(මඩුකන්ද සිතුම් චතුරංග)

“වසර 30ක් පුරා සාකච්ඡාවට පමණක් සීමාවී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැඩ වසරක් තුළ නිමකර කලාපීය ගුවන් ගමනාගමනය සඳහා විවෘත කිරීමට රජයට හැකිවූ බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) යාපනයේදී පැවැසීය.

“යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා මහා පරිමාණයෙන් මුදල් වැය නොකළ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සඳහා වැයවූ මුදල් වසරක් තුළ උපයා ගැනීමට සැලසුම් කර තිබෙතැයිද” සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළකළේ ඊයේ (17) පෙරවරුවේ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කලාපීය ගුවන් ගමන් සඳහා විවෘත  කිරීමේ උත්සවයට එක්වෙමිනි.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පැවැති මෙම උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
“යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් දීම පිළිබඳව වසර 20-30 ක් සාකච්ඡා කළා. සාකච්ඡා සියල්ල වචනයට පමණක් සීමාවී තිබූ බව කිව යුතුයි. යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සම්බන්ධව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සාකච්ඡා කිරීමට මට හැකිවුණා.

  ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් පසු එනම්, මැයි මාසයේදී මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ රටේ පැවති තත්ත්වය සමග මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකිදැයි  ඇතැම් අය ප්‍රශ්න කළා. කෙසේ හෝ මේ කටයුත්ත කිරීමට මා තීරණය කළා. ඒ  අනුව මාස 6ක් ගතවීමට පෙර ජාත්‍යන්තර ගුවන් තොටුපොල දීමට මට හැකිවුණා.

අද අප විවෘත කළේ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පළමු අදියර පමණයි. විෂය බාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළ පරිදි තවත් අදියර කිහිපයක් ආරම්භ කිරීමට තිබෙනවා.

මෙහි දෙවැනි අදියර යටතේ ගුවන් පථය තවත් දිගුකිරීමෙන් පසු ඒ 320 වර්ගයේ ගුවන් යානා ගොඩබෑමට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව මැදපෙරදිග, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්ත වැනි රටවලින්ද යාපනයට ගුවන් යානා පැමිණීමට අවස්ථාව උදාවන  බව කිව යුතුයි.

ගුවන් තොටුපොළ සහ එහි ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් මහා පරිමානයෙන් මුදල් වැයකළේ නැහැ. මාස කිහිපයක් ඇතුළත ගොඩනැගිල්ල ඉදිකිරීමට හැකිවුණා.

ඒ සඳහා වැයවූ මුදල් වසරක් තුළ නැවත උපයාගත හැකි යැයිද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා,
මා ඉතාමත් සතුටුවෙනවා ඉතාමත් කෙටි කාලයකින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් ගමන් සඳහා ඉදිකර නිමකිරීමට හැකිවීම ගැන. ජනාධිපතිතුමාගේ උපදෙස් හා අගමැතිතුමාගේ මගපෙන්වීම යටතේ අපිට පුළුවන් වුණා මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න. ආණ්ඩුකාරතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන වෙනුවෙන් රාජ්‍ය අංශයේ උපකාර ලබාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සහයෝගය ලබාදීම සම්බන්ධයෙන්. තමුන්නාන්සේලා සියලු දෙනාම දන්නවා විශේෂයෙන්ම මේ ගුවන් තොටුපොළේ වැදගත්කම. මූලිකවම තීරණය කළේ අදියර තුනකින් මේ ගුවන් තොටුපොළ නිමකරන්න. පළමු අදියර යටතේ අපි කළේ වැඩි මුදලක් වියදම් කරන්නේ නැතුව මගීන් 70ක් 80ක් රැගෙන යන ගුවන් යානා පමණක් මේ ගුවන් තොටුපොළට ගෙන ඒමට වැඩපිළිවෙළක් හැදීමයි. අපිට විශාල ප්‍රශ්නයක් තිබුණ, අපි විශාල මුදලක් වැයකර මේ ගුවන් තොටුපොළ හැදුවොත් අපි කොයි විදියටද ඒ මුදල නැවත උපයා ගන්නේ කියලා. ඒ අනුව තමයි අපි තීරණය කළේ අදියර තුනකින් මේ ගුවන් තොටුපොළ ඉදිරියට ගෙනයන්න. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට සිවිල් ගුවන් ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය අනුමත කරනු ලැබුවා. ඒ හරහා අපි උතුරට පලාලි ගුවන් තොටුපොළ, නැගෙනහිරට මඩකලපුව ගුවන් තොටුපොළ, බස්නාහිරට කටුනායක ගුවන් තොටුපොළ හා දකුණට මත්තල ගුවන් තොටුපොළ දියුණුකිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරලා තිබෙනවා. අද වෙනකොට මේ රටේ ඕනම කෙනෙකුට කිලෝමීටර 100 ක් 150 ක් තුළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළකට යන්න පුළුවන්, ඒ වැඩපිළිවෙළ අපි ආරම්භ කරලා තිබෙනවා.

