන් අහඹු ලෙස ගාල්ලට සේන්දුවීමයි. ඔවුන් මෙරට පාලනය මෙහෙය වූ ධර්මපරාක්‍රමබාහු කුමරුගේ අනුමැතිය යටතේ ගාල්ලේ මුහුදට නෙරාගිය තුඩුව වැනි කොටසේ කුඩා බළකොටුවක් ඉදිකර ඇත. එය වර්තමානයේ කළු කොටුව ලෙස හඳුන්වනු ලැබේ. ඉන්පසු මෙරටට පැමිණි ලන්දේසීන් 1640 මාර්තු මස 13 දින ගාල්ල කොටුව අත්පර ගන්නේ පෘතුගීසීන් සමග දැවැන්ත සටනකින් පසුවය. ඒ අනුව ගාල්ල කොටුව වර්තමාන ප්‍රමාණයට විශාලකර ශක්තිමත් බළකොටුවක් බවට පත්කරනුයේ ලන්දේසි ජාතිකයින් විසිනි. එසේම ගාල්ල කොටුව තුළ මුල්ම රට දෙල් ගස රෝපණය කිරීමද මෙම අවධියේදීම ඔවුන් අතින් සිදුවිය.   


 මෙරටට දෙල් භෝගය හඳුන්වාදීම පිළිබඳව ජනප්‍රවාදිත මත ගණනාවක් වේ. ලන්දේසීන් විසින් මෙරටට දෙල් භෝගය හඳුන්වාදීම පිළිබඳ ජනප්‍රවාදයේ එන ජනප්‍රිය මතයේ වන්නේ සිංහලයන්ගේ එඩිතර වීර ක්‍රියාවන්ගෙන් පීඩාවට හා භීතියට පත්වූ ලන්දේසීන් උෂ්ණාධික ආහාරයක් වන දෙල් මෙරටට හඳුන්වාදී සිංහලයන් දෙල් කෑමට පුරුදුකර රෝගී කිරීමට සැලසුම් කළ බවය. නමුත් උෂ්ණාධික බල මාළු කෑමේදී පොල් මිශ්‍ර කර ගැනීමට හුරුව සිටි මෙරට වැසියන් දෙල් කෑමේදීද පොල් මිශ්‍ර කරගත් හෙයින් එහි ඇති උෂ්ණයෙන් බලපෑමක් නොවූ බවට මත ඇත.   


මේ පිළිබඳව එන තවත් ජනප්‍රවාදයකින් කියවෙන්නේ වැලිතර ප්‍රදේශයේ ජීවත්වූ පිනොස් ආරච්චි නමැති අයකු යුරෝපීය නැව්වලට ආරක්ෂාව සපයමින් කටයුතු කළ බවත් එසේ කටයුතු කරන අවස්ථාවක කුඩා යාත්‍රාවක ගමන් කරමින් සිටියදී කුණාටුවකට හසුව දූපතකට ගසාගෙන ගිය බවත්ය. එම දූපතේ අතරමං වූ ඔහුට ආහාරයට තිබී ඇත්තේ දෙල් පමණි. පසුව එම දූපතෙන් නැවත එනවිට ඔහු දෙල් පැළ කිහිපයක් ගෙනවිත් මෙරට රෝපණය කර ඇත.   


