IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


“16 වැනිදා උදාවෙන්නේ මානව හිතවාදී යුගයයි“

(අංජුල මහික වීරරත්න, මඩුකන්ද සිතුම් චතුරංග, අම්පාර නවරත්න සමරතුංග, පොතුවිල් යූ. විජේසිංහ)

“ජාති ආගම් බේදයෙන් තොරව එක නීතියක් යටතේ සැමට සමානව සලකන රටක් බිහි කරන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා උතුරු සහ නැගෙනහිර පළාත්වල ජන රැලි අමතමින් පැවැසීය.

උතුම් බෞද්ධ ප්‍රතිපත්තිය තුළ බුද්ධාගමට මුල් තැන දී ආරක්‍ෂා කරන්නාසේම සෙසු සියලුම ආගම් ජාතීන් ආරක්ෂා කරමින් ජාතිවාදය, ආගම්වාදය සම්පූර්ණයෙන්ම තුරන් කොට ශිෂ්ට සම්පන්න, යුක්තිගරුක - මනුෂ්‍යත්වය රජ කරන මානව හිතවාදී යුගය 16 වැනිදා ජයග්‍රහණයත් සමග ආරම්භ කරතැයි ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් සිකුරාදා (8) සහ සෙනසුරාදා (9) උතුරු නැගෙනහිර පළාත්වල මන්නාරම, කිලිනොච්චි, යාපනය, ත්‍රිකුණාමලය, අම්පාර, කල්කුඩා, පදිරිප්පු, මඩකළපුව, පොතුවිල්, කල්මුණේ නින්දවූර් සහ සමන්තුරේ දී ජන රැලි මාලාව පැවැත්විණි.

ජන රැලි සඳහා උතුරු - නැගෙනහිර පළාත්වල අති විශාල ජනතාවක් සහභාගි වී සිටියහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය.

යුද්ධය නිසා ජාති - ආගම් - කුල මල පන්ති භේදයෙන් තොරව අනාථ වූ සියලු දෙනා මගේ නායකත්වය යටතේ ජාති භේදයෙන් තොරව නැවත පදිංචි කරනවා. මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතිය හරහා මේ ප්‍රදේශයේ වැව් පද්ධතිය ශක්තිමත් කර ජනතාවගේ ගොවිතැන සරු සාර කරන්න මා කටයුතු කරනවා.

තලෙයිමන්නාරම වරාය, පේසාල වරාය, සිලාවතුර වරාය මගේ නායකත්වයෙන් අනිවාර්යෙන්ම සංවර්ධනය කරනවා.

තලේමන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා තීරු 4ක මාර්ගයක් හදනවා. ඒ වගේම පුත්තලමත්, මන්නාරමත් යා කෙරෙන විකල්ප මාර්ග විල්පත්තු වනයට හානි නොවන ආකාරයට පරිසර හිතකාමීව ඉදි කරනවා.

ධීවර කර්මාන්තය විධිමත්ව සංවර්ධනය කර කර්මාන්තයේ යෙදී සිටින ප්‍රජාවට ප්‍රශ්නයක් නැතිව කර්මාන්තය කරගෙන යාමට ඉඩ සලසනවා. ඊට අමතරව ධීවර කර්මාන්තයට අවශ්‍ය උපකරණ-මෙවලම්- ආම්පන්න සහනාධාර ක්‍රමයට දීමට කටයුතු කරනවා. වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක් අපේ රටට අයිතියි. මේ නාවික සැතපුම් 200 මෙපමණ කාලයක් අපේ රටේ ප්‍රයෝජනය සඳහා ගෙන නැහැ. නව තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කර ගනිමින් සයුරු සම්පතට හානියක් නොවන ආකාරයට ධීවර කර්මාන්තය ගොඩ නගනවා පමණක් නොව වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක ප්‍රමාණය අපේ රටේ ප්‍රයෝජනයට ගන්නවා. එය ධීවර කර්මාන්තයට පමණක් සීමා කරන්නේ නැහැ. මගේ අවශ්‍යතාව මේ ප්‍රදේශය සුරපුරය කිරීමටයි.