මා ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් උතුරු ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන්වලට එනකොට මේ ප්‍රදේශයේ ජනතාවට තමන්ගේ නැදෑ හිතවතුන් බලන්න දකුණු ඉන්දියාවට යන්න විශාල කාලයක් ගතවෙනවා. පැයක ගුවන් ගමනක් යන්න පැය හයක, අටක කාලයක් පාරේ ගමන් කරන්න සිද්ධ වෙනවා. මේ වෙනකොට අපිට ඒ තත්වය වෙනස් කරන්න පුළුවන් වෙලා තිබෙනවා ඉතාමත් කෙටි කාලයකදි. විශේෂයෙන්ම මාස දෙකක් වැනි කාලයකදී. අපි පළමු අදියර යටතේ රුපියල් මිලියන 1950ක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියානු රජයේ අධාර යටතේ මිලියන 300 ක් ලබාදීලා තිබෙනවා.

අද වෙනකොට ඉන්දියාවේ එලියන්ස් එයාර් සමාගම සතියකට ගුවන් ගමන් හතක් දකුණු ඉන්දියාවට ගමන් කරන්න බලාපොරොත්තු වන බව අප දැනුවත් කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලාංකික අයෝජකයින් සමඟ එකතුවෙලා දකුණු ඉන්දියාවට මෙහෙන් ගමන් කරන්න පුළුවන් ගුවන් ගමන් ආරම්භ කරන්න.

යාපනය දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා:
අපි උතුරේ ජනතාව වශයෙන් ඉතාමත් සතුටුවෙනවා ජාත්‍යන්තර ගුවන් තොටුපළක් උතුරට ලබාදීම සම්බන්ධයෙන්. ඒ සඳහා රජයට ස්තූතිවන්ත වෙනවා. අපි ඉල්ලා සිටිනවා මේ ලබාදුන් ප්‍රතිලාබය වගේම පලාලි ආරක්ෂක අංශ යටතේ තිබෙන ඉඩම් අපේ ජනතාවට ලබාදෙන්න කියා.

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා:
මා දන්නා හැටියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 14 වැනි අවස්ථාවටයි උතුරු පළාතට පැමිණියේ. ඔබතුමා තරම් උතුරට පැමිණි තවත් ජන නායකයෙක් නැහැ. එය ඉතිහාසගත වෙනවා. ඔබතුමා තරම් උතුරු පළාතේ ජනතාව ගැන හදවතින් සිතූ ජනනායකයෙක් සිටියේ නැත. මම උතුරු පළාතට පත්වූ පළමු දෙමළ ආණ්ඩුකාරවරයායි. ඔබතුමා ඒ තීන්දුව ගත් නිසා යම් විදිහකින් දේශපාලන තලය තුළ ඔබට ඉතා උසස් ඉල්ලුමක් තිබෙනවා.

යාපනය ජනතාව පීඩාවිඳින ජලය පිළිබඳ ප්‍රශ්නය ඔබ විසඳන්නට දරපු උත්සාහයට මේ මුළු පළාතෙම මුළු ජනගහනය ඔබට ස්තූතිවන්ත වෙනවා.

මේ අවස්ථාවට  සංචාරක සංවර්ධන වන ජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක, අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනි  විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, එස්. ශ්‍රීධරන්, ඊ. සරවනභවන්, අංගජන් රාමනාදන්, කේ.කේ. මස්තාන්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, යාපනය නගරාධිපති ඉමානුවෙල් ආර්නෝල්ඞ්, උතුරු පළාත් සභා හිටපු සභාපති ජි.වී.කේ. සිවඥානම්, ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු, ජනාධිති ලේකම් උදය. ආර්. සෙනෙවිරත්න, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචිකිරීම් සහ පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥාණසෝති, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් එල්.පී. ජයම්පති, යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් දෙනායන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න යන  මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.