පණ්ඩිත විලියොම් මහතා සිය ගාලු ඉතිහාසය කෘතියේ සඳහන් කරනුයේ එවක ඕලන්ද ආණ්ඩුකාරවරයා බලකොටු ඉදිකිරීම සඳහා කොස් ගස් සියල්ල කපා දැමීමට නියෝග කළ බැවින් විකල්පයක් ලෙස දෙල් හඳුන්වාදීමට සිදුවූ බවයි. තවත් ජනප්‍රවාදයක සඳහන් වන්නේ කපිතාන් විලියම් බ්ලින් (Capitan willam Blign) විසින් ඇමරිකාවේ නීග්‍රෝ ජාතික වහලුන් සඳහා ආහාර ලෙස දෙල් හඳුනාගෙන පෙරදිග ඉන්දියානු ප්‍රදේශයේ සිට දෙල් පැළෑටි ප්‍රවාහනයේදී එක් දෙල් පැළෑටියක් ගාල්ල වරායට පාවී ඇවිත් මෙහි පැළවී ඇති බවයි.   
ඉංග්‍රීසි ජාතික ස්වභාව ධර්මවාදියෙකු වූ බෙනට් මහතා සඳහන් කරනුයේ දෙල් දුප්පත් දේශීය ජනයාගේ ආහාරයක් වූ බවයි. මෙරට රෝපිත පළමු දෙල් ගස පිළිබඳව ලිඛිත මූලාශ්‍ර විරල වන අතර ගාල්ල කොටුවේ පැවැති දෙල් ගස් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝර්ත් තැබූ වාර්තාවක සඳහන් වේ. ඒ අනුව ඔහු 1801 වර්ෂයේ ගාල්ලේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ ගාල්ල කොටුවේ ඕලන්ද ආණ්ඩුකාර නිල නිවස අවට රට දෙල් ගස් රැසක් දුටු බව සඳහන් කර ඇත. කෙසේ නමුත් වඩාත් ප්‍රචලිත මතය වන්නේ 1796 වර්ෂයට පෙර ලන්දේසීන් විසින් මෙරටට දෙල් භෝගය හඳුන්වාදෙමින් පළමු දෙල් ගස ගාල්ල කොටුවේ රෝපණය කළ බවයි.   


ජනප්‍රවාදගත ජනප්‍රිය මතයට අනුව මෙරට රෝපිත පළමු දෙල් ගස ඇත්තේ ගාල්ල කොටුවේ වර්තමාන වරාය අධිකාරියට අයත් නිවාඩු නිකේතන ගොඩනැගිල්ල පිහිටි භූමියේය. මෙම ගොඩනැගිල්ල අතීතයේදී වරායභාර නිලධාරියගෛ් (හාබර් මාස්ටර්) නිල නිවස ලෙස යොදාගෙන ඇත. ගාල්ල කොටුවේ ආරක්ෂිත මුර අට්ටාල 14ක් පවතින අතර ඉන් ඇකස්ලුස් මුර අට්ටාලය මග මෙම දෙල් ගස රෝපණය කර ඇත.   


එම මුර අට්ටාලයට එම ලබාදී ඇත්තේ පෘතුගීසීන් සතුව පැවැති ගාල්ල කොටුව ලන්දේසීන්ට අත්පත් කරගැනීමට මුල් වූ කමාන්ඩර් විලියම් ජාකොබ් කොස්ටර් උපන් ප්‍රදේශය සිහිපත් කිරීම පිණිසය. ඉදිරියෙන් වූ වරාය අධිකාරියේ ගොඩනැගිල්ල හේතුවෙන් ඉදිරියෙන් පැමිණෙන අයෙකුට පැහැදිලිව නොපෙනෙන මෙම දෙල් ගසේ තවමත් දෙල් ගෙඩි පල දරන අතර ඒවාහි රස බැලූ ගාල්ල කොටුව වාසීන් පවසනුයේ වෙනත් දෙල් ගස්හි දෙල්වලට වඩා මෙම දෙල් ගසේ දෙල් රසවත් බවය.   


මීට වසර කිහිපයකට පෙර ප්‍රතිසංස්කරණය කර වෙළෙඳ සංකීර්ණයක් ලෙස විවෘත කරනු ලැබූ පැරැණි ඕලන්ද රෝහල් භූමියට පැමිණෙන ඕනෑම අයෙකුට මුහුද දෙසට අතුපතර විහිදා තේජමානව වැජඹෙන මෙම දෙල් ගස හොඳින් දැක බලාගැනීමට පුළුවනි.   

 


කේ. උදේනි අරුණසිරි   
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව   
රත්නපුර