මෙහි කෘෂිකර්මාන්තය ක්‍රියාත්මකයි. එළවළු - පලතුරු වී, තේ, පොල්, රබර්, සුළු අපනයන භෝග හැම එකකටම නොමිලේ පොහොර දෙනවා. මන්නාරම් දිස්ත්‍රික්කයේ ගොවිතැන් කරන සියලු දෙනාට නොමිලේ පොහොර දෙනවා.

පාසල් යන දූ - දරුවන්ට නොමිලේ නිල ඇඳුම් හා දිවා ආහාර දුන්නේ මගේ පියායි. මගේ ප්‍රතිවාදියාගේ දේශපාලන කණ්ඩායම දිවා ආහාරය දූ - දරුවන්ගෙන් උදුරා ගත්තා. පාසල් යන දූ දරුවන් 44 ලක්ෂයක් රටේ ඉන්නවා. සෑම දෙනාටම මා ජනාධිපති වූ පසු දිවා ආහාරයයි, නිල ඇඳුම් කට්ටල දෙකයි, සපත්තු ජෝඩුවයි දෙනවා.

ඒ වගේම මන්නාරම් දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ආවරණය වන පරිදි කර්මාන්ත පුරවර ආරම්භ කරනවා. ඉන්දියාවට, බංග්ලාදේශයට, කාම්බෝජයට, වියට්නාමයට යන ඍජු විදේශ ආයෝජන මෙරටට ගෙනල්ලා කර්මාන්තපුර ඇති කරනවා. එතැනින් නතර නොවී හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම නව තාක්ෂණික විද්‍යාලයක් හරහා තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, නැනෝ තාක්ෂණය ලබා දෙනවා. තොරතුරු තාක්ෂණ උද්‍යාන හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම දී යොවුන් පරපුරට වෙන කිසි දවසක නොලද ඓතිහාසික ශක්තිය මා දෙනවා.

දුප්පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩ සටහන ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරමින් සමෘද්ධිය දිය යුතු සෑම දෙනාටම සමෘද්ධිය දෙනවා. දුප්පත්කම ඉක්මනින් තුරන් කරන්න ඕනෑ. ඒ නිසාම සමෘද්ධි වැඩ සටහන ක්‍රියාත්මක කරන අතරතුර මගේ පියා ආරම්භ කළ ජනසවිය වැඩසටහන ද ආරම්භ කරනවා. සමෘද්ධියත්, ජනසවියත් දෙකම දුප්පත් ජනතාවට දෙනවා.
පෙර පාසල් පද්ධතිය ශක්තිමත් කරනවා. පෙර පාසල් ගුරුවරියන්ට, සහායක පාලිකාවන්ට මින් ඉදිරියට රජයෙන් වැටුප් ගෙවනවා. හැම පෙර පාසලකටම වෙනමම ශාලාව වෙනමම ළමා උද්‍යානය ඇතුළු සම්පත් දෙනවා. පෙර පාසල් දූ දරුවන්ට දිවා ආහාරය ද දෙනවා. රටේ පෙර පාසල් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරනවා.

ඒකීය හා ස්වෛරී ශ්‍රී ලංකාව තුළ නොබෙදුනු නොකැඩුණු ශ්‍රී ලංකාව තුළ උපරිම බලය බෙදා හරිනවා. කිසිදු අවස්ථාවක රටේ ත්‍රස්තවාදයට ඉඩ තබන්නේ නැහැ. කිසි දවසක රටේ මිනී මැරුම්වලට ස්ත්‍රී දූෂණයන්ට, කුඩු වෙළෙඳාමට, කප්පම් කල්ලිවලට මා ඉඩ තබන්නේ නැහැ. ළමා අපචාරවලට ඉඩ තබන්නේ නැහැ. රටේ කිසිම ආගම්වාදයකට, ජාතිවාදයට, ආගම් භේදයකට ජාති භේදයකට මගේ ජනාධිපති කාලයේ දී ඉඩ තබන්නේ නැහැ.

