නාලක සංජීව දහනායක
 
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ලබන මස සිට ආසන මට්ටමින් සම්මන්ත‍්‍රණ මාලාවක් හා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.


ඒ අනුව මේ වනවිට නිල කාලය අවසන්ව තිබෙන සබරගමුව,නැගෙනහිර හා උතුරුමැද පළාත් සභා සහ ඔක්තෝබර් මාසයේදී නිලකාලය අවසන්වීමට නියමිත වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභා මැතිවරණ ඉල්ලක කර ගනිමින් මෙම සම්මන්ත‍්‍රණ මාලාව පැවැත්වේ.   


ආසන මට්ටමින් පැවැත්වීමට නියමිත සම්මන්ත‍්‍රණ මාලාව ලබන මස 14, 15, 21, 22 සහ 28, 29 යන දිනයන් හීදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක්  පැවසීය. 


මෙම සම්මන්ත‍්‍රණ මාලව සැළසුම්කිරීම පිළිබඳ සාකච්ඡාවක් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (21) පැවැත්විණි.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල, රෝහිත අබේගුණවර්ධන, එස්.එම් චන්ද්‍රසේන, පවිත‍්‍රා වන්නිආරච්චි, ප‍්‍රියංකර ජයරත්න, ශෙහාන් සේමසිංහ ඇතළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක්ද, උතුරුමැද පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයකු වූ එස්.එම් රංජිත් හා සබරගමු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන්ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.