මා හොඳ සිංහල බෞද්ධයෙකු වනවා. මා හොඳ සිංහල - බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජාතිය ආගම කේන්ද්‍ර කරගෙන ජාතීන් විනාශ කරන්න ආගම් විනාශ කරන්න කියා දේශනා කර නැහැ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියලා. ඒ උතුම් බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරමින් මන්නාරම් දිස්ත්‍රික්කය ජාති ආගම් භේදයෙන් තොරව මා සංවර්ධනය කරනවා.

ඒකීය ශ්‍රී ලංකාව තුළ රට ගොඩ නගනවා කියන පණිවුඩය රටට දෙන්න. උතුරු පළාතේ හා දකුණු පළාතේ ආබාධිත වූ අයට විශේෂ සැලකිල්ල රජයේ මැදිහත්වීමෙන් ඇති කරනවා.

ඊට අමතරව උතුරු පළාතටත්, නැගෙනහිර පළාතටත් විශේෂිත වූ ආධාර සමුළු දෙකක් පවත්වා ප්‍රදේශ දියුණු කරනවා. යුද්ධයෙන් පසු කිසිවෙකුට මේ සමුළු දෙක පවත්වන්න බැරි වුණා. නමුත් මා එය කරනවා. ජාති ආගම් භේදය නැති කර එක නීතිය යටතේ සියලු දෙනා සමානව සලකන, හැමෝටම එකට ජීවත් විය හැකි රට හදන්න මා කැප වෙනවා.

මඩකළපුව - කල්කුඩා ජනතාවට කිව යුතු එක දෙයක් තිබෙනවා. කිසි දවසක ඉතිහාසයේ නොවුණු දැවැන්ත සංවර්ධනය පක්ෂ - පන්ති ආගම් - කුල භේදයෙන් තොරව ප්‍රේමදාසගේ පුතා ඉටු කරනවා. මගේ සිහිනයක් තිබෙනවා. එය 17 වැනිදාට මා සැබෑ කර ගන්නවා. 17 වැනි දා උදා වන විට ශීතාගාර පහසුකම් සහිත අලුත් ධීවර වරායට එනම් වාලච්චේන ධීවර වරායට මුල්ගල තියා එය ජනාධිපති ලෙස මමම විවෘත කරනවා.

කල්කුඩා මැතිවරණ කොට්ඨාසයේ තිබෙන සියලුම රෝහල් වැඩි දියුණු කර වාලච්චේන රෝහල උසස්ම ගණයේ රෝහලක් ලෙස සංවර්ධනය කරනවා. එපමණකින් නොනැවතී යෞවන - යෞවනියන්ට ක්‍රීඩා කරන්න තිබෙන ක්‍රීඩාපිටිය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පිටිය ලෙස සංවර්ධනය කරනවා.

වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ගැන මීට පෙර බොහෝ දෙනකු බොහෝ දේවල් කියා තිබෙනවා. ඒවා අහලා ජනතාව හෙම්බත් වෙලා ඇති. වෙන අය වගේ නොවෙයි සජිත් ප්‍රේමදාස යමක් කීවොත් එය අනිවාර්යයෙන්ම ඉටු කරනවා. බැරි දේවල් මා භාර ගන්නේ නැහැ.

ජනාධිපති වී මාස 3ක් ඇතුළත කඩදාසි කර්මාන්ත ශාලාව විවෘත කොට ප්‍රදේශයේ දස දහස් ගණනක් තරුණ - තරුණියන්ට රැකියා දෙන්න මගේ අලුත් රජය කටයුතු කරනවා.

මුස්ලිම්, දෙමළ, සිංහල, බර්ගර් මැලේ කවුරු වුණත් හැමට පිරිසිදු පානීය ජලය දෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කොට ජනතාවගේ ආයුෂ වැඩි කරන්න කටයුතු කරනවා. ජාතික වශයෙන් වැදගත් කාර්යභාර රැසක් ජනතාව වෙනුවෙන් මා ඉටු කරනවා.

මා හඳෙන් ආපු කෙනෙකු නොවෙයි. මා ඇමරිකාවෙන් ආපු කෙනෙකු ද නොවෙයි. මාතෘභූමියේ, මහ පොළොවට පය ගහලා ඉන්න හැම ජාතියකටම, හැම ආගමකටම ගරු කරන පුද්ගලයා මමයි.

ස්වයං රැකියා කරන අයට අනිවාර්යයෙන්ම සහයෝගය දෙනවා. ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇප පොලී නැතුව ලක්ෂ 3ක ණයක් දෙනවා. ජන සමාජයේ පොඩිම තැන ඉඳලා නූපන් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා රට සුරකින ගමනට 16 වැනිදා හංසයා ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදාස දිනවන ලෙස ඉල්ලා සිටිනවා.

අමිර් අලි මැතිතුමා ඉතා ශක්තිමත් කණ්ඩායමක් ගොඩ නගලා. හොඳට මතක තියා ගන්න අනිත්පැත්තට උදව් කරන අය කියන්නේ පල්ලි කඩන එක හොඳයි, කෝවිල් කඩන එක හොඳයි, දේවස්ථාන කඩන එක හොඳයි, ආගමික ස්ථාන විනාශ කරන එක හොඳයි කියලයි. සජිත් ප්‍රේමදාස ගාව විනාශ කිරීම, කඩා දැමීම, පිච්චීම ශබ්ද කෝෂයේ නැහැ. මගේ ශබ්ද කෝෂයේ තිබෙන්නේ ඉදිකිරීම, ගොඩනැගීම හා නිර්මාණය කිරීම පමණයි.

16 වැනිදාට නිර්මාණය වෙන්නේ උතුරත්, දකුණත්, නැගෙනහිරත්, බටහිරත් රටේ පළාත් නමයම රටේ දිස්ත්‍රික්ක 25, රටේ වසම් 14022ම එක්සත් වූ සද්දන්ත ශ්‍රී ලංකාවයි. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදය, කුඩු ජාවාරම, මිනීමරුවෝ, කප්පම් කල්ලි, ළමා අපචාර කල්ලි විනාශ කරනවා. මගේ නායකත්වය යටතේ රටේ ජාතිභේදයට, ආගම්වාදයට, ජාතිවාදයට, ආගම්භේදයට ඉඩක් තබන්නේ නැතැයි ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

අම්පිටිය ගඟවටකෝරළේ සභාපති සුභාශ් යටවර මහතා සංවිධානය කර තිබූ මැතිවරණ ප්‍රචාරණ රැස්වීම ඇමතූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීවේය.

අද ගෝඨාභය අපේක්ෂකට අභියෝග පිට අභියෝග එල්ල කළත් විවාදයට නොඑන්නේ අපේක්ෂකයකු හැටියට සංයමයෙන් හික්මීම ඇතිව කිසිම උත්තරයක් දෙන්න හැකියාවක් නැති නිසයි. එතුමාට අද දෙන්න උත්තර නැහැ.

විශාල ජන ගංගාවක් උතුරු සහ නැගෙනහිර ජන රැලිවලට සහභාගි වී සිටියහ.



අදහස් (1)

“16 වැනිදා උදාවෙන්නේ මානව හිතවාදී යුගයයි“

Bandara Monday, 11 November 2019 09:06 AM

ඔව් ඒක ඇත්ත. ඒත් ඒ ඔයා එක්ක නෙවෙයි.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13510 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 110 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site